[gtranslate]

Tag: නිමල් හේමසිරි පෙරේරා

namal krish knews
ගවේෂණ

නාමල්ට නඩු වැටුණ මොකද්ද මේ ක්‍රිෂ් ගනුදෙනුව – 01

යහපාලන ආණ්ඩු සමයේ දැඩි සමාජ අවධානයක් දිනාගත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ශ්‍රී ලංකා පොලිස් සේවයේ විෂය පථය යටතේ 2015 පෙබරවාරි 26 දින පිහිටුවන ලද අතර ඊට නායකත්වය දෙනු ලැබුවේ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකර මහතාය. මහා පරිමාණ මූල්‍ය අපරාධ පිළිබඳව සොයා බැලීමේ අරමුණින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය 2015 පෙබරවාරි 25 දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පිහිටවූ අතර පොලිස්පතිවරයාගේ අධීක්ෂණයෙන් යුතුව එවක ක්‍රියාත්මක වූ මෙම කොට්ඨාසය තුළ නිලධාරීන් 120ක් පමණ සේවය කළේය. මෙම නිලධාරීන් සඳහා එක්සත් රාජධානිය, වියට්නාමය, ඉන්දියාව, සිංගප්පූරුව වැනි රටවල් වෙතින් විදේශ පුහුණුව ද ලබාදෙන්නට කටයුතු කරනු ලැබීය. යහපාලනය එන්නේම වංචාවට දූෂණයට විරුද්ධව දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නවා යැයි කියන මූලික පොරොන්දුව සමගය. එම පොරොන්දුව ඉටු කිරීම වෙනුවෙන් පිහිටවනු ලැබූ ප්‍රධානම ආයතනය මෙම පොලිස් කොට්ඨාසය වන අතර යහපාලනයේ මුල් අවධියේදී මෙම ආයතනය සක්‍රීයව ක්‍රියාත්මක විය. 2017 ජූලි 27 මාධ්‍ය හමුවක් අමතන එවක පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරන්නේ එම දිනය වනවිට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි 335ක් ලැබී ඇති බවය. ඉන් පැමිණිලි 89ක විමර්ශන කටයුතු අවසන් කොට නීති උපදෙස් සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවය. මෙහිදී ඔහු වැඩදුරටත් ප්‍රකාශ කර තිබුණේ පැමිණිලි 12ක් සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු පවරා ඇති බවය. තවත් පැමිණිලි 115ක විමර්ශන අවසන් කොට ඇති බවත් ය. තවදුරටත් පැමිණිලි 135ක් විමර්ශනය කරමින් පවතින බවද ඔහු එහිදී අනාවරණය කළේය. එවක එෆ්සීඅයිඩී විමර්ශනයන් තුළ කියවුණ ප්‍රධාන විමර්ශනයක් ලෙස ක්‍රිෂ් ගනුදෙනුව ගත හැකිය. අද අපි නැවතත් ඒ පිළිබඳව කතා කරමු. එයට හේතුව මෙම සිදුවීම අරඹයා නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට නඩු වැටී ඇති බැවින් ය. මොකද්ද මේ ක්‍රිෂ් 2012.08.14 වන දිනයේ දී පීවී-87648 යටතේ ක්‍රිෂ් ටාන්ස්වර්ක් පුද්ගලික සමාගම, සමාගමක් වශයෙන් ලියාපදිංචි කර ඇත. මෙසේ මෙම සමාගම ආරම්භ කරන විට එහි අධ්‍යක්ෂවරුන් ලෙස අමිත් කට්යාල් නම් ඉන්දීය ජාතිකයා සහ ගීතාංජලී ජානකී ද සොයිසා සිරිවර්ධන මහත්මිය කටයුතු කර ඇත. මෙහි නම් සඳහන් ජානකී සිරිවර්ධන මෙනෙවිය මෙම ව්‍යාපෘතියේ දේශීය නියෝජිතයා සේ කටයුතු කර ඇති අතර එවකදී ඇය නාමල් රාජපක්ෂ මහතාගේ ළඟම මිතුරියක සේ සිට ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 600-700ත් අතර වටිනාකමකින් යුතු කුළුනු ත්‍රිත්වයකින් යුතු මිශ්‍ර ආයෝජන ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කර ඇති අතර මෙහි ආයෝජනය කිරීම සඳහා ඉන්දීය ජාතිකයෙක් වන අමිත් කට්යාල් මහතාගේ මහාදේව් ඉන්ෆ්‍රාටෙක් පුද්ලික සමාගම ඉදිරිපත් වී ඇත. මෙම ඉන්දීය ජාතිකයාට අයත් මම සමාගම මේ ආයෝජනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 40කට ආසන්න මුදලක් ලංකාවට ගෙනවිත් ඇත. දකුණු ආසියාවේ උසින් වැඩිම ගොඩනැඟිලි අතර එකක් ලෙසද ලංකාවේ උසම ගොඩනැගිල්ල සහිතව ඉදිකරන බවට මහා ප්‍රචාරක ව්‍යාපාරයක් එවකදී අරගෙන ගිය මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම ලෙස මොවුන් අවසානයේ තෝරාගෙන ඇත්තේ කොළඹ කොටුවේ චැතම් වීදියේ අංක 114 යන ස්ථානය වන අතර එම ඉඩම නාගරික සංවර්ධන අධිකාරියෙන් 99 අවුරුදු බදු පදනම යටතේ 2013, 2014, 2015, සහ 2016 යන අවුරුදු හතර තුළ කොටස් වශයෙන් මුදල් ගෙවා පවරාගෙන ඇත. ඒ වෙනුවෙන් ක්‍රිෂ් සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 37කට ආසන්න මුදලක් වැයවී ඇති බවත් හිඟ ඇමරිකානු ඩොලර් මිලියන 10ක මුදල මෙම මිශ්‍ර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා මුලින්ම සම්බන්ධ වූ සොන්ග්ටියෑන් සමාගම විසින් යොදවා ඇති බවත් ප්‍රකාශ වෙයි. ඇමරිකානු ඩොලර් මිලියන 700ක පමණ ආයෝජනයක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 40ක මුදලක් රැගෙන ලංකාවට පැමිණි අමිත් කටියාල් මහතා මෙවැනි ගනුදෙනු සඳහා ඉන්දියාව තුළ කුප්‍රකට චරිතයක් ය. ඔහු මේවනවිට සිටින්නේ බන්ධනාගාරයේ ය. ඒ මෙවැනිම ආයෝජන ව්‍යාපෘතියක් හරහා ඉන්දියාවේ මිනිස්සුන්ට වංචා කළා යන චෝදනාව යටතේ ය. දූෂණ චෝදනාව යහපාලනය පිහිටුවන්නට ප්‍රථම ක්‍රිෂ් ගනුදෙනුව පිළිබඳව බොහෝ දේ කියවුණ අතර ඒ හරහා රාජපක්ෂ පවුලට දූෂණ චෝදනාවන් විශාල ප්‍රමානයක් එල්ලවිය. මෙම සංවාදය අතර තුර යහපාලනය පැමිණි පසු 2015.12.26 දිනයේ දී දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඉහත ඉඩම ක්‍රිෂ් සමාගමට බදු දීමේදී විශාල මූල්‍යමය වංචාවක් සිදුව ඇතැයි ද ඒ සම්බන්ධව විමර්ෂනයක් කරන්න යැයි ද දූෂණ විරෝධී කමිටු කාර්‍යාලයට පැමිණිල්ලක් සිදුකර ඇත. ඒ පැමිණිල්ල අනුව යමින් එවක පොලිස්පතිවරයා, IGP/PA/DIG/FCID/5152/15 යටතේ එෆ්සීයිඩීයට මෙම පැමිණිල්ල යොමුකර ඇත. ඒ විමර්ෂන ආරම්භ කරන්න යැයි කියමින් ය. ඒ අනුව රවී වෛද්‍යාලංකාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විමර්ෂන කටයුතු ඇරඹී ඇත. එහිදී අනාවරණය වන්නේ මෙම සමාගම නාමල් රාජපක්ෂ මහතා වෙත රුපියල් ලක්ෂ 700ක මුදලක් ලබාදී ඇති බවය. ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් වන ආර්.පී ගුප්තා සමාගමේ අනෙකුත් අධ්‍යක්ෂවරුන්ට නොදන්වා නාමල් රාජපක්ෂ මහතා සමග හිතවත් වී ඇති බවත් ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා විසින් ආර්.පී ගුප්තාගෙන් රග්බි ක්‍රීඩාව සඳහා අනුග්‍රහය ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවත් ඒ අනුව ආර්.පී ගුප්තා මහතා විසින් රුපියල් ලක්ෂ 700ක මුදලක් ප්‍රිමියම් ස්පෝට්ස් පුද්ගලික සමාගමේ එවක අධ්‍යක්ෂවරයා සේ කටයුතු කළ නිමල් හේමසිරි පෙරේරා මහතාට ලබාදී ඇත. ඒ අනුව නිමල් හේමසිරි පෙරේරාගේ එච්එස්බීසී (006-040042-001) ගිණුමට 2012.10.18 දිනයේ දී රුපියල් මිලියන 40 සහ 2012.11.19 වැනි දිනයේදී රුපියල් මිලියන 10ක්ද 2012.12.18 දිනයේදී ඔහුගේම සම්පත් බැංකුවේ ගිණුමට (002950014922) රුපියල් මිලියන 20ක් ලෙස මෙම මුදල් ලබාදීම සිදුකර ඇත. මෙසේ මුදල් ලබාගැනීම එවකදී නාමල් රාජපක්ෂ මහතා පිළිගෙන ඒ පිළිබඳව ප්‍රකාශයක් එෆ්සීඅයිඩීයට ලබා දී ඇති අතර 2016.07.11 දිනැති බී වාර්තාවෙන් එම ප්‍රකාශය අධිකරණයට වාර්තා කරන්නට එවක එෆ්සීඅයිඩීය කටයුතු කර ඇත. 2013 පැවති සුපර් සෙවන් රග්බි තරඟාවලිය වෙනුවෙන් මෙම මුදල් ලබාගත් බවත් එම මුදල් ප්‍රිමියම් ස්පෝට්ස් ආයතයට දුන් බවත් මෙහිදී නාමල් රාපජක්ෂ ප්‍රකාශ කළත් එම සමාගමේ අධ්‍යක්ෂවරුන් එෆ්සීඅයිඩීය හමුවේ ප්‍රකාශ ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ එවැනි මුදලක් ලබා නොදුන් බවයි. එවක ක්‍රියාත්මක වූ නාමල් රාජපක්ෂ මහතාගේ එන්.ආර්. ඇසෝසියේට් නීතිඥ සමාගමේ රොනී ඉබ්‍රහීම් හා එහි ගිණුම් සම්බන්ධව කටයුතු කළ නාමල් රාජපක්ෂ මහතාගේ සමීප මිතුරියක වන සුජානි බෝගොල්ලාගම මහත්මියද මෙම තරඟාවලිය සඳහා වියදම් කරන්නට මෙසේ මුදල් ලබා නොදුන් බව එෆ්සීඅයිඩීය හමුවේ ප්‍රකාශ කර ඇත. එමෙන්ම මෙහිදී ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන මහත්මියද එෆ්සීඅයිඩී හමුවේ ප්‍රකාශ කර ඇත්තේ මෙම මුදල රග්බි සඳහා ලබා නොදුන් බවය. ඒ අනුව 2016.07.11 වෙනි දින නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නට එෆ්සීඅයිඩීය කටයුතු කළේය. මෙම අත්අඩංගුවට ගැනීමත් සමග 2016.07.11 වෙනි දින ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන මහත්මිය එෆ්සීඅයිඩී ප්‍රධානියාට ලිපියක් ගෙනිහින් භාරදෙනු ලබන අතර එම ලිපිය මගින් ඇය ඉල්ලා ඇත්තේ මෙම මූල්‍ය වංචවට ක්‍රිෂ් සමාගම සම්බන්ධ නැතැයි සහතිකයක් දෙන ලෙසය. එම ඉල්ලා සිටීමට හේතුව ලෙස ඇය දන්නවා ඇත්තේ මෙමගින් කොන්ත්‍රාත්කරුවන් සහ තම සමාගම සමග කටයුතු කරන මූල්‍ය ආයතනයන් සහ පාරිභෝගිකයන් අධෛරයට පත්විය හැකි බවයි. ඒ අනුව 2016.07.12 වෙනි දින එෆ්සීඅයිඩීය ක්‍රිෂ් සමාගමට දන්වා යවන්නේ තමන් සමාගමට විරුද්ධව කිසිඳු විමර්ශනයක් සිදුකරන්නට බලාපොරොත්තු නොවෙන බවය. පසුව මේ පිළිබඳව සීඅයිඩීයට ප්‍රකාශයක් ලබාදෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර ප්‍රකාශ කරන්නේ නීතිපති උපදෙස් මත තමන් ලිපියක් නිකුත් කළ බවය. නිවාස ගනුදෙනුව මෙසේ විමර්ශන යන අතරතුරේදී 2018 ජුනි මස 06 වෙනි දින මේරි බැසිලිකා (ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාරගේ බිරිඳ) වෙත ලිපියක් යවමින් ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන මහත්මිය මෙම මිශ්‍ර ව්‍යාපෘතිය මගින් ඉදිකරනු ලබන ‘ද වන්’ පළමු ගොඩනැගිල්ල තුළ පිහිටි නිවාස ඒකක දෙකක් ඔපර් කර ඇත.

Read More »