ප්‍රවීණ රංගන ශිල්පී නිශ්ශංක දිද්දෙණිය විසින් රචිත ‘සිඹිමි රඟබිම දිගාවී’ ස්වයං චරිතාපදානය අගෝස්තු 4 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදී ජනගත කරනු ලැබීය.
එහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සාහිත්‍යධර ආචාර්ය ගුණදාස අමරසේකර සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය සුනිල් ආරියරත්න සහභාගි වූහ. ප්‍රධාන දේශනය මහාචාර්ය සරත් විජේසූරිය විසින් සිදු කළ අතර බුද්ධදාස ගලප්පත්ති විසින් කෙටි මතකාවර්ජනයක් සිදු කරනු ලැබීය. මෙම උත්සව සභාවේ පූරක භූමිකාව ප්‍රවීණ මාධ්‍යවේදී සමන් ආතාවුදහෙට්ටි විසින් සිදු කළ අතර කොළඹ විශ්වවිද්‍යාලීය කලාගාරය දිගාට ආදරය කරන සුවහසක් රසකාමීන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණි.

මෙම චරිතාපදානය හුදෙක් එක් පුද්ගලයෙකුගේ කතාවක් පමණක් නොව, ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍යයේ රන් යුගයේ සමාජීය හා කලාත්මක පසුබිම වාර්තා කළ ලිඛිත සාක්ෂියක් ලෙස හැඳින්විය හැකිය. නිශ්ශංක දිද්දෙණිය රත්නපුර පනාවැන්නේ උපත ලබා, පනාවැන්න ධර්මාරාම විද්‍යාලයෙන් අධ්‍යාපනය අරඹා, පැල්මඬුල්ල ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය අවසන් කර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබාගෙන ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණීමත් සමඟ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කණ්ඩායමට එක්වීම නිශ්ශංක දිද්දෙණියගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය. ඔහුගේ රංගන ජීවිතයේ කූටප්රාප්ති අවස්ථාව වූයේ වසර විසිහයක් පුරා (1970-1996) ‘සිංහබාහු’ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑමයි.
එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය හැරුණු විට දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන, ප්‍රසන්න විතානගේ, ලූෂන් බුලත්සිංහල ඇතුළු නිර්මාණකරුවන්ගේ වේදිකා නාට්‍ය 40කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබා දී ඇති ඔහු චිත්‍රපට ක්ෂේත්රයේ ද “තිලක හා තිලකා” (1976), “එයා දැන් ලොකු ළමයෙක්” (1977), “බිත්ති හතර” (1982) සහ “දුවන මුවන්” (2014) ඇතුළු නිර්මාණ සඳහා දායකත්වය දක්වා ඇත.

මෙම පොත් දොරටවැඩීමේ උත්සවය සංගීතවත් කළේ මහානාම වික්‍රමසිංහ සහ නවරත්න ගමගේ විසිනි. රත්නා ලාලනී ජයකොඩි, නිහාරි සෝමසිරි, මාදනී මල්වත්තගේ, කාංචනමාලා රණසිංහ, රවින්ද්‍ර අලගියවන්න, මනුජ දිද්දෙණිය හා නිශ්ශංක දිද්දෙණිය ඇතුළු කලාකරුවෝ නාට්‍ය ගීතාවලියක් ඉදිරිපත් කළහ.







