දමින්ද ඩී. මඩවල කියන්නේ අපිට සිටින ප්රවීණතම චිත්‍රපට සහාය අධ්යක්ෂවරයෙක්. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරපු ‘අනන්ත රාත්‍රිය’ තමයි ඔහු සහාය අධ්යක්ෂවරයෙක් විදිහට වැඩ කළ පළවෙනි චිත්‍රපටය. මේ වෙනකොට චිත්‍රපට 58කට විතර ඔහු සහාය අධ්යක්ෂ ලෙස සම්බන්ධ වෙලා තිබෙනවා. පසුගිය දා තිරගත වන ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘පැරඩයිස්’ කියන මලයාලම් චිත්‍රපටයේත් සහාය අධ්යක්ෂවරයා විදිහට කටයුතු කරන්නේ දමින්ද ඩී. මඩවල. ඉතිං අපි හිතුවා ඔහු සමග සහාය අධ්යක්ෂ භූමිකාව ගැන ටිකක් කතා කරන්න.
මම කැමතියි ඔබගේ සිනමා ජීවිතය ආරම්භ වෙන ආකාරය ගැන ටිකක් කතා කරන්න.
මම වැල්ලවත්තේ ‘සිලෝන් ඉන්’ කියලා හොටෙල් එකක වැඩ කළා 1992 වගේ කාලේ. ඒ කාලේ ඔය හොටෙල් එකට නිතරම කලාකරුවන් එනවා යනවා. චිත්‍රපට රූගත කිරීම් පවා සිද්ධ වෙනවා. දිනේෂ් ප්‍රියසාද්, එච්.එස්. පෙරේරා වගේ අය හෝටලයට එනවා යනවා, මට හොඳට මතකයි. මම සංගීතා වීරරත්න මුලින්ම දැක්කෙත් මේ හෝටලයේ යම් රූගත කිරීමකට ආපු වෙලාවක. ඊට අවුරුදු 4කට පස්සේ මම ඇය සමග චිත්‍රපටයක වැඩ කළා.
මේ කාලේ ඈෂ්ලි රත්නවීභූෂණගේ මැදිහත්වීමෙන් කෙටි චිත්‍රපට උළෙලක් පැවැත්වුණා පදනම් ආයතනයේ. ඉතිං මේ චිත්‍රපට උළෙල පටන් ගන්නේ උදේ 9ට, රෑ 9 වෙනකම් ෆිල්ම්ස් පෙන්වනවා. මම දවස් හතරක් නොකඩවා මේ ෆිල්ම් ෆෙස්ටිවල් එකට ගියා. ඒ හේතුව නිසා මාව රස්සාවෙන් අයින් කළා.
ඒ කාලේ ඉතිං ෆිල්ම්ස් බලන්න ගොතේ එකට යනවා, බ්‍රිටිෂ් කවුන්සිලයට යනවා, විභාවියට යනවා. ඔහොම තමයි ජීවිතය ගත වුණේ. ඒ කාලේම තමයි සරසවියේ උප කර්තෘවරයෙක් වුණ අරුණ ගුණරත්න අඳුරගන්නේ. ඉතිං මම අරුණ අයියට කිව්වා මට ෆිල්ම් එකක වැඩ කරන්න ආසයි කියලා. එයා තමයි මට ප්‍රසන්න විතානගේ ගැන කිව්වේ.
මම මුලින්ම ප්‍රසන්න අයියා හමුවෙන්න යනකොට දමයන්ති අක්කා (දමයන්ති ෆොන්සේකා) මල් පැළවලට වතුර දමමින් තමයි හිටියේ. ප්‍රසන්න අයියා ගෙදර හිටියේ නෑ. දෙවෙනි දවසේ තමයි මුණගැහුණේ. මම ප්‍රසන්න අයියා හමුවෙනකොට, අරුණ අයියා මම ගැන විස්තර ප්‍රසන්න අයියට කියලා තිබුණා.
මම ඉතිං දෙවෙනි පාර යනකොට බලපු ෆිල්ම්ස් ගැන ආටිකල් එහෙම ලොකු විස්තරයක් අරගෙන තමයි ගියේ. ප්‍රසන්න අයියා ඒවා බලලා කිව්වා දමින්ද බලලා තියෙන සමහර ෆිල්ම්ස් මමත් බලලා නෑනේ කියලා. එහෙම තමයි ප්‍රසන්න අයියා එක්ක සෙට් වුණේ. ඊට පස්සේ ඉතිං ෆිල්ම් ස්කූල් එකක නැවතුණා වගේ ප්‍රසන්න අයියගේ ගෙදරම නැවතිලා ෆිල්ම්ස්වල වැඩ කරන්න පටන් ගත්තා.
මුල්ම චිත්‍රපටය ‘අනන්ත රාත්‍රිය’ නේද?
ඔව්, මම සහාය අධ්යක්ෂවරයෙක් විදිහට සම්බන්ධ වුණ පළවෙනි චිත්‍රපටය තමයි අනන්ත රාත්‍රිය. හැබැයි මට මේ ෆිල්ම් එකේ ප්‍රධාන සහාය අධ්යක්ෂවරයා වෙන්නට බැරි වුණා. මම තුන්වෙනි සහාය අධ්යක්ෂ විදිහට තමයි වැඩ කළේ. මේ වෙනකොට ප්‍රධාන සහාය අධ්යක්ෂවරයා විදිහට වැඩ කළේ ලෙස්ලි සිරිවර්ධන. ඔහු කමර්ෂල් ෆිල්ම්ස් එහෙම ගොඩක වැඩ කරපු නමක් දිනාගත් සහාය අධ්යක්ෂවරයෙක්. ඇත්තටම කියනවා නම් ප්‍රසන්න අයියා මගේ සිනමාවේ ගුරුවරයා වෙනකොට මගේ සහාය අධ්යක්ෂ වෘත්තියේ ගුරුවරයා වුණේ ලෙස්ලි සිරිවර්ධන.
එතකොට ප්‍රධාන සහාය අධ්යක්ෂ විදිහට වැඩ කළ පළමු චිත්‍රපටය මොකක්ද?
මම ප්‍රධාන සහාය අධ්යක්ෂ විදිහට වැඩ කළ මුල්ම චිත්‍රපටය බෙනට් රත්නායක මහත්තයාගේ ‘අස්වැසුම’. ඊට කලින් ප්‍රසන්න අයියගේ ‘පවුරු වළලු’ චිත්‍රපටයෙත් ගොඩක් වැඩ කළා. ඊට පස්සේ ඉතිං අද වෙනකොට ෆිල්ම්ස් 58ක විතර සහාය අධ්යක්ෂ විදිහට වැඩ කරලා තිබෙනවා.
එතනිනුත් සෝමරත්න දිසානායක මහත්තයා සහ රේණුකා බාලසූරිය මහත්මිය ගැන විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍යයි. ‘පුංචි සුරංගනාවියෝ’ ෆිල්ම් එකේ ඉඳලා මම දිගටම ඔවුන් සමග වැඩ කළා. මට මගේ බිරිඳ හමුවුණෙත් ‘සමනල තටු’ ෆිල්ම් එකේ වැඩ කරන්න ගිහින්. ඇත්තටම ඔවුන් දෙදෙනා මගේ ජීවිතේ බොහෝ දේවල්වලට සම්බන්ධ වුණා.
ඊට පස්සේ ඉතිං ලින්ටන් සේමගේ, වසන්ත ඔබේසේකර වගේ ගොඩක් සිනමාකරුවන් එක්ක වැඩ කළා. විශේෂයෙන් කියන්න ඕනෑ නව පරපුරේ සිනමාකරුවන් බොහෝමයක් දෙනාගේ පළමු චිත්‍රපටයේ මම ප්‍රධාන සහාය අධ්යක්ෂ විදිහට වැඩ කළා. මම ඒවට මගේ උපරිම සහාය දුන්නා. අරුණ ජයවර්ධන, ඉන්දික ෆර්ඩිනැන්ඩු, කල්පනා – වින්ද්‍යා ආරියරත්න, මලිත් හෑගොඩ වගේ අයගේ ෆිල්ම්ස් විශේෂයෙන් මතක් කරන්න පුළුවන්.

දැන් මට හිතෙන්නේ ප්‍රධාන සහාය අධ්යක්ෂ කියන්නේ කවුද කියන එක ගැන කතා කරන්න හොඳම වෙලාව කියලා. අපි සහාය අධ්යක්ෂ භූමිකාව ගැන ටිකක් කතා කරමු.
සරලවම කිව්වොත් සිනමාකරුවෙක් ෆිල්ම් ස්ක්‍රිප්ට් එක අතට අරගෙන නිෂ්පාදකයෙක් සොයාගත්තට පස්සේ මුලින්ම හමුවෙන චරිතය තමයි සහාය අධ්යක්ෂ කියන්නේ. මේ ෆිල්ම් එකට හරියන නළු නිළියන් කවුද, ලොකේෂන් මොනවාද, ඒවා සොයාගන්නේ කොහොමද, නිෂ්පාදන කළමනාකරුවෙක් සොයා ගැනීම; මේ වගේ මූලිකම වැඩ කරන්නේ අධ්යක්ෂ සහ සහාය අධ්යක්ෂ එකතු වෙලා. රූගත කාල අවකාශයන් කළමනාකරණය කරන්නේ සහාය අධ්යක්ෂ. කලා අධ්යක්ෂවරයා සමග එකතු වෙලා කැමරා අධ්යක්ෂවරයා සහ අධ්යක්ෂවරයා අතර සම්බන්ධතාවයට මඟ කියන්නේ සහාය අධ්යක්ෂවරයා.
හැබැයි ඉතිං මම මේ කළමනාකරණය පැත්ත ගැන විතරක් හිතන සහාය අධ්යක්ෂවරයෙක් නෙවෙයි. මම ෆිල්ම් එකේ නිර්මාණාත්මක පැත්ත ගැනත් හිතන කෙනෙක්. Schedule එක හරියට හදලා දින 50ක Schedule එක දින 48කින් ඉවර කළා කියලා සතුටු වෙනවට වඩා මම කැමතියි දින 50 දින 52ක් වුණත් හොඳම නිර්මාණයක් රූගත කරන්න පුළුවන් වෙනවා නම්.
චිත්‍රපටයක් රූගත කරනකොට සහාය අධ්යක්ෂ සහ කැමරා අධ්යක්ෂ අතර ගොඩනැගෙන්නේ මොන වගේ සම්බන්ධයක් ද?
ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මම ෆිල්ම් එකක රූගත කිරීම් Schedule කරනකොට මුලින්ම කතා කරන්නේ කැමරා අධ්යක්ෂ එක්ක. මොකද ඔහු තමයි දන්නේ හරියටම ෂූට් එක ඔන් වෙන්න ඕනෑ වෙලාව. ලොකේෂන් එකේ අපි ඉන්න ඕනෑ වෙලාව තීරණය වෙන්නෙ එතනින්. අනික එක දර්ශනයක් රූගත කරන්න ඔහුට කොපමණ වෙලාවක් යයි ද කියන එකත් ඔහු තමයි දන්නේ. ඔහුට අවශ්‍ය කාලය කොපමණද? දිවා රාත්‍රී ෂූටින් කොහොමද වෙන් වෙන්නේ? දවසකට අපි දර්ශනයන් කීයක් ෂූට් කරනවාද කියන එක වගේ දේවල් තීරණය කරන්නේ ඒ සාකච්ඡාවෙන් පස්සේ.
සහාය අධ්යක්ෂවරයා සහ ප්‍රොඩක්ෂන් ඩිසයිනර් අතර තියෙන සම්බන්ධය මොන වගේද?
අපේ රටේ සිනමා කර්මාන්තය අස්සේ ප්‍රොඩක්ෂන් ඩිසයිනර් කියන භූමිකාව හරි අඩුයි. නැති තරම්. මම වැඩ කරපු ෆිල්ම්ස් දෙක තුනක ඇරෙන්න ප්‍රොඩක්ෂන් ඩිසයිනර්ස්ලා ඉඳලා නෑ. ලංකාවේ ප්‍රොඩක්ෂන් ඩිසයිනර්ගේ රාජකාරිය කරන්නෙත් ආර්ට් ඩිරෙක්ටර් තමයි. හැබැයි ප්‍රොඩක්ෂන් ඩිසයිනර් කියලා කියන්නේ මුළු සිනමා නිර්මාණයේම කලා අංශය ඕවර්රෝල් බලන කෙනා. මෙහේ කලා අධ්යක්ෂ තමයි ඒ රාජකාරියත් කරන්නේ. හොලිවුඩ් වගේ ප්‍රොඩක්ෂන් එකක් ගත්තොත් අපේ එක ජොබ් එකක් අස්සේ ඔවුන්ගේ ජොබ් තුනක් හතරක් තිබෙනවා.
ගොඩක් අය කියනවා හොඳ සහාය අධ්යක්ෂවරයෙක් ගත්තොත් ෆිල්ම් එක ගොඩදාගන්න පුළුවන් කියලා. මේ කතාව ඇත්තද?
මෙහෙමයි, සිනමා නිර්මාණයකදී එක්කෙනෙක් විතරක් වැඩ කළා කියලා මුළු නිෂ්පාදනයම ගොඩයන්නේ නෑ. තේ හදන ‘ටී බෝයි’ගේ ඉඳලා අධ්යක්ෂ දක්වා හැමෝම එක විදිහට මහන්සි වෙලා හොඳට වැඩ කළොත් තමයි නිර්මාණය හොඳ නිර්මාණයක් විදිහට සාර්ථකව අවසන් කරගන්න ලැබෙන්නේ. චිත්‍රපටයක හොඳ නිමාවට මේ ටීම් වර්ක් එක තමයි බලපාන්නේ. ටී බෝයි හරියට උදේට නිසි වෙලාවට නැඟිටලා ටී එක හැදුවේ නැත්නම්, හරි වෙලාවට නළු නිළියන් ලොකේෂන් එකට ගෙන්න ගන්න වෙන්නේ නෑ. එතනින්ම වැඩේ අවුල් වෙනවා.
ඇයි ගොඩක් සිනමාකරුවෝ තමන්ගේ පළමු නිර්මාණයේදී හොඳ සහාය අධ්‍යක්ෂවරයෙක්ගේ සේවය ගන්න මහන්සි වෙන්නේ?
චිත්‍රපටයක ප්‍රධාන මෙහෙයුම කරන්නේ සහාය අධ්යක්ෂ. ඒක හරියට යුද්ධයක් සැලසුම් කරලා නිසි ඉලක්කයට ජයග්‍රහණයට මෙහෙයවනවා වගේ වැඩක්. මෙතනදී නිෂ්පාදන කළමනාකරු කියන භූමිකාවත් ඉතාමත් වැදගත්. අපේ ජ්‍යෙෂ්ඨතම සහාය අධ්යක්ෂවරයෙක් වුණ අයි.එන්. හේවාවසම් මහත්තයා කියනවා සහාය අධ්යක්ෂ භූමිකාව සහ නිෂ්පාදන කළමනාකරු කියන භූමිකාව එකම කාසියේ දෙපැත්ත වගේ කියලා. මේ දෙන්නා හරියටම ගැළපුණොත් වැඩේ ගොඩ. මම කියන්නේ දෙදෙනාගේ කෙමිස්ට්‍රිය හරියට සෙට් වෙන්න ඕනෑ. ඒ විදිහට හරිම දෙන්නා සෙට් වෙනවා කියන්නේ සිනමාකරුවා වාසනාවන්තයි.
දමින්දට එහෙම හරියටම සෙට් වුණ නිෂ්පාදන කළමනාකරුවෙක් හිටියද?
ඔව්, දීපාල් ගුණරත්නයි මායි එහෙම හොඳටම සෙට් වුණ දෙන්නෙක්. අපි දෙන්නා එකතු වෙලා ෆිල්ම්ස් 15ක විතර වැඩ කළා. දැන්නම් ඔහු කැනඩාවේ ඉන්නේ. මම එක උදාහරණයක් විතරක් කියන්නම්. ‘ඉර මැදියම’ චිත්‍රපටයේ රූගත කිරීම්වලට ගිහින් අපි කල්පිටියේ හිටියේ. එතන බෝට්ටු දෙක තුනක් දාගෙන ලොකු වැඩක් තිබුණා. එක වෙලාවක පල්ලිවලින් මුස්ලිම් මිනිස්සුන්ට රඟපාන්න එන්න දුන්නේ නෑ. අපි පල්ලිවලට ගිහින් පූජකයෝ හමුවෙලා බොහොම අමාරුවෙන් තමයි මේ ක්‍රවුඩ් සීන්ස්වලට සෙනඟ හොයාගත්තේ.

ඉතිං දවසක් ෂූටින් ඉවර කරලා, රෑ මට නින්ද යන්නේ නෑ, එකට විතර මම කල්පිටිය ජැටිය පැත්තට ඇවිදගෙන යනවා, උදේ ෂූට් එක ගැන හිත හිතා. එහෙම ඇවිදගෙන යනකොට මෙන්න පිටිපස්සෙන් ආපු එකෙක් ඇඟේ හැප්පෙනවා, බලනකොට දීපාල්. ඌටයි මටයි දෙන්නටම නින්ද යන්නේ නෑ. මොකද පහුවදා වැඩේ තමයි ඔලුවේ තියෙන්නේ.
සමහර චිත්‍රපටවල රූගත කිරීම් ඉවර වෙලා ගෙදර ඇවිත් නිදාගත්තම ජනේලය අස්සෙන් කාමරේට එළිය වැටෙනකොට උඩ ගිහින් ඇහැරෙනවා ‘අම්මෝ අද පරක්කු වුණා නේද’ කියලා. ටිකක් වෙලා යනකොට තමයි ෂූටින් ඉවරයි, ගෙදරනේ ඉන්නේ කියලා මතක් වෙන්නේ. සහාය අධ්යක්ෂ කෙනෙක් වුණාම ඒ බය, තිගැස්ම හැමදාම තියාගන්න ඕනෑ කියලයි මට හිතෙන්නේ.
මම ටී බෝයිට තේක දෙන්න කියලා තියෙන්නේ පාන්දර 4ට, හැබැයි මිනිහා ඒකට උදේ තුනට නැඟිටින්න ඕනෑ. ඉතිං මගේ පුරුද්දක් තියෙනවා, මම කෝල් කරලා බලනවා නැඟිටලාද කියලා. ඒත් හරියන්නේ නෑ, ඇස්දෙකෙන් තේ හදන්න පටන් අරගෙන ද කියලා බලනකම්. සමහර වෙලාවට රෑට ෂූටින් ඉවර කරලා අඩියක් ගහලා නිදාගත්තොත් ඇහැරෙන්න පරක්කු වෙන්න පුළුවන්. දීපාල් සහ මම සමහර දවස් තියෙනවා තේ හදපු. මේ රස්සාව එහෙම එකක්. මොකද එතනින් පරක්කු වුණොත් එදා දවසටම විතරක් නෙවෙයි මුළු නිර්මාණයටම ඒක බලපානවා.
මම අහලා තියෙනවා සමහර සහාය අධ්යක්ෂවරුන් පහුවෙනිදා ෂූටින් තියෙනකොට කලින් දවසේ රෑ බොන්න එහෙම දෙන්නේ නෑ කියලා. එහෙම විරුද්ධ වෙන්න පුළුවන් ද?
ඒක අපිට එහෙම බලකරන්නම බෑ. නමුත් ඒ දේ නළු නිළියන් හැමෝම තේරුම් ගන්න ඕනෑ. ඒක තමයි ප්‍රොෆෙෂනල් වැඩ කරනවා කියන්නේ. සමහර රාත්රීන්වලට බීම ඕවර් යනවා නම් එතනදි පොඩ්ඩක් මැදිහත් වෙනවා. මොකද සමහර වෙලාවට නවාතැනට රසිකයෝ එනවා, එතකොට ඒ නළු නිළියන්ටත් නැඟිටින්න බැරි වෙනවා, එහෙම අවස්ථාවල මැදිහත් වෙනවා ඉතිං.
නළු නිළියන් වැඩිපුර ප්‍රශ්න හදාගන්නේ, තරහා වෙන්නෙත් සහාය අධ්යක්ෂ එක්ක නේද?
මම නම් හිතන්නේ ඕනෑම ප්‍රශ්නයක් කතාබහ කරලා බේරගන්න පුළුවන් කියලා. මම ඒ මතයේ ඉඳලා තමයි වැඩ කරන්නේ. නමුත් අපි හැමෝම මිනිස්සු, එතකොට අපිට මානුෂික ප්‍රශ්න එන්න පුළුවන්, එහෙම වෙලාවට ඒක සීරුවට කළමනාකරණය කරන්න ඕනෑ. සමහරු චිත්‍රපටයට දින දෙනකොට ටෙලියකටත් දින දීලා, එහෙම අවස්ථාවල්වල ටිකක් පරිස්සමට වැඩේ හැන්ඩ්ල් කරන්න වෙනවා. ෂූටින් එකට මුළු දින ටික සේරම අතේ තියාගෙන ඉන්න එක සහාය අධ්‍යක්ෂට ලේසියි. ඒත් ඉතිං මානුෂිකව හිතලා යම් යම් දේවල් කරන්න වෙනවා. ඔය දින ප්‍රශ්න වගේ දේවල් එහෙම පරිස්සමට බැලන්ස් කළහම ප්‍රශ්න ඇති වෙනවා අඩුයි.
පැරඩයිස් කියන මලයාලම් භාෂිත චිත්‍රපටයේත් ප්‍රධාන සහාය අධ්යක්ෂවරයා ඔබ. මේ චිත්‍රපටයේ ඉන්දීය නළු නිළියන්, කාර්මික ශිල්පීන් වැඩ කරනවා. මේ අය එක්ක වැඩ කිරීම මොන වගේ අත්දැකීමක්ද ඔබට සමීප කළේ?
මලයාලම් සිනමාවේ ජනප්‍රියතම දෙදෙනෙක් තමයි අපි එක්ක මේ ෆිල්ම් එකේ වැඩ කළේ. රොෂාන් මැතිව් සහ දර්ශනා රාජේන්ද්‍රන් කියන්නේ වැඩ කරන්න හරිම පහසු දෙන්නෙක්. මේ ෆිල්ම් එකේ කැමරා අධ්යක්ෂ විදිහට වැඩ කරපු රජීව් රවී ගත්තත් ඉන්දීය සිනමාවේ ඉන්න හොඳම කැමරා අධ්යක්ෂවරුන් 10 අතර සිටින කෙනෙක්. හැබැයි මොවුන් එක්ක වැඩ කරන්න හරිම පහසුයි. වෙලාවක් කිව්වොත් ඒ වෙලාවට හරියටම එනවා. අපි බුෆේ එකෙන් කෑම ගන්නකොට ඔවුන්ට මුලින් කෑම ගන්න කියලා ඉඩ දුන්නත් ඔවුන් අපි එක්කම පෝලිමේ ඉඳලා තමයි කෑම ගන්නේ. අපේ වර්තමාන පරපුරේ සමහර අය අතරේ එහෙම දේවල් දකින්න නෑ. සමහරු ෆිල්ම් එකක දෙකක, ටෙලි නාට්‍යයක රඟපෑවාම ඊට පස්සේ ගව්වක් උඩින් තමයි ඉන්න බලන්නේ. එකිනෙකාට උදව් කරගෙන නිර්මාණය සාර්ථක කරගන්න මාර විදිහට කැපවෙනවා. ඒවා තමයි ඇත්තටම අපිට ඉගෙනගන්න තියෙන දේවල්.

අවසන් වශයෙන් කියන්න පසු නිෂ්පාදන අවධියේදී සහාය අධ්යක්ෂ භූමිකාව මොන වගේද?
ඩිරෙක්ට් සවුන්ඩ් කරලා නැත්නම්, දෙබස් ඩබ් කරන්න තියෙනවා නම්, ඒකට සහාය අධ්යක්ෂ සම්බන්ධ වෙන්න ඕනෑ. එතනදීත් ෂූටින්වල කෙරෙන කාර්යභාරයම තමයි සහාය අධ්‍යක්ෂට තිබෙන්නේ. සංස්කරණ කටයුතුවලට ගියාම සහාය සංස්කාරකට සහාය වෙන්න වෙනවා සහාය අධ්‍යක්ෂට. ලයිනප් එක හදාගන්න. එතනදි ගොඩක් වෙලාවට ප්‍රධාන සහාය අධ්යක්ෂ නෙවෙයි සම්බන්ධ වෙන්නේ, දෙවෙනි සහාය අධ්යක්ෂ.
ඉස්සර නම් මුළු ෆිල්ම් එකම එඩිට් කරලා ඉවර වෙනකම් සහාය අධ්යක්ෂ ඉන්න ඕනෑ. නමුත් දැන් තාක්ෂණය එක්ක ඒක එහෙම අවශ්‍ය වෙන්නේ නෑ. ඉස්සර එඩිට් එක ඉවර කරලා ඩබින්වලට යැව්වාම එක එක දර්ශනයට ඉන්න සියලු නළු නිළියන් ඒ දර්ශනයට අදාළ දෙබස් පටිගත කරනකොට එතන ඉන්න ඕනෑ. එතකොට ඒක සැලසුම් කරන්න වෙන්නේ සහාය අධ්‍යක්ෂට. දැන් එහෙම නෑ. දැන් එක දවසක් දාගෙන එක නළුවෙක්ගේ දෙබස් සියල්ල රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ පැත්තෙන් සහාය අධ්‍යක්ෂගේ කාර්යය නවීන තාක්ෂණය එක්ක ටිකක් සීමා වෙලා තිබෙනවා. නමුත් මම නම් ඉතිං ෆිල්ම් එක එඩිට් කරලා, කලර් ග්‍රේඩ් කරලා, සවුන්ඩ් මික්ස් කරලා, සේරම ඉවර වෙලා ඩී.සී.පී එක ගහනකම් වැඩේ ඉන්නවා. සමහර ෆිල්ම්ස්වල මම ප්‍රචාරණ වැඩේට පවා උදව් වෙලා තියෙනවා. ඒක තමයි මගේ ක්‍රමය.
-කේ. සංජීව-






