[gtranslate]

Tag: රතු ලේබල් බහාලුම්

bimal knews
ගවේෂණ

කන්ටේනර් නිදහස් කිරීම – 01

වර්තමාන රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ආන්දෝලනාත්මක රතු ලේබල් කන්ටේනර් නිදහස් කිරීමේ සිද්ධියේ දී එම කන්ටේනර් නිදහස් කිරීම අධීක්ෂණය සඳහා පත්කර තිබුණ නිලධාරියා බවත් එහිදී ඔහු එම අධීක්ෂණ කාර්‍යභාරයෙන් ඉවත්වී එම කන්ටේනර් නිදහස් කිරීමේ කාර්‍යභාරයට උරදී කටයුතු කර ඇති බවත් නීරීක්ෂණය වෙන බව, මේ පිළිබඳව සොයා බැලීමට පත් කළ මුල්ම කමිටුව සිය වාර්තාව මඟින් ප්‍රකාශ කර ඇත. එය එසේ තිබියදීත් ඔහු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ 45 වැනි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්ව පසුගිය 2026 මැයි මස 05 වැනිදා විශ්‍රාම ගිය අතර මේ වනවිට නව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස විමල් ලියනගම කටයුතු කරයි. ඒ අතරේ මේ ආන්දෝලනාත්මක සිදුවීම පිළිබඳව කරුණු සොයන්නට පාර්ලිමේන්තු කමිටුවක් පත්වුණ අතර එම කමිටුව ඉදිරියට ජනාධිපතිවරයා සහ එවක රේගුව භාරව කටයුතු කළ බිමල් රත්නායක අමාත්‍යවරයා කැඳවන්නට එම කමිටුවේ සිටින විපක්ෂ මන්ත්‍රීවරුන් යෝජනා කළත් එයට බහුතර ආණ්ඩු මන්ත්‍රීවරුන් සිය විරෝධය පෑම නිසා එම යෝජනාව හකුලා ගන්නට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සිදුවිය. ඒ අනුව අමාත්‍යවරයා නොමැතිව දැන් රාජ්‍ය සේවකයා මත පමණක්ම පදනම්ව කමිටු කටයුතු සිදුවෙමින් තිබෙයි. එම පසුබිමේ knews අප මේ ගැන සොයාබලන්නට කල්පනා කළේය. මෙම පාර්ලිමේන්තු කමිටුව පත්වන්නට ප්‍රථම මේ පිළිබඳව සොයා බැලීම සඳහා 2025 ජනවාරි 30 වෙනි දින අංක එම්එෆ්/එස්ටී/01/02 ලිපිය මඟින් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් කමිටුවක් පත් කළ අතර එහි සභාපතීත්වය භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.කේ සෙනෙවිරත්න මහතා විසින් දරනු ලැබීය. මෙම කමිටුව වෙත සිය කරුණු දක්වා ඇති වර්තමාන රේගු අධක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා, 2024/7/18 දින ඉහළ කළමනාකරණ රැස්වීමේදී ගත් තීරණය මත පදනම් කරගෙන බහාළුම් නිදහස් කිරීම සඳහා නිලධාරීන් 3කුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබුණ බවත් එම කමිටුවේ කාර්‍යයන් අධීක්ෂණය තමන් විසින් සිදුකළ බවත් ප්‍රකාශ කර ඇත. සීවලි අරුක්ගොඩ මහතා සඳහන් කරනු ලබන එම නිලධාරීන්ගේ කාර්‍යභාරය වී ඇත්තේ ග්‍රේලයින් 1 සහ 2 වෙත යොමුවෙන රතු ලේබල් සහිත බහාළුම් ස්කෑන් පරීක්ෂාවකින් පසුව භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සඳහා නැවත මාර්ගගත කිරිම හෝ RCT වෙත පරීක්ෂාවක් සඳහා යොමු කිරීමය. එහිදී කමිටුව වෙත අදහස් දක්වන සීවලි අරුක්ගොඩ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙම කමිටුවේ විනිවිද පෙනෙන සුළුබව වැඩිකිරීම සඳහා තමන් විසින් මෙම කමිටු කාර්‍යයන් අධීක්ෂණය කළ බවය. එම අධීක්ෂණ කාර්‍යභාරය පිළිබඳව සිය නිරීක්ෂණයන් දක්වන කමිටුව ප්‍රකාශ කරන්නේ ප්‍රස්තුත බහාළුම් 309 නිදහස් කළ දිනය වන 2025 ජනවාරි 18 වෙනි දින රැස්වූ කමිටුව සඳහා සහභාගීවී ඇත්තේ රේගු අධ්‍යක්ෂ එස්.ඒ.ටී.බී සුරවීර මහතා පමණක් බවය. ඒ අනුව ඔහුගේ එදින කාර්‍යභාරය නිරීක්ෂණය කිරීම සඳහා වර්තමාන රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා සහභාගී වී සිට ඇති බව සඳහන් කරන එම කමිටු වාර්තාව ප්‍රකාශ කරන්නේ සීවලි අරුක්ගොඩ මහතා සිය අධීක්ෂණ කාර්‍යයෙන් ඉවත්වී බහාළුම් නිදහස් කිරීම සඳහා සහභාගීවී සිට ඇති බවය. -කේ. සංජීව-

Read More »