වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ධුර කාලය තවත් අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ස්ථිර වශයෙන්ම ගෙන එන බවක් පෙනෙන්නට තිබෙයි.
ආණ්ඩුවට හිතවත් මාධ්‍ය භාවිතාවක් ගෙන යමින් සිටින සිරස මාධ්‍ය ආයතනය මෙම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් ජන මතය නිෂ්පාදනය කිරීමේ මාධ්‍ය භූමිකාවට බැස ඇත. එයින් පෙනෙන්නේ ආණ්ඩුව ඉදිරියට ගත් අඩිය පිටුපසට තබන්නට සූදානම් නැති බවයි.
වර්තමාන ජනාධිපතිවරයා බලයට පැමිණෙන්නේ මේ සම්පූර්ණ ව්‍යවස්ථාවම වෙනස් කර විධායකය අහෝසි කළ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව ප්‍රකාශ කරමින් ඒ සඳහා ජනතාවට පොරොන්දු ලබාදෙමින් ය. ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවට යමින් සිටි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති එදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනමාධ්‍යවේදීන්ට උජාරුවෙන් සහ උස් හඬින් ප්‍රකාශ කළේ මේ දිවුරුම් දී වැඩ භාරගන්නේ ලංකාවේ අවසාන විධායක ජනාධිපතිවරයා බවයි.
එහෙත් මේ ටික කාලයට තත්ත්වය හොඳටම වෙනස් වී ඇති බව පෙනෙයි. දැන් ආණ්ඩුවට හෝ ජනාධිපතිවරයාට ව්‍යවස්ථාව වෙනස් කිරීමට හෝ විධායක ජනාධිපති ධුරය අහෝසි කර අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්නට හෝ අදහසක් නැත. ඒ වෙනුවට ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනය ජනාධිපතිවරුන් නිර්මාණය කිරීමේ සිහිනය ව්‍යාපෘතියකට අතගසා ඇති බව පෙනෙයි. බිමල් රත්නායක වැනි අමාත්‍යවරුන් ඊළඟ ජනාධිපති වීම සඳහා සූදානම් වෙන බව පෙනෙයි.
මොකටද 22 සංශෝධනය?
මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා රජය විසින් ගෙන ඒමට සැරසෙන මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතාව අප තේරුම් ගත යුතු වන්නේ වත්මන් අගවිනිසුරුවරයා තවත් වසර දෙකක් එම ධුරයේ රඳවා ගැනීම අරමුණු කරගෙන දියත් කෙරෙන දේශපාලන ව්‍යාපෘතියක් බවයි. ඇයි එහෙම දේශපාලන ව්‍යාපෘතියක් අවශ්‍ය?
මෙම ජනාධිපතිවරයා සේම ආණ්ඩුව බලයට පත්වන්නේම සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් ය. එහෙත් කාලය ඉක්මනින් ගතවෙමින් තිබෙයි. පළමු ධුර කාලය අවසන් වනවිට ජනතාවට දුන් පොරොන්දුවලින් කොතරම් ප්‍රමාණයක් ඉටුකරන්නට පුළුවන් වෙයිද යන සැකය ජනතා විමුක්ති පෙරමුණට මෙන්ම ජාජබයටත් ඇති වෙලා ඇති. මේ ආණ්ඩුවේ සමහර ඇමතිවරුන් වැඩකරන විහිළු ස්වරූපය දෙස බලනවිට ජනතා බලාපොරොත්තු ඉටුකරන්නට මේ ආණ්ඩුවට තිබෙන ශක්‍යතාව සැකසහිත බව පෙනෙයි.
ශානී-රංග පානෙන් එළිය බැලීම
එහෙත් ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නගේ නායකත්වයෙන් පොලීසිය ද රංග දිසානායකගේ නායකත්වයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ද යම් සාධනීය වැඩ කොටසක් කරමින් සිටියි. ආණ්ඩුවට එන චෝදනා ගල් වැසි ටිකක් හෝ සමනය වන්නේ මේ ආයතන යම් පොදු මිනිසුන්ගේ ඇඟට දැනෙන යමක් සිදුකරමින් ඇති නිසාය.
2015 සිට ලංකාවේ ජනමතය සැකසී තිබෙන්නේ හොරු සහ දූෂිතයන්ට වහාම දඬුවම් කළ යුතුයි වින්දිතයන්ට යුක්තිය නොපමාව ලැබිය යුතුයි යන අදහස් පද්ධතිය ඔස්සේ ය. තවමත් ලංකාවේ ජනමතය වෙනස් කිරීමේ හැකියාව මේ හොරු අල්ලන සෙල්ලමට තිබෙයි. ඒ අර්ථයෙන් වර්තමාන සීඅයිඩීයේ සහ අල්ලස් කොමිසමේ ක්‍රියාවලිය ජනතාව අතර ජනප්‍රිය ය.
එය සමස්ත ආණ්ඩුවේ නොහැකියාව වසාගන්නට හොඳ පිළිතුරක් ය. එනිසා ජනාධිපතිවරයා තමන් සතු එකම දක්ෂයෝ ටිකගෙන් වැඩ අරගෙන ජාමේ බේරාගෙන දෙවෙනි ධුර කාලයක් වෙනුවෙන් ජනතා ආකර්ෂණය දිනාගැනීමේ මෙහෙයුමක සිටින බව මේ ව්‍යවස්ථා සංශෝධන කතාබහෙන් පෙනෙයි. වර්තමාන සීඅයිඩීයට වගේම අල්ලස් කොමිසමට ද ආණ්ඩුවේ දූෂිතයන් පිළිබඳව විමර්ශන සිදුකරන්නේ නෑ යන චෝදනාව බරපතළව එල්ලවෙන පසුබිම තුළ පවා තවමත් ශානිලා රවීලා රංගලා ජනතාව අතරේ ජනප්‍රිය බව කිවයුතුය. එම ජනමතය 2015 සිට එන යහපාලනය පිළිබඳ ජන මතයේම දිගුවක් මිස අන් යමක් නොවෙන බව කිව යුතුය.
මේ වනවිට පසුගිය රාජපක්ෂ පාලනය කාලයේ මෙන්ම යහපාලන කාලයේදී ද යම් යම් දූෂණ සිදුකළා යැයි කියවෙන පුද්ගලයන් හට නීතිය තදින් ක්‍රියාත්මක වෙමින් තිබෙයි. රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂ යුගයේ අධිකරණ අමාත්‍ය ධුරය දැරූ විජේදාස රාජපක්ෂ පිළිබඳව ද මේ වනවිට බරපතළ විමර්ශනයක් සිදුවෙමින් තිබෙයි. මේ විමර්ශනයන් ජනතාවගේ පැහැදීමට හේතු වී ඇත.
ඒ හරහා ආණ්ඩුවේ සහ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය ද ඉහළට එසවෙයි. මෙම ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර මේ පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබාදීමට නම් ඉහළ අධිකරණ දෙක තව අවුරුදු දෙකක් පමණ ගල් කර තැබිය යුතුයැයි ජනාධිපතිවරයා සිතන බව අපිට මේ කඩිමුඩියේ ගෙන එන්නට දතකන සංශෝධනය කියයි.
අවනත අධිකරණයක් සෑදීම
‘ත්‍රිපුද්ගල මහාධිකරණ ඇතුළු මුල් අධිකරණ මගින් ලබාදෙන තීන්දු වලට එරෙහිව අභියාචනා කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණි. රජයේ පැහැදිලි අවශ්‍යතාවය වී ඇත්තේ, මුල් අධිකරණවලින් ලැබෙන හරි හෝ වැරදි තීන්දු, ඉහළ අධිකරණයේදී වෙනස් වීමට ඉඩ නොතබා සිය දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීමයි. ඒ සඳහා තමන්ට විශ්වාසවන්ත, “අවනත” ඉහළ අධිකරණයක් රජයට අවශ්‍ය වේ. වයස අවුරුදු 65 පිරීම හේතුවෙන් එළඹෙන දෙසැම්බරයේදී විශ්‍රාම යාමට නියමිත වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන තවත් වසර දෙකක් ධුරයේ තබා ගැනීමට ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමේ අරමුණින්’ මෙහෙම කියන්නේ අනිද්දා පුවත්පතේ ප්‍රධාන සංස්කාරක කේ ඩබ්ලිව් ජනරංජන.
මීළඟට අගවිනිසුරු ධුරයට පත්වීමට සිටින විනිසුරු යසන්ත කෝදාගොඩ කෙරෙහි ජනාධිපතිවරයාට එතරම් විශ්වාසයක් නොමැති වීමත් මේ සංශෝධනයට තවත් හේතුවක් වෙන්න පුළුවන් කියලා තමයි ජනරංජන කියන්නේ.
21 වතාවක් සංශෝධනය කරලා තිබෙන ලංකාවේ වර්තමාන ව්‍යවස්ථාව බහුතර අවස්ථාවන් වලදී සංශෝධනය කරලා තිබෙන්නේ විධායකයේ පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන් බව කිව යුතුයි. වර්තමාන සංශෝධනයත් එහිම දිගුවක් වීම අපි තේරුම් ගන්නේ කෙසේද? ක්‍රම වෙනසක් වෙනුවෙන් බලයට පැමිණි ජනාධිපතිවරයෙක් සහ 2/3ක ජනවරමක් ලබපු ආණ්ඩුවක් එය මෙසේ පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන් භාවිතා කිරීම අපි ජනතාව විදිහට තේරුම් ගත යුත්තේ කෙසේද?
ජනාධිපතිවරයා මෙම සංශෝධනයෙන් අගවිනිසුරුවරයාට පමණක් වාසියක් සලසන බව පිටතට නොපෙන්වීම සඳහා, සමස්ත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 67 දක්වාත් අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ වයස් සීමාව අවුරුදු 65 දක්වාත් දීර්ඝ කිරීමට තමයි යෝජනා කරන්නේ.
මාධ්‍ය මෙහෙයුම
මෙහි මාධ්‍ය මෙහෙයුම සිදුකරන සිරස හරහා දැන් අපිට පොදු රාජ්‍ය මණ්ඩලයේ විනිසුරු වයස් සීමා ගැන දෛනික පාඩම් ඉගෙනගන්න ලැබෙනවා. ලෝක මට්ටමින් රට රටවල විනිසුරු වයස් සීමාවන් ගැන කතා දැන් සමාජ මාධ්‍ය අවකාශයේ හතු පිපිලා. වයසට යනකොට තමයි හොඳටම නඩු අහන්න පුළුවන්..! ආණ්ඩුව දැනුවත්ව එහෙම මතයක් සමාජයේ රෝපණය කරමින් සිටිනවා. පනින රිලවුන්ට ඉනිමන් බඳිනවා වගේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් මේ සංශෝධනය ගැන ජන මතය විමසන ප්‍රොජෙක්ට් එකක් පටන් අරගෙන. පේන විදිහට නිල මාධ්‍ය අනුග්‍රහය සිරස..!
කොහොම වුණත් ජනරංජන වගේ නීති ප්‍රජාව නියෝජනය කරන බොහෝ නීතිඥවරුන්ගේ මතය මේ සංශෝධනය නිසා වසර ගණනාවක් පුරා දුෂ්කර සේවයේ නියැලෙමින් ඉහළට යාමේ බලාපොරොත්තුවෙන් සිටින මහාධිකරණ, දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන්ගේ උසස්වීම් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඇනහිටිනවා කියන එක. නීතියේදී මෙය හඳුන්වන්නේ ‘නීත්‍යානුකූල අපේක්ෂාව’ (Legitimate Expectation) බිඳවැටීමක් ලෙස.
දැනටමත් හිටපු අභියාචනාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ වැනි දක්ෂ විනිසුරුවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු තිබියදීම තම වයස සම්පූර්ණ වීම නිසා උසස්වීමක් නොමැතිව විශ්‍රාම යාමට සිදුව තිබෙනවා. යම් හෙයකින් මෙම සංශෝධනය ක්‍රියාත්මක වුවහොත් මුළු අධිකරණ පද්ධතියම වසර දෙකකට “ෆ්‍රීස්” (Freeze) වන අතර, එය නිලධාරීන්ගේ දැඩි කලකිරීමට හේතු වනු ඇති බව තමයි බොහෝ නීති විශාරදයන් වගේම ජනමත ගොඩනඟන්නන්ගේ මතය වෙන්නේ.
ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් වන ශිරාල් ලක්තිලක තර්ක කරන්නේ, නීති විද්‍යාවේ (Jurisprudence) මූලික සිද්ධාන්තයන්ට අනුව, නීති මඟින් නීතිමය රීති පැනවිය යුත්තේ පොදුවේ සහ අනාගතවාදීව (Prospective) මිස, පොදු රීති ලෙස වෙස්ගන්වන ලද සුවිශේෂී පුද්ගල කේන්ද්‍රීය මැදිහත්වීම් ලෙස නොවෙන බවයි.
ව්‍යාජ ව්‍යවස්ථා සම්පාදනය
ඔහු ප්‍රකාශ කරන ආකාරයට ‘ඍජුව කළ නොහැකි දෙයක් වක්‍රව ද කළ නොහැකි බව’ (Quando aliquid prohibetur ex directo, prohibetur et per obliquum) යන රෝම නීති ආප්තයට අනුව, අගවිනිසුරුවරයාට පමණක් ධුර කාලය දික්කර දීම නීතිවිරෝධී වන නිසා, එය වසන් කිරීමට සමස්ත පද්ධතියේම වයස වෙනස් කිරීම හඳුන්වන්නේ ‘ව්‍යාජ ව්‍යවස්ථා සම්පාදනය’ (Colorable Legislation) හෝ ‘ව්‍යවස්ථාපිත වංචාව’ (Constitutional Fraud) ලෙසින්.
මෙය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ තර්කයක් නොවෙන බව ප්‍රකාශ කරන ශිරාල්, පොදුරාජ්‍ය මණ්ඩලීය ලැටිමර් හවුස් මූලධර්ම (Latimer House Principles) මගින් පැහැදිලිව සඳහන් කර ඇත්තේ, අධිකරණ ධුරයක කොන්දේසි කිසිවිටෙකත් නිශ්චිත පුද්ගලයන්ට ප්‍රතිලාභ සැලසෙන පරිදි වෙනස් නොකළ යුතු බවයි. දකුණු අප්‍රිකාවේ අගවිනිසුරුවරයාගේ ධුර කාලය විධායකය විසින් දීර්ඝ කිරීමට ගත් උත්සාහයක් එරට ව්‍යවස්ථාදායක අධිකරණය විසින් ඒකමතිකව අවලංගු කළේ ද මෙම න්‍යාය මත පදනම්ව බවයි ශිරාල් තර්ක කරන්නේ.
ආයෙත් ශිරාණි බණ්ඩාරනායක මතක් කරගමු
2013 දී මහින්ද රාජපක්ෂ පාලන සමයේ තමන්ට අකීකරු වූ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඉවත් කර, තමන්ට හිතවත් මොහාන් පීරිස් පත් කර ගැනීමේ ඛේදනීය අධිකරණ ඉතිහාසයට විරුද්ධව ඒ අවස්ථාවේදී ඉදිරියේ සිට සටන් කළ ප්‍රධාන සටන් පාර්ශ්වයක් මෙසේ එයම වෙනත් ආකාරයකින් වර්තමානයේදී සිදුකිරීම ජනතාව වහාම තේරුම් ගත යුතුය.
අපරාධකරුවන්ට දඬුවම් දීම සිදුවිය යුතුය. එය පක්ෂ පාට භේද නොසලකමින් ක්‍රියාත්මක විය යුතුය. අතීත පාලකයන් කළ දූෂණ වංචා බලය අවභාවිතා කිරීම් පිළිබඳව මෙන්ම වර්තමාන පාලකයන් එවැනි දෑ සිදුකරනවා නම් ඒවා පිළිබඳව ද නීතිය කාර්යක්ෂමව ක්‍රියාත්මක විය යුතුය.
ඒ සඳහා විමර්ශන ආයතන කාර්යක්ෂම කර ස්වාධීන ආයතන බවට පත් කළ යුතුය. ඒ සඳහා නීතිය නමමින් විධායකයට ‘බැඳී සිටින’ (Beholden Judiciary) අධිකරණයක් නිර්මාණය කළහොත් එයින් මුළු රාජ්‍යයේම අනාගතය විනාශ වෙනු ඇත.
එනිසා ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට මේ අවස්ථාවේ කළ යුතු හොඳම දේ වන්නේ මුළු ව්‍යවස්ථාවම සංශෝධනය කිරීමය. එය ජනතාවට දුන් පොරොන්දුවක් බවද මතක් කළ යුතුය..!
-කේ. සංජීව-
මූලාශ්‍ර – කේඩබ්ලිව් ජනරංජය – අනිද්දා වෙබ් අඩවිය
– නීතිඥ ශිරාල් ලක්තිලක






