හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගෙන බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණුවකට යැවීම පිළිබඳව විමර්ශනය කරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගෙන තිබේ.
යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගැනීමටත් ප්‍රථම බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික විද්‍යාලයේ පුහුනුවට යැවීම සඳහා සැලසුම් කිරීම, යෝෂිත නාවික හමුදාවට බඳවා ගැනීම සඳහා සම්මත බඳවා ගැනීම් ක්‍රමවේදයන් වෙනස් කිරීම ආදී චෝදනා රැසක් හිටපු නාවික හමුදාපතිවරයාට එල්ලවෙන අතර ඔහු මේ හරහා දූෂණය නම් වරද සිදුකර ඇතැයි එම කොමිසම ප්‍රකාශ කරයි.
මේ පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පසුගිය ජුනි 16 වෙනිදා එම කොමිසම හමුවේ පෙනී සිටින්නැයි හිටපු නාවික හමුදාපතිවරයාට සිතාසි යොමුකර තිබුණත් එම සිතාසිය නිල වශයෙන් ලැබී නොමැති බව පවසමින් ඔහු එදින පෙනී සිටියේ නැත.
මෙම විමර්ශනයටම අදාළව පසුගිය ජුනි 17දා යෝෂිත රාජපක්ෂ එම කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් මිලියන 5 බැගින් වූ පුද්ගලික ඇප තුනක් මත මුදා හරින ලදී.






