2022 ආර්ථික බිඳවැටීමෙන් සහ 2025 නොවැම්බරයේ බලපෑ ‘ඩිත්වා’ සුළි කුණාටුවෙන් පසුව, ශ්‍රී ලංකාව නව ගෝලීය විශ්වාසයක් සහිතව සිය ආර්ථිකය නැවත ගොඩනඟමින් සිටී.
ආයෝජන මණ්ඩලයට අනුව, 2025 වසරේදී විදේශීය සෘජු ආයෝජන (FDI) 72% කින් වර්ධනය වී ඩොලර් බිලියන 1.06 ක ඓතිහාසික අගයක් වාර්තා කර ඇත. මෙය ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ඉතිහාසයේ ඩොලර් බිලියනයේ සීමාව පසුකළ පළමු අවස්ථාවයි.
One Step Beyond ආයතනයේ නිර්මාතෘ හිරෝටකා මිසුටානි පෙන්වා දෙන්නේ විදේශීය ආයෝජකයින් හුදෙක් තම පැරණි ව්‍යාපාර පවත්වාගෙන යාම පමණක් නොව, දිගුකාලීන ලාභ අපේක්ෂාවෙන් ඉහළ අවදානමක් සහිත නව ‘ග්‍රීන්ෆීල්ඩ්’ (greenfield) ව්‍යාපෘති සඳහා ද යොමුවී ඇති බවයි.
එවැනි නව ව්‍යාපෘති 24ක් සඳහා ඩොලර් මිලියන 134ක මුදලක් ලැබී ඇති අතර එය මුළු ආයෝජනයෙන් 13%කි. මෙවර වැඩිම ආයෝජන ගලා ආවේ සිංගප්පූරුව (ඩොලර් මිලියන 318.9), ඉන්දියාව (මිලියන 213.7) සහ ප්‍රංශය (මිලියන 122.5) රටවල්වලින් ය. අංශ වශයෙන් ගත්කළ නිෂ්පාදන අංශය 46%, වරාය සංවර්ධනය 26% සහ සංචාරක කර්මාන්තය 11% පෙරමුණේ පසුවේ.
මැදපෙරදිග යුදමය තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාව ආයෝජකයින්ට ආරක්ෂිත ‘මධ්‍යස්ථ කලාපයක්’ බවට පත්ව ඇත. 2026 ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දු-පාකිස්තාන තරගය සාර්ථකව කොළඹදී පැවැත්වීම හරහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ පවතින ස්ථාවරත්වය තවදුරටත් තහවුරු විය.
හම්බන්තොට ඉදිවන ඩොලර් බිලියන 3.7 ක Sinopec ඛනිජ තෙල් පිරිපහදුව මෙරට විශාලතම විදේශ ආයෝජනය වන අතර, 2026 ජනවාරි මාසයේදී China Harbour Engineering සමාගම වරාය නගරය සඳහා ඩොලර් මිලියන 300 ක ආයෝජනයක් ද තහවුරු කර තිබේ.
වරාය සහ බලශක්ති අංශවලට අමතරව, තොරතුරු තාක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය සහ ‘ඩිජිටල් ආර්ථිකය’ වැනි නව අංශ වෙත ද ආයෝජන යොමු වෙමින් පවතී.
කොළඹ වරාය මේ වන විටත් දකුණු ආසියාවේ විශාලතම ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානය බවට පත්ව ඇති බැවින්, සැපයුම් දාම කළමනාකරණය වැනි අංශවලද දැවැන්ත වර්ධනයක් අපේක්ෂා කෙරේ.
ඉන්දියාවේ UltraTech, CEAT, අමෙරිකාවේ Synopsys, Virtusa සහ ජපානයේ Tos Lanka වැනි ගෝලීය සමාගම් රැසක් මේ වන විටත් මෙරට සක්‍රීයව ක්‍රියාත්මක වේ.
සංචාරක කර්මාන්තය ද ඉහළ ප්‍රමිතියකින් යුතු සන්නාම ආකර්ෂණය කරගෙන තිබේ. Shangri-La, Taj, ITC, Hilton සහ Marriott වැනි සුපිරි හෝටල් ජාලයන්ගේ මෙහෙයුම් ඊට නිදසුන් ය. 2026 වසරේදී නව හෝටල් කාමර 20,000 කට වඩා අලුතින් එක්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ සංචාරක උපායමාර්ගය මේ වන විට ඉහළ ආදායම් ලබන, ගුණාත්මක සංචාරක අත්දැකීම් ලබාදීම වෙත යොමුවී ඇත.
මෙම ප්‍රාග්ධන ගලාඒම වේගවත් කිරීම සඳහා රජය විසින් වරාය නගර කලාපය තුළ වසර 40ක් දක්වා බදු සහන, නව ආයෝජන ආරක්ෂණ පනතක් සහ ‘ඒකාබද්ධ කවුළු’ (single-window) අනුමැති ක්‍රමයක් හඳුන්වා දී ඇත.
කෙසේ වෙතත්, මෙය හුදෙක් නාමික වෙනසක් නොව සැබෑ නිලධාරිවාදී බාධක ඉවත් කිරීමක් විය යුතු බවට මිසුටානි අනතුරු අඟවයි. තවද, 2026 මුල් භාගයේදී හඳුන්වා දීමට නියමිත නව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව පනත හරහා යටිතල පහසුකම්, බලශක්ති සහ විදුලි සංදේශ අංශ වෙත තවදුරටත් පුද්ගලික ප්‍රාග්ධනය ආකර්ෂණය කරගැනීමට අපේක්ෂා කෙරේ.
මූලාශ්‍ර – Global Finance






