[gtranslate]

වැලිඔය ළමා විවාහ නම් ඛේදවාචකය…!

child marriage srilanka knews

පසුගිය කාලයේ මුස්ලිම් ළමා විවාහ නීතිය වෙනස් විය යුතුයැයි සමාජය මත බරපතළ සාකච්ඡාවක් ජනිත විය. එහිදී සිංහල සමාජයට මුසල්මානු සමාජය පෙනුණේ තවමත් පරිණාමය වී නැති ගෝත්‍රිකයන් රංචුවක් ලෙසය.

මුස්ලිම් ගැහැනු දරුවන් මත ක්‍රියාත්මක එම වහල් නීතිය වෙනස් විය යුතුය. එහි කතා දෙකක් නැත. දැන් සිංහලයන් ලෙස අපි මෙසේ ඇසිය යුතුය. අපේ සිංහල සමාජය තුළ ළමා විවාහ සංස්කෘතියක් නැතිද?..

පිළිතුර සමහර සිංහල ප්‍රදේශ තුළ මුස්ලිම් සමාජයටත් වඩා ළමා විවාහ සංස්කෘතියක් ක්‍රියාත්මක බවය. මේ තිත්ත ඇත්තකි. විශේෂයෙන් මහවැලි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක ප්‍රදේශයන් තුළ ළමා විවාහ දුර්ලභ නැත. සුලභය.

වැලිඔයට යමු

ගිනිගහන කෂ්ටකයක අපි මුලතිව් දිස්ත්‍රික්කයේ පහළ කොණේ සම්පත් නුවරට සේන්දු වීමු. වැව් බොහෝ ඇති එහෙත් ඒවායින් වතුර කුඹුරුවලට මුදාහරින්නට ඇළ වේලි නැති මේ බිමේ මිනිසුන්ට වගාවට තිබෙන්නේ එක කන්නයකි. ඒ මාස් කන්නයයි.

මුලතිව් වැලිඔය කලාපය සුවිශේෂ බිම් කඩකි. ඒ මේ සිංහල ගම් පොකුර පාරම්පරික දෙමළ නිජබිමක් මත ඉදි කළ බැවින් ය. ඒ දෙමළ ජනයා පළවා හරිමින් සිංහලයා උතුරට ව්‍යාප්ත කිරීමේ ජෙනරාල් ජානකගේ, ගාමිණි දිසානායකගේ උත්සාහයන්ගේ ප්‍රතිඵල ලෙසය.

එහෙත් මුලතිව් අනුරාධපුර මායිම් රේඛාවේ පදවිය, පරාක්‍රමපුර සිංහල ජනාවාසකරණය 1956 තරම් ඈත කාලයකට දුරය. මුලින්ම අප අතීතයේ කෙන්ට් ෆාම්, ඩොලර් ෆාම් ලෙස හඳුනාගන්නා දැන් ජානක පෙරේරා මහතාගේ බිරිඳගේ නමින් හඳුන්වන කල්‍යාණපුරයට ගියෙමු.

“අපි මෙහෙට ආවේ 1956. ඒ අපේ අප්පච්චිලා එක්ක පරාක්‍රමපුරයට. එතකොට මේවායේ හිටියේ දෙමළ මිනිස්සු. පස්සේ ජේ ආර් මහත්තයාගේ කාලේ ඒ දෙමළ ගම්මාන සීමාවේ දරුණු හිරකාරයෝ ගෙනත් පදිංචි කළා. පස්සේ ඒ මිනිස්සුන්ට ආපු හිරිහැර එක්ක ඒ මිනිස්සු මේ ගම් අතහැරලා ගියා.”

මේ වැලිඔය කලාපයේ සිංහල ජනාවාසකරණයේ ඉතිහාසයයි. ඊට පසු පැමිණි සියලු පාලකයින් තමන්ගේ කාලවලදී අඩුවැඩි වශයෙන් මේ බිමේ සිංහල ගම් ඉදි කළෝය. එහෙත් එලෙස පදිංචිකරන සිංහල දුප්පතුන්ට දෙකන්නයට කුඹුරු කරන්න වතුර දෙන්නවත් වැඩපිළිවෙළක් හෝ පාලකයින්ට තිබී නැත. ඒ නිසාම අද මෙහි ජනීජනයා අඟහිඟකම් බොහෝමයකින් දුක්විඳින මිනිසුන් කොට්ඨාසයකි.

මුලතිව් දිස්ත්‍රික්කයේ අප මේ කතාකරන වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ජනගහනය 11,640කි. ඒ 2016 යේ සංගණනයට අදාළවය. මේ වන විට අවුරුදු 10ක් ඉක්මවා ගොස් ඇත. එනිසා ජනගහනය මීට වඩා වැඩි මිස අඩු නැත.

ජනකපුර, කිරිඉබ්බන් වැව, ඇහැටුගස් වැව, නව ගජබාපුර, කල්‍යාණපුර, නිකවැව වම, නිකවැව දකුණ, ඇතාවැටුණ වැව, මොණරවැව ආදී ග්‍රාමසේවක වසම් 9කින් පොහොසත් මේ කලාපය තුළ වකුගඩු රෝගීන්ද බහුලය. ගණනින් වාර්ෂිකව මියයන රෝගීන් ප්‍රමාණය 40කට වැඩිය.

දුප්පත්කමේ පතුලේම ගිලී සිටින මේ මිනිසුන් අතරට වකුගඩු මාරයාද පැමිණි විට තත්ත්වය කෙබඳුදැයි ඔබට සිතාගැනීමට අසීරු නැත. ගොවිතැනද එක කන්නයකටය. ගොඩ ගොවිතැනද වතුර නැති නිසා සරු නැත.

සාමාන්‍යයෙන් මෙහි පවුලකට මහවැලියෙන් ලබාදී තිබෙන මඩ ඉඩමක දිග පළල අක්කරයක් පමණ වන විට ඒ අක්කරයට යැපෙන්නෝ දහයක් දොළහක් සිටින විට මේ මිනිසුන්ගේ ජීවිතය ගැන කියන්නේ කුමක්ද?…

සංස්කෘතික දුප්පත්කම

ඉහත ප්‍රකාශිත සමාජ වටපිටාව මත හුස්ම ගන්නා මේ මිනිස් ජීවිතවලට සංස්කෘතික ජිවිතයක් නැති තරම්ය. ප්‍රදේශයේ පාසල්වල ගුරු හිඟය අහස උසටය. මේ පාසල්වල විද්‍යා ගණිත සෞන්දර්ය ඉංග්‍රීසි ගුරුවරුන් දුලබය.

ඒ නිසාම මෙහි ළමුන්ට ඒවා හොඳ නැත. පාසල්වල සිටින ගුරුවරුන්ද බොහෝමයක් සිවිල් ආරක්ෂක සේවයේ සිට පැමිණි උදවියය. උපාධිධාරියෝ මෙන්ම පිටකාරයෝ ද මේ පාසල්වල නියමිත ප්‍රමාණයට නැත. ආවත් අවුරුද්දෙන් දෙකෙන් ඔවුන් මේ ශුෂ්ක කතර හැරයති.

පාසල් තුළ පුස්තකාල පහසුකම් නැත. මෙහි ළමුන් කියවීම කියා දෙයක් දන්නේ නැත. ඔවුන් දන්නේ හවසට ටෙලිවිෂනය ඉදිරියේ හිඳ ලාභ ටෙලි දකින්න පමණි. නැතිනම් එෆ්එම් කඩිචෝරු කතා රසට අසන්නට පමණි.

බොහෝ ගෙවල පවුල් පවුල් ඉන්නේ එකටම රංචු රංචු ය. ඒ මහවැලිය නිසි ක්‍රමයකට අනුපවුල්වලට ඉඩම් ලබාදෙන්නේ නැති නිසාය. මහවැලි නිලධාරියෝ ද බලධාරියෝ ද ඉඩම් පිරිනමන්නේ ඒ අදාළ පවුලෙන් තමන්ට කිසියම් හෝ දෙයක් ලැබෙනවා නම් පමණි. එනිසා යම් බලයක් සහිත මිනිසෙකුට හැර දුප්පතෙකුට මේ කලාපයෙන් ඉඩමක් ලබාගැනීම හරිම දුෂ්කරය.

මෙවැනි වටපිටාවක දුප්පත්කමේ සියලු ප්‍රභේදයකින්ම මේ මිනිසුන් දුක්විඳිති. එහි ප්‍රතිඵල මේ මිනිසුන්ගේ ජීවිත මේ වන විට අරගෙන ගොස් ඇත්තේ මහා ඛේදවාචකයක් දෙසටය. මේ නිසා අද මෙහි ගැහැනුන් සල්ලි සොයා අරාබියට යන්නට පොරකති. එනිසාම ඔවුන්ගේ දූදරුවන්ට උරුමවී තිබෙන්නේ දුකමය.

මේ නිසා විශේෂයෙන් ගැහැනු දරුවන් අනාරක්ෂිත තත්ත්වයට පත්වී ඇත. ඔවුන් තම පවුල්වල පිරිමින්ගේ අතවරවලට ලක්වීමේ ප්‍රවණතාවය වැඩිවී ඇත.

වැලිඔය කලාපයට අදාළ අධිකරණයේ විභාග වන නඩුවලින් බොහෝ ප්‍රතිශතයක් ළමයින්ට සිදුවෙන හිරිහැර අතවර නිසා ගොනුවී ඇති නඩුය. අනෙක් පැත්තෙන් අවුරුදු 40ට වැඩි පිරිමින් වකුගඩු මාරයාට ගොදුරුවීම නිසා බිරින්දෑවරුන් වැටී සිටින්නේ සෑහෙන්න අසරණ අඩියකටය. එනිසාම අද ඔවුන් ලිංගික ශ්‍රමිකයන්ගේ තත්ත්වයට ද පත්වී ඇතැයි නොයෙක් තැන්වලින් අපිට අසන්නට ලැබේ.

සුධර්මාගේ කතාව

“මට දැන් වයස 35ක් වෙනවා. මම 16න් තමයි බැන්දේ. මට දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ මහත්තයා මට වැඩිය අවුරුදු 10ක් වයසින් වැඩියි. එයා අපේ ගෙදරට ආවේ ලොරිය එළවන්න. මට ලොකු ආසාවක් තිබුණා වාහන එළවන්න. ඉතිං එයා මට පුරුදු කළා. අන්තිමට අපි ගැන ගමේ කතාවක් හැදුණා. අයියා මට නිතරම මේ හින්දා ගැහුවා. මෙහෙම යනකොට එයා මට එයත් එක්ක යන්න කතා කළා. මම ගියා. කසාදේ කියන දේ තේරුමවත් මම ඒ කාලේ දන්නේ නැහැ. මගේ ගෙදර මිනිස්සුන්ගේ කරදරේ නිසා තමයි මම පැනලා ගියේ. අන්තිමට 17 වෙනකොට මම අම්මා කෙනෙක් වුණා. දුක විතරයි අන්තිමට ඉතුරු වුණේ. එයත් වෙනස් වුණා. එන්න එන්නම බේබද්දෙක් වුණා. ගෙදර බඩු පොඩිකරන්න පටන්ගත්තා. එයාට මාව සැකයි. අන්තිමට මමයි මගේ ළමයි දෙන්නයි අපි අපේ අම්මලාගේ ගෙදර ගියා. දැන් දීගයක් නැහැ. මම මගේ ත්‍රීවීල් එක හයර් කරලා තමයි දරුවන්ට උගන්වන්නේ. උදේ 3ට බේකරියෙන් පාන් අදින ඕඩරයක් තියෙනවා. කිලෝමීටර් 20ක් විතර දුර දුවන්න ඕනි. උදේට අලි ඉන්නවා පාරේ. ඒත් මම දැන් සෑහෙන්න කාලෙක ඉඳලා මේක කරනවා. කාලයක් ස්කූල් හයර් එකකුත් කළා. ඒකෙන් මම හොඳටම නට්ටං වුණා. දැන් ආයෙත් හොඳ තත්ත්වෙක ඉන්නවා. දැන් නම් හිතෙන්නේ හෙට මැරුණත් හොඳයි කියලා.”

සුධර්මා මට මුණගැසුණේ අහම්බෙනි. ඒ වැලිඔයට වැටුණු බස් එකේදීය. ඈ තමන්ගේ කතාව මුල මැද අග ගළපා මට කීවාය. ඒ කතාව මා සොයායන කතා ගොන්නට හොඳ ඇරඹුමක් ලබාදුන්නේය. ඊට පසු අපි වැලිඔය සීමාවේ හතරවරන් ගැසුවෙමු. නෙක කතා ඇහින්දෙමු.

ඒ සෑම කතාවකම දුප්පත්කමද එනිසාම මේ කාන්තාවන්ට උරුම වී තිබෙන අපා දුක ද හොඳටම සිතුවම් වී තිබුණි.

අහිංසාගේ කතාව

“මට දැන් අවුරුදු 20ක් වෙනවා. මම බැන්දේ 17න්. දැන් මගේ දුවට අවුරුදු 3ක් වෙනවා. මගේ ගමනම් මෙහේ නෙවෙයි කුරුණෑගල. මට අවුරුදු 5ක් වෙනකොට මගේ තාත්තයි අම්මයි වෙන්වෙලා. අයියයි මායි හැදුණේ කිරිඅම්මා ළඟ. එයා මට පුදුම වදයක් දුන්නේ. අයියා උදව් කළා. ඒත් අයියා නිතරම ගෙදර නැති නිසා හරිම අමාරුවෙන් තමයි ජීවත් වුණේ. 11 වසරට වෙනකම් ස්කෝලේ ගියා හැබැයි විභාගය කළේ නැහැ. අපේ කිරි අම්මගේ නෑදෑයෝ ඉන්නවා මෙහේ. දවසක් මෙහේ ඇවිත් ඉන්නකොට මහත්තයා හම්බ වුණා. අපි බොරු වයසක් දාලා බැන්දා.”

මේ ඇයගේ මාගලක් වගේ දිග කතාවෙන් පුංචි කොටසක් ය. දැන් කිරි අම්මා ළඟ ජීවත් වෙනවට වැඩිය හොඳයි ද? මම ඇයගෙන් ඇසුවෙමි. මඳ නිහඬියාවකට පසුව.. “එහෙම කියලත් කියන්න බැහැ.” ඇය එසේ කියන්නීය. ඊළඟට කකුලේ මාපටගිල්ලෙන් පොළව හාරන්නීය. මගේ ඊළඟ ප්‍රශ්නය… දැන් මහත්තයා මොකද කරන්නේ?.. “එයා යාපනේ වැඩකරන්නේ සති දෙකකට සැරයක් තමයි ගෙදර එන්නේ.”

කටු මැටි ගෙදර බලාගෙන සිටින්නේ තද සුළඟකටත් උදුරා දමන්න පුළුවන් දොරකඩමාල්ල හායි ගා ඇරගෙනම ය. ඉතිං දරුවත් එක්ක මේ ගෙදර තනියම. ළඟ ගෙදරක් ඇත්තෙත් නැහැ හදිස්සියකටවත් කතා කරන්න.. මේ මගේ ඊළඟ ප්‍රශ්නයට ඇයගේ ප්‍රථම උත්තරය සිනහවක්ය.

“ඔව් ඉතිං කරන්න දෙයක් නැහැ. දොර වහගෙන තනියම ඉන්නවා. මොකක් හරි වුණොත් ළමයා බයිසිකලේ තියාගෙන ළඟ ගෙදරකට පදිනවා.” ඇය කියන්නී හරිම සැහැල්ලුවට සිනාසෙන්නී ය. ඇයට අවුරුදු 20ක් බව කීවත් එය විශ්වාස කරන්න බැරි තරම්ය.

සෑහෙන්න කාලයකට කලින්ම ඇය මත්තට දුක පැමිණියත් ඒ දුකෙන් දියකරහැරි රූපකායක් ඇයට නැත. එහෙත් හිත පැදුරු කඩමාල්ලේනුත් පහළට කඩාවැටී ඇති බව ඇයගේ මුහුණ මත ලියැවී තිබෙන සෙයකි.

ඇයගේ ජීවිතය යහපත් පැත්තකට හරවන්න මේ රටේ දේශපාලකයන්ට දැක්මක් සහ හැකියාවක් තිබෙන්නේද? නැතිනම් සුළි සුළඟකට ගසාගෙන යන්න නියමිත ඇයගේ ජීවිතයට මෙන්ම ඇය වැනි මේ බිමේ අන් කාන්තාවන්ට ජීවිතයේ සතුට හිමිකරගන්නට තිබෙන මඟ කුමක්ද?.. මේ ප්‍රශ්නවලට අපේ රටේ තීන්දු තීරණ ගන්නා බලධාරීන් අතනම් විසඳුම් නැතිබව සක් සුදක් සේ පැහැදිලිය.

අමිලාගේ කතාව

අමිලා දහසය හැවිරිදි බවද ඇය කරකාරේ බැඳ වැඩි දොහක් නැති බවද අපිට ලැබුණු ඔත්තුවකට, අපි අමිලා සොයා ගියෙමු. “අමිලා දුවේ වරෙන්” නැන්දම්මාගේ කටහඬට ඇය දොර රෙද්දෙන් එබුණාය. අම්මෝ මෙයාටනම් 13ක් ඇති මට සිතිණි. ඇය ඊළඟට අපි ඉදිරිපිට සැටියේ වැටුණාය.

“මගේ පුතා හමුදාවේ. එයා තමයි මේ කෙල්ලව අරගෙන ආවේ. අපි වයස සම්පූර්ණ වෙනකම් ඉන්න ඉඩ දීලා තියෙන්නේ. වයස හරිගියහම කසාදේ කරලා දානවා. මේවා කොළඹට අරුමයක් වුණාට මෙහෙට සාමාන්‍ය දේවල් මහත්තයෝ.” අමිලාගේ නැන්දම්මා කියන්නීය.

නැන්දම්මාගේ කතාවට පසුව අමිලා කතා කළාය.

“තාත්තා කුලී වැඩ තමයි කරන්නේ මමත් එක්ක අපි හතරක් තාත්තට ඉන්නවා. අම්මා වකුගඩු රෝගයත් එක්ක අවුරුදු 25ක් ජීවත්වෙලා මේ ළඟදි නැති වුණා. අපේ පවුලම හොඳටම අසරණ වුණා. තාත්තත් හොඳටම වැටුණා. ඉතිං මම මේ අයියත් එක්ක ආවා. මෙහේ මට ගෙදරට වැඩිය හොඳයි. වයස සම්පූර්ණ වෙනකම් ඉඳලා බඳින්න හිතාගෙන ඉන්නේ.”

වයස දහතුනක පෙනුම තියෙන මේ චූටි කෙල්ල අපිට කියන්නීය. එහෙත් මෙවැනි බොහෝ කසාද නිසි වයස එන්නත් කලින්ම ආණ්ඩුවේ පොතේ ලියවෙන්නත් කලින්ම කෙළවර වී තිබෙන තත්ත්වයක් අපිට වැලිඔයදී දකින්න ලැබුණෙමු.

ඒ බොහෝ තැන කුඩා දරුවෙකුත් සමග අම්මා තනිවී ඇත. තවත් තැනක නිසි වයසට එන විට ඒ කාන්තාව විවාහ කිහිපයක නිමග්නව සිට ඇත. මේ බාල වයස්කාර විවාහවලට හේතුව දුප්පත්කම හැර අන් දෙයක් නොවන බව කිවයුතුමය. ඒ දුප්පත්කමට හේතුව ආර්ථික අහේනියම නොව සංස්කෘතික ජීවිතයක් උරුම නොවීමද හේතුවකි.

කනවා බොනවා නිදියනවා ළමයි හදනවා කියන සරල කාරණා ටිකකට විතරක්ම කොටුවුණ මේ ජීවිතවලට යහපත් හෙට දවසක් හදන්නට නම් ඇළවේලි කපා දෙකන්නය වගාකරන්න වතුර දුන්නාට මදිය. ඔවුනට කුඩාකල සිටම පොහොසත් සංස්කෘතික ජීවිතයක්ද උරුමකර දිය යුතුය.

(මෙහි ඇති නම් ඇත්ත නම් නොවන බව සලකන්න)

-කේ. සංජීව-

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ...

කැරපොත්තන්ගේ සටන පළමු ජය වාර්තා කරයි

සමස්ත ඉන්දියාව පමණක් නොව ලෝකයම සොලවමින් වීදි බැස සිටින කැරපොත්තන්ගේ ජනතා පක්ෂය සිය පළමු ජයග්‍රහනය වාර්තා කරගෙන ඇතැයි ද ඒ අනුව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා...

මන්දිරවල ජනපති නෑ. නමුත් ජනයා ඉදලා. බර වියදමකුත් ගිහිං

ජනාධිපතිවරයා රටපුරා ඇති ජනාධිපති මන්දිර භාවිතා කරන්නේ නැති බව ප්‍රකාශ කරමින් එම මන්දිරවල නවාතැන් නොගත්තත් එහි බොහෝ දෙනෙක් රැඳී සිට ඇති බවද ඒ සඳහා 2025 වර්ෂයේදී විශාල වියදමක් දරා ඇති බවද ජාතික විගණන...