ගස් අතු ඉති සිරි සිරියක පැටලිලා. කඩේ පියැස්සෙන් බිමට විසි කරන වැසි දිය පුංචි දිය සීරාවක පැටලිලා… ගඟ හොයනවා. ඈතින් හිමගිර වසාගත්ත සුදු වළාකුළු වැස්ස වලාහක දෙවියන්ට තව තවත් ඇරයුම් කරනවා. දෙවියන්ගේ රටේ හැටි ඔහොම තමයි. හැමදාම වැස්ස. වැස්සට කට බලියන් ඉන්න මා දිහා බලාගෙන කඩේ පැත්තක කහට උගුරක් බොන ගැමියෙක් කියනවා. රත්නපුරේ වැස්සයි පොඩි එකාගේ පස්සයි විශ්වාස කරන්න නරකයි. අපේ අම්මලා එහෙම කියනවා මට මතක් වෙනවා.
අසල ගහක ඉහත්තාවේ අත්තක ගුලි වුණ දඬු ලේනෙක් හිනාවෙනවා. ඊට තරමක් ඈතින් ගහේ වේලිච්ච අත්තක මීවනයක් වැස්ස දිය ඇල්ලක් කරලා බලන් ඉන්නවා. මේක තමයි වැසි වනාන්තරයකට කිට්ටු පරිසරයක විචිත්රත්වය. හිමගිර තවම බලන්න බැහැ. සුදු වළාකුළු යන්නෙම නැහැ. ඉතින් කොහොමද හිමේ ගමන් වෙන්නේ මම සිතනවා. මම දැන් ඉන්නේ සමනළ ගිර සිරසට වැටුණ පැරණි පාරේ. මම යන්නේ ගිලීමලයට. දත සුද්දෝ හොයාගෙන නම් නෙවෙයි. සිරිපාදේ ගැන කයි කතන්දර පිරුණු පැරණි ගමේ විචිත්රත්වය සොයන්න. ඒ විචිත්රත්වය දැන් තියෙන්නේ ගැමියන්ගේ සිත් ඇතුලේ.
ගිලීමලෙත් ඇත දත සුද්දෝ කියලා කිව්වේ අතීතයේ මෙහෙ ගොඩක් බුලත් පුවක් තිබුණ නිසා. දැනුත් පුවක් අරඹවල් දකින්න පුළුවන්. තවමත් වැස්ස තුරල් වෙන පාටක් නැහැ. ශ්‍රීපාද අඩවියට උරුම මේ වැස්ස ගැන අපූරු කතා ගොඩක් තියෙනවා. ඔන්න ප්‍රදේශ භාර දෙවිවරුන්ට ශක්‍රයා එන්න කිව්වා. ඒ මොකද වැස්ස බෙදලා දෙන්න. සමන් දෙවියන්ට මේ වැසි දිය බෙදා දෙන වැඩේට යන්න ටිකක් ප්‍රමාද වුණා. සමන් දෙවියෝ යනකොට ශක්‍රයා සේරම වැස්ස බෙදලා අහවරයි. ඉතින් මොකක්ද කරන්නේ කියලා ශක්‍රයා ඇහුව්වම සමන් දෙවියෝ කිව්වා අර දෙවිවරුන්ට කියන්න එයාලා ප්‍රදේශයෙන් පිට කොහේ හරි වඩිනවා නම් මගේ ප්‍රදේශය උඩින් යන්න, ඒ යන ගමන් වැස්ස ටිකකුත් හලාගෙන යන්න කියලා. මේ නිසා තමයි මේ බිමට කොච්චරවත් චුරු චුරුව. චුරු චුරුව තුරල් වුණාට පස්සේ අපි ගියා ගිලීමලයට.
ගිලීමලය
ගිලීමලය කියන්නේ නුවර යුගයේ නම් ගබඩා ගමක්. ඒ කාලේ සපරගමුව භාර දිසාවේ විදියට හිටිය ඇහැලේපොළ නිළමේ ලිපි ලේඛනවලට අත්සන් යොදන කොට අත්සන් කළේ ගිලීමලේ බඹරබොටුව ගබඩාභාර දිසාවේ විදියට. හැබැයි මේ ගම ඊටත් වඩා ගොඩක් පැරණියි. පොළොන්නරු යුගයේ පළමු විජයබාහු, නිශ්ශංකමල්ල කියන රජවරුන්ගේ කාලේ මේ ගම ගැන ගොඩක් අතීත තොරතුරු සඳහන් වෙනවා. ඒ ශ්‍රී පාදය නිසා. ගමේ පන්සලේ ගිලීමලේ රන්කොත් විහාරයේ සෙල්ලිපියක් තියෙනවා. ඒක පළමු විජයබාහුගේ කාලේ ලියවෙච්ච එකක්. ශ්‍රීපාදයේ යන බැතිමතුන්ගේ පහසුවට මේ පන්සල හදලා ගම්වරයක් දීලා තියෙනවා. එතකොට හාමුදුරුවනේ ගිලීමලය කියන නම හැදුණ විදිය ගැනත් කතා ගොඩක් තියෙනවා නේද? රන්කොත් විහාරයේ රතනසාර හාමුදුරුවන්ගේ කතාවට මම බාධා කරනවා.
ඔව්… ගිලීමලය කියන්නේ කඳු වළල්ලකින් වටවෙච්ච ගිලුණු කන්ද කියන එක. ගිලුණ මලය, ගිලීමලය වුණා කියලා කියනවා. එතකොට මේ වටේට තියෙන කඳු මොනවද? ශ්‍රී පාදය, කුණුදිය පර්වතය, බෑණ සමනළ, ලාහවනාපුගල ඔය වගේ.
ගිලීමලය ගමට තියෙන්නේ සමන් ගිර සිරස සමග බැඳුණ අතීතයක්. අතීතයේ මිනිස්සු සිරිපාදය තරණය කරනකොට හිමගිරට ඇතුල්වෙන්න කලියෙන් විඩා නිවා ගත්තේ මේ ගම් පියසේදී තමයි. මේ ගම නිම්න භූමියක්. එක පැත්තකින් කළු ගඟ ගලා බසිනවා. අනෙක් පැත්තෙන් කළු ගඟට එකතුවෙන්න හැල්මේ දිව එන රත්ගඟ තියෙනවා. ගිලීමලය කියන්නේ පිටාර තැනිතලාවක් කිව්වොත් ඒක තමයි නිවැරදි. ඒ හින්දම මේ බිම හරිම සශ්‍රීකයි.
හිමගිර වැස්සෙන් තෙමෙනකොට මේ බිම වතුරෙන් යටවෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. අනික මෙහෙ මිනිස්සු ගංවතුර එනකම් දන්නෙත් නැහැ. එකපාරටම ගලන පිටාර තමයි මෙහෙ මිනිස්සුන්ට පුරුදු. සුදු පෙණ කැටිති වරුසාවක් එක පොකුරට ගලාගෙන එනකොට බලන්න ලස්සනයි කියනවා. ඒ වෙලාවට කළු ගං කොමළිය රෙද්ද කඩාගෙන ඉන්නවා වගේ කියලා තමයි පරාක්‍රම කවියා කියන්නේ.
කළු ගං කොමළිය සමග රත් ගං කොමළිය ඉඳුරුව ගං කොමළිය එකට එකතුවෙන තැන තුන්තොට. මේ තුන්තොට හරිම ප්‍රසිද්ධයි. ලංකාවේ මිනිස්සු වැඩිපුරම ප්‍රමාණයක් දිය නාපු තොටුපළ මේක කියලා තමයි කියන්නේ. අතීතයේ පෙරහැරින් ශ්‍රී පාදයට ගිය හැමෝම වගේ හිමගිරට ඇතුල් වෙන්න කලියෙන් මෙතැනින් නෑවා. විඩා නිවාගත්තා. ගමනට අලුතින් ශක්තිය එකතු කරගත්තා.
තුන්තොට
1788 අතපත්තු මුකවෙට්ටි කියලා කවියෙක් සන්දේශ කාව්‍යයක් කළා. ඒ පොතේ නම තමයි කැටකිරිල්ලි සන්දේශය. මේක ලියවිලා තියෙන්නේ රාජාධිරාජසිංහ රජ්ජුරුවන්ට සෙත් පතලා. මේ සන්දේශය ගෙනියන්නේ කැටකිරිල්ලියක්. කැටකිරිල්ලී ගමන පටන් ගන්නේ සමනල ගිරි සිරසෙන්. අවසන් කරන්නේ කතරගම දේවාල භූමියෙන්. සමන් දෙවියන්ගේ වරම් අරගෙන කතරගම දෙවිඳුන්ට යවපු මේ අස්නේ එක තැනක අපි මේ කතා කරන තුන්තොට ගැන හරි අපූරු වර්ණනාවක් තියෙනවා.
කෙළී ලොල් වඩවන අඟන ලෙස තිමා
වෙලී රළේ ගිලිහෙති තිසර පැටි තෙමා
නිලී පුලේ දෙන් සර වෙළලු හඬට මා
ගිලීමලේ තුන්තොට දකු මිතුරු තුමාසිරිපා හිමගිර තරණයට ලහි ලෑස්තිවෙන අඟනුන් තුන්තොටේ දිය කෙළින හැටි තමයි මේ කවියා කියන්නේ. ඒ නිසා මේ තුන්තොට එදා ඉඳලම හරිම ප්‍රසිද්ධයි.
මහත්තයෝ ඔය තුන්තොටේ ඉඳලා මේ ගම දිගටම මේවා පිට්ටනිය වගේ. විශාල කුඹුක් ගස් තිබුණා. පාර දෙපැත්තේ කඩ තිබුණා. මිනිස්සු ඉතින් තුන්තොටින් නාලා උයා පිහාගෙන කාලා මේ කුඹුක් ගස් යට නිදාගන්නවා. ඊට පස්සේ තමයි කන්ද නගින්න පටන් ගන්නේ. මගේ අත්තත් සිරිපාදේ යන්න ඇවිල්ලා තමයි ගිලීමලේ නැවතිලා තියෙන්නේ. මුලින් එයා කඩයක වැඩකරලා තියෙනවා. පස්සේ මෙහෙන් ගෑනියෙක් කරකාරේ අරගෙන මෙහෙම නැවතුණා.
තුන්තොට, ගිලීමලේ අතීත අසිරිය මේ විදියට මතක් කළේ මාටින් නුගවෙල මාමා. දැන් වයස 73ක් වෙනවා. කවියෙක්. මහජන නියෝජිතයෙක් විදියටත් කාලයක් ගිලීමලයට වැඩකරලා තියෙනවා. නුගවෙල මාමා කියන විදියට 1941 ලොකු ගංවතුරට මේ ගම යටවෙලා මිනිස්සු මැරිලා තියෙනවා. ඊට පස්සේ හුඟදෙනෙක් ගම අතහැරලා ගිහින් තියෙනවා.
දේව වංශය
මේ ගමේ මිනිස්සුන්ගෙන් සීයට 75ක්ම ඉන්නේ දේවවංශිකයෝ. ඒ කියන්නේ වහම්පුර ජනතාව. සමන් දෙවියොත් වහම්පුර මිනිහෙක්. ලංකාවම ගත්තත් ගොවිගම අයට වැඩිය අපේ අය වැඩියි. දේව වංශිකයෝ අදටත් තමන්ගේ නායකයා විදියට අදහන්නේ සමන් දෙවියෝ. මාටින් නුගවෙල මාමා තමන් දේවවංශිකයෙක් කියලා ආඩම්බරයෙන් කියනවා. වහම්පුර කියන වචනයේ තේරුම පුරයෙන් වසන් වූ නැතිනම් ඈත් වූ අය කියන එක. අතීත ලංකාවේ කුල ගැටුම ලොකුවට තිබුණා. කුල ධූරාවලිය ඇතුළේ මේ දේව වංශය සැලකුණේ පහත් කුලයක් විදියට. ඒ නිසාම මොවුන්ට තාඩන පීඩනවලට ලක්වෙන්න වුණා. දැනටත් මේ කුල භේදයේ ගිනි පුළිඟු සමාජය ඇතුළේ තියෙනවා.
ඔව් මහත්තයෝ ඉස්සර අපිට හරියට කෙනෙහිලිකම් තිබුණා. අපේ කෙනෙක් ඉහළට ඉගෙනගන්න ගියත් කුලවතුන්ගෙන් බාධා හිරිහැර ආවා. දැන් නම් ඉතින් ඒවා ඇත්තේම නැති තරම්. නුගවෙල මාමා නැවත කතා කරනවා.
නුගවෙල මාමා කියන විදියට නම් අතීතයේ රට පාලනය කරලා තියෙන්නෙත් දේවවංශිකයෝ. මාමා කියන විදියට සිංහල ජනතාවගෙන් 3/4ක් දේවවංශික. ඒ අදහස නම් නිවැරදි නැහැ. ලංකාවේ කුල ක්‍රමය සහ ව්‍යාප්තිය ගැන පර්යේෂණ කරපු කාලිංග ටියුඩර් සිල්වා නම් කියන්නේ සිංහල ජනගහනය 100ක් වුණත් එයින් වහම්පුර කුලයට අයිති වෙන්නේ 12.5ක් කියලා. මේ සංඛ්‍යා දත්ත අද වෙනකොට තවත් වෙනස් වෙලා ඇති.
අතීතයේ වහම්පුර ජනතාවගේ ජීවන වෘත්තිය වුණේ ගොඩක් වෙලාවට හකුරු කර්මාන්තය. අතීත ගිලීමලෙත් හකුරු කර්මාන්තය ජයටම තිබිලා තියෙනවා. මේ හකුරු කර්මාන්තය නිසාම වහම්පුර ජනතාව සමහරකගේ පෙළපත් නම වුණේ සුදු හකුරු කළු හකුරු වගේ ඒවා. මේ පෙළපත් නම ඒ මිනිසුන්ට දුන්නේ ගමේ වංශවත් අය. එයාලා මේ වගේ නම් දුන්නෙම අපහාසය උපහාසය සලකලා. ඒ කොහොම වුණත් සමන් දෙවියොත් වහම්පුර කිව්වහම අද දවසේ වුණත් සමහරෙකුට ටිකක් රිදෙන්න පුළුවන්. ඒත් ජන විශ්වාසය ඒකයි. මේ ජනතාව අදටත් තමන්ගේ නායකයා විදියට සුමන සමන් දෙවියෝ අදහනවා.
සමන් උයන
ගිලීමලේ ගමේ පැරැන්නන්ගේ මතක ගබඩාවල නිශ්ශංකමල්ල රජ්ජුරුවෝ ගැන කතා ගොඩක් තියෙනවා. ගිලීමලේ ගම ඇතුලේ බිම්කඩක් තියෙනවා. ඒකට අදටත් කියන්නේ සමන් වත්ත කියලා. මේ සමන් වත්ත අතීතයේ නිශ්ශංකමල්ල රජ්ජුරුවන්ගේ මල් උයන කියලා තමයි විශ්වාසය. සමන් උයන ගැන රස කතාවක් අපිට කිව්වේ කොරටුවේ ගෙදර කේ.එච්. පොඩිමැණිකේ නැන්දා. පොඩි මැණිකේ නැන්දා පිටගම්කාරියක් වුණාට දැන් අවුරුදු 50ක විතර ඉඳලා ගිලීමලේ තමයි ජීවත් වන්නේ.
ඔය සමන් වත්ත තමයි නිශ්ශංකමල්ල රජ්ජුරුවන්ගේ මල් වත්ත. ඔන්න එක කාලෙකදී හැම රෑම මල්වත්තේ මල් අඩුවෙනවා. රජ්ජුරුවන්ගේ උයන් පල්ලාට මේක හොයාගන්න බැහැ. කවුරු හරි හොරෙන් මල් කඩාගෙන යනවා. රජ්ජුරුවන්ට මේක හරි ප්‍රශ්නයක්. රජ්ජුරුවෝ අඬබෙරකරුවෙක් පිටත් කරලා යවනවා මේ හොරා අල්ලන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න කියලා. මේකට ඉදිරිපත් වෙන්නේ අත පය නැති කොටෙක්. කොටාව උස්සගෙන ගිහින් මාළිගාවේ තිබ්බහම කොටා කියනවා තනි දොරක් කවුළුවක් විතරක් තියෙන කුටියක් උයනේ හදලා දෙන්න කියලා. රජ්ජුරුවෝ හදලා කොටාව උස්සන් ගිහින් කුටියේ නතර කරනවා. කොටා ඉතින් රෑට ඉන්න ගමන් හැමදාම සතිපට්ඨානය ගායනය කරනවා. කවුද මේ උයනේ මල් හොරකම් කරන්නේ. සුරංගනාවියෝ. ඉතින් හැම රැයකම සුරංගනාවියෝ එනවා මල් හොරකමේ. පිරිතුත් අහනවා. මේ කණ්ඩායමේ ඉන්න එක සුරංගනාවියක් මේ පිරිත් ගායනයට වශී වෙනවා. එයාට හිතෙනවා මේ කුටිය ඇතුලේ පිරිත් කියන්නේ කවුද කියලා බලන්න. සුරංගනාවිය කුටිය ඇතුලේ පිරිත් කියන්නේ කවුද කියලා බලන්න කුටිය ළඟට ගිහින් කතා කළාම කොටා කියනවා තමන්ට අතපය හතර නැති නිසා එළියට එන්න බැහැ කියලා.
සුරංගනාවිය මොකද කරන්නේ තමන්ගේ සේද සළුවේ එක පොටක් අර කවුළුව ඇතුළෙන් කුටිය ඇතුළට දානවා. දැන් කොටා දඟලනවා. කොහොම හරි මේ සළුව කොටාගේ ඇඟේ ගෑවුණා විතරයි කොටාට අතපය හතර ලැබෙනවා. කොටා ඊළඟට මොකක්ද කරන්නේ අර සළුවේ එල්ලෙනවා. සුරංගනාවියගේ සළුව ගැලවිලා කොටාගේ අතට යනවා. දැන් සුරංගනාවියට යන්න විදියක් නැහැ. සළුව ඉල්ලනවා. කොටා අහනවා ඇයි හොරෙන් මල් කඩාගෙන යන්නේ කියලා. සුරංගනාවි කියනවා ශ්‍රීපාදය වඳින්න කියලා. කොටා අහනවා ශ්‍රී පාදයට යන පාර පෙන්වන්න පුළුවන්ද කියලා. සුරංගනාවිය කියනවා මල් හලාගෙන යන්නම් කියලා. ඉතින් සළුව දෙනවා. කොටා මල් පාර දිගේ ශ්‍රී පාදයට යනවා. පස්සේ රජ්ජුරුවොත් එක්ක යනවා. එහෙම තමා ශ්‍රී පාදයට පාර සොයා ගත්තේ.
නැන්දා ලස්සනට කතාව කියාගෙන යනවා. කොටා හිටියේ කොටාමුල්ලේ. කොටාගේ අතපය හතර නැති වුණේ කොහොමද? මට අතීතය මතක් වෙනවා. අපි පුංචිකාලේ කණාමැදිරි එළි විතරක් දැල්වෙන කළුවරේ මේ රසකතා අහනවා. කොටා අයියත් එක්ක එක ගෙදර හිටියේ. අයියා ගෑනියෙක් ගෙනාවා. ගෑනි හරිම ලස්සනයි. කොටා අයියාට වඩා ලස්සනයි. ගෑනි කොටාට හිතින් ආදරය කරනවා. දවසක් අයියා නැති වෙලාවක් බලලා මේ ගෑනි කොටාව බදාගත්තා. කොටා අත පය ගසා බසා දාලා යන්න යනවා. අයියා හවස ගෙදරට එනකොට ගෑනි අත පය හූරගෙන ඇඳුම් ඉරාගෙන තමයි ඉන්නේ. මේ මොකද කියලා ඇහුව්වම මල්ලි දූෂණය කළා කියලා කියනවා. අයියා එදා ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. මේ ගෑනි කොටා එක්ක තියෙන තරහට හැම උදයකම අයියාට මේක මතක් කර කර දෙස් දෙවොල් තියන්න ගන්නවා. බැරිම තැන අයියා මල්ලිව කැලයට අරන් ගිහින් අතපය හතර කැති ගහලා දානවා. මේ විදියට තමයි කොටා අතපය නැති කොටෙක් වුණේ.
ආයෙත් නැන්දාගේ කතාවට යනවා නම් සුරංගනාවියෝ මල් හලාගෙන ගියානේ. එක තැනකදී ඒ මල් පොළොව යටට නොපෙනී ගියා කියනවා. මල් පොළොව යටට ගිලී ගිය තැන ගිලීමලය වුණා කියලත් කතාවක් තියෙනවා. බෑණ සමනල කන්දේ ගහපු ගිනි ගොඩක් පෙනුණ තැන ගිලීමලය වුණා කියලත් කියනවා. ගිලීමලය ගමට මායිම් වෙච්ච තවත් ගමක් තියෙනවා. ඒ ගමේ නම රත්තුරුගල. රත් වූ තුරු ඇති ගල රත්තුරුගල වුණා කියලා කියනවා. ඒ අර ගිනිමැළය නිසා.
මේ විදියට දිවෙන ගිලීමලේ අතීතය විස්මිතයි. ගිලීමලේ වලව්වට ඉහළින් තියෙනවා මාළිගාතැන්න කියලා තැනිතලාවක්. මේ තැනිතලාවේ නිශ්ශංකමල්ල රජ්ජුරුවන්ගේ ගමන් මාළිගාව තිබුණා කියලා ගම්මුන් විශ්වාස කරනවා. තැනිතලාවට යන්න කපපු ගල්පඩි තවම තියෙනවා.
ගිලීමලේ වලව්ව
ගිලීමලේ තුන්තොටට ඉහළින් සිරිපා ගිරි සිරස ගම දිහා බලාගෙන ඉන්නවා. මේ ගම හරිම ලස්සනයි. තැනින් තැන තවමත් ඉතුරු බිතුරු කැලෑ කැටිති ඒ මත නටන වඳුරු, දඬුලේන් රැල ගම තවත් හැඩ කරනවා. රත්ගඟට සමාන්තරව කළු ගඟ දෙසට පැරණි මඟ දෙපස ගම ටිකක් දියුණුයි. ඒත් රත්ගඟින් අනෙක් පස හරි අඳුරුයි. දුෂ්කරයි. ගෙවල් දොරවල් ගොඩයි වුණාට තවමත් ඒ පෙදෙසට යන්න පාලමක්වත් නැහැ. වැස්ස දවසට පිටාර දවසට මිනිස්සු දෙපැත්තෙන් එක පැත්තකට කොටු වෙනවා. උදේ ඉස්කෝලෙ ගිය දරුවන්ට සමහරදාට රැය පහන් කරන්න වෙන්නේ ගෙදරින් පිට. ඒ මොකද ගඟ ගලලා තිබුණොත් ගෙදර යනවා බොරු. එදා බුලත් පුවක්වලට ප්‍රසිද්ධ මේ ගම අද රන්වන් තේ දළු යායවල්වලට හරිම ප්‍රසිද්ධයි. (මේ ලිපියට ටිකක් කල් අද වෙනකොටනම් පාලම් හැදිලා දෙපැත්ත යාවෙලා)
මේ විදියට කතා කරගෙන යනකොට ගිලීමලය වලව්ව ගැනත් කතා නොකරම බැහැ. අවුරුදු 100කට වඩා පැරණි මේ වලව්ව ගැනත් වලව්වේ ඇත්තෝ ගිලීමලයට ආපු හැටි ගැනත් කතා ගම තුළ එමටයි. අද වලව්ව කැලේ වසා ගන්න ඔන්න මෙන්න තත්ත්වයක තියෙන්නේ. ඒත් ප්රතාපවත් වලව්ව තවමත් සිරිපා ගිරි සිරස දිහා බලාගෙන ඉන්නේ ගිලීමලේ ගම ගැන අතීතය ගැන ඕනි දෙයක් අහන්න කියනවා වගේ. (වළව්වත් අද පිළිසකර වෙලා බබලනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ)
ඔය වලව්ව පටන් අරගෙන තියෙන්නේ කෝට්ටේ කාලේ මහත්තයෝ. ඒ කාලේ කෝට්ටේ ඉඳලා බෝ පැළයක් ශ්‍රී පාදයට අරගෙන ඇවිත් තිබෙනවා. ඒක අරගෙන ආපු කණ්ඩායම බෝ පැළය රන්කොත් විහාරයේ තියලා එදා රැය පහන් කරලා තියෙනවා. උදේ බලනකොට බෝපැළය මුල් ඇදලා. කෝට්ටේ රජ්ජුරුවන්ට මේ පණිවිඩය යැව්වහම රජ්ජුරුවෝ කෝට්ටෙන් පවුලක් එවනවා මේක බලා කියා ගන්න. එයාලා ඇවිල්ලා මුලින්ම නතර වෙලා තියෙන්නේ ගිලීමලේ පාගොඩ කියන හරියේ. එතැන තමයි මුල්ම වලව්ව තිබිලා තියෙන්නේ. පාගොඩ වලව්වත්ත කියලා වත්තක් තාමත් තියෙනවා. ගිලීමලේ වලව්ව ගැන අතීත කතාව මේ විදියට කිව්වේ රන්කොත් විහාරයේ රතනසාර හාමුදුරුවෝ.
ගිලීමලේ වලව් පරම්පරාවේ මුලටම කියැවෙන නම තමයි පාගොඩ පුංචි බණ්ඩාර. ඊළඟට ගිලීමලේ මුදලිතුමා. වලව්ව ගැන ගම්මුන්ගේ සිත්වල තියෙන කතා පොකුරේ වැඩි තැනක මුණගැහෙන්නේ කුමාරිහාමිගේ චරිතය. මේ කුමාරිහාමිට එදා ගම්මු කියලා තියෙන්නේ ඩිංගිරි හාමුදුරුවෝ කියලා. ඇය උසයි මහතයි. හරි දේහධාරී කාන්තාවක් කියලා තමයි ගමේ පැරැන්නෝ කියන්නේ. මේ ඩිංගිරි හාමුදුරුවෝ ගැන තියෙන රසකතා සමහරක් ලියන්න බැරිතරම්. කෙලෙසක වුවත් ගිලීමලේ ගම එක කාලෙක මේ කුමාරිහාමිගේ අණසක යටතේ තමයි පැවතුණේ.
ඔය වලව්ව හැදුවේ රන්කොත් විහාරය රැකගෙන ඒක වැඩිදියුණු කරන්න. ඒකට රජ්ජුරුවෝ සන්නස් ලියලා ගම්වර දුන්නා. වලව්වේ අය මොකද කළේ. මේ පන්සලේ ඉඩම් වලව්වට ගත්තා. ගිලීමලේ ඉඩම්වලින් සීයට අනූවක්ම වලව්වට තමයි අයිති වෙලා තිබුණේ. දැන් නම් පිටට විකුණලා. වලව්වේ දැන් ඉතුරුවෙලා ඉන්න අයත් ඉන්නේ කොළඹ. මේ වලව්ව ගැන කතා කළ පැරැන්නන්ට වලව්ව ගැන තියෙන්නේ සුපහන් හැඟීමක් නෙවෙයි. කුලයෙන් පහත් පීඩිතයන්ට වලව්ව එදා සැලකූ අපූරුව ගැමියන් තවමත් පිළිකුලෙන් කතා කරනවා. සමහරක් නම් කියන්නේ පහත රටින් ආපු මේ අය නියම වලව්කාරයෝ නෙවෙයි කියලා. කතා ගොඩයි. ඒ කොහොම වුණත් ගිලීමලේ ගැමියන්ගේ අතීත ජීවිතයට ගොඩක් බලපෑවේ මේ වලව්ව. වික්ටරින් කුමාරිහාමිගේ සුසානය එක පැත්තක තියෙනවා. අනෙක් පැත්තෙන් ගරා වැටෙන්න ඔන්න මෙන්න වලව්ව බලාගෙන ඉන්නවා. පිටුපසින් රත්ගඟ තුන්තොට දෙසට නිසොල්මනේ ගලනවා.
ප්රතාපවත් ලන්දේසි ආකෘතියේ මන්දිරයේ කවුළු විවෘතයි. ඇතුළතින් මැද මිදුල පැරණි පින්තූර වැඩවසම් යුගයේ නටබුන් පෙනෙනවා. කතා කරන්න තොරතුරු දැනගන්න ආවත් වලව්ව විතරක් තනියම. කිසිවෙක් නැහැ. මම වලව්වේ තොටුපළින් රත්ගඟට බසිනවා. ඈතින් මහ කැලය. නැත්නම් හිමේ බලන් ඉන්නවා. තිත්තයෝ දෙපුල්ලියෝ බුලත් හපයෝ කකුළේ වෙළෙනවා. හාදු දෙනවා. කිති කවනවා. බටදොඹ ගෙඩියක්, දොඹ මලක පෙත්තක් දෙපෙත්තක් ගලන ගඟ පහළට අරන් යනවා. මම හිමගිර දිහා බලනවා. තවමත් සුදු මීදුම් සේලයක් හිමගිර වසාගෙන ඉන්නවා. තුන්තොටත් දැන් පාළුයි. අතීතයේ ගිලී නටපු රණ තිසරුන් දැන් තුන්තොටට එන්නේ නැහැ. ඒ සිරිපාදේ යන්න අලුත් පාරක් හදපු නිසයි. ඒ අලුත් පාර නිසා දැන් ගිලීමලේ ගැනත් නිනව්වක් නැහැ. ඒත් ගිලීමලෙත් ඇත දත සුද්දෝ කියන කතාව නම් අපි අතරේ තියෙනවා.
මෙය අවුරුදු 10ක් පමණ පරණ චාරිකාලංකාරයක් බව කිව යුතුයි. දැන් සමහර දේ වෙනස් විය හැකියි. ඒත් අතීතය සුන්දරයි.
-කේ. සංජීව-





