රත්නපුරේ මගේ දූරියන් ගහ මෙදා පාර වෙනදට වඩා දූරියන් කටු ගෙඩි එල්ලගෙන. දැන් ඉදි ඉදී වැටෙන කාලේ. අවුරුද්දකට හරියන්න දූරියන් දවස් දෙකක් ඇතුළේ ගිලින එක තමයි මෙදා පොටෙත් වෙනදා පොටවල්වල වගේම මගේ ඉලක්කය.
මොර සූරන වැහි වැටිලා හතළිස් පහේ ගංවතුරට පස්සේ එන මේ දූරියන් සුවඳ දැනෙන දවස්වලට පොළව පෙඟිලා තිබ්බට චුරු චුරුව එහෙමට නෑ. ඒත් ඉතිං මෙදා එහෙමමත් නෑ. ගෙදරට ආවෙත් චුරුචුරුවේ. ඉවරයක් නැති චුරු චුරුව. ඒත් ඉතිං ඊයේ හවස ගෙදරට ගොඩබැස්ස හැන්දෑවෙම ගෙඩි දෙකක් කාලා වැඩේට බැස්සා.
ඉස්සර අපි මෙහෙම සුවඳ දවස්වලට රෑට නිදාගන්නෑ. ඇත්තටම කිව්වොත් නින්ද යන්නේ නෑ. හොරාට දෑස් පියන් ඇඳේ ඉඳලා ගෙදර අය නින්දට වැටුණාම ජනේලෙන් පැනලා හෙමීට පාරට රෝල් වෙනවා. කස්ටිය පාරේ. රෑ 12ට විතර පටන් ගන්න මේ දූරියන් නිශා යාමය අවසන් වෙන්නේ උදේ තුනට හතරට කිරි වෙලාවට.
පෑලිමෝදරින් පටන් ගත්තාම හංගමුව ගඟ අයින දිගේ, දිගට ඇදෙන මේ ප්‍රමුදිත රාත්‍රීන් සමහර දවස්වලට කොටාමුල්ලට තරම් දිගයි. ඒ දිග තීරණය වෙන්නේ දිවේ බැඳෙන දූරියන් ලාට්ටේ ප්‍රමාණයට තමයි ඉතිං..
ඒ කියන්නේ අපි වගේ සුවඳ හොරු රංචු වැඩිවුණ තරමට පැලෙන ගෙඩි ගාන අඩුවෙනවානේ. එතකොට ඉතිං කොච්චර කෑවත් මදිම තමයි. එක ගහකින් පැන්න ගමන් ගෙඩි දහයක් විතර ඇහිඳගන්න ඇහැක් වුණොත් ඉතිං ගමන් නහර ටිකක් අඩුවෙලා මෝල ටිකක් බැහැලා නිදිමතක් එනවා. යං බන් දැන් මදැයි කියලා ගෙදරට හැරෙනවා..!
දූරියන්වලට දිය සාවරේ තියෙන්න ඕනෑ. ඉතිං මම මගේ පැලේ හිටෙව්වේ ගඟ අයිනෙම. මූ බලාගෙන ඉද්දි උස්මහත් වුණා. අද ඉතිං රූස්ස දූරියන් ගහක්. ඔය බටු බද්ද දූරියන් හතු ගස් වගේ නෙවෙයි මේවා සිංහරාජේ තියෙන දඩාර ගස් වගේ අහස හොයාගෙන ගිහිං හොඳට අහස බදාගෙන අල්ලගෙන ඉන්නේ.
හැම අත්තකම මල් බූසි බූසි පිපෙනවා. ඒත් ඉතිං ලේන්නු වර්ග දෙකක් ඉන්නවා. දෙනවා වැඩේ. සමහර රෑට මා වව්ලෝ රංචු ඇවිත් මල් උඩ නටලා, මල් තලලා, කාලා විනාශම කරලා යනවා. කොහොමහරි බේරිලා මල් දහස් ගානකින් ගෙඩි දාහක් විතර තමයි ඉතුරු වෙන්නේ.
සමහර මේ වගේ අනෝරා වැහිවලට අහුවුණාම මල් දියවෙනවා. හැමනෙන්න බැරිවෙලා නිකං හැලිලා යනවා. එතකොට ඉතිං ගෙඩි සීයයි දෙසීයයි. වාණිජ්‍යව වවනවානම් මෙහෙම රූස්සෙට හදලා හරියන්නේ නෑ ඉතිං හත්තක් වගේ අත ළඟට තියාගන්න ඕනෑ. ඒත් ඉතිං මෙහේ හංගමු ගඟ අයිනේ හැමගහක්ම වගේ මේවගේ උසට උසයි. පොකුරු ගස් මහා විශාලයි.
දූරියන් මල් රසයි මාළුවට. ඒත් ඉතිං අපිනම් කන්නේ නෑ. අපි බලාගෙන ඉන්නේ එයාලා ගෙඩි දෙනකම්. සමහරුන් නම් මල් එළියට එනකොටම ගහේ ටකයක් එහෙම ගැටගහලා ගහමුල පැලක් අටවලා බහිරවයා වගේ ගිහිං ඒකේ බුදියගන්නවා.
අපි ඉතිං එහෙව් උන්දලා ඉන්න දූරියන් ගස්වලට තමයි වැඩියෙක් කොකන් පාන්නේ. මොකද ත්‍රාසය තියෙන්නේ එතනනේ. බඩගාගෙන ගිහිං තමයි අරන් එන්නේ. ඔය කොයි පුතයටත් උදේ එක දෙක කියන්නේ හොඳට නින්ද යන ටයිම් එක..!.
මෙහෙම හොරාට දූරියන් ඇහිඳිනවා කියන්නේ වෙනම ආතල් එකක්. ඇහිඳලා පාරට ගෙනල්ලා ආරක්ෂිතයි කියලා හිතෙන තැනක නතරවෙලා ටකොස් ටොකොස් ගාලා පලන්නයි තියෙන්නේ.
දූරියන් ඇහිඳින්න එනකොට අපේ කොල්ලෝ සෙට්එකේ දෙන්නෙක්ගේ තුන්දෙනෙක්ගේ අතේ පිහි තියෙනවා. සමහර දවස්වලට අපි ලණු ගෝනි පඩංගුවක් අරන් යනවා, අරන් ගිහිං ඒක දූරියන් ගෙඩිය උඩින් මුට්ටෙට තියලා අත් දෙකෙන් පොඩ්ඩක් පහළට තද කළාම නැවුම්බවේ ශබ්දය එනවා. ඊටපස්සේ ඇගිල්ල චුට්ටක් දාලා එහෙට මෙහෙට කළාම හොඳට ඈත් මෑත් වෙනවා. ඊටපස්සේ ඉතිං චව් චව් ගාලා කන්නයි තියෙන්නේ. කට දෙපැත්තෙ විතරක් නෙවෙයි අපි නහයෙනුත් අන්තිමට දූරියන් කාලා.
දූරියන්වලත් වැල වරකා කියලා වර්ග දෙකක් තියෙනවා. හැබැයි ඉතිං දූරියන් කනවානම් වැල තමයි කන්න ඕනෑ. වැල තමයි රස. වරකා නිකං ක්‍රිස්පියි. ඒක රසනෑ. කොස් කනවා වගේ.

රසම රස වැල ගහක් සෙට් වුණොත් ඉතිං කස්ටඩ් මෘදුමය මිහිරක් එක්ක වැනිලා, ආමන්ඩ්, කැරමල් රස සංයෝගයක් තමයි දිවට දැනෙන්නේ. ඒ රස එහෙමට වචන කරන්නත් බෑ.
ඇත්තටම කීවොත් දූරියන් කියන්නේ හැඟීමකට. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. මටනම් දැන් දූරියන් කියන්නේ ලස්සන මතකයක්.
ඉස්සර රසම දූරියන් තියෙන්නේ අපේ අම්මගේ ගමේ කියලා තමයි මම හිතාගෙන හිටියේ. අමුවල උඩවත්ත. පොඩි කන්දක් උඩ තැනි ගමක්. ගමේ හැමතැනම දූරියන් ගස්. ඉස්සර පොඩි කාලේ අපිට දූරියන් එන්නේ එහෙන් තමයි. පස්සේ අපි හොරාට ඇහිඳින්න යනකොටත් ඒ ගම කිට්ටුවටම වගේ යනවා.
හංගමුව හන්දිය පහුකරලා කරවිට පැත්තට එනකොට රන්කුඹල් මාමාගේ ගෙදර තිබ්බා. මිනිහට රන්කුඹලා කියලා තමයි හැවෝම කිව්වේ. ඒ මොකද මිනිහා හැමදාම වගේ මිනිහගේ චූටි ලස්සන මැටි ගේ කඩ කඩා හදනවා. ඒක මොන පිස්සුවක්ද මන්දා හැබැයි මිනිහා අමුඩ කොටේකුත් ගහගෙන හැමදාම මැටි අනනවා.
ඉතිං මිනිහගේ ගේ පිටිපස්සේ තිබ්බා මම ජීවිතේට දැකපු උසම දූරියන් ගහා. ඒක ඇත්තටම දිව්‍යලෝකට උසයි කියලමයි හඳ රෑට හිතුණේ. අතු ඉති දිව්‍යලෝකේ ගෑවිලා තිබුණ නිසාද කොහෙද ඒ ගහේ දූරියන් පුදුම රසයි. හැබැයි බටුයි. මදුලු දෙකයි, තුනයි, හතරයි. කලාතුරකින් ගෙඩිය ලොකු උනත් මදුලුනම් නෑ. තුනක් හතරක් තියලා ඉතුරු ටික පුස්ස. ඉතිං මගේ ජීවිතේ මම කාපු රසම දූරියන් කෑවේ ඒ ගහෙන් තමයි.
වැල වරකා කතාව වගේම දූරියන් මදුලේ පාටත් ගහෙන් ගහට ටිකක් වෙනස් වෙනවා. කහපාට වැඩි මදුළු වගේම කිරි සුදු පාට මදුලුත් රසයි. ඔය පාට දෙකේම රස නැති, දිය ලබු රස දූරියනුත් තියෙනවා.
මැලේසියාව තායිලන්තය සිංගප්පූරුව වගේ පැත්තට ගියාම ඉතිං මිනිස්සු එක එක ක්‍රමයට දූරියන් කනවා. ලංකාවෙත් එන්න එන්නම දූරියන් වැඩිවෙනකොට දූරියන් කන කල්චර් එකත් වෙනස් වෙයි. මේක ඉතිං අපනයනයට හොඳ පලතුරක්. ඒත් දේශීය පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයවත් නැති නිසා ඒ ගැන තව ටිකක් හිතන්න වෙනවා.
-කේ. සංජිව-






