අධිකරණය අදින් පසු කොහේ යයි ද? – අලුත් කඩේ අද මොකද වුණේ?

sumanthiran ali sabri knews

ශ්‍රී ලංකාවේ ස්ථාපිත නීති පද්ධතියට සහ එහි ස්වාධීන පැවැත්මට අදින් පසුව කුමක් සිදුවෙයිද යන කුකුස අද අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය වෙත එකතු වී සිටි බොහෝ දෙනෙකුගේ කසුකුසුවක් විය. මේ ලියුම්කරුට මුණගැසුණු ප්‍රබල වෘත්තීය සමිති නායකයෙක් ප්‍රකාශ කළේ අදින් පසුව චීන පන්නයේ අධිකරණයක් ශ්‍රී ලංකාව තුළ බිහිවනු ඇතැයි සැක සිතෙන බවය.

මොකද්ද මේ විචිකිච්චාවට හේතුව? එයට ප්‍රධානතම හේතුව ආණ්ඩුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක එක් එක් ව්‍යාජ හේතු දක්වමින් උපරිමාධිකරණ විනිසුරු විශ්‍රාම වයස් සීමාව අවුරුදු දෙකකින් දිගු කිරීමට 22 වන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමයි.

ලංකාවට මෙවැනි විධායකයේ අභිලාෂයන් මත පිහිටා ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමේ කුප්‍රකට ඉතිහාසයක් පවතී. වර්තමාන ආණ්ඩුවද එම කුප්‍රකට ඉතිහාසය ඉදිරියට ගෙන යමින් මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් ඇත. එය මුලින්ම දොරගුළු වසාගෙන කළ සාකච්ඡාවක් වූ අතර, පසුව එය මාධ්‍යට අනාවරණය වීමෙන් අනතුරුව තම අභිලාෂයන් සඳහා සුජාතභාවයක් ආරෝපණය කරගැනීමට එම යෝජනාවේ දිග පළල වෙනස් කරනු ලැබීය.

ඒ අනුව අද වන විට සමස්ත අධිකරණ පද්ධතියේම විනිසුරු වයස් සීමාවන් දීර්ඝ කිරීම සඳහා පදනම් සකස් කර ඇත. එහි ඊළඟ අවධිය මෙසේ ආරම්භ වී ඇත.

මෙසේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබූ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් 67ක්ද එදින (සැප්තැම්බර් 1) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීම ආරම්භ වූ අතර, මෙය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා සංශෝධනයකට එරෙහිව ගොනු වූ වාර්තාගත ඉහළම පෙත්සම් සංඛ්‍යාවක් ලෙසද වාර්තා වේ.

මීට සමගාමීව පහළ අධිකරණවල විනිසුරු වයස් සීමාවන් දීර්ඝ කිරීමට අදාළව ඉදිරිපත් කර ඇති අධිකරණ සංවිධාන සම්බන්ධ සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිවද තවත් පෙත්සම් පහක් ඉදිරිපත් වී තිබේ.

පූර්ණ විනිසුරු මඩුල්ලක් ප්‍රතික්ෂේප වෙයි

අද පළමු දිනයට මෙම පෙත්සම් විභාගයට ගත් පසුව වැදගත් නෛතික ගැටලුවක් මතු විය. ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන්ගේ මූලිකත්වයෙන් මෙම ඉල්ලීම ඉදිරිපත් වූ අතර, ඊට සාලිය පීරිස්, අලි සබ්රි, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් ද සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දෙගොඩ, මෛත්‍රී ගුණරත්න ඇතුළු ජනාධිපති නීතිඥවරු පිරිසකගේද සහාය හිමිවිය.

ඔවුන් බරපතළ නීති තර්ක ඉදිරිපත් කරමින් මෙම පෙත්සම් විභාගයට ගැනීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින සියලු විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කළ යුතු යැයි තර්ක කළහ.

එහෙත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න තර්ක කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3) වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක සංයුතිය සහ විනිසුරුවරුන් සංඛ්‍යාව තීරණය කිරීමේ අභිමතය ඇත්තේ අගවිනිසුරුවරයා සතුව පමණක් බවයි.

මෙම තර්ක විතර්කවලින් පසුව කරුණු සලකා බැලීම සඳහා විනාඩි 15ක පමණ කාලයකට අධිකරණ කටයුතු අත්හිටුවීමෙන් අනතුරුව, පූර්ණ විනිසුරු මඩුල්ලක් පත්කරන්නට කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව පෙත්සම් විභාගය අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේනගේ ප්‍රධානත්වයෙන් අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ තවදුරටත් ක්‍රියාත්මක වන බව අගවිනිසුරුවරයා විසින් අධිකරණයට දන්වා සිටින ලදී. ඉන් අනතුරුව පෙත්සම් විභාගය ආරම්භ විය.

ඒ අනුව අතිවිශාල නීතිඥයන් සහ පෙත්සම්කරුවන් පිරිසක් ඉදිරියේ මෙම නඩුව අංක 501 ශාලාව තුළ විභාගයට ගනු ලැබීය. මුලින් 502 ශාලාවේ මෙම නඩුව විභාගයට ගැනීමට තීරණය කර තිබුණත්, එහි ඉඩකඩ සීමිත බැවින් එම තීරණය වෙනස් කර නඩු විභාගය 501 ශාලාව වෙත ගෙන යන්නැයි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී. අවසානයේ එම ඉල්ලීමට කන්දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුව 501 ශාලාවේ විභාගයට ගැනීමට තීරණය කළේය.

මොකද්ද මේ ව්‍යවස්ථා සංශෝධනය?

2026 අගෝස්තු 7 වැනිදා ගැසට් කරන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධානතම වෙනස වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) වගන්තිය සංශෝධනය කිරීමයි.

දැනට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65ක් වන අතර, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63කි. නව සංශෝධනය සම්මත වූ පසු එම වයස් සීමා පිළිවෙළින් අවුරුදු 67 සහ 65 දක්වා වසර දෙකකින් ඉහළ දැමෙනු ඇත.

අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් වෙනම සීමාවක්ද හඳුන්වා දී ඇත. ඒ අනුව අගවිනිසුරුවරයා වයස අවුරුදු 67 සම්පූර්ණ කරන දිනය හෝ අගවිනිසුරු ධුරයට පත්වී වසර හයක් සම්පූර්ණ වන දිනය යන දෙකෙන් කලින් එළඹෙන දිනයේදී විශ්‍රාම ගත යුතුය.

එපමණක් නොව, 137 වන වගන්තිය සංශෝධනය කරමින් අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ උපරිම සංඛ්‍යාව 24 දක්වා ඉහළ නැංවීමටද පනත් කෙටුම්පත යෝජනා කරයි.

රජය කියන්නේ කුමක්ද?

රජය මෙම සංශෝධනය ඉදිරිපත් කරන්නේ අධිකරණ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අධිකරණවල ගොඩගැසී ඇති නඩු ප්‍රමාණය කඩිනමින් විසඳීම සඳහා වන පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක කොටසක් ලෙස බව පවසයි. එහෙත් එම කරුණ හුදෙක් මෙහි තිත්ත ඇත්ත වසාගැනීමට ගල්වන අයිසිනයක් පමණි.

2026 ජූලි 27 දින කැබිනට් අනුමැතිය ලැබුණු මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය සඳහන් කර තිබුණේ අධිකරණයේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීම සහ විභාගයට නොගෙන ගොඩගැසී ඇති නඩු කඩිනමින් අවසන් කිරීම එහි අරමුණු අතර වන බවයි. නීති කෙටුම්පත් සම්පාදකයා සකස් කළ පනත් කෙටුම්පත් සඳහා නීතිපතිවරයාගේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සහතිකයද ලැබී තිබූ අතර, මෙම කාලය තුළ මෙම පනත පිළිබඳව අදාළ අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන මෙනවියගෙන් විමසූ විට ඇය කියා සිටියේ තමන් මෙම සංශෝධනය පිළිබඳව නොදන්නා බවය.

එවැනි සැකසංකා ගොඩක් අතරේ මෙයට විරුද්ධ වන්නන් තර්ක කළේ මෙය හුදෙක් වර්තමාන අගවිනිසුරුවරයාගේ ධුර කාලය තවත් අවුරුදු 2කින් ඉහළ දමාගැනීමට ගසන ක්‍රීඩාවක් බවය. ඔවුන් එහිදී අනාවරණය කළේ උපරිමාධිකරණ විනිසුරු වයස් සීමාව දීර්ඝ කිරීම සහ ගොඩගැසුණු නඩු කඩිනම් කිරීම අතර කිසිදු සහසම්බන්ධයක් නොමැති බවයි.

මෙම සංවාදය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් අතර පසුගිය අගෝස්තු 12 දින පැවති සාකච්ඡාවේදීද ජනාධිපතිවරයා පෙන්වා දී තිබුණේ යුක්තිය පසිඳලීම අධිකරණයට පමණක් සීමා නොවන අතර විමර්ශන, නඩු පැවරීම් සහ අධිකරණ තීරණ යන සමස්ත ක්‍රියාවලියම ශක්තිමත් කළ යුතු බවයි.

මොකද්ද මේ විරෝධය?

විවාදයේ හදවත ඇත්තේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් වැඩි කිරීම යහපත්ද නරකද යන සරල ප්‍රශ්නයක නොවේ.

ප්‍රධාන ප්‍රශ්නය වන්නේ දැනට ධුරයේ සිටින විනිසුරුවරුන්ගේ සේවා කාලය ඔවුන් පත්වීමෙන් පසුව ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් වෙනස් කිරීම අධිකරණ ස්වාධීනත්වයට බලපාන්නේද යන්නයි.

විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පෙත්සමෙන්ද මෙම ගැටලුව විශේෂයෙන් මතුකර තිබේ. පනත් කෙටුම්පතේ දැනට සේවය කරන විනිසුරුවරුන් නව වයස් සීමාවෙන් ඉවත් කරන පැහැදිලි සංක්‍රාන්ති විධිවිධානයක් නොමැති බැවින්, පත්වීම සිදුකළ අවස්ථාවේ තිබූ ධුර කාලය පසුව දීර්ඝ කිරීමට ඉඩ සැලසිය හැකි බව එහි තර්කයයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයද පනත් කෙටුම්පත වත්මන් ආකාරයෙන් ඉදිරියට ගෙන නොයන ලෙස රජයෙන් ඉල්ලා තිබූ අතර, විශ්‍රාම වයස දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට සෘජු බලපෑමක් ඇති කළ හැකි බව එහි ස්ථාවරයයි.

ජනතා පරමාධිපත්‍යය මෙයට සම්බන්ධ වන්නේ කෙසේද?

පෙත්සම්කරුවන්ගේ ප්‍රධාන ව්‍යවස්ථාමය තර්කය ගොඩනැගෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වගන්ති මතය.

3 වන වගන්තිය අනුව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව සතු වන අතර එය අන්සතු කළ නොහැකිය. 4 වන වගන්තිය එම පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිලි කරයි. ඒ යටතේ ජනතාවගේ අධිකරණ බලය අධිකරණ පද්ධතිය හරහා ක්‍රියාත්මක වේ.

2002 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේදී 3 සහ 4 වගන්ති අතර සමීප ව්‍යවස්ථාමය සම්බන්ධතාව අවධාරණය කර තිබුණි. රාජ්‍යයේ එක් ආයතනයකට ව්‍යවස්ථාවෙන් පැවරුණු බලයක් වෙනත් ආයතනයකට මාරු කිරීම හෝ එම බලයේ මූලික ස්වභාවය විකෘති කිරීම ජනතා පරමාධිපත්‍යයට බලපාන තත්ත්වයක් ඇති කළ හැකි බව එම නීතිමය සම්ප්‍රදායේ මූලික අදහසයි.

එහෙත් මෙහි වැදගත් නෛතික සියුම්කමක්ද තිබේ. 4 වන වගන්තිය තනිවම ජනමත විචාරණයකින් ආරක්ෂා කර ඇති වගන්තියක් නොවේ. එබැවින් 4 වන වගන්තියට සම්බන්ධ සෑම වෙනසක්ම ස්වයංක්‍රීයව ජනමත විචාරණයක් අවශ්‍ය කරන බව කිව නොහැකිය. අධිකරණය අවසානයේ පරීක්ෂා කළ යුත්තේ එම වෙනස 3 වන වගන්තියෙන් ආරක්ෂා කර ඇති ජනතා පරමාධිපත්‍යයට සැබෑ ලෙස හානි කරන්නේද යන්නයි.

ඒ නිසාම මෙම නඩුවේ මූලික ප්‍රශ්නය “විනිසුරුවරුන්ට තවත් වසර දෙකක් සේවය කිරීමට ඉඩ දිය යුතුද?” යන්නට වඩා ගැඹුරුය.

“පත්වීමෙන් පසු විනිසුරුවරයෙකුගේ ධුර කාලය වෙනස් කිරීම මඟින් විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට අධිකරණයේ ආයතනික ස්වාධීනත්වයට බලපෑම් කිරීමේ හැකියාවක් නිර්මාණය වේද?” යන්න ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඇති තීරණාත්මක ව්‍යවස්ථාමය ප්‍රශ්නයකි.

පෙත්සම්කරුවන් ඉල්ලන්නේ ජනමත විචාරණයක්

ප්‍රතිපත්ති අධ්‍යයන මධ්‍යස්ථානය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ඉදිරිපත් කළ පෙත්සම ඇතුළු පෙත්සම් රැසක තර්කය වන්නේ විනිසුරුවරුන්ගේ ධුර කාලය සම්බන්ධ මෙම වෙනස අධිකරණ ස්වාධීනත්වයට බලපාන බැවින් එය 3 වන වගන්තියෙන් ආරක්ෂා කරන ජනතා පරමාධිපත්‍යයටද බලපාන බවයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරය පමණක් ප්‍රමාණවත් නොවන බවත්, එය ජනමත විචාරණයක් හරහා ජනතාවගේ අනුමැතිය ලබාගත යුතු බවත් ඔවුහු තර්ක කරති.


ඉදිරියේදී සිදුවන්නේ කුමක්ද?

22 වන සංශෝධනය අගෝස්තු 18 දින පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කරන ලද අතර, ව්‍යවස්ථානුකූල ක්‍රියාපටිපාටිය අනුව එදින සිට දින 14ක් ඇතුළත පනත් කෙටුම්පත අභියෝගයට ලක් කිරීමට අවස්ථාව ජනතාවට හිමිවේ. ඒ අනුව එවැනි අභියෝගයක් ඉදිරිපත් වූ විට ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාගයට ගෙන සිය තීරණය කථානායකවරයා වෙත දැනුම් දිය යුතුය.

එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණය දැන් තීරණය කිරීමට නියමිත මූලික කාරණය වන්නේ යෝජිත 22 වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතියක් පමණක් ප්‍රමාණවත්ද, නැතහොත් ඒ සමඟම ජනමත විචාරණයකින් මෙය අනුමත විය යුතුද යන්නයි.

මෙහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් අධිකරණය හමුවේ දැක්වූ අදහස් ප්‍රශස්තය. ඔහු තර්ක කළේ යෝජිත සංශෝධනය මඟින් ජනතා පරමාධිපත්‍යයේ අනිවාර්ය අංගයක් වන අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ හානි සිදුවන බවයි. ඒ අනුව මෙම සංශෝධනය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන සහ 4 වන වගන්ති සෘජුවම උල්ලංඝනය වන බව ඔහු ප්‍රකාශ කළේය. එබැවින් මූලික අයිතිවාසිකම් සහ ස්වෛරීභාවය හා බැඳුණු මෙවැනි සංශෝධනයක් සම්මත කිරීමට නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යා යුතු බව ඔහු මෙහිදී තර්ක කළේය.

මෙහිදී මහාචාර්ය ජී.එල්. පීරිස් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රිද අධිකරණය තුළ වැදගත් සහ ආකර්ෂණීය නීති තර්ක මතුකරමින් අධිකරණයේ අවධානය යොමුකළේ ප්‍රජාතන්ත්‍රවාදී රටක විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර පවතින බල තුලනය බිඳ වැටීමට මෙමඟින් ඉඩ සැලසෙන බවයි. ඔහු එහිදී තර්ක කළේ මෙමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 170 වන වගන්තිය උල්ලංඝනය වන බවයි.

අගවිනිසුරුවරයාට විශේෂ වරප්‍රසාද ලැබෙන මෙම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ නීති කෘත්‍ය අගවිනිසුරුවරයාටම කරන්නට පුළුවන්ද? තමන්ගේ නඩුව තමන්ටම අසාගන්නට පුළුවන්ද? මෙය කොතරම් දුරට අභිලාෂයන් අතර ගැටුමක්ද යන්න වැනි බොහෝ සංවාදයන් සහ ගැඹුරු පක්ෂ විපක්ෂ තර්කයන් ඔස්සේ අද දවසේ නඩු විභාගය පැවති අතර, එය අවසන් වී එළියට පැමිණි බොහෝ දෙනෙකු අතරේ බරපතළ සැකසංකා ජනිතව තිබීම රටේ අනාගතයට හිතකර නැත.

– කේ. සංජීව –

මෙම වෙබ් අඩවිය පත්වාගෙන යන්නේ ඔබගේ මූල්‍යමය සහාය මතය. ඔබට අපහට යම් මූල්‍යමය සහායක් ලබාදෙන්නට සිතෙනවා නම් එයට පහත සබැඳිය හරහා පිවිසෙන්න.

buymeacoffee.com/knews.lk

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...