හොරු ඇල්ලීමේ නාමයෙන් එන ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ පැලවත්ත මෙහෙයුම..!

nti corruption campaign and democracy sri lanka knews

‘ජාතිකවාදී සමාජවාදයේ (හිට්ලර් සමාජවාද) ජයග්‍රහණයට පාර කපන පූර්ව කොන්දේසිය වන්නේ, ජනතාවක් නිකං ඔහේ බලාගෙන සිටීම සහ සිය කැමැත්තෙන්ම ඇස් වසාගෙන සිටීමයි’ – ෆ්‍රිට්ස් ස්ටර්න් ලියෝ බෙක් දේශනයකින්

මේ උපුටනය දැන් මේ මොහොත ගෙවන ශ්‍රී ලාංකේය සමාජයට බෙහෙවින් අදාළ බව සිතෙයි. අප්‍රිකානු නිදහස් සටනේ පුරෝගාමියෙක් වන ඩෙස්මන්ඩ් ටූටූ පියතුමා වරෙක මෙසේ කියා තිබුණා – ‘මිෂනාරීවරු අප්‍රිකාවට පැමිණෙන විට ඔවුන් අත බයිබලය තිබුණා. අපට භූමිය තිබුණා. ඔවුන් ‘අපි යාච්ඤා කරමු’ කිව්වා. අපි ඇස් වසාගත්තා. නැවත ඇස් ඇරලා බලන විට අප අත බයිබලය තිබුණා. ඔවුන් අත අපේ භූමිය තිබුණා.’

දැන් අපිට මෙය මෙසේ වෙනස් කළ හැකිය. ‘ජාජාබ බලයට එනවිට අපිට ප්‍රජාතන්ත්‍රවාදය තිබුණා. ඔවුන්ට බලගතු පක්ෂයක් තිබුණා. ඔවුන් අපිට කිව්වා හරි දැන් හොරු අල්ලමු කියලා. අපි ඇස් වසාගත්තා. නැවත ඇරලා බලන විට චීන පන්නයේ ඒකාධිපති රාජ්‍යයක් අපට ලැබී තිබුණා’.

මෙය කියවා බොහෝ දෙනෙක් මේ ලියුම්කරුට සිනාවෙනු නියතය. සමහරෙක් චෝදනා අපහාස වලින් දමා ගසන්නට පුළුවන් ය. එහෙත් මේ මට සිතෙන හැටිය. එය හරිද වැරදි ද යන්න ඉතිහාසය විසින් අනාගතයේදී තීරණය කරනු ඇත.

හොරු අල්ලනවට, දූෂිතයන්ට මිනීමරුවන්ට දඬුවම් ලබාදෙනවාට මේ ලියුම්කරුගේ කිසිදු විරෝධයක් නැත. ඒවා අපි පසුගිය කාලයේ දිගටම කතා කළ මාතෘකාවන් ය. පසුගිය අරගලයේද ප්‍රධාන මාතෘකාවන් වුණේ ඒවා බව නොරහසකි. එහෙත් හොරු අල්ලන මුවාවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය අල්ලා සිරකරන්නට හදයි නම් එයට අපි කුමක් කළ යුතුද? මේ ලිපියේ අරමුණ ඒ පිළිබඳව කතා කිරීමය.

අප පසුගිය දශකයේ 75 වසරක ශාපයක් ගැනම මතුර මතුරා ජනමතයක් හැදුවෙමු. එහෙත් ඇත්තටම එහෙම ශාපයක් නැත. මේ හැත්තෑපස් වසර තුළ යම් යම් සීමිතකම් තිබියදී වුවත් කැරලි දෙක තුනක් අතර ගමන් කරමින් ලංකාව සිය ඉතිහාසයට බොහෝ දේවල් කර ඇත. එහෙත් දැන් අපි සිතූ ලෙසම අපගේ ලේ උරුමයක් බවට 75 වසරක ශාපය පත්වී ඇත.

හොරු ඇල්ලීමත් එසේ ය. වර්තමාන ආණ්ඩුව අවංකවම රට වෙනුවෙන් සිතා, නීතියේ පාලනය ගැන සිතා, සැමට එකසමානව නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි සිතා, සර්වසාධාරණත්වයේ මූලධර්මය මත ක්‍රියාකරමින් පක්ෂග්‍රාහී නොවී හොරු අල්ලනවා නම් ඔන්න අපිට මේ හොරු ඇල්ලීම සත්ක්‍රියාවක් සේ දකින්නට පුළුවන් ය.

එහෙත් වර්තමානයේ අල්ලන්නේ විපක්ෂයේ හොරුන් පමණි. ආණ්ඩු පක්ෂයේ හොරුන් තව තවත් හොරකමේ ගිලෙමින් සිටියි. එහෙත් ඔවුන් සුවෙන් ය. මෙන්න මේ දෙබිඩි වැඩේ නිසා මේ හොරු ඇල්ලීමේ සත්භාවය ප්‍රශ්න සහගතය. එනිසාම එය පෙනෙන්නේ විපක්ෂය විනාශ කර රට ඒකාධිපති අඳුරකට ඇද දැමීමේ පැලවත්තේ ජාතික සමාජවාදයේ මර උගුලක් බවය.

මේ ආණ්ඩුව බලයට පැමිණි ගමන් ‘සුන්බුන් විපක්ෂය’ නමින් වචනයක් ජනගත කළේය. වචන හරියට ජනගත කළහොත් වචන යනු මේ යුගයේ බලයයි. මේ සුන්බුන් විපක්ෂ මොළ සේදුම්කාරකයේ රසායනික ක්‍රියාවලිය අතරතුර දැන් හොරු ඇල්ලීමේ නාටකය ක්‍රියාත්මක වෙයි. නැවතත් කියන්නේ හොරු ඇල්ලුවාට කමක් නැත!. එහෙත් එය දැනුවත්ව භාවිතා කරමින් මාධ්‍ය මෙහෙයුමක් දියත් කරමින්, ඔලු සෝදමින්, විපක්ෂ දේශපාලනය දැනුවත්ව විනාශ කිරීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය වළදමා නරුම ඒකාධිපතිවාදයක් ගෙන එන්නට දරන උමතු උත්සාහයක් බව‍ය.

මේ ආණ්ඩුව හොරු අල්ලන්නට යන්නේ තම ගජමිතුරු මාධ්‍ය සමඟය. සාම්ප්‍රදායික සිරස මාධ්‍ය ජාලයේ සිට ‘ටෝක් විත් ලාල්’ වැනි නව මාධ්‍ය නාලිකාවන් දක්වා මාධ්‍ය, මෙම මෙහෙයුමට ආණ්ඩුවට සිය උපරිම සහාය උපරිමයෙන් ලබාදෙමින් සිටියි. මීට මෑතකම හොඳම උදාහරණය රවී කරුණානායක හිටපු මුදල් අමාත්‍යවරයාගේ නිවසට, ඔහු සිය නිවසේ නොමැති අවස්ථාවක අල්ලස් කොමිසමෙන් පැනීමය.

මෙයින් පෙනෙන්නේ නඩුව එන්නට කලින් ඒ සඳහා ශ්‍රාවක ප්‍රේක්ෂක ජනතාව හුරු කිරීමය. පෙරහැර එන්නට කලින් ගිනිබෝල කරකැවීමය. ඒ හරහා ජනතා සිත් තුළ පූර්ව විනිශ්චයක් නිර්මාණය කිරීමය. යහපාලනය පැවති අවධියේ සීඅයිඩීය වසන්ත කරන්නාගොඩ, විජයගුණරත්න වගේ ඉහළ හමුදා නිලධාරීන්ගේ නිවෙස් තුළට ද ඔවැනි ආකාරයටම ඔයිට වඩා වැඩි වාර සංඛ්‍යාවක් ගියේ ය. නමුත් මාධ්‍ය සන්දර්ශනයන් තිබුණේ නැත..! එහෙත් දැන් හොරු අල්ලනවාට වඩා ප්‍රමුඛ වී ඇත්තේ හොරු මාධ්‍යට භාර දී ජනතා විනිශ්චයට ඔවුන්ව අධිකරණ ක්‍රියාවලියට කලින් නතු කිරීමය. විපක්ෂය විනාශ කිරිමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙහෙයුමේ එක අක්ෂයක් තිබෙන්නේ මෙතනය. එය දැනුවත් ය. ඉලක්ක සහගතය.

ඒ අස්සේ ෆයිල් එකක් නිසා සජිත් සැඟවී සිටින බවද, ජනාධිපතිවරයා විසින් ෆ‍යිල් එක පෙන්වාගෙන ඔහු බයකරගෙන සිටින බවද, ඒ නිසා ඔහු ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාශීලි නැති විපක්ෂ නායකයෙක් බවද ජනගත කරයි. පැලවත්ත මෙහෙයුම එතරම්ම සූක්ෂ්මය. ටක්කෙට වැඩකරමින් ද ඇත.

වෙන දා මෙන් නොව දැන් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් අත්අඩංගුවට ගත්විට ඔවුන් දේශපාලනිකව සහාය දෙන්නේ කුමන පක්ෂයට ද යන්නත් ඉතා වැදගත් වී තිබෙයි. සජබ වැනි ප්‍රධාන විපක්ෂයට ඡන්දය දුන් පුද්ගලයෙක් මෙසේ අසුවිණි නම් ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රමුඛව මුලින් කී මාධ්‍ය නාලිකාවන් විසින් අති උත්කර්ෂවත් ලෙස නිවේදනය කරන්නේ මෙන්න සජබයෙක් කුඩ්ඩෙක් කියා ය. නමුත් ජාජාබට ඡන්දය දුන් පුද්ගලයෙක් මෙසේ පොලීසියට අසුවුණොත් එය කමක්කාරියක් නැති එකක් ය.

හොරු ඇල්ලීමත් එහෙමය. ගල් අඟුරු වංචාව පිළිබඳව මේ වනවිට අල්ලස් කොමිසමට පැමිණිලි කීයක් ලැබී තිබෙයිද? එහි ප්‍රධානියා මෙන්ම හොඳ නළුවෙක් වන රංග දිසානායකට ඒ පිළිබඳව අදහසක් තිබෙයිද? ඔහු ඒ පැමිණිලිවලට කුමක් කළේද? පසුගිය කාලයේ වැඩිමිලට ඛනිජ තෙල් ආනයනය පිළිබඳව අල්ලස් කොමිසම වෙත පැමිණිලි කීයක් පැමිණ තිබෙයිද? ඒවාට එම කොමිසම ගත් ක්‍රියාමාර්ග කවරේද? මෙට්‍රෝ බස් ගෙන්වීමේදී මහාපරිමාණ වංචාවන් සහ දූෂණයන් සිදුවී ඇති බවට නැඟෙන චෝදනාවන් පිළිබඳව අල්ලස් කොමිසම ක්‍රියාත්මක වී තිබෙයිද?

හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ අල්ලස් කේස් එකට නඩු පැවරීමේ කාර්යය සිදුවුණ ආකාරය සහ වර්තමානයේ විපක්ෂ ක්‍රියාකාරිකයන්ට නඩු පැවරෙන ආකාරය, ඔවුන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයට යැවෙන ක්‍රමය අතර කෙතරම් ලොකු වෙනසක් තිබෙයිද? නීතිය සැමට එක සමානයි කීවත් විපක්ෂයට එක නීතියකුත් ආණ්ඩු පක්ෂයට තවත් නීතියකුත් ලෙස දූෂණ විරෝධී බලගතු නීතිය ක්‍රියාත්මක කරන්නේ කෙසේද? මේ සියල්ල ලියුම්කරු මේ ලිපියෙන් නඟන ප්‍රධාන තර්කය හා බැඳෙයි.

ආණ්ඩුවෙ ඉහළ වෘත්තීය සමිති නියෝජිතයන් දෙදෙනෙක් හා බැඳුණු ගොඩනැගිල්ලකට අදාළ ගල්කිස්ස උසාවියේ නඩුකරයට සිද්ධවුණේ කුමක්ද? එම උසාවියේ විනිසුරුවරුන් එකදිගට මාරුවුණේ ඇයි? එම විමර්ශනයට අදාළ ගොනුව දැන් තිබෙන්නේ කොහිද? ඒ සඳහා නීතිපතිවරයා දුන් උපදෙස කුමක්ද? මෑතකදී අත්අඩංගුවට ගත් සිරාන් බාසික් නම් මහාපරිමාණ කුඩු ව්‍යාපාරිකයා සමඟ කටයුතු කළා යැ‍යි කියන ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ගයන් මොනවාද? විමර්ශන අංශයන් විසින් ඔවුන් ගෙන්වා ප්‍රශ්න කර තිබෙයිද? හරක් කටාගේ අල්ලස් සිද්ධිය හා බැඳුණු ආණ්ඩුවේ නම්ගම් විස්තරවලට සිද්ධවුණේ කුමක්ද? ආදී ලෙස අපිට අල්ලස් කොමිසමෙන් සහ ආණ්ඩුවේ ඉහළ බලධාරීන්ගෙන් අසන්නට ප්‍රශ්න එමට තිබෙයි. මේ ප්‍රශ්නවලින් එළියට එන කටුක සත්‍යය නම් රටේ නීතිය ආණ්ඩුවට එකක් සහ විපක්ෂයට තව එකක් ලෙස ක්‍රියාත්මක වීමය.

මේ වනවිට එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකා සමාගමෙන් සහ එහි දේශීය නියෝජිතයින්ගෙන් අයවිය යුතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 999කට ආසන්න වන්දි මුදලක් අයකර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනුවී ඇති බව දැනගන්නට ලැබෙයි.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය චමල් සංජීව එම පැමිණිල්ල ගොනුකර ඇති අතර එමගින් ඔහු එම කොමිසමෙන් ඉල්ලා ඇත්තේ, එම වන්දි නඩුවට අදාළව විනිසුරුවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස යි.

අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් SC/FR/168/2021, SC/FR/176/2021, SC/FR/184/2021 සහ SC/FR/277/2021 යන නඩු වල තීන්දු ලබා දෙමින් 2025 සැප්තැම්බර් 24 වන දිනට පෙර ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් ගෙවන ලෙස අදාළ නැව් සමාගමට සහ එහි නියෝජිතයින්ට නියෝග කර ඇත.

කෙසේ වෙතත්, ගෙවා ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1ක් පමණක් බවත්, අධිකරණය විසින් නියම කරන ලද එම මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 249ක් පමණ තවමත් ගෙවීමට ඉතිරිව ඇති බවත් පැමිණිල්ල චෝදනා කරන අතර නියෝගයට අනුකූලව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පියවර ගන්නා ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටියද, අදාළ විනිසුරුවරුන් තිදෙනා විසින් සමාගමට එරෙහිව එවැනි කිසිදු පියවරක් ගෙන නොමැති බවද ප්‍රකාශ කරයි.

මෙම නඩුකරයට අදාළ පෙර විනිසුරු මඬුල්ලේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වූ සහ තීන්දුව සකස් කිරීමට සම්බන්ධ වූ විනිසුරු යසන්ත කෝදාගොඩ සාධාරණ නීතිමය හේතුවක් නොමැතිව නඩුවෙන් ඉවත් කළ බවත් අනතුරුව 2026 ජනවාරි 26 වන දින, ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාග කර ඇති බවත් එය ස්ථාපිත අධිකරණ සම්ප්‍රදායට පටහැනි බවත් පැමිණිල්ල මෙහිදී අවධාරණය කර ඇත.

ඒ අනුව මෙම විනිසුරුවරුන් ගේ ක්‍රියාවන් සැකයට තුඩු දෙන බවත් පැමිණිල්ල ප්‍රකාශ කරන අතර දූෂණ විරෝධී පනතේ 111 වැනි වගන්තිය යටතේ රාජ්‍ය නිලය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධ දූෂණ ක්‍රියාවක් විය හැකි බවට චෝදනා කරයි. ඒ අනුව එම කොමිසමෙන් පැමිණිල්ල ඉල්ලා ඇත්තේ,
ස්වාධීන සහ විශ්වසනීය විමර්ශනයක් සිදු කිරීම, වරදක් සිදුවී ඇති බව තහවුරු වන්නේ නම් ඒ සඳහා සුදුසු නීතිමය පියවර ගැනීම සහ පනතේ 44 වන වගන්තියට අනුකූලව විමර්ශනයේ ප්‍රගතිය දැනුම් දීම සිදුකරන්න කියා ය.

මෙහිදී මෙම චෝදනාව එල්ලවන ප්‍රධානතම පුද්ගලයා වන්නේ වර්තමාන අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනය. ඒ අනුව අල්ලස් කොමිසම ඔහුට විරුද්ධව මේ පැමිණිල්ලට අනුව විමර්ශනයන් සිදුකරන්නට සූදානම් ද? එසේ නැතිනම් ගල්අඟුරු පැමිණිල්ලට, ඛනිජතෙල් පැමිණිල්ලට, කන්ටේනර් පැමිණිල්ලට සිද්ධවුණ දේම මෙම පැමිණිල්ලටත් සිදුවෙයිද? මෙයට අල්ලස් කොමිසමෙන් ලැබෙන උත්තරය මත මේ ලිපිය හරහා ගොඩනඟන තර්කයට සාධාරණ උත්තරයක් ලැබෙනු ඇත.

එහෙත් මේ ලියුම්කරුගේ පුරෝකථනය නම් විපක්ෂ ක්‍රියාකාරිකයන්ට විරුද්ධව නීතිය බොහෝ ඉක්මනින් කාර්යක්ෂමව ක්‍රියාත්මක වුණත් ආණ්ඩුවේ ඉහළ පුද්ගලයන් චෝදනාවලට ලක්වෙන විට එය එසේ කැරකෙන්නේ නැති බවයි. ඒ අනුව ආණ්ඩුවේ අරමුණ පැහැදිලිය. ඔවුන්ට අවශ්‍ය වන්නේ එක ගලෙන් කුරුල්ලෝ දෙදෙනාම බිම හෙළා රටේ ප්‍රජාතන්ත්‍රවාදය අකර්මණ්‍ය කරන්නට ය.

ඩෙස්මන්ඩ් ටුටූ මෙසේ කියා ඇත – ‘බලාපොරොත්තුව යනු සියලු අඳුර මැද වුවද ආලෝකයක් තිබෙන බව දැකීමට හැකිවීමයි’. අපත් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය හකුලන්නට නොයෙක් ආකාරයේ උත්සාහයන් ගත්තත් බලාපොරොත්තු අතහරින්නට සූදානම් නැත.

-කේ. සංජීව-

මෙම වෙබ් අඩවිය පත්වාගෙන යන්නේ ඔබගේ මූල්‍යමය සහාය මතය. ඔබට අපහට යම් මූල්‍යමය සහායක් ලබාදෙන්නට සිතෙනවා නම් එයට පහත සබැඳිය හරහා පිවිසෙන්න.

buymeacoffee.com/knews.lk

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...