ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව හිමිකම් කියන සාගර කලාපයේ ස්ථානගතව තිබෙනවා යැයි කියන ඩොලර් බිලියන ගණනක් වටිනා කෝබෝල්ට් නිධිය තමන් සතුකරගන්නට ඉන්දියාව රාජ්‍යතාන්ත්‍රිකව උත්සාහ කරමින් ඇතැයි ද එයට ශ්‍රී ලංකාවේ දේශපාලන බලාධිකාරයෙන් විරෝධයක් නැතැයි ද කරුණු වාර්තා වෙයි.
මධ්‍යම ඉන්දියන් සාගරයේ පිහිටි කිලෝමීටර් 400ක් දිගැති, සාගර පතුලේ සිට මීටර් 1,200ක් ඉහළට විහිදෙන මෙම අෆානාසි නිකිටින් මුහුදු කන්ද, විද්‍යුත් වාහන බැටරි සඳහා අත්‍යවශ්‍ය වන කෝබෝල්ට් බහුල ෆෙරෝමැංගනීස් ස්ථරවලින් සහ නිකල්, තඹ සහ රත්‍රන් වැනි වටිනා ලෝහවලින් පොහොසත් බව ප්‍රකාශ වෙන අතර ඉන්දියාව පසුගිය 2024 ජනවාරි මාසයේදී මෙහි වර්ග කිලෝමීටර් 3000ක ප්‍රදේශයක් ගවේෂණය කිරීමට ජාත්‍යන්තර මුහුදු පත්ල පිළිබඳ අධිකාරියට අයදුම් කර ඇති අතර එවක ශ්‍රී ලංකා ආණ්ඩුව එම අයදුමට සිය විරෝධය දක්වා ඇත්තේ එය තම දීර්ඝ කරන ලද මහාද්වීපික තලයට අයත් බව ප්‍රකාශ කරමින් ය.
මෙහිදී ඉන්දියාවේ ස්ථාවරය වී ඇත්තේ මෙම නිධිය පිහිටා ඇති සාගර කලාපය කිසිදු රටකට අයිති නැති ජාත්‍යන්තර මුහුදු කලාපයක බැවින් එහි ගවේෂණය සඳහා තමන්ට අවසර ලැබිය යුතු බවය. ශ්‍රී ලංකාව 2009 වසරේදී ඉදිරිපත් කළ අනන්‍ය ආර්ථික කලාපයෙන් ඔබ්බට මුහුදු තීරය වෙනුවෙන් හිමිකම් පෑමේ ඉල්ලීම පිළිබඳව තවමත් එක්සත් ජාතීන්ගේ මහාද්වීපික තල සීමා පිළිබඳ කොමිසම අවසන් තීරණයක් ලබා දී නොමැති තත්ත්වය තුළ ඉන්දියාවේ මෙම අයදුම්පත ජාත්‍යන්තර නීතියට අනුව අනුමත කළ නොහැකි වුණත් මෙය රාජ්‍යතාන්ත්‍රික උපාය මාර්ගයක් මගින් තමන් සතු කරගන්නට ඉන්දියාව ශ්‍රී ලංකාවේ වර්තමාන රජය සමග සාකච්ඡා සිදුකරමින් ඇතැයි කරුණු වාර්තා වෙයි.
ලෝකය ෆොසිල ඉන්ධනවලින් බැහැරව පුනර්ජනනීය බලශක්තිය දෙසට ගමන් කරන විට විද්‍යුත් බැටරි සඳහා ඇති ඉල්ලුම ඉහළ යන අතර ඒ සමග මෙම බැටරි නිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රව්‍ය වන කෝබෝල්ට් මිල ඉතා ඉහළ මට්ටමක යනු ඇත. ඒ අනුව මෙම නිධියේ වටිනාකම ශ්‍රී ලංකාවේ වත්මන් විදේශ ණය බර පියවීමට පවා සෑහෙන බව ප්‍රකාශ වෙයි.
දැනට ලෝකයේ කෝබෝල්ට් ඒකාධිකාරය චීනය සතු අතර, ඉන්දියාව චීනයේ මෙම ඒකාධිකාරය බිඳ දැමීම සඳහා මෙම නිධියේ අයිතිය වෙනුවෙන් චීනය සහ ලංකාව සමග තරගයක නිරත වෙමින් සිටින බවත්, එය රාජ්‍යතාන්ත්‍රිකව තම රටේ වාසියට හරවා ගන්නට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු කළ යුතු බවත්, මේ පිළිබඳව අවධානයෙන් සිටින ගවේෂකයන්ගේ මතයයි.
අපි knews අපි මේ පිළිබඳව සොයාබලන්නට තීරණය කළෙමු.
මධ්‍යම ඉන්දියන් සාගර පතුලේ පිහිටි මෙම කඳු වැටිය කිලෝමීටර් 400ක් පමණ දිග ය. එහි පළල කිලෝමීටර් 150ක් පමණ ය. කඳු වැටිය සාගර පතුලේ සිට මීටර් 3,000කට වඩා ඉහළට විහිදෙන බවද එහි ඉහළම තුඩ සාගර මතුපිට සිට මීටර් 1,200ක් පමණ ගැඹුරින් පිහිටා ඇති බව ද සොයාගෙන ඇත. මෙම මහා කඳු පන්ති, භූ විද්‍යාත්මක නිමැවුමට හේතුව, භූ විද්‍යාඥයන් පවසන පරිදි, මීට වසර මිලියන 75-90කට පෙර සිදුවූ ගිනිකඳු ක්‍රියාකාරිත්වයක් ය.
අෆානාසි නිකිටින් හරි අමුතු නමක් ය. ඒ නිසාම මේ නම කොහෙන් ආපු නමක් දැයි සිතීම වැරදි නැත. මෙම මුහුදු කන්දට මේ නම එන්නේ 15 වන සියවසේ ජීවත්වූ සුප්‍රකට රුසියානු දේශ ගවේෂකයෙකු නිසා ය. ඔහුගේ නම අෆානාසි නිකිටින් ය. 1466-1472 අතර කාලයේ ජීවත්වූ මොහු පෘතුගීසි ගවේෂක වාස්කෝ ද ගාමාටත් වසර 30කට පමණ පෙර ඉන්දියාවට පැමිණියේ ය. ඔහු එම සංචාරය අලලා ලියූ A Journey Beyond the Three Seas කෘතිය ඉතිහාසයේ ඉතා වැදගත් සංචාරක සටහන් පොතක් ය. 1950 දශකයේ අග මෙම සාගර කලාපය මුලින්ම ගවේෂණය කර මෙම කඳුවැටිය සිතියම් ගත කළ අතීත සෝවියට් සංගමයේ විද්‍යාඥයන් තම රටේ ශ්‍රේෂ්ඨ දේශ ගවේෂකයා අෆානාසි නිකිටින් ට ගෞරවය දෙන්නට සිතා මෙම කඳු වැටියට ඔහුගේ නම යෝජනා කළේය. ඒ 1961 තරම් ඈතකය.
අතීත සෝවියට්වරුන් 1960 තරම් ඈතක මුහුද යට මේ කඳු වැටිය සොයා ගත්තත්, මේ කඳු වැටිය පිළිබඳව බොහෝ දෙනෙක් කසුකුසු ගාන්නට පටන් ගත්තේ පසුගිය 2024 ජනවාරියේ දී ඉන්දියාව මෙම මුහුද යට කඳු වැටිය ගවේෂණය කරන්නට ජාත්‍යන්තර මුහුදු පත්ල පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලීමත් සමඟය. එහිදී ඉන්දියාව මෙම කඳු පද්ධතිය පිහිටි මුහුදු පත්ල කලාපයේ වර්ග කිලෝමීටර් 3,000ක ප්‍රදේශයක් ගවේෂණය කිරීමට ඩොලර් 500,000ක අයදුම්පතක් ජාත්‍යන්තර මුහුදු පත්ල පිළිබඳ අධිකාරිය වෙත ඉදිරිපත් කළේය. කන්දේ කෝබෝල්ට් වටිනාකම හා සැසඳීමේදී මේ මුදල අංශුවක් ය.
මෙතුවක් කාලයක් සාගර පත්ලේ නිහඬව සිටි කන්දට එකවර පණ ආවේය. හේතුව මෙම කන්ද සතු ඩොලර් බිලියන ගණනක් වටිනා ඛනිජ සම්පතයි. මෙම කන්ද කෝබෝල්ට් බහුල ෆෙරෝමැංගනීස් ස්ථරවලින්ද, විද්‍යුත් වාහන බැටරි නිෂ්පාදනයට අත්‍යවශ්‍ය කෝබෝල්ට් සහ නිකල් වලින්ද පොහොසත් ය. ඊට අමතරව තඹ සහ මැංගනීස් ද ස්මාර්ට් ජංගම දුරකථන සහ අධි-තාක්ෂණික මෙවලම් සඳහා අත්‍යවශ්‍ය දුර්ලභ ඛනිජවලින්ද, මේ කඳු පන්තිය පොහොසත් ය. දැනට කෝබෝල්ට් ඒකාධිකාරය තිබෙන්නේ චීනය අතේය. ලෝක විදුලි වාහන වෙළෙඳපොළ මෙන්ම තම රටේ විදුලි වාහන වෙළෙඳපොළ ද ජය ගැනීමට නම් ඉන්දියාව කෝබෝල්ට් නිකල් වැනි රසායනිකයන් සොයා යා යුතුය. ඒ සඳහා ඔවුන්ට තරග කරන්නට සිදුවෙන්නේ චීනය සමඟය. අත ළඟ තමන්ගේම සාගර කලාපයේ මේ ධන නිධානය මතුවී තිබෙන විට එය තමන් සතු කරගත යුතු යැයි ඔවුන්ට සිතෙන්නේ ඒකය. ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය වීමට ඉන්දියාව යන ගමනට මේ ඛනිජ කන්ද බෙහෙවින් වැදගත් වන්නේ ඒ නිසා ය. අනෙක් පැත්තෙන් ලෝකයේ ඉක්මනින්ම දියුණු වෙන ප්‍රසාරණය වෙන වෙළෙඳපොළ තිබෙන්නේ ඉන්දියාවේය. ඉතිං ඉන්දියාවට තම භූ දේශපාලනික උපාය මාර්ගයන් සාර්ථක කරගන්නට මෙවැනි අවස්ථා මගහැර ගොස් බැරිය.
මේ සියලු දේවල් ගැන සිතමින් ඉන්දියාව අද වනවිට මුහුදු පත්ල ගවේෂණයන් ඉක්මන් කර ඇත. ඒ සඳහා නවීන තාක්ෂණය ද විද්‍යාත්මක දැනුමද ඔවුන් ඉතා ඉක්මනින් වර්ධනය කරමින් සිටියි. ගැඹුරු මුහුදේ කැණීම් සිදුකිරීම ලේසි නැත. එය අභ්‍යවකාශයටත් වඩා අමාරුය. එය අතිශය සංකීර්ණ සහ විශාල පිරිවැයක් දැරිය යුතු ක්‍රියාවලියක් ය. ඉන්දියාව මේ වනවිට චීනය හා තරගයක් දෙමින් ඩොලර් මිලියන 400කට වඩා වැඩි මුදලක් ආයෝජනය කරමින් සාගරයේ ගැඹුරට බැස අවසන් ය. සාගරයේ මීටර් 6,000ක් ගැඹුරට මිනිසුන් තිදෙනෙකු රැගෙන යා හැකි ‘මත්ස්‍ය 6000’ වැනි සබ්මර්සිබල් යානා ඉන්දියාව නිපදවමින් සිටින්නේ මෙවැනි ගවේෂණයන් සඳහා ය.
මුහුදේ මීටර් 6000ක් යටට කිමිදෙන්නට ඇහැකි මත්ස්‍ය 6000ට, මීටර් 1200ක් ගැඹුරෙන් ඉන්නා අෆානාසි නිකිටින් කජුකනවා වගේ ගවේෂණය කළ හැකිය. අනෙක් පැත්තෙන් ඔවුන් මුහුදු පත්ලේ ඇවිදිමින් ඛනිජ එක්රැස් කළ හැකි රොබෝ යන්ත්‍ර පවා මීටර් 5,270ක් ගැඹුරු මුහුදේ දී සාර්ථකව අත්හදා බලා ඇත. ඉන්දියාව සතුව අති නවීන පර්යේෂණ නෞකා සමූහයක් ඇත. එම නෞකාවන්ට මුහුදු පත්ල සිතියම්ගත කිරීමට සහ ඛනිජ සාම්පල ලබා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණය ඇත. ඉතිං ඉන්දියාව මේ කඳු පන්තිය ගවේෂණය වෙනුවෙන් අවසර ඉල්ලන්නේ මෙන්න මේ තත්ත්වය යටතේ ය. චීන පර්යේෂණ නෞකාවක් වන Shi Yan 6, 2023 සැප්තැම්බර් – ඔක්තෝම්බර් අතර කාලයේ මෙම සාගර කලාපයට පැමිණි අතර එම පර්යේෂණ කාර්යය අතරතුර මේ නැව ලංකාවට ද ආවේ ය. චීනය ශ්‍රී ලංකාව සමග එකතුව මෙම මුහුදු කලාපය ගවේෂණය කරන්නට උනන්දු බවද කියවෙයි. මෙම චීන-ශ්‍රී ලංකා සහයෝගීතාවය ද මෙම අවසර ඉල්ලීමට හේතුවක් වන්නට ඇත. ඉන්දියාවට, ඉන්දීය සාගර කලාපයේ සම්පත් තමන් සතු කරගැනීම සඳහා වැඩපිළිවෙලක් ඇත. එමෙන්ම මෙම සාගර කලාපයේ චීන නාවික ක්‍රියාකාරකම් පාලනය කිරීමට ද ඔවුන්ට අවශ්‍ය ය.
ඉතිං මේ සියලු තත්ත්වයන් සලකා පසුගිය 2024 ජනවාරියේදී ඉන්දියාව, ජාත්‍යන්තර මුහුදු පත්ල පිළිබඳ අධිකාරියෙන් මේ මුහුදු කන්ද ගවේෂණයට අවසර ඉල්ලූ විට ශ්‍රී ලංකාවේ එවක රජය වහාම මැදහත් වී ජාත්‍යන්තර මුහුදු පත්ල පිළිබඳ අධිකාරිය වෙත පැමිණිලි කරමින් ඉන්දීය ඉල්ලීමට සිය විරෝධය දැක්වුවේය. එහිදී ලංකාවේ මතය වී ඇත්තේ 2009 වසරේදී එක්සත් ජාතීන්ගේ මහාද්වීපික තල සීමා පිළිබඳ කොමිසම වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුව, මෙම මුහුදු කන්ද ශ්‍රී ලංකාවට අයත් දීර්ඝ කරන ලද මහාද්වීපික තල සීමාව තුළ පිහිටා ඇති බවය. ශ්‍රී ලංකාවේ මෙම විරෝධය හේතුවෙන් ඉන්දියාවේ අයදුම්පත තාවකාලිකව අත්හිටුවීමට ජාත්‍යන්තර මුහුදු පත්ල පිළිබඳ අධිකාරිය පියවර ගත් අතර, මේ නව තත්ත්වය නිසා ගවේෂණ අයිතිය සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික සහ නෛතික අවහිරතාවයක් ඉන්දියාව හමුවේ නිර්මාණය විය.
ශ්‍රී ලංකාවට හිමි නාවික සැතපුම් 200ක සුවිශේෂී ආර්ථික කලාපයෙන් ඔබ්බේ ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයක මෙම කන්ද පිහිටා තිබෙන නිසා මෙය ගවේෂණය කරන්නට සහ මෙහි ඛනිජ තමන් සතු කරගන්නට බාධාවක් නැතැයි ඉන්දියාව ප්‍රකාශ කරයි. ඉන්දියාවේ මතය එයයි. එහෙත් ලංකාව කියන්නේ තම රටේ මහාද්වීපික අවසාදිත තැන්පතු ස්තරය මෙම කලාපයට විහිදෙන බවය. ඒ අනුව UNCLOS 76 වැනි වගන්තිය යටතේ, සුවිශේෂි ආර්ථික කලාපයෙන් ඔබ්බට තවත් නාවික සැතපුම් 350ක් දක්වා වූ මුහුදු පත්ලේ සම්පත්වල අයිතිය තමන් සතු බව ද ඒ අනුව මෙම මුහුදු කන්ද එම සීමාව ඇතුළත බව ද ශ්‍රී ලංකාවේ තර්කයයි. ශ්‍රී ලංකාව මෙම අවසාදිත ස්ථරයන් මැන එම මුහුදේ අයිතිය ඉල්ලා 2009 දී එක්සත් ජාතීන්ගේ මහාද්වීපික තල සීමා පිළිබඳ කොමිසමට සිය හිමිකම ප්‍රකාශ කර ඇත. නමුත් ප්‍රශ්නය වන්නේ තවමත් එම කොමිසම එය නිල වශයෙන් පිළිගෙන නොමැති වීමයි. තත්ත්වය කෙසේවුණත් අන්තර්ජාතික නීතියට අනුව, ශ්‍රී ලංකාව විරෝධය දක්වා තිබෙන පසුබිමක, ඉන්දියාවට ගවේෂණය සඳහා අවසර ලබාදෙන්නට ජාත්‍යන්තර මුහුදු පත්ල පිළිබඳ අධිකාරියට හැකියාවක් නැත. ඒ අනුව දැනට පිටියේ වාසිය අපිට ය. ඉන්දියාව සතර අතින් රාජ්‍යතාන්ත්‍රිකව සිය මැදිහත්වීම සිදුකරමින් සිටියි.
ඒ අනුව දැන් ඉන්දියාව මෙම ප්‍රශ්නය ශ්‍රී ලංකාව සමඟ ද රාජ්‍යතාන්ත්‍රිකව බේරාගැනීමට උත්සාහ කරමින් තිබෙයි. ඉන්දියාවට ලංකාව වටා මුහුදේ තිබෙන ඛනිජ සම්පත පිළිබඳව මෙන්ම ලංකා භූමියේ තිබෙන ඛනිජ සම්පත් ද වැදගත් ය. ඔවුන් ඒවා තමන් සතු කරගන්නට නොයෙක් උපාය උපක්‍රම යොදයි. මෙහිදී ලංකාව සූක්ෂ්ම විය යුතුය. ඉන්දියාව සමඟ තිබෙන යහපත් රාජ්‍යතාන්ත්‍රික බැඳීම සුනු නොකරගෙන කටයුතු කරන ගමන් ලංකාව තමන්ගේ රටේ ඛනිජ සම්පත්වල ස්වෛරීත්වය පිළිබඳව ද සිතිය යුතුය. අනෙක් පැත්තෙන් ලෝකයේ තෙවෙනි විශාලතම ආර්ථිකය බවට පත්වීමට යන ඉන්දියාවේ අතේ එල්ලී ඔවුන්ගේ පහනෙන් එළිය බැලීමට අපට තිබෙන හොඳ අවස්ථාවක් ය මෙය.
‘බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ’ කියන ක්‍රමය පසෙක ලා, අපිත් ගොඩයන ගමන් ඉන්දියාවටත් ගොඩයන්නට අවස්ථාවක් සලසා දීම හොඳය. මෙහිදී ශ්‍රී ලංකාව තමන් සතු සුවිශේෂී නෛතික හිමිකම භාවිතයට ගෙන ඉන්දියාව සතු තාක්ෂණය සමඟ එකට එක්වී මෙම ඛනිජ කන්ද ගවේෂණයට පියවර ගත යුතුය. මෙවැනි ගැඹුරු සාගර කලාපයක කැණීම් ව්‍යාපෘතියක් දියත් කිරීමට ඩොලර් බිලියන ගණනක ප්‍රාග්ධනයක් අවශ්‍යය. ලංකාවට එවැනි පිරිවැයක් දැරිය හැකි තත්ත්වයක් තවමත් නැත. එය ඉදිරි දශක පහක කාලයේ හෝ ඒ යැයි සිතිය නොහැකිය. එවැනි තත්ත්වයක් යටතේ ඉන්දියාව සමඟ එක්වී මෙම කන්ද කැණීම් සිදුකිරීම ප්‍රාග්ධන ගැටලුවට විසඳුමක් ය.
අනෙක් පැත්තෙන් අපි ඉන්දියාව සමඟ මෙවැනි ව්‍යාපෘතියකට එකතුවෙනවා කියන්නේ ඒ හරහා අපගේ සාගර විද්‍යාඥයින්ට, කැණීම් ඉංජිනේරුවන්ට ලොව දියුණුම ගැඹුරු මුහුදු තාක්ෂණය හැදෑරීමට සහ එම මෙහෙයුම්වලට සෘජුවම සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනවා යන්නය. එය ලංකාවේ මේ අංශයේ තාක්ෂණික දියුණුවට සහ දැනුමේ වර්ධනයට වැදගත් ය. කවදා හෝ තනියෙන් කරන්නට එය හොඳ පෙරහුරුවක් ය. අනෙක් පැත්තෙන් මෙසේ සහයෝගයෙන් ඉන්දියාව සමඟ මෙම ඛනිජ කන්ද බෙදාගන්නට තීරණය කිරීම තුළ අනවශ්‍ය ඉන්දු-චීන බල අරගලයක ගොදුරක් වීමට තිබෙන ඉඩකඩ සීමිත වෙනවා ඇත.
යම් කිසි විදිහකට ද්විපාර්ශ්වික ගිවිසුමක් හරහා දෙරට සහයෝගයෙන් මෙම විශාල ධන නිධානය කැණීම් කරන්නට පටන්ගතහොත් එයින් ලබාගන්නා ඛනිජ පිරිපහදු කිරීම, ගබඩා කිරීම, වැනි දේවල් අපිට ත්‍රිකුණාමලය වැනි වරායක් හරහා සිදුකළ හැකිය. එය රටට විශාල විදේශ විනිමයක් රැගෙන එනු ඇත. දේශීයවත් විශාල රැකියා අවස්ථා ජනනය කරනු ඇතිය. අනෙක් පැත්තෙන් කෙසේ හෝ අපිට ඉන්දියාවේ ආර්ථික උපාය මාර්ග සමඟ මෙලෙස පෑහෙන්නට පුළුවන් විණි නම් ඒ හරහා ඉන්දියාවේ බැටරි නිෂ්පාදන සැපයුම් දාමයට ශ්‍රී ලංකාව හවුල්කරුවෙකු වෙනු ඇත. ඒ අනුව අප රටට ද අනාගතයේදී විද්‍යුත් වාහන බැටරි මෙරටදීම එකලස් කිරීමේ කර්මාන්ත ශාලා ආරම්භ කළ හැකිය.
මේ සියල්ල අපිට වාසි සහගත වන්නට නම් අපිට මෙම සාගර කලාපයට තිබෙන නෛතික හිමිකම තවදුරටත් පවත්වා ගත යුතුය. ඒ සඳහා ඉන්දීය ගවේෂණ ඉල්ලීමට දිගටම විරෝධය දක්වන ගමන් ඉන්දියාව සමඟ සමුද්‍රීය සම්පත් කළමනාකරණ කලාපයක් ඇති කර ගැනීම පිළිබඳව කතා කළ යුතුය. රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත්වී ඒ සඳහා ද්විපාර්ශ්වික ගිවිසුමකට යෑමට උපාය උපක්‍රම තේරිය යුතුය. ඩොලර් බිලියන ගණනක කෝබෝල්ට් තැන්පතුව ඉන්දියාව සමඟ එකතුව හරියට කළමනාකරණය කරගතහොත් අපට මේ තිබෙන ණය ගැටලුවෙන්ද ඉක්මනින්ම අත්මිදෙන්නට පුළුවන් වෙනු ඇත..! ඊට රාජ්‍යතාන්ත්‍රික නුවණ අවශ්‍යය..!
කේ. සංජීව





