[gtranslate]

මුරලිගෙන් නැවත සාක්ෂි විමසීමට අධිකරණයේ අවසරය සහ ප්‍රගීත් අතුරුදන් කිරීමේ කතාව – 2

prageetheknaligoda knews

අපට අද ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන අතුරුදන් කිරීම පිළිබඳ ලිපි පෙළේ දෙවැන්නට යා හැකිය. ඊට යම් පසුබිමක් ද මේ වනවිට සමාජ කතාබහ තුළ නිර්මානය වී ඇත. ප්‍රගීත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම පිළිබඳව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වෙන නඩුවේ හතරවෙනි සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර් නොහොත් මුරලිගෙන් නැවත සාක්ෂි විමසීමට අධිකරණය තීරණය කිරීම එම හේතුවයි.

පෙර නඩුව විභාගයට ගත් අවස්ථාවේ පැමිණිල්ල විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අවසර ලබාදෙමින් පසුගිය ජූලි 24දා අධිකරණය එම තීන්දුව ලබාදුන් අතර ඊට හේතුව වන්නේ මෙම සාක්ෂිකරුවකු මහාධිකරණය හමුවේ ලබාදුන් සාක්ෂි සහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ලබාදුන් සාක්ෂි එකිනෙකට පටහැනි වීමයි. එයට හේතුව ලෙස සාක්ෂිකරු විසින් අධිකරණය හමුවේ අනාවරණය කර තිබුණේ නඩුවේ ප්‍රධාන විත්තිකරු වන හිටපු යුද හමුදා නිලධාරි ෂම්මි කුමාරරත්න කළ තර්ජනය හමුවේ එසේ සාක්ෂි වෙනස් කර ලබාදුන් බවයි. එහිදී ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ නැවත සාක්ෂි ලබාදීමට අවසර ලබාදෙන ලෙසයි. ඒ අනුව මෙම අවසරය හිමිව ඇති අතර මෙම සාක්ෂිකරුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ද මේවනවිට හිටපු යුද හමුදා නිලධාරි ෂම්මි කුමාරරත්නට එරෙහිව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමක්ද සිදුකර ඇත.

ඒ අනුව දැන් අපට අපගේ ලිපි පෙළේ දෙවෙනි ලිපිය වෙත යා හැකිය. පළමු ලිපිය මෙතනින් කියවන්න – https://knews.lk/prageeth-eknaligoda-disappearance-investigation-part-01/

මුරලිගේ කතාව

අගෝස්තු 27 දින මැදියම් රාත්‍රිය පසුවන කණිසමේදී ප්‍රගීත් මුල්වරට පැහැර ගනු ලැබිණ. ඒ සුදු වෑන් රථයකින් පැමිණි නන්නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින්ය. පසුව වැරදීමක් වුණේ යැයි කියමින් 2009 අගෝස්තු 28 දින උදෑසන කඩුවෙල කොරතොට ප්‍රදේශයේ දී ගල් වළක් අසල ඔවුන් ප්‍රගීත් අතහැර දමන විට ප්‍රගීත්ට නැවත ජීවිතය හසුවී තිබුණි.

එදින උදෑසන දෑස් රෙදි කඩකින් බඳිනු ලැබ කොරතොට ගල්වළ අසල ජීවිතය ගැන නැවත බලාපොරොත්තුවකින් සිටින ප්‍රගීත්ට ඒ බලාපොරොත්තුව විකසිතව තිබෙන්නේ තව ටික කලකට පමණක් බව දැනෙන්නට නැතුව ඇත. අපි මේ පළමු පැහැරගැනීම ඉහත කතා කළෙමු. එහිදී මෙම පැහැර ගැනීම සඳහා ඉත්තා ලෙස යුද හමුදා බුද්ධි අංශයේ ගිරිතලේ කේන්ද්‍රගත කණ්ඩායම භාවිත කළ හිටපු කොටි සාමාජිකයකු වන සුමතිපාල සුරේෂ් කුමාර් නොහොත් තවේන්ද්‍රන් නොහොත් මුරලි පිළිබඳව ද, ඔහු තමන්ගේ ජීවිතය රැකගනු වස් ප්‍රගීත් මුල්වරට හමුදා සාමාජිකයන්ට ප්‍රගීත්ටම අයත් හබරණ වත්තකදීම හඳුන්වා දීමේ කතාවද අපි මුරලිගේම හඬින්ම අසමු.

‘මට ප්‍රගීත් මුණගැහෙන්නේ 2002 වර්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් එක්ක මඩු වන්දනාවේ ගිය වෙලාවේ. ප්‍රගීත් ඒ වෙලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන එක්ක එහෙ ඇවිත් හිටියා. එතැනදී තමයි මම ඔහු හඳුනාගන්නේ. ඊට පස්සේ අපි දුරකථන අංක හුවමාරු කර ගත්තා. මිත්‍රත්වය දිගටම තිබුණා. මම 2005දී නැවත එල්.ටී.ටී.ඊ. සංවිධානයත් එක්ක එකතු වුණා. ඊටපස්සේ මම අපේ සංවිධානයේ කොළඹ වැඩවලට ප්‍රගීත්ගෙන් නිතරම උදව් ඉල්ලුවා. ඔහු ඒවා ප්‍රතික්ෂේප කළා. මම 2009/05/15 මුලතිව්වලදී හමුදාවට භාරවුණා. ඒ වෙලාවේ මගේ අතේ තිබුණේ ජාතික හැඳුනුම්පතයි දුරකථන අංක ලියපු පොඩි පොතකුයි විතරයි. ඒකේ ප්‍රගීත්ගේ අංකය තිබුණා. ඊට පස්සේ මායි තව සංවිධානයේ සාමාජිකයෝ ටිකකුයි, අපි ගිරිතලේ කඳවුරට ගෙනාව. ඊටපස්සේ 2009 අගෝස්තු මාසයේ ගිරිතලේ රඳවලා ඉන්නකොට තමයි කෝප්‍රල් සුරේෂ් කිව්වේ ප්‍රගීත්ට කතා කරලා හබරණට ගෙන්න ගන්න කියලා. මම, මේජර් (එවකට) සිරිවර්ධන, කෝප්‍රල් නාදන්, කෝප්‍රල් රංජි, අපි කණ්ඩායමක් හබරණ දී ප්‍රගීත්ව මුණගැහුණා. එතැනදී තමයි මම කෝප්‍රල් නාදන්ව මගේ සහෝදරයෙක් විදිහට හඳුන්වලා දුන්නේ. ඊටපස්සේ 2010.01.24 කර්නල් කුමාරරත්න දුන්නු උපදෙස් අනුව කෝප්‍රල් රසිකගේ අධීක්ෂණය යටතේ ප්‍රගීත්ට ආයෙත් කතා කරලා ඔහුට එදා රාත්‍රියේදී කොළඹ දී නාදන්ව මුණගැස්සුවා. ඊට පස්සේ තමයි දැනගත්තේ ප්‍රගීත් අතුරුදන් කියලා.’

මේ සියලු තොරතුරු පසුපස ගිය සීඅයිඩී විමර්ශකයන්ගේ විශේෂ අවධානය යොමු වී තිබුණේ ප්‍රගීත් භාවිත කළ ජංගම දුරකථනයට අදාළ දිනය තුළදී ලැබුණු ඇමතුම් පිළිබඳවය. නවීන තාක්ෂණික ලෝකයේ අප අද ඉන්නේ කුමන ඉසව්වකදැයි සොයාගැනීම, අප යන ගමන්බිමන්වල දිශානතිය සොයාගැනීම අමාරු නැත. ඒ අප අත රැඳි ජංගම දුරකථනයට පැමිණෙන ඇමතුම් සහ එයින් නික්මෙන ඇමතුම් අප සිටින ඉසව්ව පරිගණකයක සුරක්ෂිත දත්තයන් බවට පත්කරන නිසා ය.

ඒ අයුරෙන්ම ප්‍රගීත් ගියේ කොහේද, ඔහුට ඇමතුම් ලබා දුන්නේ කොහේ සිටද යනාදී තොරතුරු අදාළ දුරකථන සමාගම් දත්ත ගබඩාවල සුරක්ෂිතව තිබුණි. එම දත්තයන් නොපමාව තමන් සතුකර ගැනීම රහස් පොලිස් කණ්ඩායමේ ඊළඟ අරමුණ සහ ඉලක්කය විය. දුරකතන සමාගම්වලට අදාළ දත්තයන් තමන් වෙත ලබාදෙන්න යැයි නියෝගයක් කරන්නැයි රහස් පොලිසිය හෝමාගම අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව අධිකරණ නියෝග නිකුත් විය. මෙම නියෝගවලට ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ආයතන ඉක්මන් සහ සාධනීය ප්‍රතිචාර දක්වන විට ඩයලොග් ආයතනය එම තොරතුරු ලබාදීම ප්‍රමාද කළ බව ද දැනගන්නට ඇත. ඒ ඩයලොග් ආයතනය සහ රාජපක්ෂ ආණ්ඩුවේ ලොක්කන් අතර තිබූ බැඳියාවේ තරම නිසා ද නැතහොත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් ඔවුන්ට නොතිබුණ නිසාද යන්න පැහැදිලි නැත.

රහස් පොලිසිය ඉහත මුරලිගේ කට උත්තරයට පසුව සොයාගෙන යන්නේ ඒ අවස්ථාව වනවිට හමුදාවෙන් විශ්‍රාම ගොස් නිකැවරටියේ ජීවත්වන යුද හමුදා බුද්ධි අංශයේ සාජන් මේජර්වරයකු ය. ඔහු 2009 අගෝස්තු මාසයේ සිට කර්නල් ෂම්මි කුමාරරත්න යටතේ ගිරිතලේ හමුදා කඳවුර තුළ රැකියාව කළ පුද්ගලයෙක්ය. ඔහුද මෙම පැහැර ගැනීම පිළිබඳව වැදගත් කරුණු රැසක් අනාවරණය කරයි. ඒ අනුව මේ වනවිට මෙම පැහැරගැනීම් දෙකකට වගකිව යුතු ප්‍රධාන පුද්ගලයන් පිළිබඳව යම් තක්සේරුවක් යම් චිත්‍රයක් අදාළ රහස් පොලිස් කණ්ඩායමට ලැබෙන බව පෙනෙයි.

ඊළඟ ඉලක්කය මෙම සාක්ෂි යම් ක්‍රමවේදයක් තුළ සනාථ කර ගැනීමය. එය චූදිතයන් අත්ඩංගුවට ගැනීමේදී ඉතාමත් වැදගත් වන අතරම මේ පුද්ගලයන් රණවිරුවන් ලෙස සැලකෙන නිසා එම ක්‍රියාවලියේ වැදගත්කම තවත් වැඩිය. රණවිරුවන් වැරදි නොකරන නිකැළැල් පිරිසිදු චරිතවත් පුද්ගලයන් බව ලාංකේය පොදුජන සමාජයේ පිළිගැනීමයි. එම පිළිගැනීම තුළ මෙම අත්අඩංගුවට ගැනීම් නියමිත සාක්ෂි මත පදනම්ව නියමිත නිසි ක්‍රියාමාර්ගයටම සිදු වූවා යැයි ජනතාවට පෙනී යා යුතුය. ඒ අනුව පොලිසිය නියමිත නිවැරදිම ක්‍රියාමාර්ග ගත්තා යැයි කිව හැකිය. එහෙත් දේශමාමක ජනතාවෝ කපටි දේශපාලකයන්ගේ පදයට රැවටී ඒ පරිශ්‍රමය අපතේ හැරියෝ නොයෙකුත් නොසන්සුතාවන් සමාජය තුළ නිර්මාණය කරමින් කොටි ත්‍රස්තවාදය විනාශ කිරීමට කැපවූ හමුදා රණවිරුවන් එන්ජීඕ නඩයේ ගොදුරු බවට පත් වී ඇතැයි කීවෝය ය. උද්ඝෝෂණය කරමින් ජන මනස වෙනස් කරන්නට උත්සාහ කළේය. එය යහපාලන කාලයේ බොහෝ සාර්ථක විය.

077 4475523

මෙම දුරකථන අංකය ප්‍රගීත්ගේය. එය ඔහු පළමුවර පැහැරගෙන යනවිටත් භාවිත කරමින් සිටි දුරකථන අංකයයි. 2009 අගෝස්තු 27 වැනි දිනයේ සිට 2009 අගෝස්තු 28 වැනි දිනය දක්වා මෙම දුරකථනයට ලැබුණු ඇමතුම් සහ මෙම දුරකථනය තුළින් නික්මුණු ඇමතුම් පිළිබඳව රහස් පොලිස් කණ්ඩායම දත්ත විශ්ලේෂණයක් කළේය. ලැබුණු තොරතුරු විස්මිතය. ඒවා සාක්ෂිකරුවන් ලබාදුන් තොරතුරු බොහෝමයට ටක්කයටම ගැළපී තිබුණි.

මෙම දුරකථන දත්ත විශ්ලේෂණයේ ප්‍රතිඵල ලෙස පරීක්ෂණ කණ්ඩායම සොයා ගන්නේ 2009 අගෝස්තු 27 වැනි දින උදෑසන 7.05.45 යන වේලාවේදී ප්‍රගීත් කොට්ටාව ප්‍රදේශයේ සිට ඇති බවය. ඒ කොට්ටාව ප්‍රදේශයේ ක්‍රියාත්මක ඩයලොග් සම්ප්‍රේෂණ කුලුන හරහා 0771038090 යන දුරකථන අංකයෙන් තත්ත්පර 51ක ඇමතුමක් ප්‍රගීත්ට ලැබී ඇති නිසා ය.

ඊළඟට ප්‍රගීත්ගේ දුරකථනය යන්නේ කොහේද? එහි ගමන් මාර්ගය කෙබඳුද? ඒ අනුව ප්‍රගීත්ගේ දුරකථනය සමඟ පිළිවෙළින් සම්බන්ධ වන සම්ප්‍රේෂණ කුලුනු වන්නේ 2009 අගෝස්තු 27 උදෑසන 08.31.53 ගංගොඩවිල දකුණ, උදෑසන 09.44.34ට ග්‍රෑන්ඩ්පාස්, උදෑසන 10.00.32 ඔරුගොඩවත්ත, එදිනම දහවල් 12.50.36ට පස්යාල, එදිනම දහවල් 13.2741ට පොල්ගහවෙල ආදී ලෙස කොට්ටාවේ සිට හබරණ දක්වා ප්‍රගීත්ගේ දුරකතනය අදාළ දිනය තුළදී ගමන් කරයි. ඒ වදාකඩ, මකුලුගස් වැව, දඹුල්ල, ලුනාවදුව පසුකරමින්ය. මෙලෙස දුරකථන දත්ත විශ්ලේෂණය කරන පරීක්ෂණ කණ්ඩායම අධිකරණයට මෙම පළමු පැහැර ගැනීම ගැන තොරතුරු වාර්තා කරමින් කියන්නේ අදාළ දිනය තුළදී දහවල් පැය 15.55 පමණ වනවිට ප්‍රගීත් හබරණ ප්‍රදේශයට පැමිණ ඇති බවය.

ඊළඟට ඔහුගේ නැවත කොළඹ පැමිණීම ගැන දුරකථන දත්තයන් කියන්නේ කුමක්ද? දුරකථන දත්ත අපට පවසන්නේ සවස 16.56 පමණ වනවිට ප්‍රගීත් නැවත කොළඹ පැමිණීමට දිගම්පතන ප්‍රදේශයෙන් පිට වී ඇති බවයි.

ඊළඟට පරීක්ෂණ කණ්ඩායම සොයා බලන්නේ ප්‍රගීත්ගේ පළමු පැහැර ගැනීමට අදාළ චූදිතයන්ගේ දුරකථන ගමන් කළ දිශානතිය කුමක්ද කියායි. එම දුරකථන දත්තයන් කියන්නේ මුලින් ප්‍රගීත්ගේ දුරකථනය කොළඹ කොට්ටාවේ සිට හබරණ ප්‍රදේශයට ගිය අයුරින්ම චූදිතයන්ගේ දුරකථනයන් ගිරිතලේ අවට සිට ක්‍රියාත්මක වීම ආරම්භ කරමින් හබරණ ප්‍රදේශයට ද ඉන් අනතුරුව ප්‍රගීත්ගේ පසුපස කොළඹටද පැමිණ ඇති බවය.

ඒ අනුව අපට නිගමනය කරන්නට හැකිවන්නේ කුමක්ද? මුරලිගේ සාක්ෂියට අදාළ කරුණ මෙම නිගමනය තුළින් තහවුරු වෙන බව අපට නිගමනය කළ හැකිය. ඒ අනුව එවක මේජර්වරයකු වන ප්‍රබෝධ සිරිවර්ධන, කෝප්‍රල් නාදන්, කෝප්‍රල් රංජි ඇතුළු කණ්ඩායම ප්‍රගීත් පළමුවරට මුණගැසීම සඳහා හබරණ ප්‍රදේශයට පැමිණි කතාව මෙම දුරකථන දත්ත විශ්ලේෂණයන් තුළින් තහවුරු වන අතරම මේ හමුවීමෙන් අනතුරුව අදාළ පුද්ගලයන් දෙදෙනකු ප්‍රගීත් පසුපස කොළඹ පැමිණ ඇති බවද නිශ්චිත ස්ථානයකදී ඔහුව පැහැරගෙන යාමට කොළඹ සිට හමුදා කණ්ඩායමකට ප්‍රගීත්ව පෙන්වා ඇති බවද තහවුරු වෙයි.

මෙම පැහැරගැනීම් දෙකටම අදාළ චූදිතයන් බොහෝ දෙනකුට මේ අතීතය මේ වනවිට අමතකව ගොස් ඇත. ඔවුන් රහස් පොලිසිය හමුවේ කර තිබෙන ප්‍රකාශවලින් ඒ බව සනාථ වෙයි. එවැනි තත්ත්වයන් තුළ ඔවුන් එවකදී භාවිතා කළ දුරකථනයන් ප්‍රගීත් වෙනුවෙන් කතාකිරීම ඉතාමත් වැදගත් වන අතර එහි වැදගත්කම තවදුරටත් ඉහළ යන්නේ මෙම පරීක්ෂණ ක්‍රියාවලිය නතර කර දැමීමට සහ එයට නොයෙකුත් බාධාවන් එල්ල කිරීමට යුද හමුදාව පියවර ගැනීමත් සමඟය.

දෙවැනි පැහැර ගැනීමේ පසුබිම

2010 වර්ෂය යනු ලංකාවට තීරණාත්මක වූ වර්ෂයකි. ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි ජනාධිපති ධුර කාලය එම වර්ෂයට අදාළව පැවැති ජනාධිපතිවරණයේදී ආරම්භ වීම නිසාය. 2010 ඡන්දයේදී මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූයේ ජනරාල් සරත් ෆොන්සේකාය. ඒ අනුව තරගය පැවතියේ යුද්ධය නිමාකළ නායකයා සහ යුද්ධය නිමාකරන්නට කැපවූ යුද නායකයා අතරය. එය තියුනු තරගයක් විය.

ඒ තරගයේදී ප්‍රගීත් එක්නැලිගොඩ ජනරාල් සරත් ෆොන්සේකාගේ ජයග්‍රහණයට උදව් දෙමින් සිටියේය. එහිදී ඔහු ප්‍රචාරණ අංශයෙන් කැපී පෙනෙන වැඩ කොටසක් කරමින් සිටි පුද්ගලයකු විය. ජනරාල් සරත් ෆොන්සේකාගේ යුද ජයග්‍රහණය පිළිබඳ වූ වාර්තා චිත්‍රපටියේ සිට රාජපක්ෂ පවුල් ගස දක්වා විශාල ප්‍රචාරණ මෙහෙයුමක කොටස්කරුවකු වූ ඔහු සමාජය හඳුනාගන්නේ එම ප්‍රචාරණ ජාලයේ ප්‍රබලයකු ලෙසය. ‘රාජපක්ෂ පවුල් ගස’ කෘතිය මෙන්ම විරිදු කැසට් පටයද ඔහුගේ නිර්මාණ බව සමාජයේ මෙන්ම බුද්ධි අංශවල ද අදහස විය.

මේ සියලු කතා මෙලෙස සිද්ධ වන විට 2010 ජනවාරි 24 වැනි දින රාත්‍රියේදී ප්‍රගීත් දෙවන වරට අතුරුදන් වෙයි. එහි දී ඔහු පළමුවර මෙන් ගල්වළක් අසල දී ජීවිතය සොයා ගන්නේ නැත.

රන් බණ්ඩාගේ සාක්ෂිය

‘මම ගිරිතලේ වැඩ කළේ 2009 අගෝස්තු මාසයේ ඉඳලා. ඒ කර්නල් ෂම්මි කුමාරරත්න යටතේ. ඒ කාලේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයෝ 9 දෙනෙක් විතර විශේෂිත ස්ථානයක ගිරිතලේ කඳවුරේ රඳවලා හිටියා. ඒ අතරේ සුමතිපාල සුරේෂ් කුමාර් නැත්නම් තවේන්ද්‍රන් නැත්නම් මුරලි කියලා කෙනෙක් සිටියා. දවසක් මගේ රාජකාරි දුරකථනයට කෝල් එකක් ගත්ත සර්, (ෂම්මි කුමාරරත්න) කෝ මුරලි ඉන්නවාද මුරලිට දෙන්න කියලා කිව්වා. ඊටපස්සේ මම මුරලිට ෆෝන් එක දුන්නා. මුරලි කතා කරලා ඉවර වුණාට පස්සේ මම ආයෙත් ෆෝන් එක ගත්තා. ඒ වෙලාවේ සර් කිව්වා – මම මුරලිට වැඩක් කිව්වා. ඒක ලේකම්තුමාගේ වැඩක්. අද අනිවාර්යයෙන්ම කෙරෙන්න ඕනෑ. ඒක මුරලිත් එක්ක කතා කරලා කරන්න කියලා.

ඊළඟට මුරලි මට කිව්වා අද නාදන් (කෝප්‍රල්) කොළඹ යනවා නාදන්ට ප්‍රගීත් එක්නැලිගොඩ මුණගස්සන්න කියලා සර් කිව්වා කියලා. ඒක ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙසක් කියලත් කිව්වා කියලා කිව්වා. ඒ වෙලාවේ මම ඇහැව්වා කොහොමද එහෙම මුණගස්වන්නේ කියලා. ඒ වෙලාවේ තමයි මුරලි කිව්වේ, මේජර් ප්‍රබෝධ සිරිවර්ධනත් එක්ක කණ්ඩායමක් ගිහින් ප්‍රගීත්ව හබරණදී මුණගැසුණ වෙලාවේදී නාදන් තමන්ගේ නෑදෑයෙක් කියලා ප්‍රගීත්ට කළින් මුණගස්වලා තිබෙනවා කියලා’.

ප්‍රගීත් දෙවනවර පැහැරගෙන යෑමේ කතාව පටන් ගන්නේ මෙලෙසින්ය. ඇත්තටම මේ පැහැර ගැනීමට නිශ්චිත හේතුවක් තිබෙන්නේද? එය කුමක්ද? එයට හේතුව ඔහු සරත් ෆොන්සේකාගේ මැතිවරණ ජය පතා වැඩ කිරීමද? නැත්නම් යුද්ධය පැවති අවධියේදී යුද හමුදාව රසායනික අවි ප්‍රහාරයන් එල්ල කළ බවට ඔහු ළඟ සාක්ෂි තිබූ නිසාද? මේවා ප්‍රශ්නාර්ථයන් ය.

ප්‍රගීත් ඇත්තටම ගිරිතලේ හිටියාද?

කර්නල් ෂම්මි කුමාරරත්නගේ ඉහත සඳහන් දුරකථන ඇමතුමට පසුව, මුරලි ඒ නියෝගයන් නිසි ලෙස පිළිපදිමින්, ප්‍රගීත් සහ ප්‍රගීත් සොයා කොළඹ පැමිණෙන කෝප්‍රල් නාදන් අතර සම්බන්ධය සාදා ඇත. මේ පැහැර ගැනීම කාලයක සිට සැලසුම් සහගතව කළේදැයි සැක සිතෙන්නේ දෙවෙනි පැහැර ගැනීමට ප්‍රථමව කෝප්‍රල් නාදන් හා ප්‍රගීත් අතර සම්බන්ධයක් හැදීම තුළය. ඒ ප්‍රගීත්ගේ හබරණ ඉඩමේ දී මුණගැසුණු දිනයේදී ය. ප්‍රගීත් දෙවන වර පැහැර ගැනීමට ප්‍රථම ඔහුට කතා කළ මුරලි ඔහුට කීවේ කුමක්ද?

‘නාදන් අද කොළඹ එනවා. මම එයා අතේ ලිපි කිහිපයක් එවනවා. ඒවා භාරගන්න.’ මුරලි ප්‍රගීත්ට මෙලෙස කියන්නට ඇත. එම ලිපි භාරගැනීමට ප්‍රගීත් එකඟ වී ඇත. ඒ ලිපිවල සැඟවී මාරයා ගිරිතලේ සිට පැමිණෙනු ඇතැයි ප්‍රගීත් නොසිතන්නට ඇත. එම එකඟවීමෙන් පසුව ප්‍රගීත් සොයා කර්නල් ෂම්මි කුමාරරත්න, කෝප්‍රල් ප්‍රියන්ත කුමාර රාජපක්ෂ නැතිනම් නාදන් සහ තවත් හමුදා කණ්ඩායමක් 2020 ජනවාරි 24 වැනි දින ගිරිතලේ සිට බත්තරමුල්ල ප්‍රදේශයට පැමිණ ඇත.

දැන් අපට 2010 ජනවාරි 24 වැනි දිනයේ ලංකා ඊ නිව්ස් රාජගිරිය කාර්යාලයේ සිදුවීම දෙසට ගිය හැකිය. එදින හවස 6ත් 7ත් අතරදී රාජගිරිය ඊ නිව්ස් කාර්යාලය ඇතුළත වූ සිදුවීමක් පිළිබඳව රහස් පොලිසියට ප්‍රගීත්ගේ මිතුරු නන්දන කියන්නේ මෙවැනි කතාවක්ය.

‘මම හවස 6ට විතර රාජගිරියේ ඊ නිව්ස් කාර්යාලයට ගියා. හවස 7ට විතර ප්‍රගීත් කාර්යාලයට ආවා. ඒ ඇවිත් දුරකථන ඇමතුමකට කතා කරලා කාට හරි බැලුම්මහරින් රාජගිරියට එන්න පාර කියනවා ඇහුණා. ඊටපස්සේ යාළුවෙක් එනවා කියලා යන්න ගියා.’

මෙලෙස ප්‍රගීත් කතාකර තිබෙන්නේ කාහටද? ඒ නාදන්ට විය යුතුය. නාදන් රාජගිරියට එනතුරු නොඉවසිල්ලෙන් බලා සිටින ප්‍රගීත් ඔවුන්ට ලක්ෂ්මන් වසන්ත කුමාරගේ දුරකථනයෙන් ද ඇමතුමක් ලබාගෙන ඇත. ලක්ෂ්මන් කියන්නේ ඒ ඇමතුම ගත් දුරකථන අංකය 077-0375704 බවය. මෙයින් පෙනෙන්නේ ප්‍රගීත් හමුදා බුද්ධි අංශ මකුළු දැලට හසුවී සිටි අයුරුය.

මෙලෙස තමන් දුරකථන ඇමතුම් දෙමින් හමුවෙන්න මඟ බලා සිටියේ මාරයා බව ප්‍රගීත්ට පසුව දැනෙන්නට ඇති. මෙවැනි සිදුවීම් කරුමය, එනකොට අරගෙන ආපු ආයුෂ ඉවරයි වැනි කතාවලින් වසා දැමිය හැකිද? බැරිය. මේ සූක්ෂ්ම මර උගුලකට ප්‍රගීත් හසුකරගත් අයුරුය.

මෙලෙස ගිරිතලේ සිට ප්‍රගීත් හමුවට පැමිණි කර්නල් ෂම්මි කුමාරරත්න, කෝප්‍රල් නාදන් ඇතුළු කල්ලිය මේ හමුවේ අවසානය පිළිබඳව දැනගෙන සිටින්නට ඇත. එහෙත් දැන්නම් ඔවුන් හැසිරෙන්නේ මේ කිසිදෙයක් නොදන්නා රණවිරු ළදරුවන් ලෙසය. එහෙත් ඔවුන් දැන් නොදන්නා ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් සියල්ලම වගේ රහස් පොලීසිය තමන්ගේ උකුසු ඇසට හසුකරගෙන ඒවා අධිකරණයටද වාර්තා කර ඇත.

ප්‍රගීත් බත්තරමුල්ලෙන් ගිරිතලේට

‘නාදන් රාත්‍රියේ මට කතා කරලා කිව්වා ප්‍රගීත්ව හමුවුණා කියලා. පස්සේ 2010 ජනවාරි 25 වැනිදා උදේ 10ට විතර එල්.ටී.ටී.ඊ. සාමාජික රාම් රඳවලා හිටිය සිරමැදිරිය ළඟ තියෙන ගල ළඟට එන්න කියලා කෝප්‍රල් රංජි මට කතා කළා. මම එතැනට ගියා. ඒ යනකොට ඇස්දෙක බැඳපු මනුස්සයෙක් ගල උඩ වාඩිකරවලා හිටියා. රංජි මට කණට කරලා කිව්වා මේ තමයි ප්‍රගීත් එක්නැළිගොඩ කියලා. පස්සේ මම මිනිහාට කතා කළා. මිනිහා කිව්වා මම ප්‍රගීත් තමයි කියලා. ඊටපස්සේ රංජි මට කාටුන් චිත්‍ර තියෙන එකට ස්ටේප්ලර් කරපු කොළ දහයක් දුන්නා. ඒ කාටුන්වල ඇඳලා තිබුණේ මහින්ද රාජපක්ෂයි පවුලේ අයයි. මම එදා අවස්ථා දෙකකදී මේ කාටූන් චිත්‍ර ගැන ප්‍රගීත්ගෙන් ප්‍රශ්න කළා. ඊටපස්සේ දවල් කෝප්‍රල් නාදනුයි, කෝප්‍රල් රංජියි ඇවිත් කර්නල් ෂම්මි ගාවට අරගෙන යනවා කියලා ප්‍රගීත්ව අරගෙන ගියා.

මේ සාජන් මේජර් රන්බණ්ඩාගේ ප්‍රකාශයේ තවත් කොටසක්ය. ඒ මොහොතින් පසුව ඔහු ප්‍රගීත් දැක නැත. දැන් මේ රන්බණ්ඩාගේ ප්‍රකාශය තහවුරු කරගත යුතුය. ඒ සඳහා හොඳම පුද්ගලයා මේ ප්‍රශ්න කිරීම සිදුවූ ආසන්නයේ සිටි පුද්ගලයන්ගෙන් ඒ පිළිබඳව විමසීමය. ඒ අනුව සීඅයිඩීය එල්.ටී.ටී.ඊ.යේ හිටපු අම්පාර නායක රාම් නැතිනම් එදිරිමානසිංහම් අරිච්චි වන්දිරන් නැතිනම් වින්සන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

‘මම හමුදා අත්අඩංගුවට පත්වෙලා ගිරිතලේ හිටියා. මට බය හිතුණා මගේ ජීවිතේට හානියක් වෙයි කියලා. මම කඳවුරෙන් පැනලා ගිහින් ගිරිතලේ කැලේ හැංගිලා හිටියා. පස්සේ හමුදාව කැලේ වටකරලා මාව ආයෙත් අත්අඩංගුවට ගත්තා. ඊටපස්සේ මාව විශේෂ හිරමැදිරියක මාස 6ක් සිරකරලා තිබ්බා. ඒ ඉන්නකොට 2010 ජනවාරි ජනාධිපතිවරණෙට ළඟ දවසකදී සිංහල මිනිහෙක් ගෙනැල්ලා රඳවාගෙන හිටියා. මට ඇහුණා ඒ මනුස්සයාගෙන් සරත් ෆොන්සේකාට උදව් කරන එක ගැන ප්‍රශ්න කරනවා.’

මේ රාම්ගේ කතාවෙන් කොටසක්ය. මේ සිංහල මනුස්සයා ප්‍රගීත් හැර වෙන කවුරුන්ද? මේ කියන කතාවලට අනුව ප්‍රගීත් පැහැර ගත්තේ ඔහු සරත් ෆොන්සේකාට උදව් කළ නිසාද? නැතිනම් රාජපක්ෂවරුන් පිළිබඳව ඔහු කාටූන් ඇන්ද නිසාද?

ප්‍රගීත් පැහැරගත් රණවිරුවන් ගිරිතලේ ප්‍රදේශයෙන් කොළඹ බත්තරමුල්ල ප්‍රදේශයට පැමිණ නැවත ගිරිතලේ ප්‍රදේශයට අදාළ දිනයේ දී ගොස් ඇති බව මේ වනවිට තහවුරු කරගෙන තිබෙන සත්‍යයකි. ඒ දුරකථන දත්ත වාර්තාවන්ට අනුවය. ඒ පිළිබඳව අපට ඉදිරියේදී සවිස්තරව කතා කළ හැක. ඒ මන්ද රණවිරුවන් නොව මොවුන් රණවිරු ලේබලයට මුවා වී අපරාධ කළ අපරාධකාරුවන් බවට ඔප්පු කර පෙන්වීම සඳහාය.

එකල මොවුන් රණවිරු ලේබලයට මුවා වී අපරාධ රැසක් කර ඇති අතර දැන් දැන් එම වැරදි රණවිරු ලේබලයෙන්ම වැසීමට කටයුතු කරමින් තිබේ.
ප්‍රගීත් පැහැරගෙන අතුරුදන් කිරීමේ මේ අපරාධයට අදාළව දැනට අත්අඩංගුවට ගෙන මේ ලිපිය ලියවෙන 2017/04/23 වනවිට ඇප ලබා සිටින රණවිරුවන් කවුරුන්ද?

මෙහි ප්‍රධාන සැකකරු අපි කවුරුත් දන්නා පරිදි එකල ගිරිතලේ බුද්ධි කඳවුරේ අණදෙන නිලධාරියා ය. ඒ ෂම්මි කුමාරරත්නය. දෙවැනි සැකකරු ප්‍රගීත් මුල්වරට පැහැරගත් කණ්ඩායම මෙහෙය වූ ටී.ටී. ප්‍රබෝධ සිරිවර්ධනය. තැන්වැන්නා ප්‍රගීත්ගේ මිතුරා වන මුරලි විසින් ඔහුගේ නෑදෑයකු ලෙස හඳුන්වා දුන් නාදන්ය. නැතිනම් ආර්.එම්.පී.කේ. රාජපක්ෂය. හතරවැන්නා ඩබ්ලිව්.ඩබ්ලිව්.පී.ඩී. උපසේනය. නැතිනම් සුරේෂ්ය. පස්වැන්නා එස්.එම්.ආර්. රූපසේනය, නැතිනම් රංජිය. අනෙක් සැකකරුවන් පිළිවෙළින් වයි.එම්.සී.කේ. අබේරත්න, එස්.එම්.කේ. ගුණරත්න, අයියාසාමි බාලසුබ්‍රමනියම්, ඩී.ජී.ටී.පී. ගමගේය.

මොවුන් ප්‍රගීත් පැහැරගෙන අතුරුදන් කිරීමට කෙලින්ම වගකිවයුතු බව රහස් පොලිසිය අධිකරණයට වාර්තා කර ඇත. මොවුන් එකිනෙකා ප්‍රගීත් අතුරුදන් කිරීමේ සිද්ධිය ගැට ගැසෙන්නේ කෙලෙසකද යන්න අපිට ඉදිරියේදී කතා කළ හැක. මේ අනුව අපට මෙසේ ඇසිය හැකිය. ගිරිතලේට රැගෙන ගිය ප්‍රගීත් ඊළඟට රැගෙන ගියේ කොහේටද? ඇත්තටම මේ බුද්ධි අංශ කණ්ඩායම ප්‍රගීත්ට අවසානයේදී කළේ කුමක්ද අපට ඉදිරියේදී සොයා යා හැකිය. අනෙක් පැත්තෙන් ප්‍රගීත්ට යුක්තිය ඉටුකිරීම සඳහා රහස් පොලිසිය දෙසින් කෙරෙන පරීක්ෂණ තවත් ඉදිරියට යා යුතුව තිබෙන්නේ 10%ක් වැනි ප්‍රමාණයකින්ය. එහෙත් ඒ දුර ගමන් කිරීම බොහොම දුෂ්කර බව පෙනෙන්නට තිබේ. ඒ බලධාරී ලොක්කන්ගේ කකුල් මට්ටු නිසාය.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ වර්තමාන නඩු විභාගයට අදාළ පුවත සමඟ එකට අමුනා ඇති මෙම ලිපිය මෙම ලියුම්කරු විසින් 2017/04/23 දින ලියූ බව සැලකන්න..!

-කේ. සංජීව-

මීළඟ ලිපියෙන් සම්පූර්ණ දුරකතන දත්තව කියවන්න

පළමු කොටස මෙතනින් කියවන්න – https://knews.lk/prageeth-eknaligoda-disappearance-investigation-part-01/

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ...

කැරපොත්තන්ගේ සටන පළමු ජය වාර්තා කරයි

සමස්ත ඉන්දියාව පමණක් නොව ලෝකයම සොලවමින් වීදි බැස සිටින කැරපොත්තන්ගේ ජනතා පක්ෂය සිය පළමු ජයග්‍රහනය වාර්තා කරගෙන ඇතැයි ද ඒ අනුව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා...

මන්දිරවල ජනපති නෑ. නමුත් ජනයා ඉදලා. බර වියදමකුත් ගිහිං

ජනාධිපතිවරයා රටපුරා ඇති ජනාධිපති මන්දිර භාවිතා කරන්නේ නැති බව ප්‍රකාශ කරමින් එම මන්දිරවල නවාතැන් නොගත්තත් එහි බොහෝ දෙනෙක් රැඳී සිට ඇති බවද ඒ සඳහා 2025 වර්ෂයේදී විශාල වියදමක් දරා ඇති බවද ජාතික විගණන...