[gtranslate]

කළු සල්ලි සුදු කරපු කොළඹ කොටුවේ ඩොලර් මෝල..!

money laundering knews

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පසුගිය දවසක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 700කට (රුපියල් කෝටි 21,000කට) අධික මුදලක් රටින් පිට කිරීමේ දැවැන්ත ජාවාරමක් හඳුනාගෙන ඇති බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ මීගමුව පොලිසිය එක්ව සිදුකළ දීර්ඝ සහ සංකීර්ණ මෙහෙයුමකින් අනතුරුව, මෙම ජාත්‍යන්තර මූල්‍ය වංචාවේ සුලමුල හෙළිදරව් වී ඇත.

ජාවාරමේ මොළකරු කොටුවීම

මෙම දැවැන්ත මූල්‍ය අපරාධයේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වී ඇත්තේ, කොළඹ කොටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය A.Y ඉන්වෙස්ට්මන්ට් නමැති පෞද්ගලික ආයතනයකි. මෙම ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස පෙනී සිටිමින් මෙම කළු සල්ලි සුදු කර රටින් පැන්නවීමේ ජාලය මෙහෙයවා ඇත්තේ ජෙෆ්රි මොහොමඩ් නමැති පුද්ගලයෙකි.

විමර්ශන අංශයක් දීර්ඝ කාලයක් මෙම පුද්ගලයා පසුපස ලුහුබැඳ ඇත. මෙසේ මොහු පිළිබඳව විමර්ශන ඇස වැටෙන විට මොහු පෞද්ගලික වාහන භාවිත කිරීම පසෙකලා, කුලී පදනම මත ලබාගත් විවිධ වාහනවලින් ගමන් කරමින් සීඅයිඩීය මඟහැරීමට උත්සාහ කර ඇත. අවසානයේ බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ සීඅයිඩීය මීගමුව ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක සැඟව සිටියදී මෙම පුද්ගලයා සාර්ථකව අත්අඩංගුවට ගත් අතර, ඒ සමගම ඔහු සතුව තිබූ රුපියල් කෝටි විස්සකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

පසුගිය 20 වැනිදා මෙම සැකකරු කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින හතක රැඳවුම් නියෝග ලබාගැනීමට සීඅයිඩීය කටයුතු කළ අතර, එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු බොහෝ තොරතුරු අනාවරණය කර ඇත. ‘මට ලැබෙන ඕනෑම මුදලක් ඒක ආවේ කොහෙන්ද කියලා මම හොයන්නේ නෑ. මම කරන්නේ ඒ මුදල් විදේශගත කරන එකයි. ඒ වෙනුවෙන් මම යවන සෑම ඩොලරයකටම රුපියල් දෙකක කොමිස් මුදලක් ලබාගන්නවා’ යනුවෙන් ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු ප්‍රකාශ කර ඇත.

ජාවාරමේ සුලමුල

මෙම සුපිරි ජාවාරම මුලින්ම පොලීසියේ ඇසට හසුව ඇත්තේ, 2025 ඔක්තෝබර් 22 වැනිදා ය. පෑලියගොඩ ප්‍රදේශයේදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී, ඒ තුළ තිබී රුපියල් කෝටි තුනක මුදලක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් සහ ඒ ඔස්සේ මීගමුවේදී අත්අඩංගුවට ගත් තවත් පිරිසකගෙන් ලද තොරතුරු අනුව අනාවරණය වන්නේ, මෙම මුදල් විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වෙත යැවීම සඳහා සූදානම් කර තිබූ කුඩු සල්ලි බව ය.

මේ අතරතුර තවත් තීරණාත්මක සිදුවීමක් වාර්තා වන අතර ඒ අනුව පසුගිය මාසයේදී ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලද පුද්ගලයන් 21 දෙනා අතර සිටි ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී, ඔහු මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් ගෙන්වාගෙන ඇත්තේ කොළඹ පිහිටි මෙම A.Y ඉන්වෙස්ට්මන්ට් ආයතනය හරහා බව අනාවරණය වී ඇත. අපරාධ පිළිකාවේ පැතිරීම එසේය.

මෙම තොරතුරු මත විමර්ශන සිදුකරන පොලීසිය අදාළ ආයතනයට බැර කිරීම සඳහා රුපියල් කෝටි තුන්හමාරක මුදලක් රැගෙන කොළඹ ප්‍රධාන පෞද්ගලික බැංකුවකට පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා අතර ඔහු ජෙෆ්රි මොහොමඩ්ගේ සහෝදරියකගේ පුත්‍රයෙකු බව අනාවරණය වන්නේය.

ව්‍යාජ සමාගම් ජාලය

2023 වසරේ සිට ක්‍රියාත්මක වූ මෙම ජාවාරම පිළිබඳව මුල් අවස්ථාවේදී පාර්ලිමේන්තු හෙළිදරව් කිරීම්වලදී එය ඩොලර් මිලියන 85ක ජාවාරමක් ලෙස වාර්තා කළ ද සමස්ත විමර්ශනය අවසන් වන විට එය ඩොලර් මිලියන 700කට එනම් රුපියල් කෝටි 21,000කට අධික මුදලක් බවට සාක්ෂි සහිතව තහවුරු වී ඇත. සමහර විට ඉදිරියේදී මෙම මුදල මීටත් වඩා විශාල බව අනාවරණය විය හැකිය.

මෙම මුදල් රටින් පිට කිරීම සඳහා ඔවුන් ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් (Telegraphic Transfer – TT) ක්‍රමය උපක්‍රමශීලීව යොදාගෙන තිබේ. මෙරට ප්‍රධාන බැංකු 13කට අයත් ගිණුම් 227ක් හරහා වාර 26,108කදී මෙම TT ගනුදෙනු සිදුකර ඇත. මෙහිදී ව්‍යාපාරික කටයුතු කරන බව පෙන්වීම සඳහා ව්‍යාජ දේශීය සමාගම් 105ක් ලියාපදිංචි කර තිබුණද, ඒවා පිටුපස සිට ඇත්තේ හුදෙක් පුද්ගලයන් 55 දෙනෙකුගෙන් යුත් කුඩා කණ්ඩායමකි. එක් සමාගමක් මාස කිහිපයක් පවත්වාගෙන ගොස් වසා දමා, නැවත වෙනත් නමකින් සමාගමක් ලියාපදිංචි කිරීම ඔවුන්ගේ උපක්‍රමය වී ඇත.

ජංගම ගිණුම් 36ක් විවෘත කර තිබුණේ ව්‍යාපාර කිරීමට තරම් කිසිදු ආර්ථික වත්කමක් නොමැති, සාක්ෂරතාවයෙන් අඩු පුද්ගලයන් නමින් වන අතර ඔවුන් බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වී නිදහස් වී පැමිණි පුද්ගලයන් වීම විශේෂත්වයක් ය. මෙවැනි සැකකටයුතු ගිණුම් විවෘත කිරීමේදී බැංකු මඟින් නිසි සොයා බැලීමක් සිදුකර නැති අතර එම බොහෝ බැංකුවල සමහර දූෂිත නිලධාරීන් මෙයට සිය සහාය මෙම ජාවාරම්කරුවන්ට ලබාදෙන්නට ඇතැයි සීඅයිඩීය සැක කරයි. දින දෙක තුනකට වරක් චෙක්පත් මඟින් අතිවිශාල මුදල් ලබාගෙන පිටකොටුවේ බැංකු ගිණුම්වල තැන්පත් කරමින් මෙම මෙහෙයුම අඛණ්ඩව සිදුකර ඇත.

ව්‍යාජ ඉන්වොයිසි සහ මහා පරිමාණ බදු වංචා

ආනයන මුවාවෙන් මුදල් යැවීමේදී මෙම ජාවාරම්කරුවන් ප්‍රධාන ක්‍රමවේද කිහිපයක් අනුගමනය කර තිබේ. මෙහි විශේෂත්වය වන්නේ, කොළඹ ප්‍රධාන පෙළේ ආනයනකරුවන් රැසක් රජයට ගෙවිය යුතු තීරුබදු වංචා කිරීමේ අරමුණින් මෙම ජාලය තමන්ගේ භාවිතයට ගෙන තිබීමයි. එහිදී ආනයනය කරන භාණ්ඩවලට ඉතා අවම වටිනාකමක් (Under-invoicing) පෙන්වා රේගුව මුළා කර, ඉතිරි සැබෑ වටිනාකම මෙම කූට ක්‍රමය හරහා විදේශගත කර ඇත.

විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ, මෙම ව්‍යාජ සමාගම් බොහොමයක් මඟින් කිසිදු භාණ්ඩයක් මෙරටට ගෙන්වා නොමැති බවයි. මෙම ජාලයට අයත් එක් සමාගමක් පමණක් අවස්ථා 953කදී රුපියල් බිලියන 12.89ක හෙවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 42.7ක මුදලක් රටවල් 26ක පිහිටි විදේශීය සමාගම් 250කට අධික සංඛ්‍යාවකට යවා ඇත. ඔවුන් බැංකු වෙත පවසා ඇත්තේ නාන කාමර උපකරණ, ගොඩනැගිලි ද්‍රව්‍ය, චොකලට් සහ විවිධ ආහාර වර්ග ආනයනය කරන බවයි. නමුත් කිසිදු භාණ්ඩයක් රටට පැමිණ නැත. තවත් අවස්ථාවකදී රුපියල් බිලියන 13ක් පමණ වටිනා රන් භාණ්ඩ, හාඩ්වෙයාර් සහ සනීපාරක්ෂක උපකරණ ආනයනය කරන බව පෙන්වමින් රටවල් 108කට මුදල් යවා තිබූ නමුත්, එම භාණ්ඩ කිසිවක් ආනයනය කර නැත.

මීට අමතරව, මෑතකදී පෞද්ගලික බැංකුවක සිදුවූ රුපියල් බිලියන 13ක මහා පරිමාණ මූල්‍ය වංචාවට අදාළ මුදල්ද මෙම ආයතනය හරහාම රටින් පිටකර ඇති බවට විමර්ශකයෝ සැක කරන අතර මේ වනවිට වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි ඊට අදාළ පෞද්ගලික සහ රාජ්‍ය බැංකු ගිණුම් අක්‍රීය කිරීමට පියවර ගෙන ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් දිවුලපිටිය ප්‍රදේශයේ බැංකුවක තැන්පත් කරන ලද මුදල් පවා ඩුබායි වෙත යවා ඇත්තේ මෙම ජාලය හරහාය. ඒ වන විටත් මෙම සමාගම සතුව රුපියල් බිලියන 2.2ක අතිවිශාල ශේෂයක් පැවතී ඇති බව අනාවරණය වී ඇත.

නීතියේ දුර්වලතා සහ බලධාරීන්ගේ නිද්‍රාශීලීත්වය

මෙතරම් දැවැන්ත මුදලක් වසර කිහිපයක් තිස්සේ රටින් පිටවී යද්දී මහ බැංකුව, රේගුව සහ බැංකු පද්ධතිය නිදා සිටියේද යන බරපතළ ප්‍රශ්නය මෙහිදී ඇතිවෙයි. සාමාන්‍ය නීතියට අනුව, ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් ක්‍රමයට මුදල් ගෙවා දින 90ක් ඇතුළත අදාළ භාණ්ඩ ආනයනය නොකළහොත්, වාණිජ බැංකු විසින් ඒ බව වහාම රේගුවට, ශ්‍රී ලංකා මහ බැංකුවට හෝ ආනයන අපනයන පාලකවරයාට දැනුම් දිය යුතුය. එහෙත් පසුගිය කාලසීමාව තුළ එම නියාමන ක්‍රියාවලිය නිසි පරිදි සිදුවී නොමැති බව අනාවරණය වී ඇත.

2017 වසරේදී විනිමය හුවමාරු පනතට ගෙන ආ සංශෝධනයක් හරහා, ‘විනිමය පාලන වැරදි’ යන්න මුදල් විශුද්ධි කිරීමේ පනතෙන් ඉවත් කරනු ලැබ ඇති අතර එයද ජාවාරම්කරුවන්ගේ මඩිය තර කරන්නට හේතුවක් වී ඇත. එයට හේතුව මෙමඟින් නීතිවිරෝධී ලෙස විනිමය විදේශගත කිරීම වෙනුවෙන් දැඩි දඬුවම් ලබාදීමේ නෛතික ප්‍රතිපාදන දුර්වල වීමය.

මෙම සිදුවීමත් සමඟ ප්‍රමාද වී හෝ බලධාරීන් යම් යම් තීන්දු තීරණ ගෙන ඇත. එය සතුටට කරුණක් බව කිව යුතුය. ඒ අනුව ආනයන ගෙවීම් සම්බන්ධයෙන් දැඩි නීතිරීති හඳුන්වා දී ඇති අතර, මින් ඉදිරියට ආනයනයකින් තොරව මුදල් විදේශගත වන්නේ නම් බැංකු විසින් ඒ පිළිබඳව ශ්‍රී ලංකා රේගුවට සහ මූල්‍ය බුද්ධි ඒකකයට වහාම වාර්තා කිරීම අනිවාර්ය කර ඇත. එමෙන්ම, විධිමත් පාලනයක් ඇති කිරීමේ අරමුණින් සියලුම ආනයනකරුවන් ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි වීමද අනිවාර්ය කර තිබේ.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ...

කැරපොත්තන්ගේ සටන පළමු ජය වාර්තා කරයි

සමස්ත ඉන්දියාව පමණක් නොව ලෝකයම සොලවමින් වීදි බැස සිටින කැරපොත්තන්ගේ ජනතා පක්ෂය සිය පළමු ජයග්‍රහනය වාර්තා කරගෙන ඇතැයි ද ඒ අනුව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා...

මන්දිරවල ජනපති නෑ. නමුත් ජනයා ඉදලා. බර වියදමකුත් ගිහිං

ජනාධිපතිවරයා රටපුරා ඇති ජනාධිපති මන්දිර භාවිතා කරන්නේ නැති බව ප්‍රකාශ කරමින් එම මන්දිරවල නවාතැන් නොගත්තත් එහි බොහෝ දෙනෙක් රැඳී සිට ඇති බවද ඒ සඳහා 2025 වර්ෂයේදී විශාල වියදමක් දරා ඇති බවද ජාතික විගණන...