[gtranslate]

පල්ලේගම හේමරතන කතා වස්තුව 01 – මෙතෙක් කතාව

pallegama knews

ඊයේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී මුළු රටම බලාගෙන ඉන්න නඩුකරයක් විභාගයට ගැනුණා. ඒ තමයි හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නම් භික්ෂුව විසින් වයස අවුරුදු 12කට ආසන්න දැරිවියක් බරපතළ විදිහට ලිංගිකව අපයෝජනය කළාය යන චෝදනාව පිළිබඳව විභාග වන බී 22424/2026 දරන නඩුව. තාවකාලිකව අටමස්ථානයේ හිමිකාරත්වයෙන් නෙරපලා සිටින පල්ලේගම භික්ෂුව ඊයේ උසාවිය ඇතුළට ප්‍රාදුර්භූත වෙලා හිටියේ නඩුවට සහභාගී වන්නට එහි ගිය පිරිස් පුදුම කරමින්. සමහරුන් කීවේ මේවා වීඅයිපී සැලකිලි කියලා. තවත් අය කීවේ තාමත් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා මේ භික්ෂුව පිටිපස්සේ ඉන්නවාය කියලා.

කොහොම වුණත් උදෙන්ම මුලින්ම ගත්ත මේ නඩුව වැඩි වෙලාවක් විභාග වුණේ නෑ. නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන අධිකරණය අමතලා කීවේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ මුල් DNA පරීක්ෂණයට අදාළ වාර්තාව දැනටමත් ලැබිලා තිබෙනවා කියලා. දෙවන DNA පරීක්ෂණ වාර්තාව ලැබීමට නියමිතයි කියලත් ඔහු කිව්වා.

මේ වෙනකොට සැකකාර භික්ෂුවගේ, වින්දිත දැරියගේ සහ දැරියගේ මවගේ ජංගම දුරකථන දත්ත විශ්ලේෂණ වාර්තා ලබාගෙන දැනටමත් අධිකරණයට භාර දීලා තිබෙනවා කියලා තමයි මෙහිදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කිව්වේ. පුදුමයක් වෙලා වගේ මෙතෙක් සහභාගී නොවුණු නීතිපතිවරයාත් මේ නඩුවට සහභාගී වුණා සිය නියෝජිතවරියක් හරහා. රජයේ අධිනීතිඥ කේෂානි විජේසිංහ උසාවිය අමතමින් කිව්වේ, නීතිපති දෙපාර්තමේන්තුව මේ නඩුව අධීක්ෂණය කරනවා සහ පොලිසියට විමර්ශනවලට මඟ පෙන්වනවා කියලා. ඒක හොඳ තත්ත්වයක්. ජන බලයට කරන්න පුළුවන් දේවල් තමයි ඒ.

අවසානයේ මේ නඩුව එළඹෙන අගෝස්තු 21 යළි කැඳවීමට නියෝග ලැබුණා. උසාවියෙන් එළියේ වින්දිත දැරියට සාධාරණය පතලා සිවිල් සංවිධාන සහ පුරවැසියෝ උද්ඝෝෂණය කළා. උසාවියෙන් එළියේ මාධ්‍යට අදහස් දක්වපු දරුවගේ තාත්තා කිව්වේ තමන් මේ කිසිදෙයක් දැනගෙන හිටියේ නෑ අම්මා තමයි මේවා සේරම කළේ කියලා.

මේ තාත්තා වගේම මේ නඩුවේ තවත් සැකකරුවෙක් වෙන දරුවාගේ අම්මා වටේ ලොකු ගාර්ඩ් එකක් හිටියා. ඒ සියල්ලෝම හාමුදුරුවන්ගේ මිනිස්සු කියලා තමයි අනුරාධපුරෙන් ඇහෙන්නේ. අම්මා වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥයන් මේ භික්ෂුවගේ අනුග්‍රහයෙන් ආපු අය කියන එක පෙනුණා කියලා ගොඩක් අය එළියේ වුණ දේවල් දිහා බලලා කසුකුසු ගෑවා.

ඔයින් මෙයින් තමයි ඉතින් දිනය ගෙවුණේ. ලබන අගෝස්තු 21 කියලා කියන්නේ සෑහෙන්න කාලයක්. මොනවායින් මොනවා වෙයිද කියලා කියන්න බෑ.

මෙච්චර දුරක් මේ නඩුව ආවේ කොහොමද කියලා දැන් අපි පොඩ්ඩක් බලමු..!

මේක පොලිසියට එන්නේ කොහොමද?


මේ කියන දැරිවිය සුදුබබා කියන බස් රියදුරෙක් එක්ක තමයි නිට්ටඹුව ප්‍රදේශයට එන්නේ. ඒ ඇවිල්ලා පොඩි බෝඩින් හවුස් එකක් වගේ නවාතැනක නතර වෙනවා දෙන්නා. එතන දවස් 5ක් විතර මේ දෙන්නා මෙහෙම ඉඳලා තියෙනවා. ඒ ඉන්න අතරේ මේ දැරිවිය අම්මට බාප්පට වගේම මේ භික්ෂුව එක්කත් දුරකථනයෙන් කතාබහ කරලා තිබෙනවා. දැනගන්නට තිබෙන විදිහට මේ දැරිවියමයි තමන්ගේ අම්මට හෝ බාප්පට කියන්නේ තමන් නිට්ටඹුවේ තැනක නතර වෙලා ඉන්නවා කියලා. එතන බෝඩිම අයිතිකාර නෝනටත් මේ දරුවාගේ බාප්පා කතා කරලා තිබෙනවා.

මේ විදිහට තැන දැනගත්තාට පස්සේ තමයි දැරිවියගේ අම්මා සහ බාප්පා මේ දැරිවිය සොයාගෙන නිට්ටඹුවට ඇවිත් නිට්ටඹුව පොලිසියට පැමිණිල්ල දාන්නේ. එතනදී මේ භික්ෂුව පොලිසියට කතා කරලා තිබෙනවා කියලා කියනවා. ඒ අනුව තමයි දැරිවිය පොලිස් භාරයට පත් වෙන්නේ. එතනදි තමයි දැරිවිය මේ භික්ෂුව විසින් මුලින්ම තමන්ව දූෂණය කළා කියලා කියන්නේ. ඒ වසුන්දරා කියන සීඅයිවරියට. එතනින් තමයි ගින්න පත්තු වෙන්නේ. ඒත් පොලිසිය ගින්න පත්තු වෙන්න හදනකොටම නිවන්න හැදුවත් මාධ්‍යවේදී බිමල් රුහුණගේට මේ සිද්ධිය ආරංචි වෙනවා. ඇත්තටම ඔහු මේ ගැන ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කළේ නැත්නම් මේක නිට්ටඹුව පොලිසියෙන්ම ක්ලෝස් වෙනවා. මේක තමයි සිද්ධියේ කෙටි ඉතිහාසය.

ඊටපස්සේ ඉතින් ළමා ආරක්ෂක අධිකාරිය පොලිසියෙන් මේ ගැන කරුණු විමසනවා. එතනදීත් පොලිසිය වැනි වැනි තමයි ඉන්නේ. එතනින් පස්සේ කතාව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය 2026 මැයි 22 දවසේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට දාපු මේ විශේෂ වාර්තාවේ තිබෙනවා.

වාර්තාව කියන්නේ කුමක්ද? එම වාර්තාව මම පහළින් මෙහෙම සාරාංශගත කරන්නම්..!

නෛතික පදනම සහ සාක්ෂිකරුවන්ට ඇති අවදානම


1997 අංක 30 දරන ඇප පනතේ 14 (1) (අ) (ii) වගන්තියට අනුව, සැකකරු විසින් සාක්ෂිකරුවන්ට අහිතකර ලෙස බලපෑම් කිරීමේ හෝ යුක්තිය ඉටු වීමට බාධා කිරීමේ අවදානමක් පවතී නම්, ඔහුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට අධිකරණයට බලය ඇත. මෙම නඩුවේදී වින්දිත දැරිය දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන පවුලක දරුවෙකු වන අතර, සැකකාර හිමිනම ආගමික, සමාජීය සහ ආර්ථික වශයෙන් අතිශය බලවත් පුද්ගලයෙකි. මෙම අසමමිතික බල තුලනය හේතුවෙන් සැකකරුට ඇප ලබා දුනහොත් වින්දිත දැරියට සහ සාක්ෂිකරුවන්ට දැඩි බලපෑම් එල්ල වීමේ පැහැදිලි අවදානමක් පවතින බව ළමා ආරක්ෂක අධිකාරිය පෙන්වා දෙයි. තවද, සැකකරු විසින් මීට පෙරද වින්දිත පවුලට විවිධ උපකාර කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බැවින් මෙම බලපෑම තවත් තීව්‍ර විය හැකි බවට ඔවුන් විශ්වාස කරයි.

පොලිසියේ ක්‍රියාකලාපය සහ විමර්ශන ප්‍රමාද වීම


මෙම අපරාධය සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියාකලාපය දැඩි සැකයකට තුඩු දෙන බව වාර්තාවේ දැක්වේ. 2026 අප්‍රේල් 10 වන දින වින්දිත දැරිය විසින් නිට්ටඹුව පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වසුන්දරා මහත්මිය වෙත, පල්ලේගම හේමරතන හිමියන්ගෙන් තමන්ට බරපතල ලිංගික අපයෝජනයක් සහ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් සිදු වූ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. එහෙත්, අප්‍රේල් 22 වන දින ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මේ බව වාර්තා වන තෙක්ම පොලිසිය කිසිදු විමර්ශනයක් සිදු කර නොතිබුණි.

අප්‍රේල් 22 සහ 23 දිනවලදී අධිකාරියේ සභාපතිනිය සහ නීති අධ්‍යක්ෂවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගෙන් මේ පිළිබඳව විමසීමක් කරන ලදී. එහිදී විමර්ශන ප්‍රමාද වී ඇති බව පැහැදිලි වූ බැවින්, එය අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය වෙත භාර දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියද, එය සිය අධීක්ෂණය යටතේ සිදු කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා ඇත.

ඉන්පසුව අප්‍රේල් 24 වන දින, දැරියගේ යට කලිසම DNA පරීක්ෂණයකට යොමු කිරීම, සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීම, වීඩියෝ සාක්ෂි පටිගත කිරීම, ජංගම දුරකථන වාර්තා ලබා ගැනීම සහ සාධාරණ සැකයක් මතුවන්නේ නම් සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකාරිය විසින් පොලිසියට නිශ්චිත උපදෙස් ලබා දෙන ලදී.

එසේ වුවද, අප්‍රේල් 27 වන දින පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමේදී, සැකකරුවන් නම් කිරීම හෝ විදේශ ගමන් තහනම් කිරීමක් සිදු කර නොතිබුණි.

චෝදනා සනාථ කරන ප්‍රබල සාක්ෂි


මෙම චෝදනා සනාථ කිරීම සඳහා ප්‍රබල සාක්ෂි රැසක් පවතින බව ළමා ආරක්ෂක අධිකාරිය වාර්තා කරයි:

ස්ථාන පරීක්ෂාව: 2026 අප්‍රේල් 28 දින නිට්ටඹුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ ස්ථාන පරීක්ෂාවේදී, දැරිය විසින් විහාරස්ථානයේ ආවාස ගෙය සහ අපරාධය සිදු වූ කාමරය නිශ්චිතවම හඳුනාගෙන ඇත. ලොකු හාමුදුරුවන්ගේ කාමරයට යන මාර්ගය සහ එහි තිබූ විශාල ඇඳ ඇය විසින් පෙන්වා දුන් අතර, ‘මේ ඇඳ උඩට තමා මාව ගත්තේ’ යනුවෙන් ඇය ප්‍රකාශ කර ඇත. එහි වූ ඇඳ ඇතිරිලි එදින තිබූ ඒවා නොවන බවද ඇය පවසා ඇති අතර, ඇයගේ විස්තරය ස්ථානයේ පිහිටීම සමග නිවැරදිව ගැලපී තිබුණි.

මවගේ සාක්ෂිය: දැරියගේ මව වන නිසංසලා ජනිතා කුමාරි ජෝෂප්ගේ ප්‍රකාශය අනුව, සැකකාර හිමියන් දැරියව ආවාස ගෙට රැගෙන ගොස් විනාඩි 10කට පමණ පසු පිටතට පැමිණ ඇත. දැරිය දැඩි ලෙස අකමැත්තෙන් (මුහුණ ඇඹුල් වී) සිටි බවත්, හිමියන් ඇයව සිපගත් බව දැරිය පැවසූ බවත් මවගේ ප්‍රකාශයේ සඳහන් වේ. එදින හිමිනම විසින් මවට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දී ඇති අතර, එය දැරියගේ ප්‍රකාශයෙන්ද තහවුරු වී ඇත. තවද, ‘දුව 08 වසරේ ඉන්නකොට දුව එක්ක ඉන්න දෙනවද’ කියා සැකකාර හිමියන් තමන්ගෙන් ඇසූ බවද මවගේ ප්‍රකාශයේ අඩංගුය.

වීඩියෝ සාක්ෂි: අත්තනගල්ල අධිකරණයේ නඩුවකට අදාළව ලබාගත් වීඩියෝ සාක්ෂියේදීද, පල්ලේගම හේමරතන හිමියන් විසින් තමන්ව අපයෝජනය කළ බවත්, මව ඒ බව දැන සිටි බවත් දැරිය තහවුරු කර තිබේ.

වෛද්‍ය වාර්තා: අධිකරණ වෛද්‍ය විශේෂඥ ඩබ්.ඒ.ආර්.එස් රාජපක්ෂ මහතාගේ වෛද්‍ය පරීක්ෂණ වාර්තාවේ ‘කන්‍යා පටලයේ සුව වූ තුවාල කැලලක් දක්වා ඇත’ යනුවෙන් සඳහන් වීමෙන් මෙම ලිංගික අපයෝජනය වෛද්‍ය විද්‍යාත්මකවද තහවුරු වේ.

සැකකරුට දැක්වූ විශේෂ සැලකිලි සහ නීතිය මඟහැරීම


විශ්වාසදායක සාක්ෂි තිබියදීත්, පොලිසිය සැකකරු අත්අඩංගුවට නොගත් බව අධිකාරිය පෙන්වා දෙයි. ඒ වෙනුවට අප්‍රේල් 24 වන දින, පොලිසිය සැකකාර හිමිනම වැඩසිටි බෝමළුව විහාරස්ථානයටම ගොස් ප්‍රකාශයක් සටහන් කරගෙන ඔහුව මුදා හැර ඇත. මෙය සැකකරුට ලබා දුන් විශේෂ වරප්‍රසාදයක් බවත්, ඉන්පසු විහාරස්ථානයේ සෙසු සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් විමර්ශනවලට දැඩි අගතියක් සිදුවී ඇති බවත් වාර්තාවේ දැක්වේ.

මැයි 08 වන දින ළමා ආරක්ෂක අධිකාරියේ මැදිහත්වීම මත අධිකරණයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග කළද, මව හැර ප්‍රධාන සැකකාර හිමිනම අධිකරණයට ඉදිරිපත් නොවිණි. ඒ වෙනුවට, එදින රාත්‍රී 8:43ට සැකකරු කොළඹ නවලෝක රෝහලට ඇතුළත් වී ඇත්තේ අධිකරණය මඟහැර යාමේ කූට උපක්‍රමයක් වශයෙනි. අනුරාධපුරයේදී හදිසි රෝගී තත්වයක් ඇතිවූයේ නම් ළඟම ඇති රෝහලට ඇතුළත් නොවී කොළඹ පුද්ගලික රෝහලකට පැමිණීම සැක සහිත බව වාර්තාවේ දැක්වේ.

මහජන කැළඹීම සහ නිගමනය


බුදු දහමට පටහැනිව යමින්, මහා කරුණාවෙන් පිහිට විය යුතු අසරණ දරුවෙකුට මෙවැනි ඉහළ තනතුරක් දරන පූජ්‍ය පක්ෂයේ අයෙකු විසින් සිදු කළ මෙම බරපතල අපරාධය හේතුවෙන් සමාජය තුළ දැඩි මහජන කැළඹීමක් හටගෙන ඇත. සමාජ මාධ්‍ය හරහා දැඩි විවේචන එල්ල වන අතර, අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට උද්ඝෝෂණ පවා පැවැත්විණි. තත්ත්වය පාලනය කිරීම සඳහා ළමා ආරක්ෂක අධිකාරියට සහ විෂය භාර අමාත්‍යවරියට මාධ්‍ය නිවේදන නිකුත් කිරීමට පවා සිදු විය. ඇප පනතේ 14(1)(ආ) වගන්තිය ප්‍රකාරව මහජන කැළඹීමක් ඇති විය හැකි අවස්ථාවක ඇප ප්‍රතික්ෂේප කළ හැකිය.

නීතියේ ආධිපත්‍යය සැමට සමාන විය යුතු පසුබිමක, බලවතුන් අසනීප බව පවසමින් රෝහල්ගත වී නීතියෙන් ගැලවීමට උත්සාහ කිරීම මහජනයාගේ දැඩි අප්‍රසාදයට ලක්ව ඇත. එබැවින්, පවතින මහජන කැළඹීම තවදුරටත් උත්සන්න වීම වැළැක්වීමටත්, වින්දිත දැරියට යුක්තිය ඉටු කිරීම සඳහා සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල වීම වැළැක්වීමටත්, මෙම සැකකරුට ඇප ලබා දීම තරයේ ප්‍රතික්ෂේප කරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ගරු අධිකරණයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියි.

දැන් අපිට නැවත අද තත්ත්වයට පැමිණිය හැකිය.

සැකකාර පල්ලේගම හේමරතනට එරෙහිව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරලා තිබෙන්නේ, 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 365ආ(2)ආ වගන්තිය ප්‍රකාරව බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනය සිදුකිරීම, 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 364(2)(ඉ) වගන්තිය ප්‍රකාරව බාලවයස්කාර දැරියකට ස්ත්‍රී දූෂණයක් කිරීම, කියන චෝදනා යටතේ.

දැරියගේ මවට එරෙහිව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරලා තිබෙන්නේ 2006 අංක 16 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 360(ඇ)(1)(අ) වගන්තිය ප්‍රකාරව තැනැත්තන් වෙළෙඳාම් කිරීම සහ පළමු සැකකාර පල්ලේගම හේමරතනට ඉහත වැරදි සිදුකිරීමට ආධාර අනුබල ලබා දීම යටතේ.

මේ අතරේ මේ වෙනකොට මේ භික්ෂුව DNA වාර්තාවෙන් තමන්ට සුගතියක් වෙන්න කියලා යාග හෝම කරනවා කියලා ආරංචි වෙනවා. ඒ අතරේ කවදාවත් නැතුව උදේ 3ට විතර ජයශ්‍රී මහා බෝධිය ළඟට ගිහින් භාවනා කරනවා සත්‍යග්‍රහ කරනවා කියලත් ආරංචි වෙනවා. දැන් අපිට බලාගෙන ඉන්න තියෙන්නේ DNA වාර්තාවෙන් මොනවා කියයිද කියලා.

අපි ඉදිරියේදී ඒ ගැනත් තොරතුරු ඔබට කියනවා.

-කේ. සංජීව-

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ...

කැරපොත්තන්ගේ සටන පළමු ජය වාර්තා කරයි

සමස්ත ඉන්දියාව පමණක් නොව ලෝකයම සොලවමින් වීදි බැස සිටින කැරපොත්තන්ගේ ජනතා පක්ෂය සිය පළමු ජයග්‍රහනය වාර්තා කරගෙන ඇතැයි ද ඒ අනුව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා...

මන්දිරවල ජනපති නෑ. නමුත් ජනයා ඉදලා. බර වියදමකුත් ගිහිං

ජනාධිපතිවරයා රටපුරා ඇති ජනාධිපති මන්දිර භාවිතා කරන්නේ නැති බව ප්‍රකාශ කරමින් එම මන්දිරවල නවාතැන් නොගත්තත් එහි බොහෝ දෙනෙක් රැඳී සිට ඇති බවද ඒ සඳහා 2025 වර්ෂයේදී විශාල වියදමක් දරා ඇති බවද ජාතික විගණන...