[gtranslate]

Tag: NDB Bank fraud

copfnews knews
මාකට්ටුව

රුපියල් බිලියන 13ක හොරාගේ අම්මගෙන් පේන අහන මහබැංකුව..!

NDB මූල්‍ය වංචාව සහ මහ බැංකුවේ පියවර පිළිබඳව පසුගිය දා පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා සාකච්ඡාවේදී හරි අපූර්ව කරුණු රැසක් අනාවරණය වී ඇත. දීර්ඝ කාලයක් තිස්සේ ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුව ඇති මෙම මූල්‍ය වංචාව රුපියල් බිලියන 13ක් පමණය. අමාත්‍ය ආනන්ද විජේපාල කියන ආකාරයට මේ වනවිට මෙම මුදල් රටින් පිටට ගොස් හමාරය. අශ්වයා ගිය පසු ස්ථාලය වසා දමන්නට දක්ෂ, ලංකාවේ ලොකුම වැටුප් ලබාගන්නා සේවකයන් සේවයේ නිරත මහබැංකුවට, දීර්ඝ කාලයක් සිද්ධවූ මේ වංචාව කලින් අල්ලාගන්නට හැකිවී නැත. එනිසාම බැංකු අධීක්ෂණ සහ නියාමන යාන්ත්‍රණයන් ශක්තිමත් කරන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මහ බැංකුවෙන් ඉල්ලා ඇතැයි අනාවරණය වෙයි. එය ඔවුන් සිදුකර ඇත්තේ පස්වන සහ හයවන සමාලෝචනය හරහා ය. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය දා මෙම වංචාව පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු මහ බැංකු නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඇත. එහිදී මහ බැංකුව විසින් ගෙන ඇති පියවරයන්හි ප්‍රගතිය පිළිබඳව ආචාර්ය ද සිල්වා විමසා ඇත. මෙහිදී මහ බැංකු නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මෙම ගනුදෙනුවලට මුල් වූ හේතුව සහ ඒවා ක්‍රියාත්මක වූ ආකාරය හඳුනා ගැනීම සඳහා වෝහාරික විගණනයක් ආරම්භ කර ඇති බවය. මෙහිදී හරි අපූර්ව කතාවක් එළියට පැමිණ ඇත. එනම් මෙම වෝහාරික විගණනයේ විෂය පථය තීරණය කරන්නේ චූදිත බැංකුව විසින්ම බවයි. මෙහිදී චූදිතයා වන NDB බැංකුව, මෙම වෝහාරික විගණනයේ විෂය පථය තීරණය කිරීමට සම්බන්ධ වන්නේ කෙසේදැයි ආචාර්ය ද සිල්වා සහ කාරක සභා සාමාජික රවී කරුණානායක යන දෙදෙනාම ප්‍රශ්න කර ඇත. එයට ප්‍රථිචාර දක්වමින් මහබැංකු නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ විෂය පථයේ දළ සටහනක් පමණක් සකස් කරන ලෙස NDB බැංකුවෙන් ඉල්ලා ඇති බවයි. එය ලැබුණ පසුව මහ බැංකුව සිය අදහස් ද එක් කරමින් එය විධිමත් කරන බව කාරක සභාව හමුවේ ප්‍රකාශ කර ඇත. මේ අනුව සතියක් ඇතුළත අතුරු වාර්තාවක් ද, ජූලි 18වන දින අවසන් වාර්තාව ද ඉදිරිපත් කරන බව මහබැංකුව ප්‍රකාශ කර ඇත. වසර දහයක කාලයක් ආවරණය වන පරිදි සිදු වූ ගනුදෙනු මෙහිදී විමර්ශනයට ලක් කෙරෙනු ඇති බව වාර්තා වෙන අතර ඒ අනුව වංචනික ගනුදෙනු හරහා බැංකුවෙන් රුපියල් බිලියන 13ක් හොර රහසේ ඉවත් කරගත් ආකාරය අනාවරණය වෙනු ඇතැයි මහබැංකුව සිය විශ්වාසය කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.

Read More »