මේ දිනවල ප්‍රගීත් එක්නැළිගොඩ මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම පිළිබඳ නඩුකරය විභාග වෙමින් තිබෙයි. ඒ අතරම හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් තිබෙයි. ඒ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳවය. මෙම නව තත්ත්වය යටතේ දැන් දැන් සමාජයේ විශාල කතා බහක් බුද්ධි ක්‍රියාන්විතයන් පිළිබඳව ඇතිවී ඇත. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් බැලූ බැල්මට රාජ්‍ය බුද්ධි මෙහෙයුමක අතුරුප්රථිපලයක් ය.
හිටපු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ද චූදිතයන් වී සිටින්නේ යුද්ධ හමුදා බුද්ධි නිලධාරීන් ය. ගිරිතලේ බුද්ධි කඳවුරේ රාජකාරි කළ බුද්ධි නිලධාරීන් කණ්ඩායමක් මෙම අතුරුදන් කිරීමට අදාළව චූදිතයන් බවට පත්වී සිටියි.
මෙම ලියුම්කරු ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට අදාළව සීඅයිඩී විමර්ශනයන් සක්‍රීය වුණ යහපාලන කාලයේ 2017 තරම් ඈතකදී මෙම විමර්ශන තොරතුරු පිළිබඳව ලිපි පෙළක් රාවයට ලීවේය. කාලීන තත්ත්වය සලකා එම ලිපි පෙළ මෙසේ knews වෙබ් අඩවියේ පළවෙනු ඇත. මේ එහි පළමු කොටසයි..!
…………………………………………..
ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ 2010.01.24 දින නිවසින් බැහැරට ගියපසු තවමත් ගෙදර පැමිණ නැත. ඔහුට වුණේ කුමක්ද කවුරුත් තවමත් දන්නේ නැත. කලකදී සමාජය මත පාලකයෝ පැතිරවූ මතය ප්‍රගීත් කොටියෙක් බව. ඊළඟට මෝඩ දේශපාලකයෙකුගේ කටින් ඔහු ගෙදර ආවේ ප්‍රංශයේ සිටය. අතුරුදන් වනවිට මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ප්‍රගීත් නොයෙකුත් දක්ෂතා රැසක් හිමි පුද්ගලයෙක් ය. ඔහු කලාප කිහිපයකම එකවර වැඩකළේය. මෙලෙස අතුරුදන් ප්‍රගීත් ගැන සොයන්නට එවක මහින්ද රාජපක්ෂ රජයට හෝ එවක පොලීසියට කිසිදු උවමනාවක් තිබුණේ නැත. එනිසාම ප්‍රගීත්ට වුණේ කුමක්ද හෙළිදරව් වුණේ නැත. එහෙත් ප්‍රගීත් ගේ ප්‍රිය බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ තම සැමියා සමාජ කතිකාවතින් අතුරුදන්වීම වැලැක්වීමට මහත් වෙර වීරියක් ගත්තාය.
ඇය තම සැමියාට යුක්තිය ඉටුකරගැනීම වෙනුවෙන් මැර ආණ්ඩුවක් පවතින සමයක තිර අදිටනින් සටන් වැදුණාය. හබයාස් කෝපුස් නඩුවක්ද ඇය ප්‍රගීත් වෙනුවෙන් අධිකරණයේ ගොනු කළාය. “මට කියාපල්ලා මගේ මිනිහට උඹලා මොකද කළේ ” ඇය නිරන්තරයෙන් එවක ආණ්ඩුවෙන් මේ පැනය ඇසුවාය. ඇය ප්‍රගීත් වෙනුවෙන් ලංකාවේදී මෙන්ම පිටදීද තම සටන ගෙන ගියාය. එනිසාම මහින්ද රාජපක්ෂ ජනාධිපති පුටුවෙන් එළවා දැමීම සඳහා පැවති මැතිවරණ වේදිකාවේ විශාල අවකාශයක් ප්‍රගීත් වෙනුවෙන් වෙන් විණි. අවසානයේ මහින්ද ගෙදර ගිය අතර ප්‍රගීත්, තාජුදීන් වැනි අය සැඟවී සිටින තැන්වලින් එළියට ආවෝ රහස් පොලිසියේ නිසි පරීක්ෂණ මතය. ප්‍රගීත්ට වුණේ කුමක්ද දැන් හෙළිකරගෙන හමාරය. ඒ කතාව හොලිවුඩ් ෆිල්ම් එකක් වගේ ය.
ඒ කතාවේ අලගිය මුලගිය තැන් රහස් පොලීසිය අධිකරණයට නිතර නිතර වාර්තාකරමින් සිටී. රහස් පොලීසිය මෙලෙස හරි පීල්ලට අරං තිබෙන්නේ එවකදී හෝමාගම පොලීසිය මෙන්ම දෙමටගොඩ පොලීසියද කොළඹ අපරාධ කොට්ඨාසයද නොමග යවා තිබූ අපරාධ පරීක්ෂණයක් ය. මේ වනවිට ප්‍රගීත් අතුරුදන් කිරීමට අදාළ පරීක්ෂණ 90%කින් අවසන්වී තිබේ. ඒ යුධ හමුදාවේ නිරන්තර බාධා කිරීම්, ඩයලොග් වැනි දුරකතන සමාගම්වල තොරතුරු සැඟවීම්, රටේ ප්‍රධානම දේශපාලන බලවතාගේ ඍජු අතපෙවීම් මධ්‍යයේය. දැන් රටේ ප්‍රධාන පුරවැසියා මේ අපරාධ වලට මුල්වී කටයුතු කළ යුධ හමුදාවේ පුද්ගලයන් රණවිරුවන්ට මොකුත් කරන්න දෙන්නේ නැහැ යන තැන සිට ආරක්ෂා කරමින් සිටී. එවැනි තත්වයක් තුළ අලියා ගිහිං තියෙන පසුබිමක නැට්ට යාවිදැයි සැක සහිතය. එනිසා ප්‍රගීත් හට යුක්තිය ඉටුකිරීම සඳහාද මේ අපරාධ ඉතිහාසය තුළ නිවැරදිව සටහන් කර තැබිය යුතු නිසා අප සොයාගත් මේ පරීක්ෂණයට අදාළ තොරතුරු මෙලෙස ඔබ ඉදිරියට ගෙන එන්නෙමු.
සන්ධ්‍යාගේ කටඋත්තරය
යහපාලනය පැමිණි පසු පොලිස්පතිතුමාගේ ඍජු නියෝගය වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව පරීක්ෂණ ඉදිරියට මෙහෙයවිය යුතු බවය. එමගින් රහස් පොලීසිය යටතට ප්‍රගීත් පිළිබඳ පරීක්ෂණ යොමුවූ පසු ඒ පිළිබඳව මුලින්ම අධිකරණයට කරුණු වාර්තා කරමින් රහස් පොලීසිය කියන්නේ තමන් පැමිණිලිකාරියගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවය. 2010.01.26 දින හෝමාගම පොලිස් ස්ථානය මුලින්ම ඉදිරිපත්කළ බී වාර්තාවේ සිට 2015.03.26 දින අවසන් වරට කොළඹ අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ වාර්තා දක්වා සියලු වාර්තා අධ්‍යයනය කළ බවය.
ඒ අනුව අධිකරණයට වාර්තා වෙන තොරතුරුවලට අනුව සන්ධ්‍යා එක්නැළිගොඩ පොලීසිය වෙත සිය කටඋත්තරය දෙමින් කියන්නේ ප්‍රේමයක් මත 1992.07.16 වැනි දින තමන් ප්‍රගීත් එක්නැළිගොඩ සමග විවාහ වූ බවය. ප්‍රගීත් 1989 කාලයේදී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වී කටයුතු කළ අයෙක් බවද ඉන් පසුව වෙනත් දේශපාලන පක්ෂ සමග කටයුතු කළ බවය. 2005න් පසුව මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන අයගේ දේශපාලන කටයුතුවලට උදවු කළ බවත් ඉන් පසුව නොයෙකුත් සංවිධාන ආයතන සමග ප්‍රගීත් වැඩකළ බවත්ය. 2005න් පසුව ප්‍රගීත් රාජගිරියේ පිහිටි ඊ නිව්ස් ආයතනයේ වැඩකළ බවත් එහිදී 2007, 2008, 2009 වර්ෂවල පැවති යුද්ධය පිළිබඳවත් එහිදී රජයේ හමුදා සහ එල්.ටී.ටී.ඊ සංවිධානය රසායනික අවි භාවිත කරන බවටත් ලිපි ලියූ බවය.
සීගිරිය හබරණ ප්‍රදේශයේ තිබුණු ප්‍රගීත්ට අයත් ඉඩමට යෑමට ඔහු 2009.08.27 දින නිවසින් පිටවී ගිය බවත්, එදිනම රාත්‍රී පැය 10.30ට ඔහු තමන් ඇමතූ බවත්, රාත්‍රී 12.30 පමණ වෙනවිට නිවසට පැමිණෙන බවත්, ඔහු ප්‍රකාශ කළ බව කියන සන්ධ්‍යා පසුව කියන්නේ ඒ කියූ ලෙස ඔහු එදින ගෙදර පැමිණියේ නැති බවයි. ඉන්පසු තමන් ඔහුගේ දුරකතනයට දිගින් දිගටම කතාකළත් මුලින් එය නාදවී පසුව එය ක්‍රියාත්මක නොවුණු බවත්ය.
මෙලෙස ඇය පොලිසියට විස්තර කළ පසුව අධිකරණයට වාර්තා වෙන මේ තොරතුරුවලින් කියන්නේ ප්‍රගීත් මුල්වරට අතුරුදන් වීමේ කතාවයි. එහිදී පසුදා දහවල් 11.30ට පමණ සන්ධ්‍යාට ප්‍රගීත් මුණගැහෙන්නේ මාකුඹුර හන්දියේදීය. ඉන් පසුව ප්‍රගීත් ප්‍රකාශ කර ඇත්තේ පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ සුදු වෑන් රථයකින් තමන් පැහැරගත් බවය. ඉන්පසු බැනියමෙන් දෑස් බැඳ දැමූ බවත් අත් මාංචු දමා සිරකර තැබූ බවත් ය. එහිදී වැරදීමක් මේගැන කට ඇරියොත් බලාගෙනයි කියා තමන් කොරතොට ප්‍රදේශයේ පාලු ගල්වලක් ළඟ මුදා හැරිය බවත් ප්‍රගීත් කියා ඇත.
ඉන්පසුව දෙවැනි පැහැරගැනීම සහ ඒ නිසාම මේ දක්වා ප්‍රගීත් ගැන තොරතුරක් නැතිවීම පිළිබඳවද සන්ධ්‍යා පොලිසිය හමුවේ විස්තර කියා ඇත. ඒ තොරතුරු වලට අනුව 2010.01.24 වැනි දින ප්‍රගීත් එක්නැළිගොඩ නිවසින් පිටවයන අතර ඔහු තවමත් ආගිය අතක් නැත. මේ කටඋත්තරයෙන් පසුව ඊට කලින් පරීක්ෂණද අධ්‍යයනය කරන රහස් පොලිසිය එවකදී ප්‍රගීත් ළඟින් ඇසුරු කළ නන්දන වීරරත්න, කීර්තිකුමාර ලොකුලියන, බන්දු කීර්තිකුමාර, ලක්ෂ්මන් වසන්ත කුමාර යන අයගෙන්ද තවත් බොහෝ දෙනෙකුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මිතුරන්ගෙන් තොරතුරු
මෙහිදී රහස් පොලිසියට පැමිණ විස්තරයක් ලබාදෙන නන්දන වීරරත්න කියන්නේ තමන් 1983 අවුරුද්දේ සිට ප්‍රගීත් හඳුනන බවය. 2005 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ දිනවීමට ප්‍රගීත් සමග එකට වැඩකළ බවත්, 2009 වර්ෂයේ අගදී මංගල සමරවීර මහතාගේ ආරාධනාවක් මත සරත් ෆොන්සේකා දිනවීමට ප්‍රගීත් සමග වැඩ කළ බවත් ය. ඒ අනුව සරත් ෆොන්සේකාගේ යුධ ව්‍යාපාරය පිළිබඳව වාර්තා චිත්‍රපටයක් ප්‍රගීත් සමග එකට නිර්මාණය කළ බවත් කියන නන්දන වීරරත්න, එය සරත් ෆොන්සේකාගේ මාතර රැලියක බෙදාහැරීම සඳහා ප්‍රගීත් සහ තවත් කිහිප දෙනෙක් සමග වෑන් රථයකින් 2010 ජනවාරි 22 මාතර යනවිට මිරිස්ස ප්‍රදේශයේදී ප්‍රගීත්ට දුරකතන ඇමතුමක් ලැබුණු බවත් කියයි. එහිදී නන්දන කියන්නේ ඔහු (ප්‍රගීත්) ඒ පුද්ගලයා සමග එවක දේශපාලන තත්වය පිළිබඳව කතා කර කර සිට මෙයාට දැන් පවතින දේශපාලන තත්ත්වය ගැන ටිකක් පැහැදිලි කරලා දෙන්න කියා තමන්ට දුරකතනය දුන් බවත්ය.
ඉන්පසුව ඒ කතා කළ පුද්ගලයා පිළිබඳව කරුණු කියන නන්දන වීරරත්න කියන්නේ ඔහු කතාකළේ කැඩුණු සිංහලෙන් බවය. එහිදී ජනරාල්ට දිනන්න පුළුවන්දැයි ඔහු තමන්ගෙන් විමසූ බව කියන නන්දන ඔහු දෙමළ ජාතිකයෙකු බව තමන්ට එම අවස්ථාවේදී තේරුම් ගිය බවත් කියයි. පසු අවස්ථාවක ප්‍රගීත් මේ කතාකළ දෙමළ පුද්ගලයා ගැන කරුණු කියූ බව කියන නන්දන කියන්නේ මේ ද්‍රවිඩ තරුණයා 2002 සාම ගිවිසුම කාලයේ දොස්තර ජයලත් ජයවර්ධන සමග ප්‍රගීත් මඩු පල්ලි ගිය අවස්ථාවක හඳුනාගත් පුද්ගලයෙකු බවය. යුද්ධයෙන් පසුව මේ පුද්ගලයා නැගෙනහිර පළාතේ ජීවත්වෙන බවත් ඔහු ජනරාල්ගේ මැතිවරණ ව්‍යාපාරයට උදවුකිරීමට කැමැත්තෙන් සිටින බවත් ප්‍රගීත් කියූ බව නන්දන තමන්ගේ ප්‍රකාශයෙන් කියූ බව රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරයි. පසු මා නම් සඳහන් කරන දෙමළ පුද්ගලයින් මේ අතුරුදන් කරවීමේ ක්‍රියාන්විතය සමග බැඳුණු අයුරු හෙළිවන්නේ මේ ප්‍රකාශ වලින් බව පෙනේ.
ඊළඟට නන්දන කියන්නේ 2010.01.24 දින සවස ලංකා ඊ නිව්ස් ආයතනයේදී තමන්ට ප්‍රගීත් මුණගැසුණු බවයි. එදින ප්‍රගීත් හට සවස 7ට පමණ දුරකතන ඇමතුමක් ලැබුණු බව කියන නන්දන ප්‍රගීත් එම ඇමතුමට උත්තර දෙමින් බැලුම්මහරින් කඩුවෙලට පැමිණ කඩුවෙලින් මාලබේ හරහා රාජගිරියට පැමිණෙන අයුරු කියූ බවද කියයි. ඉන්පසු දඹුල්ලේ ඉඳලා යාළුවෙක් එනවැයි කියා ප්‍රගීත් එම ස්ථානයෙන් පිටවගිය බව කියන නන්දන කියන්නේ පසුදා ප්‍රගීත් අතුරුදන් බව දැනගත් බවත්ය. අවසාන ලෙස නන්දන තම ප්‍රකාශයෙන් කියන්නේ රාජපක්ෂ පවුල් ගස යන නමින් ප්‍රගීත් සකස්කළ පොතත් මේ අතුරුදන් වීමත් අතර යම් සම්බන්ධයක් ඇතැයි තමන් සිතන බවත්ය.
රහස් පොලිසියට මීට සමානම ප්‍රකාශයක් කරන ලක්ෂ්මන් වසන්ත කුලතුංග කියන්නේ 2010 ජනවාරි 22 මාතර පැවති ෆොන්සේකාගේ මැතිවරණ රැලියේ බෙදාහැරීම සඳහා තමන් ඇතුළු කණ්ඩායමක් ප්‍රගීත් විසින් නිර්මාණය කළ විරිදු සී ඩී තැටියක් එහි රැගෙන ගිය බවය. ඉන් අනතුරුව මාතර සිට කොළඹ පැමිණෙන විටදී අදාළ සී ඩී තැටිය සමග තම කණ්ඩායම නන්දනගේ ඉල්ලීම මත ගාල්ලේ පිහිටි රත්න ශ්‍රී විජේසිංහගේ නිවසට ගිය බවය. එහිදී අදාළ විරිදු සී ඩී පටය රත්න ශ්‍රී ට ලබා දුන් බවත් එහිදී උරණ වූ ඔහු (රත්න ශ්‍රී විජේසිංහ) ප්‍රගීත්ට බැන වැදුණු බවත් කියන කුලතුංග තවදුරටත් කියන්නේ එහිදී රත්න ශ්‍රී ගේ දියණියන් දෙදෙනා අදාළ විරිදු සී ඩී පටය ගාල්ලේ පිහිටි මහින්ද රාජපක්ෂගේ මැතිවරණ කාර්යාලයට ලබා දෙනවැයි කියා රැගෙන ගිය බවය. එම අවස්ථාවේදී තමන් ඇතුළු කණ්ඩායමට යම් ගැටුමකට මුහුණදෙන්න වේයැයි යන බියෙන් වහාම ගාල්ලෙන් කොළඹ ආවේ යැයිද ඔහු කියයි.
ඉන් පසුව ප්‍රගීත් අතුරුදන් වූ දිනය වන 2010.01.24 වැනි දින සන්ධ්‍යාවේදී තමන්ට ප්‍රගීත් රාජගිරිය ඊ නිව්ස් කාර්යාලයේදී මුණගැසුණු බවත් කියන කුලතුංග කියන්නේ එම ස්ථානයේ එදින සිටි බොහෝ පිරිසක් අරක්කු බීවත් දඹුල්ලේ සිට එන මිතුරෙකු සමග පිළියන්දල ප්‍රදේශයට යෑමට තිබෙන නිසා ප්‍රගීත් නොබිව් බවය. එහිදී දඹුල්ලේ සිට පැමිණෙන මිතුරාට තම දුරකතනයෙන් කිහිපවරක් ඇමතූ ප්‍රගීත් එයට ප්‍රතිචාර නොලද නිසා තම (කුලතුංග ගේ දුරකතනය) දුරකතනයෙන් ද ඔහුට ඇමතූ බව කියා එම දුරකතන අංකය 077-0375704 ද රහස් පොලිසියට ලබාදී ඇත.
දුරකතන ප්‍රගීත් ගැන කතා කරයි
ප්‍රගීත් ගේ අතුරුදන් වීම පිළිබඳව පරීක්ෂණ රහස් පොලිසිය භාරයට ගත්පසු ඔවුන් එම පරීක්ෂණවල ප්‍රගතිය නිරන්තරව අධිකරණයට වාර්තා කරන අතර 2015. 03. 31 දාට අදාළ බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත්කරමින් 077-0375704 දුරකතන අංකය ඇතුළුව ඩයලොග් ජාලයට අයත් දුරකතන අංක 32ක ඇමතුම් වාර්තා, කුළුණු වාර්තා, එම දුරකතන වලට අදාළ එම් අංක ආදී තොරතුරු අදාළ අංශ විසින් රහස් පොලිසියට ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා ඇත. ඉන්පසුව අධිකරණයට කරුණු කියන රහස් පොලිසිය කියන්නේ ප්‍රගීත්ගේ දුරකතනයට සම්බන්ධ වී තිබුණු 077-0375704 දරන ඩයලොග් ජාලයේ දුරකතන අංකයේ ඇමතුම් වාර්තාවක් ලබාගත් බවය.
එම ඇමතුම් පරීක්ෂාවට ලක්කළ බවද එහිදී පැහැරගැනීමට සම්බන්ධවූ පුද්ගලයින් කිහිප දෙනෙකුගේම දුරකතනවලට සම්බන්ධ වී තිබුණු දුරකතන අංක කිහිපයක් නිරීක්ෂණය කළ බවය. එම නිරීක්ෂණ වලට අදාළව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අයත් දුරකතන අංක 26ක් නිරීක්ෂණය කළ බවද ඒවා අදාළ ආයතනයෙන් ලබාගෙන පරීක්ෂා කළ බවද ඒ අනුව එම දුරකතන අංක පුද්ගල නාමවලට, ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයට, දිස්ත්‍රික් ලේකම් එරාවූර් චෙන්කලඩි, සභාපති මිහිඳු ආරණ්‍ය ශාසනාරක්ෂක සමිතිය, බන්ධනාගාර අධිකාරි මඩකලපුව සහ තවත් නම් වලට ලබා දුන් ඒවා බවද අධිකරණයට රහස් පොලිසිය කරුණු වාර්තා කරයි.
මෙම දුරකතන දත්ත වාර්තා ලබාගැනීමේදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අදාළ සහාය උපරිමව ලබා දී ඇති බව දැනගන්නට ලැබෙන අතර එනිසාම මේ පරීක්ෂණ වඩාත් පහසු වූ බවද දැනගන්නට ඇත. එහෙත් ඩයලොග් ආයතනයෙන් අදාළ සහාය ලැබුණේ නැති බව දැනගන්නට ලැබෙන අතර, එහෙත් ඔවුන් රාජපක්ෂ යුගයේදී හෙන්දාවිතාරනගේ එක ඇමතුමකින් ඉල්ලන ඕනෑම දත්තයක් ලබාදී ඇති බවත් දැනගන්නට ලැබේ. ඒ පාලන කාලයන් දෙකකට සාපේක්ෂව ඩයලොග් දුරකතන සමාගමේ හැසිරීමයි.
කෙලෙසක හෝ මේ බාධක සියල්ල මැද දුරකතන දත්ත සහ සාක්ෂි සටහන් සියුම්ව විමර්ශනය කරන රහස් පොලිසිය ප්‍රගීත් සමග සම්බන්ධතා පැවැත්වූයේ යැයි කියන දෙමළ තරුණයා නිවැරදිව හඳුනාගන්නා අතර ඔහු සහ ඔහුගේ මාර්ගයෙන් ප්‍රගීත් සමග බැඳුණු දෙමළ තරුණයාද හඳුනාගනී. ඔවුන් දෙදෙනාම කාලයක් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රබල සාමාජිකයින්ය. ඒ අනුව 2015.08.03 වැනි දින තම්බිපිල්ලේ තදීස් නොහොත් සත්‍යා මාස්ටර් නොහොත් සරත් සහ සුමතිපාල සුරේෂ් කුමාර් නොහොත් තවේන්ද්‍රන් නොහොත් මුරලි යන දෙදෙනා රහස් පොලිස් අත්අඩංගුවට පත්වෙයි. එයින් පසු ප්‍රගීත් ට වුණේ කුමක්ද ක්‍රමයෙන් හෙළිවෙයි. මෙම දෙදෙනාගේ ප්‍රකාශ සහ ඔවුන් යුධ හමුදා බුද්ධි අංශය සමග පැවැත්වූ සම්බන්ධයද ඒ අනුව රහස් පොලිසිය විසින් අනාවරණය කරගන්නා අතර එයින් පසුව රණවිරු ලේබලයට මුවාවී ලොක්කන්ගේ අමන නියෝග ක්‍රියාත්මක කළ හමුදා නිලධාරින් බොහොමයක් අත්අඩංගුවට පත්වෙයි.
එම කතාව තවත් දිනකදී…!
කේ.සංජීව





