මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විදේශ සම්පත් දෙපාර්තමේන්තුව 2025 දෙසැම්බර් සහ 2026 ජනවාරි 31 අතර කාලසීමාව තුළ අවස්ථා කිහිපයකදී වගකීම් විරහිත ලෙස කටයුතු කරමින්, ශ්‍රී ලංකා රජය විසින් ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනය වෙත ගෙවීමට නියමිතව තිබූ ණය වාරිකවලට අදාළ ගෙවුම් 4ක්ම හොර ගිණුමකට බැර කර තිබුණි. සමස්ත ගනුදෙනුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක්ය.
ඕස්ට්‍රේලියාවට ගෙවන්න තිබූ ඩොලර් මිලියන 22.9ක ද්විපාර්ශ්වික ණය වාරිකයකින් කොටසක් වන ඩොලර් මිලියන 2.5ක් මෙලෙස අපරාධකරුවන් විසින් ඩැහැගැනීමේ කතාව මේ වනවිට පාර්ලිමේන්තුව තුළද, සීඅයිඩීය තුළද, අධිකරණයේද දිගහැරෙමින් තිබේ. මහා භාණ්ඩාගාරයේ, මුදල් අමාත්‍යාංශයේ පමණක් නොව මහ බැංකුවේත් සිටින්නේ මෙතරම් මරි මෝඩ රාජ්‍ය සේවකයන් දැයි එළියට එන කරුණුවලින් පෙනෙයි.
අනෙකුත් රාජ්‍ය ආයතනවලට නැති වරදානත් ඇති, තමන්ගේ වැටුපත් තමන්ට අවශ්‍ය විදිහට දෙතුන් ගුණයකින් වැඩි කරගන්නා මහ බැංකුව මේ ගනුදෙනුවේදී හැසිරී ඇති බබා ස්වභාවය පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවෙන් එළියට එමින් තිබෙයි. මෙහිදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ කමිටු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වාගේ මැදිහත්වීම අගය කළ යුතුය. ඔවුන්ගේ මෙම මැදිහත් වීම නිසා රාජ්‍ය භාණ්ඩාගාරයේද මහ බැංකුවේද නිරුවත දැන් අපිට හොඳට පෙනෙයි.
මොකක්ද මේ වංචාව
මෙය අනාවරණය වීමත් සමඟ සමාජයේ පුළුල් කතිකාවක් ඇතිවුණේ මහා භාණ්ඩාගාරයට හැකරුන් ගසා ඇති බව කියමින්ය. දැන් එළියට එන තොරතුරු අනුව මෙතන කිසිම හැකර් ප්‍රහාරයක් නැත. මෙතන තිබෙන්නේ මෙයට සම්බන්ධ රාජ්‍ය සේවකයන්ගේ ළඳරු හැසිරීමක්ය. ෆුඩ්සිටියට ගොස් ගෙවීම් කාඩ් එකෙන් සිදුකර එළියට ආ විගස ජංගමයාට බැංකුවෙන් එන මැසේජ් එක දිහා ඇහැ ගහගෙන ඉන්න එවුන් මෙතන ඇස් වසාගෙනම ඩොලර් මිලියන 2.5ක් හොරෙකුගේ ගිණුමකට හරවා ඇත.
මෙයට හැක් කළා යැයි කියන්නට බැරිය. සෘජු තාක්ෂණික හැකින් ප්‍රහාරයකට වඩා මෙතන තිබෙන්නේ ‘Impersonation’ හෙවත් ව්‍යාජ පෙනී සිටීමක්ය. මෙහිදී මේ අපරාධකරුවන් සිදුකර ඇත්තේ, ණය ලබාදුන් ජාත්‍යන්තර ආයතනයට අතිශයින් සමාන ව්‍යාජ ඩොමේන් නාමයක් සහ විද්‍යුත් තැපැල් ලිපිනයක් නිර්මාණය කරගෙන අපේ බබ්බු ටික රැවැට්ටීමය.
හිතලා රැවටුණාද නැත්තං ඇත්තටම තියෙන මෝඩකමට සහ නොසැලකිල්ල නිසා රැවටුණාද යන්න ඉදිරි විමර්ශනවලදී අනාවරණය වෙනු ඇත. දැනට පෙන්නේ මරි මෝඩ විදිහට මුදල් ඔහේ හොරුන්ට පිදේනි දුන් ආකාරයක්ය. මේ හොරුන් මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සන්නිවේදනය කරමින්, ගෙවීම් කළ යුතු බැංකු ගිණුම් විස්තර වෙනස් වී ඇති බවට ව්‍යාජ උපදෙස් ලබා දී තිබේ. කිසිදු දෙවරක් සිතීමකින් තොරව (Verification), අදාළ නිලධාරීන් එම ව්‍යාජ තොරතුරු මත පදනම්ව ගෙවීම් අනුමත කර ඇත.
අපි දැන් ෆේස්බුක් ගිණුමටත් ඊමේල් ගිණුමටත් ආදී නෙක සයිබර් ගිණුම්වලට දෙවරක් තහවුරු කරගැනීමේ වෙරිෆිකේෂන්ස් මෙතර්ඩ් ඇක්ටිව් කරගෙන සිටින සයිබර් යුගයක මුදල් අමාත්‍යාංශයේ, මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ මේ කියන නිලධාරීන් සිට ඇත්තේ ගල් යුගයේය.
2026 ජනවාරි මාසයේදී ඉන්දියාවට ගෙවීමට තිබූ තවත් ණය වාරිකයක් ද මෙලෙස වෙනතකට හැරවීමට අපරාධකරුවන් උත්සාහ කළ අවස්ථාවේදී මෙය අනාවරණය නොවන්නට අපි තවමත් අපගේ ණය වාරිකයන් හොරුන්ගේ බැංකු ගිණුම්වලට දමමින් සිටිනු ඇත. එහිදී බැංකු ගිණුම් විස්තර වෙනස් වී තිබීම පිළිබඳව ඇතිවූ සැකයක් ඇති වීම කලින් දැමීම්වලදී ඇති වී නැත..!
2.5 කොහේ ගියාද?
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ මූලික විමර්ශනවලදී මෙම මුදල් ගලා ගිය මාර්ගය පිළිබඳව තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය වී ඇත. ඒ අනුව මෙම මුදල් ගිල්ල බැංකු ගිණුම අයත්ව තිබී ඇත්තේ, ඇමරිකා එක්සත් ජනපදයේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ ලියාපදිංචි කර ඇති Biz Solutions නම් සෙල් කොම්පැනියකටය. මිග් ගනුදෙනුවේ සිට එයාර් බස් ගනුදෙනුව දක්වා සෙල් කම්පැනිවලට රැවටෙන අපිට මේවත් මොන කිරි කජු වැඩද?
ඩෙලවෙයාර් ප්‍රාන්තය ඇමරිකාව තුළ සමාගම් ලියාපදිංචි කිරීමේදී හිමිකරුවන්ගේ රහස්‍යභාවය දැඩිව රකින ප්‍රාන්තයක්ය. ඒ නිසාම ලොවපුරා බොහෝ ව්‍යාජ සමාගම් (Shell companies) මේ ප්‍රාන්තයේ ලියාපදිංචි වීම සාමාන්‍ය දෙයක්ය. වාර්තා වෙන ආකාරයට ‘Biz Solutions’ ද එවැනිම ව්‍යාජ සමාගමක්ය. මෙම සමාගම ඇමරිකාවේ ප්‍රකට TD බැංකුවේ ගිණුම් 4ක් පවත්වාගෙන ගොස් ඇති අතර, ශ්‍රී ලංකාවෙන් යැවූ ඩොලර් මිලියන 2.5ක මුදල ඇමරිකාවේ ප්‍රාන්ත දෙකක විවිධ බැංකු ගිණුම් වෙත ඉතා වේගයෙන් මාරුකර යවා ඇත. කෙතරම් වේගයෙන් සට සට ගා යවා ඇතිද කියනවා නම් විමර්ශකයන් සල්ලි ගිය පාරේ යනවිට එක ගිණුමක පමණක් ඩොලර් 200ක් ඉතිරිවී තිබී ඇත..!
කෝෆ් කමිටු අනාවරණය
මෙම සිදුවීම ගැන කතා කරන්නට කෝෆ් කමිටුවට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අරගෙන එන්නට වුණේ බල්ලන් නාවන්නට එක්කරගෙන යන ආකාරයටය. ඔහු එසේ හැසිරුණේ ඇයිද යන්නට උත්තර දැන් කෝෆ් කමිටු රැස්වීම්වලදී අපිට පෙනෙයි. කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටදී යැයි කියමනක් ඇත. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ මෙන්ම මහා භාණ්ඩාගාරයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ කෙරුවාවත් දැන් යසට රහට කෝෆ් එකෙන් එළියට එයි.
අතිශය සංවේදී මූල්‍ය තොරතුරු හුවමාරු වන මුදල් අමාත්‍යාංශයේ මේ කියන විදේශ සම්පත් දෙපාර්තමේන්තුව භාවිතා කර ඇත්තේ මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් ආරක්ෂක යාවත්කාලීන කිරීම් පවා නතර කර දමා තිබූ අතිශය යල් පැන ගිය ‘Microsoft Exchange Server’ පද්ධතියක් බව කෝෆ් කමිටුවේදී හෙළි විය. අහෝ මොන තරම් විහිළුවක්ද? එය 2019දී අප්ඩේට් වීම ඇනහිටි සර්වරයක්ය. අද ඕනෑම පොඩි එකෙක් වුණත් තමන්ගේ ලැප්ටොප් පරිගණකය අරබයා සිදුකරන මූලික කාර්යයන්වත් මේ උන්දලා කොරලා නැත. මුන් ජනතා බදු මුදලින් පඩි පිට පඩිද නොයෙක් වරදාන වරප්‍රසාදද ලබාගෙන ගෙවලයන් සේ රැකියාව කොර ඇත්තේ මෙසේය. මුන්ට මඩු වලිග හත අටකින් තැළිය යුතුය.
මෙහෙව් හාදයෝ මූලික ඩිජිටල් ආරක්ෂිත ක්‍රමවේදයක් වන ද්විත්ව සාධක සත්‍යාපනය (Multi-factor authentication – MFA) කොරගෙන සිටියේ යැයි සිතිය නොහැකි සේම, මුන් එම සත්‍යාපනයන් පවා මෙම ඊමේල් ගිණුම් සඳහා ක්‍රියාත්මක කර නොතිබුණි. මෙහෙව් සේවකයෝ රොත්තක් සිටින තැනක මෙම සයිබර් පද්ධතියට ඇතුළු වීමට මහාලොකු කොම්පියුටර් ජිල්මාට් දැනගෙන ඉන්නට ඕනෑ නැත. ඉතිං හොරුන් සුව පහසුව පද්ධතියට ඇතුල් වී අපගේ බබ්බුන් ටික නළව නළවා ආදර මැසේජ් ලියා රවට්ටා සල්ලි තම ගිණුමට දමාගෙන ඇත.
අපි මෙහෙම කීවට මුන් හිතා මතා වංචාවටම රැවටුණාද, ගොනා සේ හිටියාද යන්න සොයා බැලිය යුතුය.
තාක්ෂණික දුර්වලතාවලට වඩා මෙතන බරපතළ වන්නේ මේ ගොන් නිලධාරීන්ගේ නොසැලකිල්ලයි. ණය ලබාදුන් ආයතනවල නිල ඊමේල් ඩොමේන් සහ ඔවුන් අලුතින් යොමු කළ බැංකු ගිණුම් අංක නිසි පරිදි තහවුරු කරගැනීමට (Cross-check/Verification) අදාළ නිලධාරීන් සම්පූර්ණයෙන්ම අපොහොසත් වී තිබේ. අහෝ ඛේදයකි, ඉරකි, තිතකි..!
මේ සයිබර් හොරුන්ගේ ඉලක්කය වී ඇත්තේ හුදෙක් ඕස්ට්‍රේලියාව පමණක් නොවේ, ඔවුන් ඉන්දියාව, එක්සත් රාජධානිය, ජර්මනිය සහ බෙල්ජියම යන රටවලට අදාළ ණය ආපසු ගෙවීම් වලට සම්බන්ධ සැක සහිත ගෙවීම් උපදෙස්ද ඊමේල් ලිපිනයන්ට එවා තිබූ බව අනාවරණය වී ඇත. තවමත් රටේ මොකක්දෝ වාසනාවක් තිබෙන නිසා මේ මරි මෝල්ලු එක්ක වුණත් එය ව්‍යර්ථ වී ඇත.
මහ බැංකුවක් මක්කටෙයි?
කෝෆ් කමිටු විමර්ශනයේදී මහ බැංකුවේ මෙන්ම මහා භාණ්ඩාගාරයේද රෙද්ද ගැළවිණි. මුදල් අමාත්‍යාංශය විසින් කමිටුවට ලබාදුන් මූලික වාර්තාව මගින් ගෙවීම් සිදුකිරීමේ අවසන් පුරුක වන මහ බැංකුවට සැලකිය යුතු චෝදනාවක් එල්ල කර ඇත. ඔවුන් එහිදී කියා සිටින්නේ, ඕස්ට්‍රේලියානු රජයේ ආයතනයකට ගෙවිය යුතු මුදලක්, ඇමරිකාවේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ වාණිජ බැංකු ගිණුමකට යොමු කිරීමට උපදෙස් ලැබුණු විට, එය අසාමාන්‍ය තත්ත්වයක් (Red flag) ලෙස හඳුනාගෙන ඒ පිළිබඳව භාණ්ඩාගාරයෙන් දෙවරක් විමසීමට මහ බැංකුවේ ගෙවීම් අංශය කටයුතු නොකළේ ඇයිද කියාය. එය සාධාරණ ප්‍රශ්නයක් බව මේ ලියුම්කරුගේද අදහසයි. මහ බැංකුව මෙන්ම මහා භාණ්ඩාගාරයද මේ රාජ්‍යය සතු ආයතනයන් වන පසුබිමක, මොවුන්ට එක එක චක්‍රලේඛවලට හෝ නීති අණපනත්වලට මුවා වී හෝ පැනයන්නට සදාචාරාත්මක අයිතියක් නැත.
එහෙත් මුදල් අමාත්‍යාංශයේ මෙම චෝදනාවලට දැඩි ලෙස ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කෝෆ් කමිටුවට ප්‍රති-වාර්තාවක් ඉදිරිපත් කරමින් අවධාරණය කරන්නේ, මහ බැංකුව මෙම ක්‍රියාවලියේදී නෛතිකව ක්‍රියා කරන්නේ රජයේ හුදෙක් ‘ගෙවීම් නියෝජිතයෙකු’ ලෙස පමණක් බවයි. හිනා කාලා මැරෙන්න වෙන අදහස් දැක්වීම්ය.
ණය ගෙවිය යුතු පාර්ශවයේ නිවැරදි බැංකු ගිණුම් විස්තර සහ අනෙකුත් තොරතුරු තහවුරු කරගැනීමේ සම්පූර්ණ නෛතික වගකීම ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට සහ මහා භාණ්ඩාගාරයට බව මහ බැංකු අධිපතිගේ උද්දච්ච පිළිතුරයි. අදාළ ඩොලර් මිලියන 2.5ක ගෙවීම සිදුකිරීම සඳහා නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු බලයලත් ඉහළ නිලධාරීන්ගේ නිල අනුමැතිය සහිතව සියලුම ලේඛන මහ බැංකුව වෙත ලැබී තිබූ බව තහවුරු කරන අධිපතිවරයා කියන්නේ තමන්ට තියෙන්නේ හුදෙක් බැංකුවක් සේ ක්‍රියාකිරීම පමණක් බවයි. නිත්‍යානුකූලව අනුමත වී එන උපදෙස් ප්‍රශ්න කිරීමේ හෝ නැවත සත්‍යාපනය කිරීමේ නෛතික බලයක් මහ බැංකුවට නැහැ යන්න ඔහුගේ ස්ථාවරයයි.
මූල්‍ය පරිපාලනයේ අර්බුදය
මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය එකිනෙකාට චෝදනා කරගන්නා විට එළියට පනින්නේ අප රාජ්‍ය වෙලාගෙන පැතිර පවතින මූල්‍ය පරිපාලනයේ අර්බුදයයි. රජයේ නෛතික හා පරිපාලන රාමුවට අනුව ERD ආයතනයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ විදේශ රාජ්‍යයන් හෝ ආයතන සමඟ ද්විපාර්ශ්වික ණය සාකච්ඡා කිරීම සහ ගිවිසුම්ගත වීමයි. ණය ආපසු ගෙවීම් මුදාහැරීම සහ කළමනාකරණය කිරීමේ නෛතික වගකීම පැවරෙන්නේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයටය. එබැවින් ERD ආයතනය මෙලෙස සෘජුවම ගෙවීම් ක්‍රියාවලියට මැදිහත් වූයේ කෙසේද යන්න බලවත් නෛතික ප්‍රශ්නයකි.
මෑතකදී හඳුන්වා දුන් නව රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත් හරහා ණය කළමනාකරණය කිරීමේ බලතල මහ බැංකුවෙන් ඉවත් කර මහා භාණ්ඩාගාරය යටතට පත් කර ඇති බව දැන් අපි කවුරුත් දනිමු. මෙම බලතල මාරු වීමේ සංක්‍රාන්ති කාලසීමාව තුළ භාණ්ඩාගාරය සහ මහ බැංකුව අතර වගකීම් බෙදී යන ආකාරය පිළිබඳව පැහැදිලි නෛතික මාර්ගෝපදේශ පද්ධතියක් හෝ අවබෝධතා ගිවිසුමක් තිබී නැත. එනිසා දැන් මහ බැංකුවට මුදල් අමාත්‍යාංශයට බෝලය පාස්කර අතපිහිදා ගන්නට පුළුවන්ය.
මුදල් රෙගුලාසි යටතේ යම් ගෙවීමක් අනුමත කිරීමට පෙර එහි නිරවද්‍යතාව තහවුරු කිරීමේ නෛතික වගකීම පැවරෙන්නේ අදාළ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී නිලධාරියාටය. මෙම සිදුවීමේදී එම වගකීම පැහැදිලිවම පැහැර හැර ඇති බව කෝෆ් කමිටුව නිරීක්ෂණය කර ඇත. එය කෝෆ් කමිටුවට විමර්ශනයන් මඟින් සොයාගන්නට දෙයක් නොවෙන බව කියන්නට අවශ්‍යය. මේ ගනුදෙනුව සිදුව ඇති ආකාරයේ මූලික ස්වරූපය පෙනෙන විටද මේ මරි මෝඩ රාජ්‍ය සේවකයන්ගේ සෙවල රාජ්‍ය සේවා ගතිය පෙනෙයි.
ජාත්‍යන්තර බලපෑම
ඩොලර් මිලියන 2.5ක් යනු රාජ්‍ය මට්ටමේ ගනුදෙනුවකදී සාපේක්ෂව කුඩා අගයක්ය. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.002%ක් පමණ වුවද, එහි ප්‍රතිවිපාක ඉතා බරපතළ බව කිවයුතුය.
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඇතිකරගත් එකඟතාවල ප්‍රධාන කොන්දේසියක් වන්නේ එකඟ වූ කාලසටහනට අනුව ණය වාරික නිසි පරිදි ගෙවීමයි. මෙම මුදල අස්ථානගත වීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවට නියමිත දිනට මුදල් ගෙවීමට නොහැකි වූ අතර, ඒ හරහා ස්වයංක්‍රීයවම IMF කොන්දේසි උල්ලංඝනය වීමක් සිදුව ඇත. මේ හේතුවෙන්, මීළඟ ණය වාරික ලබා ගැනීම සඳහා මෙම කොන්දේසියෙන් ‘නිදහස් කිරීමක්’ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විධිමත්ව ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා රජයට සිදුවිය.
වාසනාවකට මෙන්, රජය විසින් මෙය හිතාමතා කළ ණය පැහැර හැරීමක් නොවන බවත්, එය තාක්ෂණික හා සයිබර් අපරාධයක් බවත් ඕස්ට්‍රේලියානු බලධාරීන්ට මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවටත් ඒත්තු ගැන්වීමට රජය සමත් වී ඇත. එය වාසනාවක්ය. ඒ අනුව අහිමි වූ මුදල පියවීම සඳහා නව ගෙවීම් කාලසටහනක් සකස් කිරීමට දෙරටේ බලධාරීන් මේ වනවිට සාකච්ඡා කරමින් සිටිති. කොහොමවුණත් එම මුදල් නැවත ගෙවිය යුතු බව අප මතක තබා ගත යුතුය.
විමර්ශනවල ප්‍රගතිය
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සහ මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) එක්ව පුළුල් දේශීය විමර්ශනයක් ආරම්භ කර ඇත. තවද, ජාත්‍යන්තර මූල්‍ය ජාලයන් හරහා ගලා ගිය මෙම මුදල් සොයාගැනීම සඳහා ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ සෘජු තාක්ෂණික සහාය ලැබෙන බව දැනගන්නට ලැබෙයි.
මෙම මහා පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පුළුල් පරීක්ෂණයක් දියත් කර ඇති අතර ඔවුන් පසුගිය ජූලි 08 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ විමර්ශනවල ප්‍රගතිය අනාවරණය කළේය.
ඒ අනුව මේ වනවිට මෙම සිදුවීමට අදාළව පරිගණක දත්ත ටෙරාබයිට් 16ක පමණ විශාල ප්‍රමාණයක් විශ්ලේෂණය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධිකරණ වෛද්‍ය අංශයට යොමු කර ඇත. එම විශ්ලේෂණ වාර්තා සහ රජයේ රසපරීක්ෂක වාර්තා තවමත් ලැබී නොමැත.
අපරාධ කටයුතුවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ රටවල් 5කින් තොරතුරු ලබාගැනීමට නිල වශයෙන් ඉල්ලීම් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටි අතර මෙම නඩුව නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම සහ ඉදිරි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා 2026 අගෝස්තු 05 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කර ඇත.
කෝෆ් කමිටුවේ නිර්දේශ
මෙම වංචාව පිටුපස සිටින්නේ කවුද යන්න සෙවීම, සමස්ත විදේශ ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලිය වහාම ජාතික විගණන කාර්යාලයේ විශේෂ විගණනයකට ලක් කිරීම, වගකිවයුතු සහ නොසැලකිලිමත් ලෙස කටයුතු කළ නිලධාරීන්ට එරෙහිව නීතිපතිවරයා හරහා අපරාධමය නඩු පැවරීම, රාජ්‍ය ආයතන පුරා සයිබර් ආරක්ෂණ පියවරයන් කඩිනමින් යාවත්කාලීන කිරීම සහ ශක්තිමත් කිරීම වැනි නිර්දේශයන් කෝෆ් කමිටුව විසින් අවධාරණය කර ඇත.
සීඅයිඩී විමර්ශනයන්වලට ඉදිරියේදී සිදුවන්නේ කුමක්ද, ඔවුන් අනාවරණය කරගන්නා දේ මොනවාද යන්න අපි ඉදිරියටත් මෙසේ ඔබට වාර්තා කරනු ඇත.
-කේ. සංජීව-






