ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යාමේදී නීතියේ පාලනය, අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි මූලික අයිතිවාසිකම් යන කලාපයන්හි යහපැවැත්ම වැදගත් ය. එහෙත් මෑත දිනවල ඇති වූ සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම අංශයන්හි ස්ථාවරභාවය පිළිබඳ බරපතළ සංවාදයක් සමාජය තුළ මතුව තිබේ. පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලු, අධිකරණයට අපහාස කිරීමේ නීති භාවිතය පිළිබඳ වාද විවාද, විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්න සහ ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනා, එම අධිකරණ දෙකෙහි විනිසුරු පුරප්පාඩු නොපිරවීම වැනි සිදුවීම් අරඹයා ගැටලු පැනනැඟීම මෙම සංවාදයට හේතුවයි. ඒ අතරේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත බලාත්මක කරන ස්වරූපයන් සහ නව ප්‍රති ත්‍රස්ත පනතක් පිළිබඳ අදහස සමාජයේ තියුනු සංවාදයකට බදුවී තිබෙයි. මෙම කරුණු සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ මත පළ කළද, ඒවා සියල්ල අවසානයේ එකම කේන්ද්‍රයකට යොමු වෙයි. එනම්, ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය සහ අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රමාණවත් ලෙස ආරක්ෂා වී තිබේද යන්න එම කේන්ද්‍රයයි.
පළමුවෙන්ම, පුරවැසියන්ගේ භාෂණයේ නිදහස පිළිබඳ විවාදය සලකා බැලිය යුතුය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(a) වගන්තිය මගින් සෑම පුරවැසියෙකුටම අදහස් ප්‍රකාශ කිරීමේ සහ භාෂණයේ නිදහස සහතික කර ඇත. එමෙන්ම 10 වැනි වගන්තිය මඟින් සිතීමේ සහ හෘද සාක්ෂියේ නිදහස ආරක්ෂා කරයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක රජය, රාජ්‍ය ආයතන හෝ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විවේචනය කිරීම පුරවැසියෙකුට ඇති නීත්‍යානුකූල අයිතියකි.
එහෙත් මෑතකදී විපක්ෂ දේශපාලනඥයන්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර විමර්ශනයන් අරඹයා කළ ප්‍රකාශ දඩමීමා කරගනිමින්, දේශපාලකයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් ‘අධිකරණයට අපහාස කිරීම’ යන චෝදනා යටතේ සීඅයිඩීය විසින් සිදු කෙරෙන විමර්ශන පිළිබඳව විවේචන එල්ල වී තිබේ. විවේචකයන් පෙන්වා දෙන්නේ අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා ඇති නීති, රාජ්‍ය ආයතන හෝ නිලධාරීන් පිළිබඳ විවේචන මර්දනය කිරීම සඳහා භාවිතා කරන්නේ නම් එය නීතියේ අරමුණ විකෘති කිරීමක් බවයි. එවැනි ක්‍රියාමාර්ග නිසා පුරවැසියන් තුළ ස්වයං-විරෝධී නිහඬතාවයක් ඇති වීමේ බයානක අවදානමක් පවතින බව ද එය ප්‍රජාතන්ත්‍රවාදයේ යහ පැවැත්මට අකුල් හෙළන බවද ඔවුහු පෙන්වා දෙති.
මෙම පසුබිම තුළ තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් අධිකරණයෙන් වාර්තා වුණ අතර එයින් කියවුණේ අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර සාක්ෂිකරුවෙක් විදියට කැඳවන්නට කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග විසින් නියෝගය කර ඇති බවයි. ඒ විනිසුරු සහන් මාපා බණ්ඩාර නුගේගොඩ දිසා විනිසුරුවරයා ලෙස සේවය කළ සමයේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය සම්බන්ධ නඩුවක දී දුන් නියෝගයක් ගැන කරුණු විමසීමට ය.
සාමාන්‍යයෙන් හදිසි මරණ පරීක්ෂණයක් වැනි කරුණක් සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් විදියට මහේස්ත්‍රාත්වරයෙක් අධිකරණයට කැඳවන්න පුළුවන් වුණත් ඔහු හෝ ඇය විසින් දෙන ලද තීන්දුවක් සම්බන්ධයෙන් සාක්ෂි දෙන්න කියා අධිකරණයට කැඳවීමේ සිරිතක් හෝ පූර්වාදර්ශයක් නෑ. දිසා විනිසුරුවරයෙක් දුන් තීන්දුවකට එකඟ නැත්නම් කළ හැක්කේ එම තීන්දුවට එරෙහිව ඊට ඉහළ අධිකරණයකට අභියාචනයක් ඉදිරිපත් කිරීම පමණි. එහෙත් මෙම සිදුවීමේදී එය නොසලකා අමුතු ආකාරයට කටයුතු කළ බවක් තමයි පෙනෙන්නේ.
විනිසුරුවරයෙක් තමන් දුන් තීන්දුවක් නිසා පසුව සාක්ෂි කූඩුවට කැඳවා ප්‍රශ්න කිරීම අධිකරණ ස්වාධීනත්වයට බලපෑම් කළ හැකි පූර්වාදර්ශයක් ලෙස බොහෝ නීතිවේදීන් සැලකුවා. එහි ප්‍රතිපලය වුණේ මේ සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ඉදිරියේ රටේ ප්‍රමුඛ නීතිවේදීන් සහ ජනාධිපති නීතිඥවරුන් රැසක් පෙනී සිට කරුණු දැක්වීම. මෙම තීන්දුව එසේ අභියාචනාධිකරණයේ අභියෝගයට ලක්වෙන විට අවසානයේ නීතිපතිවරයා විසින් අදාළ විනිසුරුවරයා සාක්ෂිකරුවෙකු ලෙස නොකැඳවන බවට සහතික විය. ඒ අනුව එම ක්‍රියාවලිය නතර වුණ නමුත් එවැනි තත්ත්වයක් ඇතිවීමම අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් ඇති කිරීමට හේතුවක් විය.
මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 8ක් තිබියදී සහ හොඳ නමක් තිබෙන කීර්තිමත් විනිසුරන්ට ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට යන්න තිබෙන අවස්ථාව නැති කරමින් එම පුරප්පාඩු පිරවීමට ජනාධිපතිවරයා කටයුතු නොකිරීම සහ ප්‍රමාද කිරීම නීති ක්ෂෙත්‍රයේ ඉහත කතා බහ තවත් පුලුල් කළා කීවොත් නිවැරදිය.
ඒ අතරේ නීති ප්‍රජාව නැවතත් වික්ෂිප්තභාවයට තල්ලු කරන සිදුවීමක් සිදුවිය. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේ යෝජනාව එම වික්ෂිප්තභාවයට හේතුව විය. ඒ අනුව නීතියේ පාලනය පිළිබඳ ඇති සමාජ කනස්සල්ල තවත් වර්ධනය කර ඇති අතර මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පමණක් නොව, පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ද සිය අවධානය යොමු කර ඇති බව වාර්තා වෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය පෙන්වා දී ඇත්තේ අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධන කඩිමුඩියේ සිදු නොකළ යුතු බවයි. එම සංගමය අවධාරණය කරන්නේ ස්වාධීන, අපක්ෂපාතී සහ ශක්තිමත් අධිකරණයක් යනු නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ අත්‍යවශ්‍ය කොටසක් බවයි. ශ්‍රී ලංකාව එකඟ වී ඇති Latimer House මූලධර්ම සහ ගෝව ප්‍රකාශනය වැනි ජාත්‍යන්තර ප්‍රතිපත්ති ද එම ස්ථාවරයම තහවුරු කර ඇත.
විවේචකයන් පෙන්වා දෙන්නේ මෙම සංශෝධනයේ සැබෑ අරමුණ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම නොව, විශේෂ පුද්ගලයෙකුගේ ධුර කාලය දීර්ඝ කිරීම විය හැකි බවයි. එම චෝදනා නිල වශයෙන් තහවුරු වී නැතත්, ඒවා සමාජයේ සහ නීති ක්ෂේත්‍රයේ සැලකිය යුතු සංවාදයක් ඇති කර තිබේ.
මෙහි තවත් වැදගත් පැත්තක් වන්නේ ජාත්‍යන්තර ප්‍රතිචාරයයි. ශ්‍රී ලංකාව මේ වන විට යුරෝපා සංගමයේ GSP+ සහනය පවත්වා ගැනීම සඳහා මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට ලක්ව සිටී. එවැනි පසුබිමක අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ සැක මතු කරන සංශෝධන ජාත්‍යන්තර මට්ටමින් ද අවධානයට ලක් වීම අනිවාර්ය වී තිබේ.
තවත් සැලකිල්ලට ගත යුතු කරුණක් වන්නේ අධිකරණ ක්ෂේත්‍රය තුළම පවතින බව කියන භීතිය සහ පීඩනය පිළිබඳ චෝදනාය. විවිධ ආරංචි මාර්ග අනුව, විනිසුරුවරුන් සහ අධිකරණ නිලධාරීන් අතර මෙම යෝජනා සම්බන්ධයෙන් විවෘත අදහස් දැක්වීමට මැලිවීමක් පවතින බව ප්‍රකාශ වන අතර එවැනි තත්ත්වයක් ඇත්නම්, එය අධිකරණයේ අභ්‍යන්තර ස්වාධීනත්වය පිළිබඳ ගැටලුවක් ලෙස ද සැලකිය හැකියි.
අධිකරණය යනු පුරවැසියන්ගේ අවසාන ආරක්ෂක පවුරයි. පාර්ලිමේන්තුවේ බලය, විධායකයේ බලය හෝ ජනප්‍රිය දේශපාලන මතවාද පවා නීතියට යටත් කරන ආයතනය අධිකරණයයි. එබැවින් අධිකරණය පිළිබඳ ජනතා විශ්වාසය පලුදු වීම හෝ එහි ස්වාධීනත්වය පිළිබඳ සැකසංකා මතුවීම රටක ප්‍රජාතන්ත්‍රවාදයට සෘජු බලපෑමක් ඇති කරයි.
අද අප මුහුණ දී සිටින අභියෝගය වන්නේ නීතියේ ආධිපත්‍යය සහ දේශපාලන බලයේ ආධිපත්‍යය අතර සීමාව පැහැදිලිව පවත්වා ගැනීමට නොහැකිවීමයි. භාෂණයේ නිදහස, අධිකරණයේ ස්වාධීනත්වය සහ රාජ්‍ය ආයතනවල වගවීම යන කරුණු එකිනෙකින් වෙන් කළ නොහැක. ඒවා සියල්ලම එකට ක්‍රියාත්මක වන විට පමණක් නීතියේ පාලනය සැබෑ අර්ථයෙන් පවතියි. ඒවාට එකිනෙකින් ස්වායක්ත පැවැත්මක් නැති බව අප කල්පනා කළ යුතුය.
එබැවින් මෑතකාලීන සිදුවීම්වලින් මතු වී ඇති ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය යුත්තේ දේශපාලන වාසි හෝ පක්ෂපාතීත්වය මත නොව, ව්‍යවස්ථානුකූල මූලධර්ම, නීතිමය සම්ප්‍රදායන් සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් මත පදනම්වය. නීතියේ පාලනය ආරක්ෂා කිරීම යනු ආණ්ඩුවක්, විපක්ෂයක් හෝ පුද්ගලයෙකු ආරක්ෂා කිරීම නොව, සමස්ත රාජ්‍ය පද්ධතියේ විශ්වසනීයත්වය සහ පුරවැසියන්ගේ නිදහස ආරක්ෂා කිරීමයි. එය අහිමි වූ විට පරාජය වන්නේ කිසිදු පක්ෂයක් නොව, සමස්ත රාජ්‍යයම බව අප සිහිතබා ගත යුතුය.
-මංජු කස්තුරිආරච්චි-






