ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ පුරවැසිභාවය ලබාගෙන ඇති බවට මට විශ්වාසදායක ආරංචි මාර්ගය පහුගිය දවසක කිව්වා. කොහොම වුණත් ඒකේ ඇත්ත නැත්ත තහවුරු කරගන්න විදිහක් නෑ. ඉතිං දැන් සාකච්ඡාව බැසිල් ලංකාවට එයිද නැද්ද පොලීසිය ඇමරිකා ගිහිං කුදලගෙන එයිද කියන එක. එහෙමත් නැත්තං ඇමරිකාව බැසිල්ව පිටුවහල් කරන්නත් සූදානම් වෙනවා කියලා වාර්තා වෙනවා. මේ සියලු දේවල් තහවුරු කරපු වාර්තා නම් නෙවෙයි.
අපි මොහොතකට හිතමු බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකානු පුරවැසියෙක් කියලා, එහෙනම් ඔහුව ලංකාවට ගේන්න බැරිද? ඇමෙරිකානු පුරවැසියෙක්ව වෙනත් රටකට නඩු කටයුත්තකට භාර දෙන්න ඇමෙරිකාවට පුළුවන්ද? ඊළඟට ඉන්ටර්පෝල් නිල් නිවේදනයක් නිකුත් කළ පමණින් බැසිල්ව අත්අඩංගුවට ගන්න පුළුවන්ද? අද අපි හොයන්නේ ඒ කතාව.
බැසිල්ට ලංකාවේ තියෙන නඩු මොනවාද?
බැසිල් රාජපක්ෂ කියලා කියන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටිය ප්‍රබලම අමාත්‍යවරයා. ඉතිං ඒ කාලේ සිද්ධවුණා කියන ගොඩක් වංචා දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් බැසිල්ගේ නම කියවෙනවා. බැසිල් කියපු ගමන් අපිට මුලින්ම මතක් වෙන්නේ මල්වානේ නිවස. ඒත් මේ වෙනකොට බැසිල් ගැන පුවත් මවන්නේ වෙන සිද්ධියක්. ඒ තමයි මාතර බ්‍රවුන්ස් හිල් ඉඩම් නඩුව. මාතර එළියකන්ද පාරේ බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ අක්කර එකහමාරක පමණ ඉඩමක් රුපියල් මිලියන 60කට මිලදී ගැනීම සම්බන්ධයෙන් තමයි මේ නඩුව විභාග වෙන්නේ.
චෝදනාව තමයි නීතිවිරෝධී ලෙස උපයාගත් බවට සැකකරන කළු සල්ලි භාවිත කරලා මේ දේපළ ලබාගත්තා කියන එක. මේවා තවමත් තිබෙන්නේ චෝදනා මට්ටමේ ඒකත් අපි කියන්න ඕනෑ. බැසිල් රාජපක්ෂ මෙම චෝදනාවලට වරදකරු බව අධිකරණයකින් අවසන් වශයෙන් තවමත් තීරණය කරලා නැහැ. ඉතිං 2026 මැයි 22 නඩු දවසේ බැසිල් රාජපක්ෂ අධිකරණයට නොපැමිණීම හේතුවෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කළා. ඔහුගේ නීතිඥයන් අධිකරණයට ප්‍රකාශ කර තිබුණේ බැසිල් විදේශගතව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිනවා කියලා. ඊට පස්සේ මේ නඩුව ආයෙත් ජූලි 21 වැනිදා කැඳවූ අවස්ථාවේත් ඔහු අධිකරණයට නොපැමිණීම නිසා වරෙන්තුව නැවත නිකුත් කෙරුණා.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් සම්බන්ධ කාරණයක් ගැන බැසිල්ට විරුද්ධව තවත් නඩුකරයක් මේ වනවිට සක්‍රීයයි. 2014 වසරේ රුපියල් මිලියන 7.8ක මුදලක් යොදාගෙන ටී ෂර්ට් 12,000ක් මිලදීගෙන ඌව පළාත් සභා මැතිවරණ කාලයේ දේශපාලන ප්රචාරක කටයුතු වෙනුවෙන් භාවිතා කළා කියන එක තමයි මෙතන තිබෙන චෝදනාව. මේ සිද්ධිය සම්බන්ධයෙන් ද අධිකරණය නියෝග කරලා තිබෙනවා බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්න කියලා.
ඉන්ටර්පෝල් කතාව
දැන් අපිට ඉන්ටර්පෝල් කතාවට එන්න පුළුවන්. මෙහෙම දිගින් දිගටම වරෙන්තු වෙලා ඉන්න බැසිල් රාජපක්ෂ මේ වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේ තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. අර්ජුන් මහේන්ද්‍රන් වගේ වෙස්වළාගෙන ඉන්නවා කියලා නම් තවමත් අපේ පොලීසිය භාර ඇමතිතුමාට තොරතුරක් නෑ මං හිතේ. කොහොම වුණත් විදේශයක සිටිනවා නම් ලංකාවේ අධිකරණයකින් වරෙන්තුවක් නිකුත් කර තිබීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ විදේශ රටක පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්න.
එතැනදී තමයි ඉන්ටර්පෝල් වැදගත් වෙන්නේ. ඉන්ටර්පෝල් කියලා කියන්නේ ජාත්‍යන්තර පොලිස් සහයෝගීතා යාන්ත්‍රණයක්. දැන් බැසිල් සම්බන්ධයෙන් බ්ලූ නෝටිස් එකක් එහෙමත් නැත්නම් නිල් නිවේදනයක් නිකුත් වුණා කියලා වාර්තා වෙනවා. මේ ගැන හරියටම දැනගන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඇමතුවත් ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූවේ නෑ. සමහර වාර්තා අනුව ඉන්ටර්පෝල් නිල් නිවේදනය නිකුත් කර අවසන්. තවත් වාර්තාවක් කියනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එය ඉල්ලා තිබෙනවා කියලා. ඒ අනුව ඉන්ටර්පෝල් ආයතනය ශ්‍රී ලංකාවෙන් තවත් තොරතුරු ඉල්ලා තිබෙනවා කියලා වාර්තා වෙනවා.
බ්ලූ නෝටිස් කියන්නේ මොකක්ද?
ඇත්තටම නිල් නිවේදනයක් කියන්නේ කෙනෙක්ව අත්අඩංගුවට ගන්න නිකුත් කරන ජාත්‍යන්තර වරෙන්තුවක් නෙවෙයි. එහි ප්‍රධාන අරමුණ අපරාධ විමර්ශනයකට සම්බන්ධ පුද්ගලයෙකුගේ අනන්‍යතාව, සිටින ස්ථානය හෝ ක්‍රියාකාරකම් පිළිබඳව අමතර තොරතුරු ලබාගැනීම. ඒ නිසා, බැසිල්ට බ්ලූ නෝටිස් එක ආවා. දැන් ඇමෙරිකාවෙන් බැසිල්ව අල්ලලා ලංකාවට එවනවා කියලා නම් අපිට කියන්න බෑ. ඒකට කිසිදු නීතිමය පදනමක් ඇත්තෙත් නෑ.
බ්ලූ නෝටිස් එකට වඩා රෙඩ් නෝටිස් එක වෙනස් වෙන්නේ කොහොමද? රතු නිවේදනයක අරමුණ තමයි පුද්ගලයෙකු සොයාගෙන, උදර්පණ ක්‍රියාවලියක් හෝ ඒ හා සමාන නීතිමය ක්‍රියාවලියක් බලාපොරොත්තුවෙන් තාවකාලිකව අත්අඩංගුවට ගැනීම සඳහා ලෝකයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් ඉල්ලීමක් කිරීම. හැබැයි රෙඩ් නෝටිස් එකක් වුණත් ජාත්‍යන්තර අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නෙවෙයි. ඒක ඇත්තටම තීරණය වෙන්නේ ඒ රටට අදාළ නීතියට අනුව.
දැන් කතාවේ වැදගත්ම කොටසට එන්න පුළුවන්. බැසිල් ඇමෙරිකානු පුරවැසියෙක් නම් මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් මිනිස්සු හිතන්න පුළුවන්, ඇමෙරිකානු පුරවැසියෙක් නම් ඇමෙරිකාව ඔහුව ලංකාවට දෙන්නේ නැහැ කියලා. ඒත් ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන උදර්පණ ගිවිසුම කියවද්දී තත්ත්වය එහෙමම නෙවෙයි කියලා තේරෙනවා.
ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර එක්ස්ට්රඩිෂන් ට්‍රීටි එහෙම නැත්නම් අපරාධ චෝදනාවකට අවශ්‍ය පුද්ගලයෙකු එක් රටකින් අනෙක් රටට නීත්‍යනුකූලව භාරදීම සම්බන්ධ ගිවිසුමක් තියෙනවා. මේ ගිවිසුම 1999 සැප්තැම්බර් 30 වැනිදා වොෂින්ටන් නුවරදී අත්සන් කරපු එකක්. දෙරට එය 2000 වසරේ අනුමත කළා. 2001 ජනවාරි 12 වැනිදා ඉඳලා ගිවිසුම ක්‍රියාත්මකයි.
මෙහි තිබෙන බැසිල් සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් වගන්තිය තමයි ආටිකල් ත්‍රී. එහි මාතෘකාව තමයි ‘නැෂනැලිටි’. එහි අදහස ඉතා පැහැදිලියි. උදර්පණය ඉල්ලා සිටින පුද්ගලයා, එම ඉල්ලීම ලැබෙන රටේ පුරවැසියෙක් කියන හේතුව මත පමණක් උදර්පණය ප්‍රතික්ෂේප කරන්න බැහැ. මේක තමයි කතාවේ ඉතාම වැදගත් නීතිමය කරුණ. ඒ කියන්නේ මොකක්ද? අපට ලැබී තිබෙන තොරතුර සත්‍යයි කියලා හිතමු. බැසිල් රාජපක්ෂ දැන් පූර්ණ ඇමෙරිකානු පුරවැසියෙක්. එහෙම වුණත්, ඔහු අපේ ඇමෙරිකානු පුරවැසියෙක්, ඒ නිසා ශ්‍රී ලංකාවට දෙන්න බැහැ කියන හේතුව පමණක් යොදාගෙන උදර්පණ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම මේ ගිවිසුම අනුව කළ නොහැකියි. එහෙම නම් ඇමෙරිකානු පුරවැසිභාවය ලබාගත්තත් ඒක බැසිල්ට ආරක්ෂක පවුරක් වෙන්නේ නෑ.
එහෙම වුණා කියලත් හැබැයි එයින් බැසිල්ව හෙට ලංකාවට ගේන්න පුළුවන් කියන එකක් කියවෙන්නේ නෑ. මෙන්න මෙතැනදි තමයි දෙවැනි වැදගත් කාරණය මතුවෙන්නේ. පුරවැසිභාවය උදර්පණයට බාධාවක් නොවුණත් ශ්‍රී ලංකාවට නීතිමය පරීක්ෂණ ගණනාවක් පසු කරන්න වෙනවා. ඇමෙරිකාවට විධිමත් එක්ස්ට්රඩිෂන් රික්වෙස්ට් එකක් එහෙම නැත්නම් උදර්පණ ඉල්ලීමක් ඉදිරිපත් කරන්න වෙනවා. අදාළ අධිකරණ වරෙන්තු, චෝදනා, සිද්ධියට අදාළ සාක්ෂි, සහ අවශ්‍ය නීතිමය ලේඛන ඉදිරිපත් කරන්න වෙනවා.
මෙතැනදී තවත් වැදගත් නීතිමය සංකල්පයක් තියෙනවා. ඒකට අපි කියන්නේ ඩුවල් ක්රිමිනැලිටි කියලා. සරල සිංහලෙන් කිව්වොත්, ශ්‍රී ලංකාව කියන ක්‍රියාව හෝ අපරාධය ශ්‍රී ලංකාවේ පමණක් අපරාධයක් වීම ප්‍රමාණවත් නැහැ. ඒ හැසිරීම ඇමෙරිකානු නීතිය යටතේත් අපරාධමය හැසිරීමක් විය යුතුයි. අපරාධයට දෙරටේ දෙන නම එකම වෙන්න ඕනෑ නැහැ. වැදගත් වෙන්නේ චෝදනාවට පදනම් වූ සැබෑ ක්‍රියාව දෙරටේම අපරාධමය ස්වභාවයක් ගන්නවාද කියන එක.
ඊළඟ වැදගත් වචනය තමයි ප්රොබබල් කෝස් කියන එක. ඇමෙරිකානු උදර්පණ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව චෝදනාවක් කළා කියන එක පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ චෝදනාවට සාධාරණ සාක්ෂිමය පදනමක් තියෙනවාද කියලා ඇමෙරිකානු අධිකරණ ක්‍රියාවලිය තුළ සලකා බැලිය හැකියි. ඒ නිසා බැසිල්ට ලංකාවේ වරෙන්තුවක් තියෙනවා කියන එක සහ බැසිල්ව ඇමෙරිකාවෙන් ලංකාවට භාරදීම කියන්නේ නීතිමය වශයෙන් වෙනස් පියවර දෙකක්. ශ්‍රී ලංකාව නිසි උදර්පණ ඉල්ලීමක් ඉදිරිපත් කළා කියලා හිතමු. එය රාජ්‍යතාන්ත්‍රික මාර්ගයෙන් ඇමෙරිකානු ‘ඩිපාර්ට්මන්ට් ඔෆ් ස්ටේට්’ වෙත යනවා. ඇමෙරිකානු බලධාරීන් ගිවිසුම ක්‍රියාත්මකද, අදාළ වරද උදර්පණයට යටත් වරදක්ද, ලේඛන නිසි ලෙස ඉදිරිපත් කර තිබෙනවාද කියලා සලකා බලනවා. ඉන්පසුව අදාළ නීතිමය අවශ්‍යතා සපුරාලනවා නම් ඇමෙරිකානු අධිකරණයක් ඉදිරියේ අධිකරණ ක්‍රියාවලියක් ඇතිවිය හැකියි.
එහිදී විනිසුරුවරයා සාක්ෂි සහ ගිවිසුමේ අවශ්‍යතා සලකා බලනවා ඇති. උදර්පණය සඳහා නීතිමය පදනම ප්‍රමාණවත් බව තීරණය කළොත් ඒ බව සහතික කර ‘සෙක්‍රටරි ඔෆ් ස්ටේට්’ වෙත යොමු කරනවා. ඒ කියන්නේ, ශ්‍රී ලංකාව ඉල්ලීම කරනවා. ඇමෙරිකානු රජය එය පරීක්ෂා කරනවා. අධිකරණ ක්‍රියාවලියක් ඇතිවිය හැකියි. අධිකරණයෙන් උදර්පණයට අදාළ නීතිමය සුදුසුකම සනාථ වුණොත් අවසාන භාරදීමේ ක්‍රියාවලියේදී ඇමෙරිකානු විධායක අංශයටත් භූමිකාවක් තියෙනවා.
ඩිපෝටේෂන් සහ එක්ස්ට්රඩිෂන් දෙක එකක් නෙවෙයි. මෙතැන තවත් වැදගත් වෙනසක් තියෙනවා. ඩිපෝටේෂන් එහෙම නැත්නම් රටකින් පිටුවහල් කිරීම, සාමාන්‍යයෙන් ආගමන නීතිය සම්බන්ධ ක්‍රියාවලියක්. එක්ස්ට්රඩිෂන් එහෙම නැත්නම් උදර්පණය, අපරාධ නඩුවක් හෝ දඬුවමක් සඳහා පුද්ගලයෙකු වෙනත් රටකට භාරදීමේ නීතිමය ක්‍රියාවලිය. බැසිල් ඇත්තටම ඇමෙරිකානු පුරවැසියෙක් නම් අපි මෙතැන ප්‍රධාන වශයෙන් කතා කරන්නේ සාමාන්‍ය ඩිපෝටේෂන් එකක් ගැන නෙවෙයි. එක්ස්ට්රඩිෂන් ගැන. එහෙනම් බැසිල්ගේ ඇමෙරිකානු පුරවැසිභාවය වැදගත් නැද්ද? වැදගත්. නමුත් එය උදර්පණයට සම්පූර්ණ නීතිමය ආරක්ෂාවක් ලබාදෙනවා කියන්න බැහැ.
ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමේ තුන්වැනි වගන්තිය නිසා පුරවැසිභාවය පමණක් පදනම් කරගෙන ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නොහැකියි. ඒ නිසා අපට ලැබුණු තොරතුර සත්‍ය නම් කතාවේ වැදගත්ම ප්රශ්නය, බැසිල් ඇමෙරිකානු පුරවැසියෙක් නිසා ලංකාවට ගේන්න බැරිද? කියන එක නෙවෙයි. ඇත්ත ප්රශ්නය තමයි බැසිල්ව උදර්පණය කරවා ගැනීමට අවශ්‍ය තරම් ශක්තිමත් නීතිමය සහ සාක්ෂිමය ගොනුවක් ශ්‍රී ලංකා රජය ඇමෙරිකාවට ඉදිරිපත් කරලා තියෙනවාද කියන එකයි.
එහෙම නම් ඇයි බ්ලූ නෝටිස් එකක් ගන්නේ, ඇයි රෙඩ් නෝටිස් එකක් නොගන්නේ, ශ්‍රී ලංකා බලධාරීන් බැසිල් සිටින රට සහ ඔහුගේ ලිපිනය දන්නවා නම්, ශ්‍රී ලංකාවේ අධිකරණවලින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුත් තියෙනවා නම්, ඉදිරි පියවර මොකක්ද? විධිමත් උදර්පණ ඉල්ලීමක් ඇමෙරිකාවට දැනටමත් යවලා තියෙනවාද? නැත්නම් තවම ඒ සඳහා අවශ්‍ය සාක්ෂි සහ ලේඛන සකස් කරමින්ද ඉන්නේ? ඉන්ටර්පෝල් නිල් නිවේදනයෙන් පසුව රතු නිවේදනයක් ඉල්ලනවාද? මේ ප්‍රශ්නවලට ආණ්ඩුවෙන් පැහැදිලි පිළිතුරු අවශ්‍යයි. මේ කතාවේ මේ මොහොතේ තහවුරු කළ හැකි නීතිමය කරුණ ඉතා පැහැදිලියි. ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර උදර්පණ ගිවිසුමක් තියෙනවා. එය 2001 සිට ක්‍රියාත්මකයි. එහි තුන්වැනි වගන්තිය අනුව, උදර්පණය ඉල්ලා සිටින පුද්ගලයා ඉල්ලීම ලබන රටේ පුරවැසියෙක් කියන හේතුව මත පමණක් උදර්පණය ප්‍රතික්ෂේප කරන්න බැහැ. බැසිල් ලංකාවට ගෙන එනවාද කියන එකට අවසාන උත්තරය තියෙන්නේ, ශ්‍රී ලංකාව ඉදිරිපත් කරන චෝදනා, සාක්ෂි, දෙරටේ නීතිය, උදර්පණ ගිවිසුමේ කොන්දේසි, ඇමෙරිකානු අධිකරණ ක්‍රියාවලිය සහ අවසානයේ ඇමෙරිකානු විධායක ක්‍රියාවලිය මත. ඉතිං අපි බලමු බැසිල් කුදලන් එයිද කියලා..!





