[gtranslate]

ක්‍රිෂ් දූෂණය – 02

krish namal knews

ක්‍රිෂ් ගනුදෙනුව ආශ්‍රිතව පැනනැඟි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි දූෂණ චෝදනාව පිළිබඳව මෙන්ම, ඒ පිළිබඳව යහපාලන කාලයේ පරීක්ෂණ සිදුකළ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතාගේ එෆ්සීඅයිඩී (FCID) ක්‍රියාකාරීත්වය පිළිබඳව ද, පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය පසුව ඔහුට ‘ද වන් ට්‍රාන්ස්වර්ක්ස් ස්ක්වෙයාර් ප්‍රයිවට් ලිමිටඩ්’ (The One Transworks Square Private Limited) (මුල් සමාගම් නාමය – ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් පුද්ගලික සමාගම) හි අධ්‍යක්ෂ ධුරයක් ලැබීම ගැන ද අපි පසුගිය ලිපියෙන් කතා කළෙමු.

පසුගිය 2005-2015 අතර කාලයේ පැවති පාලනය තුළ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවුණු කුප්‍රකට මුදල් විශුද්ධිකරණයන් පිළිබඳව චෝදනා එල්ලවෙන එක් තැනක් ලෙස ක්‍රිෂ් ගොඩනැගිලි සමූහයට අදාළ ගනුදෙනු පිළිබඳව සඳහන් කළ හැකිය. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා කොළඹ කොටුවේ චැතම් වීදියේ අංක 114 යන ස්ථානයේ අක්කර 1 යි රූඩ් 1 යි පර්චස් 05.70 ක නාගරික සංවර්ධන අධිකාරිය සතුව පැවති ඉඩම, 99 අවුරුදු බදු පදනම යටතේ 2013, 2014, 2015 සහ 2016 යන අවුරුදු හතර තුළ කොටස් වශයෙන් මුදල් ගෙවා පවරාගැනීමේ සිට බොහෝ දේවල් සිදුව තිබුණේ විනිවිද නොපෙනෙන සේය.

මෙම ඉඩමේ තට්ටු 88 කින් යුක්ත කුළුණු 4 ක් ඉදිකිරීම සඳහා මූලික නිශ්කාශන වාර්තා සඳහා ක්‍රිෂ් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ අමිත් කටියාල් මහතා නාගරික සංවර්ධන අධිකාරියට මුලින්ම අයදුම්පත් යොමුකර ඇත්තේ 2012 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 27 දා ය. මෙම ක්‍රියාවලිය ආරම්භ වූ මෙම කාලයේ සිට මෙම මිශ්‍ර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිදුව ඇති බොහෝ මුදල් ගනුදෙනු පිළිබඳව චෝදනාවන් බොහෝ ප්‍රමාණයක් ඇත. එහෙත් ඒ පිළිබඳව කිසිදු සොයා බැලීමක් නැත.

ආයෝජකයින් පිළිගත යුත්තේ කෙසේද?

මෙසේ මෙම මිශ්‍ර ව්‍යාපෘතිය කුළුණු 4 ක ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වුණත්, පසුව එය කුළුණු තුනක වැඩක් බවට පත්වන්නේ මුදල් ආයෝජනයේ ප්‍රශ්න නිසා ය. ඩොලර් මිලියන 650-700 ත් අතර වියදමක් මේ ව්‍යාපෘතිය වෙනුවෙන් වැයවෙන බවට මුලින් ඇස්තමේන්තුගත කර තිබුණත්, මේ සඳහා ඉන්දියාවේ සිට ලංකාවට පැමිණෙන ආයෝජකයා වන අමිත් කටියාල්ගේ මහාදේව් ඉන්ෆ්‍රාටෙක් පුද්ගලික සමාගම IIA ආයෝජන ගිණුම් හරහා ලංකාවට ගෙන එනු ලබන මුදල වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 40 කට ආසන්න මුදලක් ය.

කෙසේ හෝ අවසානයේ කොළඹ කොටුවේ හදවත බඳු භූමියක මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු ආරම්භ වෙන අතර, එහිදී එහි ශ්‍රී ලාංකික අධ්‍යක්ෂවරිය වන්නේ ගීතාංජලී ජානකී ද සොයිසා සිරිවර්ධන මහත්මියයි. නාමල් රාජපක්ෂ මහතාගේ සමීපතම හිතවතියක් බව කියන ඇය, පසුගිය කාලයේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ තිළිණි ප්‍රියමාලි මහත්මියට අදාළ සිදුවීමට අදාළවය.

මෙසේ මුදල් නොමැතිව එහෙන් මෙහෙන් මුදල් ගෙන වියදම් කරමින්, මුල සිටම අර්බුදයන් මතින් මෙම ගොඩනැගිලි ත්‍රිත්වයේ ඉදිකිරීම් ආරම්භ වී එහි එක් ගොඩනැගිල්ලක් අහසට නඟින්නේ චීනයේ සොන්ග්ටියෑන් ඉදිකිරීම් සමාගමේ පිහිට නිසා ය. ‘ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් පුද්ගලික සමාගම’ ලෙස 2012 වර්ෂයේදී ආරම්භ කරනු ලැබූ මෙම සමාගම පසුව ‘ද වන් ට්‍රාන්ස්වර්ක්ස් ස්ක්වෙයාර් ප්‍රයිවට් ලිමිටඩ්’ බවට පත්වී ඇති අතර, 2017 වර්ෂය වනවිට එහි කාර්යාලයේ කාර්ය මණ්ඩලය 25 ක් පමණ සිට ඇත.

රුපියල් ලක්ෂ 2 1/2 ක පමණ ඉහළ වැටුප් ලබාගන්නා සේවකයින්ගේ සිට රුපියල් 40,000 ක පමණ පඩියට සේවය කරන සේවකයන්ද එහි සිට ඇත. මේ අතර කාලයේ මෙම සමාගමේ ප්‍රධානියා සේ කටයුතු කළ ඉන්දීය ජාතික අමිත් කටියාල් මහතා නේවාසික වීසාවන් ගෙන ලංකාවේ සිට ඇති අතර, ඔහු මාස දෙකකට පමණ වාරයක් ලංකාවට පැමිණ ඇත. මෙහි නිර්මාණ පැත්තේ කටයුතු ඉන්දීය, හොංකොං සහ චීන යන ඉදිකිරීම් සැලසුම් සමාගම් හරහා සිදුව ඇති බව වාර්තා වෙන අතර, පළමු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු චීන කොන්ත්‍රාත් සමාගම් දෙකක් විසින් සිදුකර ඇත.

මෙහි මුලින් සිටි චීන කොන්ත්‍රාත් සමාගමට ඔවුන් මෙම ඉදිකිරීම වෙනුවෙන් ලබාදුන් ණය මුදල වෙනුවෙන් ඉදිවෙන ගොඩනැගිල්ලේ අපාර්ට්මන්ට්ස් (Apartments) 30 ක් ලබාදෙන්නට තීරණය කර තිබුණ බව දැනගන්නට ලැබෙන අතර, අනෙක් කොන්ත්‍රාත් සමාගම තමන්ගේ සේවාවන් වෙනුවෙන් තමන්ට ලැබිය යුතු හිඟ මුදල් ලබාගන්නට මෙම සමාගමට විරුද්ධව නඩු පවරා ඇති බවත් දැනගන්නට ලැබෙයි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයත් අනතුරේ

මෙසේ මුලසිටම විශාල මූල්‍යමය අර්බුදයක් මතින් මෙම ව්‍යාපෘතිය ඉදිරියට ඇදුනත්, සමාගම තමන් මූල්‍යමය අවුලක සිටින බව හෝ මෙම ව්‍යාපෘතිය අතහැර දමන්නට සිදුවෙන ව්‍යාපෘතියක් බව හෝ සඟවමින් කටයුතු කර ඇත. කෙසේ හෝ යකඩ, සිමෙන්ති, ගල්, වැලි, පස් ආදී සියලු ඉදිකිරීම් ද්‍රව්‍ය ණයට ගෙන වැඩේ ඉස්සරහට දුවන ලද අතර, මෙල්වා, ලංවා, ඉන්සී වැනි සමාගම්වලට විශාල මුදලක් මේ හරහා නොගෙවා සිට ඇත.

ලංවා සමාගමට රුපියල් මිලියන 300 ක් පමණ ණය බවත්, එම මුදල හිලව් වීමට මෙම ගොඩනැගිලි සංකීර්ණයේ කොටස් කිහිපයක් ලබාදෙන බවටත් පොරොන්දු වී ඇති බව දැනගන්නට ලැබෙයි. මෙසේ එක එක බොරු වංචා සහ රැවටීම් මතින් ගොඩනැගිල්ලේ වැඩකටයුතු ඉදිරියට ගියත්, 2018 වර්ෂයේ අවසන් කාලය පමණ වනවිට පළමු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නතරවී ඇත. මෙසේ ඉදිකිරීම් නතර වුණත්, සමාගම 2018 වර්ෂයේ සිට සිය හැදෙමින් තිබෙන කොන්ක්‍රීට් සැකිල්ල පෙන්වා මුදල් සොයන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. ඒ අනුව අපාර්ට්මන්ට්ස් අලෙවිය ආරම්භ වී ඇත. එහිදී ජානකී සිරිවර්ධන මහත්මිය විශාල භූමිකාවක් රඟපා ඇත.

මෙසේ වැඩ නතරවුණ දකුණු ආසියාවේ උසින් වැඩිම කොන්ක්‍රීට් සැකිල්ලේ නිවාස ඒකක, ව්‍යාපාරිකයන් සහ සමාගම් 30 ක් පමණ මිලට ගෙන ඇති බව දැනගන්නට ලැබෙන අතර, එසේ මිලට ගත් එක් ව්‍යාපාරිකයෙක් අවසානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත්තේ ද වන් ට්‍රාන්ස්වර්ක්ස් ස්ක්වෙයාර් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම ද වන් ගොඩනැගිල්ලේ නිවාස ඒකක 4 ක් ලබාදෙන බවට පොරොන්දු වී ඇමරිකානු ඩොලර් 1,400,005.96 ක මුදලක් ලබාගෙන විශ්වාසය කඩකර වංචාකර සාවද්‍ය පරිහරණය සිදුකර ඇති බව කියමින් ය.

සීඅයිඩී පැමිණිල්ල

මෙසේ පැමිණිලි කර ඇත්තේ කොළඹ 07 රොස්මිඩ් පෙදෙසේ අංක 17/8 හි පදිංචි රිට්ස් ක්ලෝතින් සමාගම් සමූහයේ සභාපති චන්ද්‍රසේන කොඩිකාර මහතාය. ඔහුට මෙම නිවාස ඒකක විකුණා ඇත්තේ මෙම ව්‍යාපෘතිය ලෝකයේ එවකට ක්‍රියාත්මක වෙමින් තිබෙන විශාලම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතීන් අතර එකක් බව ප්‍රකාශ කරමින් ය. එසේ ප්‍රකාශ කර ඇති ජානකී සිරිවර්ධන මහත්මිය මේ සඳහා ලෝකයේ ප්‍රසිද්ධ වෙළඳ නාමයන් රැසක් සම්බන්ධ බවද ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මෙම නිවාස ඒකක 4 ට අදාළ මුදල් ගනුදෙනු 2018.07.26 සිදුකර ඇති අතර, ඊට ගොඩක් කාලයකට පසුව මෙම ව්‍යාපාරිකයාට දැනගන්නට ලැබෙන්නේ තමන් මුදල් ගෙවන අවස්ථාව වනවිටද ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නතරව තිබී ඇති බවය. එහෙත් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු තවදුරටත් සිදුවෙන බව පෙන්වීමට කොන්ක්‍රීට් සැකිල්ලේ උඩ පහළ දුවන ක්‍රේන් යන්ත්‍රය ක්‍රියාත්මක කර තිබී ඇත. ගිවිසුම් ගතවන විට මහල් 55 ක පළමු ගොඩනැගිල්ලේ වැඩකටයුතු 2021 දෙසැම්බර් මස අවසන් වනවිට අවසන් කරන බවද දන්වා ඇත.

ඒ අනුව පිළිවෙලින් නිවාස අංක 2802, 2902, 2803, 2903 ගිවිසුම් අංක 2137, 2140, 2143, 2146 යටතේ එම පිළිවෙලටම ඇමරිකානු ඩොලර් 791,844.00 / 795,309.00 / 848,320.00 / 848,320.00 / මිලකට මිලදී ගන්නට ගැනුම්කරු එකඟ වී ඇත. ඒ අනුව අමිත් කටියාල් සහ ජානකී සිරිවර්ධන යන සමාගමේ අධ්‍යක්ෂවරුන් මෙම ගැනුම්කරු සමග විකුණුම් ගිවිසුම්වලට අත්සන් තබා ඇත. මෙහි සියලු ගිවිසුම් සඳහා සමාගම වෙනුවෙන් ඉහත අධ්‍යක්ෂවරුන් දෙදෙනා අත්සන් කර ඇත.

ඒ අනුව චන්ද්‍රසේන කොඩිකාර මහතා 2018.07.26 දිනයේදී ඇමරිකානු ඩොලර් ලක්ෂ 1 ක මුදලක් ද, 2018.08.23 තවත් ඇමරිකානු ඩොලර් ලක්ෂ 3 ක මුදලක් ද ගෙවා ඇත. මීට අමතරව චන්ද්‍රසේන කොඩිකාර මහතා තවත් රුපියල් 150,000,000 ක මුදලක් සම්පත් බැංකුවේ වැල්ලවත්ත සුපිරි ශාඛාවේ අංක 015084 දරණ බැංකු අණකරය මගින් 2018.12.14 දිනයේදී ද වන් ට්‍රාන්ස්වර්ක්ස් ස්ක්වෙයාර් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමට ගෙවා ඇත. ඊට අමතරව ඉහත බැංකුවේම අංක 015091 දරණ අණකරය මගින් 2018.12.17 දින තවත් රුපියල් 15,000,000 ක මුදලක් ගෙවා ඇත. ඒ 2803 දරණ නිවාස ඒකකය වෙනුවෙන් ය. ඒ අනුව චන්ද්‍රසේන කොඩිකාර මහතා මෙම නිවාස ඒකක හතර වෙනුවෙන් ද වන් ට්‍රාන්ස්වර්ක්ස් ස්ක්වෙයාර් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමට ඇමරිකානු ඩොලර් 1,400,005.96 ක විශාල මුදල් කන්දක් ගෙවා ඇත.

මෙසේ කළ හැකිද?

මෙසේ විශාල මුදල් කන්දක් මෙම නිවාස ඒකක හතර වෙනුවෙන් මෙම සමාගමට ගෙවූ පසුව එහි ඉදිකිරීම් මන්දගාමීව සිදුවන විට ද වන් ට්‍රාන්ස්වර්ක්ස් ස්ක්වෙයාර් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමෙන් ඒ පිළිබඳව විමසීමේදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ 2023 අප්‍රේල් මාසය වනවිට කෙසේ හෝ මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් කරන්නට කටයුතු කරන බවය. 2021 දෙසැම්බර් අවසන් කරනවා යැයි පොරොන්දු වී ගිවිසුම් අත්සන් කර මුදල් ලබාගත්තත්, එම අවසන් කරන දිනය පසුව 2023 අප්‍රේල් බව කීවත්, ඒ වනවිටත් මෙහි වැඩකටයුතු අවසන් වී තිබී ඇත.

එය සනාථ වන්නේ මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබූ දෙවන චීන ඉදිකිරීම් සමාගම ඒ වනවිටත් තමන්ට ලැබිය යුතු මුදල් ලබාගැනීමට වාණිජ මහාධිකරණයේ නඩු පවරා ඇති නිසා ය. 665/2021/ARB දරණ අංකයෙන් ගොනුකර ඇති එම නඩුව නිසා මේ වනවිට ව්‍යාපෘතියේ දේපළ තහනම් කර තිබී ඇත. ඒ අනුව 2019 න් පසුව කිසිදු ඉදිකිරීමක් සිදුව නැත. එහෙත් නිමා නොවූ කොන්ක්‍රීට් සැකිල්ල පෙන්වමින් ව්‍යාපාරිකයන්ගෙන් විශාල වශයෙන් මුදල් ලබාගෙන ඇත. ඒ අනුව මේ වනවිට එම ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙක් නඩු මඟට බසිමින් මෙම ව්‍යාපෘතිය ඈවර කරන්න යැයි අධිකරණයෙන් ඉල්ලා ඇත.

මෙසේ 2018 වර්ෂයේ මුදල් ගෙවා නිවාස ඒකක 4 ක් මිලදී ගත් පසුව මෙම ගොඩනැගිල්ලේ වැඩ කටයුතු පිළිබඳව අවධානයෙන් සිට ඇති චන්ද්‍රසේන කොඩිකාර මහතාගෙන්, ද වන් ට්‍රාන්ස්වර්ක්ස් ස්ක්වෙයාර් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන මහත්මිය සැරින් සැරේ විශාල මුදලක් ණය වශයෙන් ලබාගෙන ඇත. 2019 චීන අලුත් අවුරුදු දිනයේදී මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකළ චීන කොන්ත්‍රාත්කරුවන් තමන්ගේ හිඟ වැටුප් ලබා නොදුනහොත් ගොඩනැගිල්ලේ ඉහළම මහලෙන් බිමට පනින බවට තර්ජනය කර ඇතැයි කියමින් ඔවුන්ට හිඟ වැටුප් ගෙවීමට චන්ද්‍රසේන කොඩිකාර මහතාගෙන් ණය මුදලක් ලබාගෙන ඇත.

එසේ වරින්වර ලබාගත් ණය මුදලෙන් රුපියල් ලක්ෂ 750 ක මුදලක් තවමත් ගෙවන්නට ඇතැයි ප්‍රකාශ වෙන අතර, 2023.01.19 වෙනි දින අත්සන් කරනු ලැබූ පුද්ගලික ණය මුදලක් පියවීමේ ගිවිසුමක් හරහා මෙම සමාගම මෙම රුපියල් ලක්ෂ හත්සිය පනහක මුදල රුපියල් ලක්ෂ පනහ බැගින් වූ වාරික වලින් ගෙවන්නට එකඟවී ඇත. එහෙත් ගිවිසුමට අනුව ණය ගෙවීමක් සිදුව නැත.

මේ සියල්ලට අදාළව චන්ද්‍රසේන කොඩිකාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලට අදාළව විමර්ශනයන් තවමත් සිදුවන අතර, එම නඩුව විභාගයට ගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා පසුගිය නඩු වාරයකදී නියෝග කළේ ද වන් ට්‍රාන්ස්වර්ක්ස් ස්ක්වෙයාර් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂ හිටපු එෆ්සීඅයිඩී (FCID) ප්‍රධානී රවී වෛද්‍යාලංකාර මහතා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස සහ ඔහුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසය. ද වන් ට්‍රාන්ස්වර්ක්ස් ස්ක්වෙයාර් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ ප්‍රධානියා වන ඉන්දීය ජාතික අමිත් කටියාල් මහතා ද මෙම නඩුවේ වගඋත්තරකරුවෙක් වන අතර, ඔහු මේ වනවිට සිටින්නේ ඉන්දියාවේ බන්ධනාගාරයක ය. ඒත් මෙවැනිම මූල්‍ය වංචාවකට අදාළව ය.

2023.01.01 දින සිට වසරක කාලයක් සඳහා සමාගමේ සභාපතිවරයා වන අමිත් කටියාල් මහතා විසින් අනිල් රවීන්ද්‍ර වෛද්‍යාලංකාර මහතා ද වන් ට්‍රාන්ස්වර්ක්ස් ස්ක්වෙයාර් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂ ලෙස නිල වශයෙන් පත් කරන්නේ, තිළිණි ප්‍රියමාලි සිද්ධියට අදාළව එවක අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ ජානකී සිරිවර්ධන රක්ෂිත බන්ධනාගාර ගතවෙන නිසා ය. එය සැලකුව මනාය.

මේ වනවිට මෙම ගොඩනැගිල්ලේ නිවාස ඒකකයන් මිලදී ගනිමින් ජානකී සිරිවර්ධන සහ සමාගමේ බොරු රඟපෑම්වලට හසුවූ ව්‍යාපාරිකයන්, මෙම මිශ්‍ර ව්‍යාපෘතිය ඈවර කරන්න යැයි අධිකරණය හමුවට ගොස් ඇතැයි කරුණු වාර්තා වෙයි. ඒ අනුව මෙම ඉදිකිරීම් පරිශ්‍රයේ තිබෙන කිසිවක් එයින් පිටතට ගෙන යාම තහනම් කරමින් ගරු අධිකරණය නියෝගයන් පැනවූවත්, කොටුව පොලීසියේ සහායෙන් පසුගිය දිනක මධ්‍යම රාත්‍රියේදී මෙම පරිශ්‍රයට ඇතුල් වූ පිරිසක් එහි තිබූ යකඩ ද්‍රව්‍ය වැනි ඉදිකිරීම් ද්‍රව්‍ය පිටතට රැගෙන ගොස් ඇත. මේ දේවල් මෙසේ සිදුවන්නේ කෙසේද?

තත්වය මැන බැලිය යුතුය

මේ වනවිට අහසට නැඟි කොන්ක්‍රීට් සැකිල්ල ඔහේ බලාගෙන සිටියි. කොළඹ කොටුවේ හදවත බඳු ස්ථානයක මෙසේ අබලිව තිබෙන මේ ගොඩනැගිල්ල හෙට දවසේදී මේ මහමඟ ගමන් කරන පදිකයන්ගේ ඔළු උඩට කඩාවැටී විශාල හානියක් සිදුකරන්නට පුළුවන් ය. පසුගිය දා සුළඟේ පාව ආ යකඩ කැබැල්ලක් නිසා ටෙලිකොම් පරිශ්‍රය ඉදිරියෙන් ගමන් කළ පදිකයෙක්ට තුවාල සිදුවුණු බව දැනගන්නට ලැබෙන අතර, ගොඩනැගිල්ල ආවරණය කර තිබුණ දැල් ආවරණය ගැලවී ගොස් තිබෙන නිසා මෙම අනාරක්ෂිත තත්ත්වය උදාවී ඇත.

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල හදන්නට කනිනු ලැබූ කොටුවේ මේ බිමේ පොළොව, මේ වනවිට විශාල ජලාශයක් සේ වතුර පුරවාගෙන සිටියි. එම වතුර ඉවත් කිරීමද අහසට නැඟි ගොඩනැගිල්ලට හොඳ නැති බව දැනගන්නට ලැබෙයි. ඒ අනුව අපිට නාගරික සංවර්ධන අධිකාරියට සහ කොළඹ මහ නගර සභාවට කියන්නට වෙන්නේ වහාම ගොස් මේ ගොඩනැගිල්ලේ තත්ත්වය පිළිබඳව පරීක්ෂාවක් කර, කොළඹ කොටුවට දෛනිකව පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසය.

රාජ්‍ය මෙවැනි ගනුදෙනු සහ ආයෝජන අරබයා කුමක් කළ යුතුද? රාජ්‍යයට මෙවැනි ගනුදෙනු සහ සිදුවීම් හුදකලා සිදුවීම් ලෙස අතහැර දැමිය හැකිද? මෙවැනි විශාල මුදල් ආයෝජනයන් සහ විශාල ගොඩනැගිලි සංකීර්ණයන් ඉදිවන විට රාජ්‍ය මැදිහත්වීම සහ නියාමනය ඉතාමත් ඉහළින් තබාගත යුතුය. මේ හැම දෙයක්ම නිසි ප්‍රමිතියකින් සහ විනිවිද පෙනෙන සුළු ආකාරයෙන් සිදුවිය යුතුය. වංචාව හා දූෂණය පිටු දකින්නට කටයුතු කළ යුතු බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ද ලංකාව සම්බන්ධයෙන් වූ සිය වාර්තාව හරහා ප්‍රකාශ කර ඇත. එවැනි පසුබිමක් තුළ කඩාවැටී තිබෙන ආර්ථිකය යථා තත්ත්වයට පත් කරගන්නට නම් සහ දියුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහිත රාජ්‍යයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය නම් මේ සියලු දේවල් නොපමාව වෙනස් විය යුතුය.

-කේ. සංජීව-

පළමු කොටස මෙතනින් කියවන්න –https://knews.lk/krrish-deal-namal-rajapaksa-fcid-investigation-knews/

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ...

කැරපොත්තන්ගේ සටන පළමු ජය වාර්තා කරයි

සමස්ත ඉන්දියාව පමණක් නොව ලෝකයම සොලවමින් වීදි බැස සිටින කැරපොත්තන්ගේ ජනතා පක්ෂය සිය පළමු ජයග්‍රහනය වාර්තා කරගෙන ඇතැයි ද ඒ අනුව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා...

මන්දිරවල ජනපති නෑ. නමුත් ජනයා ඉදලා. බර වියදමකුත් ගිහිං

ජනාධිපතිවරයා රටපුරා ඇති ජනාධිපති මන්දිර භාවිතා කරන්නේ නැති බව ප්‍රකාශ කරමින් එම මන්දිරවල නවාතැන් නොගත්තත් එහි බොහෝ දෙනෙක් රැඳී සිට ඇති බවද ඒ සඳහා 2025 වර්ෂයේදී විශාල වියදමක් දරා ඇති බවද ජාතික විගණන...