මෑතකදී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ මැදිහත්වීමෙන් විවෘත කරන ලද හේවුඩ් කලා කෞතුකාගාරය පිළිබඳ සමාජ මාධ්‍ය තුළ විවිධ විවේචනාත්මක අදහස් පළ වී තිබේ. විශේෂයෙන් සුජිත් රත්නායක විසින් කෞතුකාගාරය විවෘත කිරීමේ අවස්ථාවේ එළිදක්වන ලද ග්‍රන්ථයේ සඳහන් කරුණු ඇසුරින්, එහි තැන්පත් කර ඇති ඇතැම් දෘශ්‍ය කලාකෘතිවල කෞතුක හා කලාත්මක වටිනාකම පිළිබඳ ප්‍රශ්න මතු කර ඇත. මෙම ලිපියේ අරමුණ එවැනි තත්ත්වයක් නිර්මාණය වීමට කලාකරුවාගේ ස්වයං-විවේචනාත්මක භාවයේ දුර්වලතාව කොතරම් දුරට බලපාන්නේ ද යන්න මනෝවිශ්ලේෂණාත්මක ප්‍රවේශයකින් විමසා බැලීමයි.
කලා කෞතුකාගාරයක් යනු සංස්කෘතික මතකය සහ කලා ඉතිහාසය නියෝජනය කරන ආයතනයකි. එබැවින් එහි තැන්පත් වන සෑම කලාකෘතියක්ම කලාත්මක ගුණාත්මකභාවය, සංකල්පීය ගැඹුර, ඓතිහාසික වැදගත්කම සහ කෞතුක වටිනාකම යන නිර්ණායක මත ඇගයිය යුතුය. එහිදී කලාකරුවාගේ පළමු විචාරකයා විය යුත්තේ කලාකරුවා ම ය.
මනෝවිශ්ලේෂණාත්මක දෘෂ්ටිකෝණයට අනුව, ස්වයං-විවේචනය යනු කලාකරුවාගේ අභ්‍යන්තර මනස තම නිර්මාණය සමඟ පවත්වන අවංක සංවාදයකි. ෆ්‍රොයිඩ්ගේ න්‍යායට අනුව අහංභාවය (Ego) යථාර්ථය සමඟ සම්බන්ධව ක්‍රියා කරන විට කලාකරුවාට තම නිර්මාණය විවේචනාත්මකව ඇගයීමට සහ අඩුපාඩු නිවැරදි කර ගැනීමට හැකි වේ. එහෙත්, අහංභාවය ආරක්ෂාකාරී තත්ත්වයකට පත්වන විට මනෝ ආරක්ෂණ ක්‍රම මඟින් නිර්මාණයේ සැබෑ ගුණාත්මකභාවය වසන් විය හැකිය.
කලාකරුවාගේ අවංකභාවය දුර්වල කිරීමට ජනප්‍රියත්වය සඳහා ඇති ආශාව, අධික ලෙස බාහිර පිළිගැනීම මත රඳා පැවතීම, විවේචනය පිළිබඳ බිය, වෙළෙඳපොළ පීඩනය, සම වයස් කලාකරුවන් සමඟ තරගකාරීත්වය, ආයතනික පිළිගැනීමක් ලබා ගැනීමේ අභිලාෂය, කලා ඉතිහාසමය වටිනාකම හැකි ඉක්මනින් ලබා ගැනීම සහ තම නිර්මාණය සමඟ ඇති අධික චිත්තවේගීය බැඳීම ආදී නොයෙක් හේතු බලපායි. එමෙන්ම ස්වයං-අධ්‍යයනයේ හා නිර්මාණාත්මක පර්යේෂණයේ අඩුව ද අවංක ස්වයං-ඇගයීම දුර්වල කරයි.
මෙවැනි තත්ත්වයන් යටතේ, කලාකරුවාට තම නිර්මාණය කෞතුක වටිනාකමක් දරන්නේ ද යන්න නිවැරදිව විනිශ්චය කිරීමට නොහැකි විය හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස, ප්‍රමාණවත් කලාත්මක හෝ කෞතුක වටිනාකමක් නොමැති කෘති පවා කෞතුකාගාර මට්ටමේ කෘති ලෙස ඉදිරිපත් වීමේ අවදානමක් පැන නඟී.
මෙම පසුබිම තුළ සුජිත් රත්නායක විසින් ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය යටතේ කලාකරුවන් තම නිර්මාණ පිළිබඳ ප්‍රමාණවත් ස්වයං-විවේචනාත්මක ඇගයීමකින් තොරව ඒවා කෞතුකාගාර මට්ටමේ කෘති ලෙස පිළිගැනීමට යොමුවීම ශාස්ත්‍රීය විමසීමකට ලක් කළ යුත්තකි. එම තර්කයේ අවසාන වලංගුභාවය එක් එක් කෘතිය පිළිබඳ වෙනම විචාරාත්මක හා දත්තමය විශ්ලේෂණයකින් තහවුරු කළ යුතු වුව ද, කලාකරුවාගේ ස්වයං-විවේචනාත්මක භාවය දුර්වල වීම මෙවැනි තත්ත්වයක් ඇතිවීමට බලපාන එක් සාධකයක් බව පිළිගත හැකිය.
මෙම තත්ත්වය පිළිබඳ කලාකරුවන්ට නිසි අවබෝධයක් ඇති වන්නේ නම්, තම නිර්මාණවල කෞතුක වටිනාකම නැවත විමසා බැලීමට ඔවුන් පෙළඹෙනු ඇත. එහිදී, කෞතුක හෝ කලාත්මක වටිනාකම සඳහා අවශ්‍ය ප්‍රමිතීන් සපුරා නොමැති බව තම තමන් විසින් ම අවංකව හඳුනා ගන්නේ නම්, එම කෘති කෞතුකාගාරයෙන් ඉවත් කර නැවත භාර ගැනීම පවා වෘත්තීය හා සදාචාරාත්මක වගකීමක් ලෙස සැලකිය හැකිය. එවැනි ක්‍රියාවක් ඔහුගේ අවංකභාවය, කර්තෘත්වය සහ කෞතුකාගාර ප්‍රමිතීන්ට දක්වන ගෞරවය පිළිබිඹු කරන පරිණත ආකල්පයක් බව කිව හැකිය.
–ජනක රුවන් අම්බලම්පිටිය–






