අපි හොඳටම බය වෙන පිළිකාව ගැන බය නොවී ඉන්න මේ ලිපි පෙළ කියවන්න. මේ දෙක කොටස
මේ රෝගයට බෙහෙත් කරන බහුතරයක් වෛද්‍යවරුන් පවා රෝගියාගේ බිය තව තවත් වැඩි වෙන විදිහට කටයුතු කරනවා මිසක් ඔහුට දැනුම දෙමින් මේ රෝගයට සැහැල්ලුවෙන් මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය ලබාදෙන්නේ නෑ. මෙන්න මේ තත්ත්වයට පිළිතුරක් විදිහට අපි හිතුවා පිළිකාව ගැන ලිපි මාලාවක් සම්පාදනය කරන්න.
අපි මේ ලිපිය හරහා රුධිර පිළිකාව පිළිබඳව සාකච්ඡා කරන ගමන්ම ලංකාවේ පිළිකා රෝග නිවාරණ යාන්ත්‍රණය ගැන, පොදුවේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙම ලිපිය සඳහා අපි සමඟ එකතුවෙන්නේ ලංකාවේ සහ මහා බ්‍රිතාන්‍යය යන රටවල් දෙකේම පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරන, රුධිර පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් හේවමාන මහතා. ඔහු ලංකා හොස්පිට්ල්ස් රුධිර පිළිකා මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙසත් කටයුතු කරනවා.
අපි ගිය සතියේ පොදුවේ ‘පිළිකාව යනු කුමක්ද’ කියන එක පිළිබඳව කතා කළා. අද මම කැමතියි ඔබ සමඟ රුධිර පිළිකාව ගැන කතාබහකින් මේ සාකච්ඡාව පටන් ගන්න. ඔබ රුධිර පිළිකා විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට වසර 25ක් වැඩකරනවා. ඒ අත්දැකීම් එක්ක අපි රුධිර පිළිකාව ගැන කතා කරමු…
රුධිර පිළිකා වර්ග දහස් ගණනක් තිබෙනවා. ප්‍රධාන වර්ග තියෙනවා ලියුකේමියා, ලිම්ෆෝමා, මයලෝමා කියලා. ලංකාව ගත්තොත් මට හිතෙනවා මයලෝමා කියන වර්ගය ගොඩක් තියෙනවා කියලා. රුධිර පිළිකා කිව්වාම අපි ගොඩක් අය දන්නේ ලියුකේමියා ගැන තමයි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) ගහන පොතක් තියෙනවා. ඒකේ තියෙනවා බ්ලඩ් කැන්සර් වර්ග. ඒවා දහස් ගාණක් තියෙනවා. එක ජාතියක් නෙමෙයි.
මයලෝමා ගැන ටිකක් කතා කළොත්..
මයලෝමා කියන්නේ මුලින්ම කිව්වා වගේ එක රුධිර පිළිකා වර්ගයක්. ඇට මිදුළුවල (Bone Marrow) තියෙනවා ප්ලාස්මා සෛල (Plasma Cells) කියලා ජාතියක්, මයලෝමා නිසා ප්ලාස්මා සෛල වැඩිවෙනවා. ප්ලාස්මා සෛලවලින් තමයි අපේ ප්‍රතිශක්තිය (Immunity) හැදෙන්නේ. ප්ලාස්මා සෛල හැමෝගෙම තියෙන්න ඕනෑ, නැතුව ජීවත් වෙන්න බැහැ. මේ පිළිකාවේදී වෙන්නේ, ප්‍රතිශක්තිය හැදෙන්න තියෙන ඒ අත්‍යවශ්‍ය සෛලය පිළිකා සෛලයක් බවට පත්වීම. එහෙම පත්වෙලා සියයට හතරක් විතර තියෙන්න ඕනෑ ප්ලාස්මා සෛල ප්‍රමාණය සියයට හතළිහක්, පනහක් වගේ වැඩි ගණනකට වැඩි වෙන්න පුළුවන්. ඒක හින්දා වකුගඩු නරක් වෙන්න පුළුවන්, ප්‍රතිශක්තිය අඩු වෙන්න පුළුවන්. අස්ථිවලට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, කැල්සියම් වැඩි වෙනවා වගේ ප්‍රශ්න එන්න පුළුවන්.
අපිට රුධිර පිළිකාවක් තිබෙනවා කියලා යම් සැකයක් එන්න පුළුවන් රෝගී තත්ත්වයන් හෝ රෝග ලක්ෂණ ගැන අපි ටිකක් කතා කළොත්..
රුධිර පිළිකාවලදි ගොඩක් වෙලාවට වෙන්නේ ලේ අඩුවීම කියන දේ. අපේ හිමොග්ලොබින් (Hemoglobin), ඒ කියන්නෙ රතු රුධිරාණු අඩු වුණොත් මහන්සි දැනෙනවා. මහන්සි දැනෙන හැම එක්කෙනාටම ලියුකේමියාව නැහැ. රුධිර පට්ටිකා (Platelets) අඩු වුණොත් (ඩෙංගුවලටත් පට්ටිකා අඩු වෙනවා) ඒක ලියුකේමියාව ගැන ඉඟියක් වෙන්න පුළුවන්, එතකොට ලේ ගැලීම් (Bleed) වෙන්න පුළුවන්, ඇඟේ රතු ලප එන්න පුළුවන්.
සුදු රුධිරාණු අඩු වුණාම, අපේ ප්‍රතිශක්තිය (Immunity) අඩු වෙනවා, එතකොට නියුමෝනියාව (Pneumonia) හැදෙන්න පුළුවන්. ඒකෙන් කියන්නේ නෑ නියුමෝනියාව හැදෙන හැම එක්කෙනාටම ලියුකේමියාව තියෙනවා කියලා. ලිම්ෆෝමා නිසා වසා ගැටිති ලොකු වෙනවා. අපි කුද්දටි කියලා කියන්නෙ. මයලෝමා ගොඩක් වෙලාවට පටන්ගන්නෙ කොන්ද රිදිලා. කොන්ද රිදෙන හැම කෙනාටම මයලෝමා බ්ලඩ් කැන්සර් නෑ. නමුත්, සමහර දෙනෙක්ට ඒක පිළිකාවක් නිසා වෙන්න පුළුවන්. ඒවා තමයි මූලික රෝග ලක්ෂණ.
මීට අමතරව මයලෝමා නිසා වකුගඩු නරක් වෙන්න පුළුවන්. සමහර පුද්ගලයන්ට පිළිකා තියෙනවා කියලා දන්නේ නැහැ, නමුත් ඔහු රෝහලට එන්නේ වකුගඩු නරක් වෙලා. වකුගඩු නරක් වෙලා ආවොත්, හැමතිස්සෙම බලන්න ඕනෑ මොකද නරක් වෙන්න හේතුව කියලා. මම (Physician) ෆිසීෂියන් කෙනෙක්. එංගලන්තෙ පිළිකා බලන ඔක්කොම වෛද්‍යවරුන් එහෙම අය. ෆිසීෂියන් හැටියට මට ලෙඩෙක් ආවම, මම දැනගන්න ඕනෑ එයාට කොහොමද පරීක්ෂණ කටයුතු කරන්නේ කියන එක. දැන් කෙනෙක් එනවා නම්, හිමොග්ලොබින් අඩුවෙලා ඒක වෙලා තියෙන්නෙ ලියුකේමියාව හින්දද, ඔසප් වීම වැඩිපුර වෙලා ලේ වැඩිපුර ගිහින් නිසාද? එහෙමත් නැත්තන් කන්නැතුව ඉඳලා හිමොග්ලොබින් අඩු වෙලාද කියලා, මම හොයලා දැනගන්න ඕනෑ.
ඇත්තට කිව්වොත් සමහර පිළිකා රෝගීන්ට කිසිම අමාරුවක් දැනෙන්නේ නෑ. සමහරුන්ට තමයි අමාරුකම් දැනෙන්නේ. අද මම ලෙඩෙක් බැලුවා, එයා තයිරොක්සින් බොනවා. ඒ නිසා එයා අවුරුද්දකට සැරයක් රුධිර පරීක්ෂණයක් (Full Blood Count) කරනවා. මේ ගමන වාර්තාව නරකයි. මේ නිසා එයා මාව හමුවෙන්න ආවා. හැබැයි එයාට මුකුත් අමාරුවක් නැහැ. හිමොග්ලොබින් 7යි, රුධිර පට්ටිකා (Platelets) 65යි, නියුට්‍රොෆිල් (Neutrophils) කියලා එකක් තියෙනවා, ඒක දශම 6 යි (0.6), ඒක සාමාන්‍යයෙන් දෙකක් (2) විතර තියෙන්න ඕනෑ. සමහර ලෙඩ්ඩුන්ට රෝග ලක්ෂණ (Symptoms) මුකුත් නැහැ. අමාරුවක් මුකුත් ඇත්තෙත් නැහැ.
ලංකාවේ පිළිකා රෝගී ප්‍රතිකාර ක්‍රම දිහා බැලුවොත්, ඒක රෝහලෙන් රෝහලට, විශේෂඥ වෛද්‍යවරයාගෙන් වෛද්‍යවරයාට, වෙනස් වෙනවා. සමහරු කියනවා ඕක සනීප කරගන්න නම් අරයා ගාවට යන්න ඕනෑ කියලා. නැත්තං මහරගමටම යන්න ඕනෑ කියලා. මේ තත්ත්වයමද එංගලන්තය වගේ රටකත් තිබෙන්නේ?
මෙහෙමයි, අපේ රටේ ඔය තත්ත්වයට හේතුව පවතින පහසුකම්වල අඩුවක් විය හැකියි කියලයි මට හිතෙන්නේ. එංගලන්තය වගේ රටක හරිම සිස්ටම් එකක් තියෙනවා. ඉස්සෙල්ලාම අපිට රෝගයක් හැදුණම, රෝහලට කෙළින්ම යන්නේ නැහැ. අපිට සාමාන්‍ය වෛද්‍යවරයෙක් (General Practitioner – GP) ඉන්නවානේ, එයා ළඟට ගියාම එයා හිතුවොත් මේක පිළිකාවක් කියලා, රෝහලට ඉක්මනට යොමු කරනවා. එතකොට ඒ රටවල්වල තියෙනවා ලෙඩකට අදාළ නිශ්චිත කාලසීමා. රුධිර පිළිකාවක් තියෙනවා කියලා හිතෙන ලෙඩෙක් යොමු කළාම දවස් 14ක් ඇතුළත ඩොක්ටර් බලන්න ඕනෑ. දවස් 30ක් ඇතුළත ප්‍රතිකාර පටන් ගන්න ඕනෑ.
එහෙම කරන්න ලොකු සහයෝගිතා ජාලයක් (Support Network) ඒ රටේ සෞඛ්‍ය සේවයට තියෙනවා. එංගලන්තයේදී අපිට සායනික හෙද විශේෂඥයින් (Clinical Nurse Specialists) ඉන්නවා. එතකොට සෙක්‍රටරිස්ලා ඉන්නවා. ලෙඩෙක්ව යොමු වෙච්ච වෙලාවේ ඉඳලා ඔවුන් ආරක්ෂිත දැලකට වැටෙනවා. අපි නිකං කෝච්චියක යනවා වගේ තමයි, පීලි පනින්නේ කලාතුරකින්. හරි පීල්ලට, හරි මඟට (Track) වැටුණම කෙළින් යනවා. ලංකාව වගේ රටක මූලික සත්කාරය (Primary Care) හුඟක් ශක්තිමත් නැහැ. හැමදේටම රෝහලට එන්න ඕනෑ, ඒකයි ගැටලුව.
මෙහේ (General Practitioner – GP) කියන්නේ, ආණ්ඩුවේ වෛද්‍යවරයෙක්. ලංකාවේදී අපිට අසනීපයක් හැදුණොත් අපි යන්නේ පුද්ගලික වෛද්‍යවරයෙක් ළඟටනේ, එයා තමයි රෝහලට යොමු කරන්නේ. එංගලන්තයේ එහෙම නෑ, ආණ්ඩුවේ අංශය කෙළින්ම මේකට සම්බන්ධ වෙනවා. එතකොට නීතියක් තියෙනවා මේ මේ නිශ්චිත කාලසීමාවලදී බලන්න ඕනෑ කියලා. එතකොට ඒක ඒ ප්‍රොසස් එකේ හරියට යනවා. අනිත් එක, එහේ නීතියක් තියෙනවා, බහුවිෂය කණ්ඩායමක් (MDT – Multidisciplinary Team) එක්ක සාකච්ඡා කරන්න ඕනෑ කියලා. එතකොට ඒකට ගියාම, පිළිකා ලෙඩෙක් පිළිකාවක් නෙවේ කියලා වරදින්නවත්, පිළිකාවක් නැති ලෙඩක් පිළිකාවක් කියලා වරදින්නවත් තියෙන අවස්ථාව හරිම අඩුයි. වෙන්නේ නැහැ නෙවෙයි, හරිම අඩුයි. අපි විශේෂඥයින් තුන්දෙනෙක්, හතරදෙනෙක් බලනකොට එහෙම වෙන්න තියෙන අවස්ථාව හුඟාක් අඩුයි.
මම හිතන්නේ ලංකාව වගේ රටක ඒක සම්පත් පිළිබඳ ප්‍රශ්නයක්. එක වෛද්‍යවරයෙක්ට ඉන්න ලෙඩ්ඩු ගාණ වැඩියි. එතකොට උප විශේෂීකරණය වෙනවාත් අඩුයිනේ. මම රුධිර පිළිකා විශේෂඥයෙක් (Blood Cancer Specialist), ලංකාවේ ගොඩක් ඉන්නේ සාමාන්‍ය ඔන්කොලොජිස්ට්ලානෙ (General Oncologists), එයාලා රෝග විනිශ්චය කරන්න ඕනෑ, කීමෝ ප්‍රතිකාර දෙන්න ඕනෑ, ලෙඩාව බලන්න ඕනෑ, අනිත් ඔක්කොමත් තනියෙන් කරන්න එපැයි. වෙන රටවල පියයුරු පිළිකා බලන අය වෙනස්. විකිරණ ප්‍රතිකාර (Radiotherapy) දෙන වෛද්‍යවරුන් වෙනස්. කීමෝ ප්‍රතිකාර දෙන අය වෙනස්. පෙනහළු පිළිකා බලන අය වෙනස්. එහෙම වුණහම ඒ ඒ වෛද්‍යවරයට කරන්න තියෙන දේ නිශ්චිතයිනේ. ඒ ඒ පිළිකා විශේෂයට අදාළ වෛද්‍යවරයා වෙතට යොමුවෙන එක ඒ රටවල්වලදි ඔටෝමැටිකලි වෙනවා. රෝගියා නෙමෙයි ඒක තීරණය කරන්නෙ. හැම හොස්පිට්ල් එකේම කොලිටිය එක සමානයි. මේවා ඉතිං අපේ සෞඛ්‍ය සේවයටත් ඉක්මනින් එන්න ඕනෑ. වෛද්‍යවරුන් මේ සඳහා පෙරමුණ ගන්න ඕනෑ.
අනිත් රෝගවලට දෙන ඖෂධ වර්ගවල මිලට සාපේක්ෂව පිළිකා ඖෂධවල මිල අධිකයි කියන එක තමයි සාමාන්‍ය කතාව. මෙහෙම කිව්වාම අපිට සාධාරණ බියක් එනවා ලංකාවේ රෝගීන්ට ලැබෙන්නේ හොඳම බෙහෙත් ද කියන එක පිළිබඳව. ඔබතුමාගේ අදහස මොකක්ද මේ පිළිබඳව..
සමහර ඇමෙරිකාවේ හොයාගන්න බෙහෙත් ක්‍රම එංගලන්තයටත් දරාගන්න බැහැ. ඒවා ඒ තරම් මිල අධිකයි. ඒත් ඒක එතරම් වැදගත් නෑ. වැදගත්ම කාරණය මේකයි, සියයට අනූවක් රෝගීන් බේරගන්න අවශ්‍ය වෙලා තියෙන්නෙ ඔය මිල අධික බෙහෙත් නෙමෙයි. සියයට අනූවක් ලෙඩ්ඩු බේරගන්න පුළුවන්, අපිට දරාගන්න පුළුවන් මිල ගණන් සහිත සාමාන්‍ය බෙහෙත්වලින්. සියයට දහයක් බේරගන්න තමයි හුඟක්ම මිල අධික බෙහෙත් අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඒ ගැන හිතලා හිත කලබල කරගැනීමේ කිසිම තේරුමක් නෑ. අපිට දැන් ඔය ලැබෙන බෙහෙත් හොඳටම ප්‍රමාණවත් 90%ක් රෝගීන් සුවපත් කරන්න.
අනික තමයි රුධිර පිළිකා රෝගීන් ගත්තොත්, ඔවුන් 90%ක් මැරෙන්නේ රුධිර පිළිකාව නිසා නෙමෙයි, පිළිකාව නිසා මැරෙන්නේ බොහොම ටිකයි. ඒකයි මම කිව්වේ සියයට අනූවක් බේරගන්න පුළුවන් කියලා. රුධිර පිළිකා රෝගියෙක් මිය යන්න තියෙන හේතු අපි ලිස්ට් එකකට ගත්තොත් පිළිකාව නිසා මැරෙන්න පුළුවන් කියන එක තිබෙන්නේ අංක හයට වගේ. රුධිර පිළිකා රෝගීන් වැඩි ප්‍රමාණයක් මිය යන්නේ ආසාදන හින්දා. මෙවැනි රෝගියෙක් ආසාදනවලින් බේරෙන්න හුඟක් ක්‍රම තියෙනවා. මාස්ක් දාන්න ඕනෑ. අසනීප අය ළඟට යන්න හොඳ නෑ. අත් සෝදන්න ඕනෑ. උයපු දේවල්ම කන්න දෙන්න ඕනෑ.
ලියුකේමියාවට බෙහෙත් ගන්න ලෙඩෙක්ට ගොටුකොළ සම්බෝල වගේ දෙයක් දුන්නොත් ඔහු ඩයරියා හැදිලා මැරෙන්න පුළුවන්. මෙතැනදී විනය (Discipline) ඉතාමත් වැදගත්. මම ලංකා හොස්පිට්ල් එකේ මගේ වාට්ටුවට ආරක්ෂක නිලධාරියෙක් දාලා දොර වහලා තියෙන්නේ. ඇඟිලි සලකුණ තියලා තමයි ඇතුළට යන්න පුළුවන්. සමහර ආසාදන වැළැක්වීමට ප්‍රතිජීවක (Antibiotics) භාවිතා කරන්න පුළුවන්. ඒකෙන් ආසාදන හැදෙන එක වළක්වනවා.
අපි මේ කතා කරනවා දරාගන්න බැරි මිලක් තියෙන ඇමෙරිකාවේ බෙහෙත් ගැන. ඒවායින් එක්කෙනෙක් මැරෙයි ලක්ෂයකට. අනිත් ඔක්කොමගෙන් වැඩිපුරම මැරෙන්නේ ආසාදනවලින්. අනික ආසාදනයක් හැදුණාම වැදගත්ම දේ ඉක්මනට ප්‍රතිකාර කරගන්න ඕනෑ, ආසාදන හැදුණාම එංගලන්තේ තියෙනවා නීතියක්, ලියුකේමියා ලෙඩෙක් නම්, පිළිකාවක් නම්, ප්‍රතිකාර ගන්නකොට ගෙදරදී උණ හරි ඒ වගේ ආසාදනයක් හැදුණොත්, රෝහලට ගෙනල්ලා විනාඩි විස්සකින් ප්‍රතිජීවක දෙන්න ඕනෑ. දැන් ලංකා හොස්පිට්ල් එකේ මගේ වෝඩ් එකේ වුණත් එහෙමයි, ප්‍රතිජීවක වෝඩ් එකේ තියලා තියෙනවා, ෆාමසියට ගිහිල්ලා ඕඩර් කරලා කාලය අරගෙන ඒවා හරියන්නේ නෑ. මම ඒක ඔඩිට් කළා. අපේ වාට්ටුව විනාඩි 20 ඇතුළත බෙහෙත් දෙනවා. ඒකට හරි විනයක් තියෙන්න ඕනෑ. ඒකට කවුරුහරි නායකත්වය ගන්න ඕනෑ. ඒ නිසා මම හිතන්නේ මිල අධික ඖෂධ ගැන කතා කරනවාට වඩා අපි මේ විනය හදාගන්න අවශ්‍යයි. ඒක තමයි වැදගත්.
–කේ. සංජීව–






