
ෆුට්බෝල්… බෝවෙන සුලුයි!!!
‘ජවය බෝවෙන සුලුයි…’ ශකීරා 2026 නිල පාපන්දු ගීතයේ තැනෙක එහෙම ගයනවා. ‘පාපන්දුත් බෝවෙන සුලුයි…’ ඇගේ නැටවෙන නිතඹ දිහා බල බල මමත් හිතනවා. එංගලන්තෙ ඉපදිලා බ්‍රසීලයේ රියෝ වෙරළ තීර දිගේ වැඩිවියට පත්වෙච්චි ෆුට්බෝල් හුළඟ මෙදා පාර ඇමරිකාව, මෙක්සිකෝව, කැනඩාවත් හොල්ලගෙන ලංකාවෙ හන්දි ගානෙත් දූවිලි අවුස්සන්න පටන් අරන්. උතුරු ඇමරිකානු රටවල් ත්‍රිත්වයක්ම එකපාර හෙල්ලෙන්න හේතුව තමයි ඉතිහාසයේ ප්‍රථම වතාවට රටවල් තුනක් එකතු වෙලා පාපන්දු ලෝක කුසලානයට සත්කාරකත්වය ලබා දීමට පිළිවෙතින් පෙළගැසීම. රටවල් තුනේ නගර 16ක් පුරා කණ්ඩායම් 48ක් දවස් 39ක් තිස්සේ තරඟ 104කට සහභාගීත්වය ලබා දෙනවා. 1998 ඉඳලා 2022 වෙනකල්ම වර්ල්ඩ් කප් එක වෙනුවෙන් සෙල්ලම් කළේ කණ්ඩායම් 32ක් විතරයි. වෙනස්කම් ගොඩක් එක්ක පැවැත්වෙන මෙදා සැරේ ලෝක කුසලානය ජාත්‍යන්තර පාපන්දු ඉතිහාසයේ දීර්ඝතම තරඟාවලිය වෙන්නෙ ඔන්න ඔහොමයි. රටවල් තුනකට සත්කාරකත්වය හිමිවුණාට තරඟාවලිය පුරාවටම පැතිරිලා තියෙන්නෙ යැංකි ආධිපත්‍යයම තමයි. අර්ධ අවසන් පූර්ව වටය, අවසන් පූර්ව වටය සහ අවසන් මහා තරඟය ඇතුළු සමස්ත තරඟවලින් 3/4ක් ම පැවැත්වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ජුලි 20 වැනි දාට ආසන 82,500 කින් සමන්විත නිව් ජර්සි හි දැවැන්ත මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයෙන් 2026 මහා පාපන්දු සැණකෙළිය අවසන් වෙන්නට නියමිතයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට කියලා පටන්ගත්ත ලැයිස්තුව තවමත් ඉවර නෑ. පාපන්දු කුසලානයට තුන් වතාවක් නිල සත්කාරකත්වය ලබා දුන් පළමු රට හැටියට මෙක්සිකෝව පත්වෙනවා. යුනෙස්කෝ සංස්කෘතික උරුමයක් විදියට ප්‍රකාශයට පත්කරපු මරියාචි සංගීතයට තාල තියන ගමන්, ටිකිලා උපන් නගරයේදි ටිකිලා උගුරක් රසවිඳින්න එන්න කියලත් පාපන්දු කුසලානය වෙනුවෙන් පැමිණෙන සංචාරකයන්ට මෙක්සිකානුවන් ආරාධනා කරනවා. කැනඩාවට නිල සත්කාරකත්වය හිමිවෙන පළමු වතාවත් මේකයි. 1994 අවුරුද්දෙන් පස්සෙ ඇමරිකාව පළමු වතාවට ෆිෆා ලෝක කුසලානයේ සත්කාරකත්වය දරනවා. 2026 වර්ල්ඩ් කප් එකත් එක්ක මැස්කොට් කෙනෙක් වෙනුවට මැස්කොට්ලා තුන් දෙනෙක්ම එළියට බැහැලා. සත්කාරක රටවල් තුනට වෙන වෙනම මැස්කොට්ලා තුන්දෙනෙක් ඉන්නවා. ඒකත් ෆිෆා සැණකෙළි ඉතිහාසයේ ප්‍රථම වතාවට වෙන වැඩක්. කැනඩාවට අයිති ගෝල් රකින මේපල් සංගීතයට ගොඩක් කැමති කලාකරුවෙක්. සෙල්ලම් නොකරන වෙලාවට නටන්නත්, කෑම කන්නත් කැමති Zසයූ එන්නෙ මෙක්සිකෝවේ කැලෑවලින්. එයා හොඳ ස්ට්‍රයිකර් කෙනෙක්. මැදපෙළ ක්‍රීඩක ක්ලච් කියන්නෙ ඇමරිකාවෙ මැස්කොට්. එයා චියර්ලීඩර් කෙනෙක් වගේම ක්‍රියාදාම වැඩ කරන්න රුසියෙක්. සංගීත ලෝලීන්ටත් මේ ලෝක කුසලානය ටිකක් විශේෂයි. වෙනදට NFL තරඟයට පමණක් සීමා වුණු සුපර් බෝල් හාෆ් ටයිම් ප්‍රසංගය ප්‍රථම වතාවට ෆිෆා කුසලානයේ අවසන් මහා තරඟයේදි ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බවට ෆිෆා සභාපති තහවුරු කරලා තියනවා. තරඟ නැරඹීමට ඇදෙන මහා පරිමාණ සංචාරක පිරිසට පොදු ප්‍රවාහන සේවාව උපරිම කරන්නත්, නගරාන්තර පියාසරකිරීම් වලදි වුණත් බලශක්ති පියසටහන පුළුවන් තරම් අවම කරන කාලසටහන් හදලා පරිසර හිතකාමී විදියට තරඟාවලිය පවත්වන්න කටයුතු කරන බවත් සඳහන්. ඇමරිකානු ඩොලර් මිලියන 655 ක තෑගි මුදලක් ජයග්‍රාහකයින් වෙනුවෙන් සූදානම්. ජයග්‍රාහී කණ්ඩායම ගෙදර අරන් යන තෑගි මල්ලෙ වටිනාකම ඩොලර් මිලියන 50ක්. දිනුවත් පැරදුණත් සහභාගීත්වය තමයි වටින්නෙ කියලා තරඟාවලියට සහභාගී වුණු හැම කණ්ඩායමකටම ඩොලර් මිලියන 10.5 බැගින් ලැබෙනවා. මෙවර රන් කුසලානයට හිමිකම් කියන කණ්ඩායම කවුදැයි දැනගන්න ලෝකෙ පුරාම ඉන්න ක්‍රීඩාලෝලීන් නොඉවසිල්ලෙන්. සූදු අන්තුවො මහා පරිමාණෙන් ඔට්ටු අල්ලනවා. AI මෙවලම් විසින් දත්ත පිරික්සමින් සම්භාවිතාවයන් ගණනය කරනවා. ඒ අතරේම පිට පිට සිව් වතාවක් (2010, 2014, 2018, 2022) ජයග්‍රාහී කණ්ඩායම නිවැරදිව ප්‍රකාශ කරපු EA ස්පෝට්ස්ලාත් මෙවර දිනන්නේ ස්පාඤ්ඤය යැයි අනාවැකි කියනවා. කවුරු ජයග්‍රහණය කළත් මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ හදවත් දිනාගත් ‘GOAT’ ඉන්න අවසාන ලෝක පාපන්දු වසන්තය මේකයි. සැබෑ ගෝට් මෙසී ද නැත්නම් රොනාල්ඩෝ ද කියලා පාපන්දු ලෝලීන් අතර තියෙන්නෙ සදාතනික විවාදයක්. අසමසම ක්‍රීඩා යුගයක නිමාව සනිටුහන් කරමින් පාපන්දු රජවරු දෙදෙනෙක් එකවර ලෝක කුසලාන පිටියෙන් සමුගන්නා ඓතිහාසික මොහොත දෙස මුළු මහත් ලෝකයක් දෑස් දල්වා බලා සිටින බවට සැකයක් නෑ. -ද බියුටිෆුල් ගේම්- පාපන්දු පුරාවෘත්තය පේලේ කිව්වෙ එහෙමයි. -නර්මදා විජේගුණරත්න-