[gtranslate]

පසුගිය වසර 3 හමාරේ මගේ නවාතැන : වැලිකඩ බන්ධනාගාරය

ajith prasanna knews

එහි ‘සිරකරුවෝ මනුෂ්‍යයෝය’ තාප්පයට පමණි. මම මෙතනට ආවෙ 2023.02.24 දින වසර 4ක සිර දඬුවමක් ලැබිල ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. වරද නීතීඥයෙකු ලෙස මාධ්‍ය සාකච්ඡා පවත්වා අධිකරණ තීන්දු විවේචනය කොට අධිකරණයට අපහාස කිරීම.

වැලිකඩ බන්ධනාගාරයේ H වාට්ටුවේ තමයි මුලින්ම නවාතැන් ලැබුණේ. මාස පහමාරකින් M වාට්ටුවට මාරු කළා. එතන තමයි වැඩිම කාලයක් හිටියේ. දැනට මාස තුනකට විතර කලින් නැවත H වාට්ටුවට මාරු කළා. එතන මාසයක් ඉඳල K වාට්ටුවට මාරු කළා. H සහ K වාට්ටුවට සිර කාමරවල තමයි හිටියේ.

හවස 5.30 ට සිර කාමරවලට දාල වහනවා. එළිවෙලා 6ට විතර කූඩුවලින් එළියට ගන්නව. නැවත සවස 5.30 ට වහනකම් එළියෙ ඉන්න පුළුවන් ටිකක් නිදහසේ. හැබැයි රෑ වැසිකිළි යන්න බැහැ. ටින්වලට තමයි ඒව කරන්න වෙන්නෙ. M වාට්ටුව ශාලාවක්. ඒකෙ සිරකුටි නැහැ. වැසිකිළි තියෙන නිසා ඕන වෙලාවක යන්න පුළුවන්. ඒක ලොකු වරප්‍රසාදයක්.

පෝලිමේ ගිහින් පිඟානට කෑම ගන්න ඕනෑ. මිරිස් තුනපහ, පොල් කිරි බොහොම අඩුයි, කෑම දිය රහයි. සුදු කොට කලිසමයි, සුදු අත්කොට කමිසයයි තමයි ඇඳුම. කොණ්ඩෙ කොටට කපා ගන්න ඕන. රැවුලත් එහෙමයි.

මරණ දඬුවම ලැබුණු සහ අභියාචන නඩු තිබෙන අය හැරුණහම අනෙක් සෑම සිරකරුවෙකුම උදේ 7.30 සිට සවස 3 තෙක් වැඩ කරන්න ඕනෑ. වඩු වැඩ, මේසන් වැඩ, කම්මල් වැඩ, සබන් හැදීම, කොහු වැඩ, වගාව, ඇඳුම් මැසීම වගේ වැඩ තියෙනවා. මම හිටියෙ මැහුම් අංශයේ.

බිම පැදුරු එළල අපි නිදාගන්නෙ පොඩි ඉඩක. බෑග් එකක එල්ලල අපි ළඟම අපේ සීමිත බඩු භාණ්ඩ තියාගන්නවා. හරිම සරල ජීවිත. ගෙදරින් උයපු කෑම සහ වියළි ආහාර, සීනි කිරි පිටි ගෙදරින් ගෙන්න ගන්න පුළුවන්, අවුරුද්දට දින පහක් පමණයි.

සැප්තැම්බර් 12 සිරකරු දිනය, නත්තල් දිනය, නිදහස් දිනය, අප්‍රේල් 13, 14 අවුරුදු දවස් දෙක, වෙසක් දින කියන දිනවල පමණයි සුධර්මිකා ගෙදර උයපු කෑම ටිකත් කන්න වාසනාව ලැබෙන්නෙ. ඊට අමතරව සිරකරු දිනයේදි ගෙදර කට්ටිය තුන් දෙනෙකුට සිරගෙදරට ඇවිත් අපිත් එක්ක පැය තුනක් විතර පැදුරුවල වාඩිවෙලා එකට කෑම ටිකක් කාල කතාබහ කරන්න අවසර ලැබෙනවා.

හිටපු අවුරුදු තුනහමාරට ඉතාම සරල ජීවිතයක් ගෙවන්න ලැබුණා. ජීවිතය ගැන ආවර්ජනයක් කරලා, කරපු හොඳ වැඩ, ගොංකම්, වැරදුණු තැන්, ගැන හිතන්න ලොකු ඉඩක් ලැබුණා. බොහෝ අයට නීති උපදෙස් වගේම මානසිකව වැටිල ඉන්න අයට උපදේශනය කරන්නත් මට අවස්ථාව ලැබුණා. (මම මනෝවිද්‍යා උපදේශකයෙක්). අසාධාරණ වැඩවලට යම් යම් අවස්ථාවල නිලධාරීන් සමග ගැටෙන්නත් වුණා. වටිනාම දේ තමයි හිරකාරයන් එක්ක කතා කරල ලැබුණු දැනුම.

සිරකරුවෝ ද මනුෂ්‍යයෝය, කියල මෙහෙම එළියෙ තාප්පෙ කොටල තිබුණට සිරකරුවන්ට ඒක අදාළ කර ගන්නව හරිම අඩුයි. ගෙදරින් විසිට් එන්නෙ නැති බොහෝ රැඳවියන් සබන්, දත් බෙහෙත් ටිකත් අතපාල වෙනත් අයගෙන් තමයි ඉල්ලගන්නෙ. මාස හයකටවත් සැරයක් බන්ධනාගාරයෙන් සබන් කෑල්ලක් ලැබෙන්නෙ නැහැ.

අසනීපයකට නිසි ප්‍රතිකාර ලැබෙන්නෙ නැහැ. ඒ නිසා බොහෝ රෝගීන් හිරගේ ඇතුළෙම මියයනවා. සිරකරුවන්ව සම්මුඛ පරීක්ෂණයකට ලක් කරලා ඔවුනට තිබෙන ගැටලු විමසලා සහනයක් දෙන්න ක්‍රමවේදයක් හිරගෙදර නැහැ.

එළියෙ ඉඳන් ඇතුළට එන රැඳවියන්ව ගේට්ටුවෙදි බන්ධනාගාර පොලිසියෙ අය පරීක්ෂා කරන්නෙ ඇඳුම් ගලවලා. පස්ස පෙන්නල තටමන්නත් ඕනෑ නිරුවතින්. එහෙම තමයි කුඩු ගේනවද බලන්නෙ. Scan යන්ත්‍ර පාවිච්චි කරන්නෙ නැහැ. මේක මානව හිමිකම් උල්ලංඝනයක් කියල මම දවසක් බන්ධනාගාර නිලධාරීන්ගෙන් ගේම ඉල්ලුවා. පස්සෙ පස්ස මමත් නිරුවතින් පස්ස පෙන්නල ආවා. (මීගමුවෙදි අමානුෂික ලෙස ඝාතනය වූ අට දෙනාම වැලිකඩ සිට එදා උදේ මීගමුවට ගිය බන්ධනාගාර පොලිසියෙ නිලධාරීන්. ඔවුන් සමග රැඳවියන් ඉන්නෙ හරිම වෛරයකින්)

හිරගෙදර පුනරුත්ථාපනයක් නැහැ. හැදෙන එකා හැදෙනවා. නැති එකා නැහැ. මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබපු රැඳවියන්ට නිදහස ලබන දිනයක් නැහැ. අවුරුදු 32ක් එහෙම ඉන්න අය මට මුණගැසුණා. ඒ වගේ අය අසනීප වෙලා, වයසට ගිහින් හිරගෙදරම මැරෙනවා. ඒක හරිම අමානුෂිකයි.

බොහෝ රැඳවියන් පවුලේ එකම ආදායම් උපයන්නා. ඒ අය හිරගෙදර දඬුවම් විඳිනකොට දරු පවුල් අනාථ වෙනවා, අනාරක්ෂිත වෙනවා. බිරිඳ රැකියා කරන්න එළියට ගියහම දරුවන් ගෙදර අනාරක්ෂිතයි. ඔවුන්ගේ ඉගෙනීම කඩාකප්පල් වෙනවා, තරුණ දූවරුන් අයාලේ යනවා. මේක ඛේදවාචකයක්. සරෝජිනී පෝල්රාජ් ඇමතිතුමිය මේ ගැන දන්නවද?

හිරගෙදර ගැන ඉගෙනගන්න කෙනෙක් ඉන්නව නම් කතා කරන්න. බංකු පුටු ගේන්න එපා. කියලා දෙන්නම්. ඉදිරියට මගේ ජීවිතයේ ලොකු ඉඩක් මම සිරකරුවන් නිදහස් කිරීම හා ඔවුන්ගේ හා දරු පවුල්වල සුභසාධනය වෙනුවෙන් කැප කරනවා.

පාපැදියෙන් ගෙදර සිට කිලෝමීටර් 15ක් පැදල දූවිලි දහදිය පිටින් තමයි අද උදේ මේ සෙල්ෆිය ගත්තෙ. මූණ කචල් කියල අවුලක් ගන්න එපා. තැලෙන, පෑගෙන, පොඩි මිනිස්සු වෙනුවෙන් පෙනී සිටිනව කියලා බලයට ආපු ආණ්ඩුව මරන්න ගෙනියන හරක් ඩොල්ෆින් එකට පටවනවා වගේ මේ දවස්වල හිරගෙවල් පුරවනවා.

මම ඇතුළට යනකොට සමස්ත රැඳවියන් 27000යි ලංකාවෙම හිරගෙවල්වල හිටියේ. දැන් 44000 පැනලා. සැමන් පැක් කරල වගේ නිදාගන්නෙ, නාගන්න ඇඳුමක් හෝදගන්න හිරකාරයො මරාගන්නවා. ආණ්ඩුවට වගේ වගක් නැහැ.

54 ගහල කුඩු ජාවාරම්කාරයො කියල පොලීසිය අල්ලල ඇතුළට දාන්නෙ කුඩුවලට ඇබ්බැහි වුණු සාමාන්‍ය තරුණයන්. අවුරුද්දකට වැඩිය යනව ඇප ගන්න. ඒකයි හිරගෙවල් උතුරන්නෙ.

සීආර්පී, මැගසින්, ගාල්ල, කෑගල්ල, මහර හිරගෙවල් තදබදය නිසා උතුරනවා. හිරකාරයො නිදාගන්නෙ turn එකට. පාර්ලිමේන්තුවේ 225ට, මහේස්ත්‍රාත්වරුන්ට ඕනෑම දිනක හිරගෙවල් ඇතුළට ගිහින් මේ ඛේදවාචකය නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉක්මනට ගියොත් අනිත් හිරගෙවල් අතරින් ඊළඟ මීගමුව මතුවීම නතර කරන්න යමක් කරන්න පුළුවන් වේවි.

ඔය හිරකරල තියෙන 44000න් 30000ක්ම ඇතුළට ආපු සැබෑ හේතුව දරිද්‍රතාවය. නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක්, ෆින්ලන්තය වගේ රටවල සිරගෙවල් වැහෙන්නත් අපේ හිරගෙවල් පිරෙන්නත් හේතුව ඒකයි.

කවුරු හරි දන්න කෙනෙක් මට අවස්ථාවක් දෙන්න ජනාධිපති සහෝදරය මුණගැහිල මේ ටික තේරුම් කරල දෙන්න. මේ ඇත්ත දන්නව නම් එයා අහවල් කෙනා මුල් පුටුවෙ තියාගන්න 22 ගේන්න දහංගැට නොගහ පීඩිත පන්තියෙ දුක්විඳින රැඳවියන්ගෙ ජීවිත සුවපත් කරන්න යමක් කරාවි.

දුකයි, ඇඬෙනවා, දැනට නවතින්නම්.

සිර අංක B 13815 අජිත් ප්‍රසන්න – උපුටාගැනීම – අජිත් ප්‍රසන්න මහතාගේ ෆේස්බුක් ගිණුමෙන්. මුල් ලිපිය යම් සංස්කරණයකට ලක්කර ඇති බව සලකන්න.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ...

කැරපොත්තන්ගේ සටන පළමු ජය වාර්තා කරයි

සමස්ත ඉන්දියාව පමණක් නොව ලෝකයම සොලවමින් වීදි බැස සිටින කැරපොත්තන්ගේ ජනතා පක්ෂය සිය පළමු ජයග්‍රහනය වාර්තා කරගෙන ඇතැයි ද ඒ අනුව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා...

මන්දිරවල ජනපති නෑ. නමුත් ජනයා ඉදලා. බර වියදමකුත් ගිහිං

ජනාධිපතිවරයා රටපුරා ඇති ජනාධිපති මන්දිර භාවිතා කරන්නේ නැති බව ප්‍රකාශ කරමින් එම මන්දිරවල නවාතැන් නොගත්තත් එහි බොහෝ දෙනෙක් රැඳී සිට ඇති බවද ඒ සඳහා 2025 වර්ෂයේදී විශාල වියදමක් දරා ඇති බවද ජාතික විගණන...