[gtranslate]

මැදපෙරදිග ඇවිලෙන නිවෙන සටන් විරාම..!

america iran war knews

ඉරානය සහ එක්සත් ජනපදය සටන් විරාමයක බව කියයි. එහෙත් විටෙන් විටේ ඔවුන් එකිනෙකා අවිඅමෝරාගෙන යුද්ධයට බහී.

එක්සත් ජනපද ජනාධිපතිවරයාටද යුද්ධය ආරම්භ කළාට අවසන් කරන්නට මඟක් නැති සෙයක් ය. මැදපෙරදිග එහෙටත් නැති මෙහෙටත් නැති දෙලොවක් අතරේ සිරව ඇත. බොරතෙල් මිලද අඩුවෙමින් වැඩිවෙමින් තිබෙයි. හෝමූස් සමුද්‍ර සන්දිය ද ඇරෙයි වැසෙයි. ලෝක වාසීන්ටද දැන් මැදපෙරදිගට යුද්ධයට වඩා ලෝක පාපන්දු කුසලානය පුවත් මවයි.

දකුණු ඉරානයේ ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කළ එක්සත් ජනපදයට ප්‍රතිචාර ලෙස අද (28) දිනයේදී ටෙහෙරානය බහරේනයට සහ කුවේටයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කළේය. ඒ අතරේ ඉරානය එක්සත් ජනපදයට තර්ජනය කළේ සාමය සම්පූර්ණයෙන්ම නතර කරන බවට ය. ට්‍රම් තමන්ගේ එක්ස් මාධ්‍ය අවකාශයේ ගුඟුලේ – ‘හමුදාමය වශයෙන් කාර්යය අවසන් කරන්න එක්සත් ජනපද හමුදාවට මොහොතක් ඉක්මනින් පැමිණිය හැකියි. එය සිදු වුවහොත්, ඉරාන ඉස්ලාමීය ජනරජය තවදුරටත් නොපවතිනු ඇත! එහෙත් දෙපාර්ශවයේ මේ බස් දැන් ලෝකයා එතරමට ගණන් ගන්න බවක් නොපෙනෙයි.

මේ නව සටන් විරාම කණ්ඩනයට හේතුව කුමක්ද? ද ගාර්ඩියන් වැනි බටහිර මාධ්‍ය ප්‍රකාශ කරන්නේ, ඉරානයේ සෘජු අධීක්ෂණයකින් තොරව සියලුම නැව් ගමනාගමනය සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට එක්සත් ජනපදය ගන්නා උත්සාහයන් නිසා මේ තත්ත්වය උද්ගත වී අති බවයි. මේ විනාශකාරී යුද්ධයට පෙර ලෝකයේ ඛනිජ තෙල් සහ ද්‍රව වායු සැපයුමෙන් 1/5ක් ප්‍රවාහනය කළ මෙම මාර්ගය ඉරානයට වගේම එක්සත් ජනපදයට ද ඕමානයට ද අනෙක් අසල්වැසි මැදපෙරදිග රටවල්වලට ද එක සේ වැදගත් ජල තීරයක් ය. සියල්ලෝම නියමින් සහ අනියමින් මේ ජල තීරය තමන්ගේ පාලනයට නතුකරගන්නට උත්සාහ ගනී. එහි ප්‍රතිපලය නැවත විශාල පරිමාන යුද්ධයක් විය හැකිය.

මේ අතරේ එක්සත් ජනපද මධ්‍යම අණදෙන මූලස්ථානය ප්‍රකාශ කරන්නේ තම ප්‍රහාරයන් වාණිජ නැව් ගමනාගමනයට එරෙහිව අඛණ්ඩව සිදුවන ඉරාන ආක්‍රමණවලට සෘජු ප්‍රතිචාරයක් බවය. මෙසේ කියමින් වොෂින්ටනය ගුවන්ප්‍රහාර සඳහා අණ දෙමින් ඕමාන වෙරළ තීරයට ආසන්නයෙන් ජලතීරයක් විවුර්ත කරගන්නට උත්සාහ ගනිමින් සිටියි. එය හෝමූස් පාලනය කිරීමේ වොෂින්ටනයේ අලුත් උපාය විය හැකිය.

කටාර් රාජ්‍යයට අයත් බලශක්ති සමාගමකට බොරතෙල් ප්‍රවාහනය කළ පැනමාවේ ලියාපදිංචි නැවකට සහ සිංගප්පූරුවේ ලියාපදිංචි බහාලුම් නැවකට ද ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කළ අතර මේ නැව් දෙකම ඉහත මුහුදු තීරය හරහා ගමන් කළ නැව් බව බටහිර මාධ්‍ය වාර්තා කරයි.

america iran war knews 1

එහෙත් මේ පටු ජල තීරුවක් විවුර්ත කරගැනීමේ එක්සත් ජනපද උත්සාහයට විරෝධය දක්වන ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කරන්නේ හෝමූස් ජල තීරයෙහි තනි අයිතිය ඉරානය සතු බවය. මෙම සමුද්‍ර කලාපයට කරනු ලබන ඕනෑම ආකාරයක මැදිහත්වීමක් හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ප්‍රමාද කිරීමට සහ පවත්නා පීඩනයේ මට්ටම වැඩි කිරීමට හේතුවෙනු ඇති බවයි.

මෙසේ මැදපෙරදිග යුද්ධ තත්ත්වය එහෙටත් නැති මෙහෙටත් නැති දෙලොවක් අතර තත්ත්වයකට පත්වෙන අතරේ පාකිස්තානයේ සාම මැදිහත්වීම තවදුරටත් ක්‍රියාත්මක වීම ලෝකයට නව බලාපොරොත්තුවක් ගෙන එන තත්ත්වයක් බව කිවයුතුය. කටාර් රාජ්‍යයේ සහ පකිස්තානයේ මැදිහත්වීමෙන් මේ මස මුලදී ස්විට්සර්ලන්තයේදී ඉරාන සහ එක්සත් ජනපද නියෝජිතයන් හමුවුණත් ඔවුන්ගේ කතබහ සාර්ථක බව කියවුණත් හෝමුස් සමුද්‍ර සන්ධියේ අනාගතය, ටෙහෙරානය සඳහා සම්බාධක ලිහිල් කිරීම, ඉරානය න්‍යෂ්ටික වැඩසටහනේ අනාගතය, බෝම්බ ගැටලු සම්බන්ධයෙන් දෙපාර්ශවයම තවමත් සිටින්නේ අගාධ පරතරයක සිරවීගෙන ය. ඒ අතරේ ඉරානය තුළ ද ඉරාන ඇමරිකා සටන් විරාමය දෙස සහ සාකච්ඡාවන් දෙස සැකයෙන් බලන ජනඝනත්වය ඉහළ යමින් තිබෙන බවත් ජන මතය ඉක්මනින් යුධකාමීත්වයක් වැළඳගනිමින් ඇති බවත් පෙනෙයි.

නවතම ප්‍රහාරවල වඟකීම ගන්නා ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කරන්නේ, සටන් විරාමය උල්ලංඝනය කිරීම, පවතින සාකච්ඡා ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නතර කිරීමට හේතුවක් විය හැකි බවයි. ඉරානය සතු බැලස්ටික් මිසයිල අවි පාලනය මෙම ආරක්ෂක බලකාය සතුවෙන අතරේ එහි අණදෙන නිළධාරීන් එක්සත් ජනපදයට තර්ජනය කරන්නේ කලාපයේ ඇති ඇමරිකානු කඳවුරු ඉදිරි දින කිහිපයේදී අපායක් වෙනු ඇති බවයි.

එක්සත් ජනපද නාවික බලඇණියේ 5වෙනි බලඇණියේ මූලස්ථානය බහරේනයේ පිහිටුවා තිබෙන අතර මෙම යුද්ධය අතරේ එම කඳවුර නිරන්තරව ඉරාන ප්‍රහාරයේ ගොදුරුබිමක් විය. ඒ අනුව ඉරිදා මෙම නව ඉරාන ප්‍රහාරය බහරේනයේ විදේශ අමාත්‍යවරයා හැඳින්වූයේ ටෙහෙරානය තම රාජ්‍යයට එහි ස්වෛරීභාවයට සහ පුරවැසියාට එල්ලකරන ආක්‍රමනශීලී ප්‍රහාර රටාවේ නව සැලසුම්සහගත ප්‍රවේශයක් ලෙසයි.

හෝමූස් අවට කලාපයේ තත්ත්වය මෙය වනවිට ලෙබනනයේ තත්ත්වය ද එන්න එන්නම නරක අතට හැරෙමින් තිබෙයි. ලෙබනනයේ තත්ත්වය සටන් විරාමයේ අනාගතයට බලපාන ප්‍රධාන සාධකය වී හමාරය. දකුණු ලෙබනනයේ ඩීර් සෙරියන් සහ ටයිබේ නගර මායිම් ඉලක්ක කර ගනිමින් නව ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වී ඇති අතර මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ ඊශ්‍රායලය සහ ලෙබනනය සතුරුකම් අවසන් කිරීමේ අරමුණින් ගිවිසුමකට අත්සන් කර දින දෙකකට පසුව වීම විශේෂය. මෙයින් පෙනෙන්නේ මේ පාර්ශවයන් තුනටම ගිවිසුම් එතරම් වැදගත් නැති බවය.

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ දකුණු සීමාවෙන් ඉවත් වීම, ප්‍රාදේශීය ආරක්ෂාව, හිස්බුල්ලා හමුදා පහසුකම් විසුරුවා හැරීම, වැනි කරුණු මෙම ගිවිසුමේ අන්තර්ගතයන් වන පසුබිමක ඒවා සාක්ෂාත්වන බවක් හෝ වෙන්නට නියමිත බවක් නොපෙනෙයි. ඒ අනුව එක්සත් ජනපදය සහ ඉරානය අතර ගිවිසුම්ගත සාමය අහවර වීමට මෙම ලෙබනන් ඊශ්‍රායල් යුද්ධ තත්ත්වයත් හේතුවක් වෙනු ඇත.

එහෙත් එක්සත් ජනපදය ඉරානය සමඟ ඇති කරගත් ගිවිසුම දෙස සැකයෙන් බලන නෙතන්නියාහුමය ඊශ්‍රායල් පාර්ශවය තම රටේ ආරක්ෂාවට යැයි කියමින් එක්සත් ජනපද අණටද කීකරු නොවෙමින් ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සංවිධානයට එරෙහිව නව යුද්ධයක් පසුගිය මාර්තුවේදී ඇතිකරගනිමින් දකුණු ලෙබනනය ආක්‍රමනය කළ අතර එහෙත් පසුව එක්සත් ජනපදයේ මැදහත් වීම මත ලෙබනනය සමඟ සටන් විරාමයකට එකඟවිය. මෙම සටන් විරාම ගිවිසුමේ එකඟතා අතරේ මොනවා තිබුණත් තමන් ලෙබනන් භූමියෙන් ඉවත් නොවන බවට ඊශ්‍රායලය අවධාරණය කරන තත්ත්වය තුළ මේ කලාපයම නැවත අස්ථාවර යුද්ධ තත්ත්වයකට පීලිගතව සිටී. ඊශ්‍රායල හමුදා රැඳී සිටින තාක් කල් තමන් ආයුධ අත්හරින්නට බලාපොරොත්තුවක් නැති බව හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කිරීම එනිසා අලුත් තත්ත්වයක් නොවෙන බව කිව යුතුය.

එනිසා මැදපෙරදිට ස්ථිර සහ දිගු කල්පවත්නා සාමයක් සටන් විරාම කාලයක් උදාවේදැයි සැක සහිතය..!

රොයිටර්ස්, අසෝසියේටඩ් ප්‍රෙස් සහ ද ගාර්ඩියන් ඇසුරෙනි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ...

කැරපොත්තන්ගේ සටන පළමු ජය වාර්තා කරයි

සමස්ත ඉන්දියාව පමණක් නොව ලෝකයම සොලවමින් වීදි බැස සිටින කැරපොත්තන්ගේ ජනතා පක්ෂය සිය පළමු ජයග්‍රහනය වාර්තා කරගෙන ඇතැයි ද ඒ අනුව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා...

මන්දිරවල ජනපති නෑ. නමුත් ජනයා ඉදලා. බර වියදමකුත් ගිහිං

ජනාධිපතිවරයා රටපුරා ඇති ජනාධිපති මන්දිර භාවිතා කරන්නේ නැති බව ප්‍රකාශ කරමින් එම මන්දිරවල නවාතැන් නොගත්තත් එහි බොහෝ දෙනෙක් රැඳී සිට ඇති බවද ඒ සඳහා 2025 වර්ෂයේදී විශාල වියදමක් දරා ඇති බවද ජාතික විගණන...