
යෝෂිත අත්අඩංගුවට
බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණුව ලැබීමට යාම ආශ්‍රිතව සිදුව ඇතැයි කියන වංචා, දූෂණ සහ මුදල් අවභාවිත කිරීම් ආදිය පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (17) උදේ යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඇත. ඔහුට පසුගිය 16 දා එම කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා තිබුණත් ඔහුට එම දිනයට පැමිණීමට නොහැකි වී තිබුණු අතර ඒ අනුව අද දිනයේ ඔහු එම කොමිසමට පැමිණි පසුව ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇත. යෝෂිත රාජපක්ෂ 2006 දෙසැම්බර් 14 වන දින නාවික හමුදාවට එක්වී ඇති අතර, අදාළ තනතුරු සඳහා අවශ්‍යව තිබූ උසස් පෙළ විද්‍යා/ගණිත සුදුසුකම් සපුරා නොතිබුණු ද, පසුව එම සුදුසුකම් සංශෝධනය කර ඔහුව බඳවා ගැනීම, ඔහු නාවික හමුදාවට බඳවාගන්නටත් ප්‍රථම හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් යෝෂිත රාජපක්ෂ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා ඇකඩමියට යැවීම පිළිබඳව එම ආයතනයෙන් විමසා තිබීම, රජයේ මුදල් වියදම් කරමින් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳුණු පසුව 2007 වසරේ ජනවාරියේ දී ඔහු මෙම පුහුණුවට බ්‍රිතාන්‍ය වෙත යැවීම ආදී සිදුවීම් කිහිපයක් පිළිබඳව මෙම විමර්ශනයේදී කරුණු සොයා බලන බව ද ඒ අනුව යෝෂිත රාජපක්ෂට විරුද්ධව ඉතාමත් ඉක්මනින් අධිචෝදනා ගොනුකරන බව ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.


