ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට ඇස්තමේන්තුගත ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක පමණ මුදලක් නීතිවිරෝධී ලෙස ප්‍රේෂණය කිරීමේ ජාවාරමට සම්බන්ධ බව සැකකරන ප්රමුඛ පෙළේ පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සතර දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වෙයි.
ශ්‍රී ලංකාව තුළ බැංකු කළමනාකරුවන් පිරිසක් එකවර මෙසේ අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බවට වාර්තා වෙන අතර මෙම ජාවාරම පිටුපස සිටින බවට සැකකරන ප්‍රධාන පුද්ගලයා විසින් අදාළ බැංකු නිලධාරීන් සිව්දෙනාට සතිපතා මුදල් ගෙවීම් කර ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම විමර්ශනයන්වලට අනුව මෙම නිලධාරීන්ට සතියකට රුපියල් තිස් දහසත් ලක්ෂයත් අතර මුදලක් ගෙවා ඇත. මෙසේ අත්අඩංගුවට පත්වූ බැංකු කළමනාකරුවන් සිව්දෙනාගෙන් එක් අයෙකු එක් අවස්ථාවකදී රුපියල් මිලියන 1ක පමණ මුදලක් ලබාගෙන ඇති බව ද අනාවරණය වී ඇත.






