සපරගමුව කියලා කියන්නේ හරි පුදුම පළාතක්. මම මේ කියන්නේ කෑගල්ලව එහෙම ඈඳුණ සුද්දා හදපු සබරගමුවක් ගැන නම් නෙවෙයි. ඔය නුවර රාජ්ජෙට අයිතිවුණ සපරගමුව කියලා නිකං කියාගෙන යන්නම්කෝ. ඒක ලේසියි. කොහොමහරි සපරගමුව කියලා කියන්නේ නිරිතදිග මෝසම සහ මධ්‍යම කඳුකරය හදපු දේශගුණ සිතියමක්.
ඒකෙනුත් ඔය මධ්‍යම කඳුකරයට අත දික්කරගෙන බලාගෙන ඉන්න රක්වාන කඳු පන්තිය තමයි වැඩකරුවා. උන්දෑ ඈත දියඹේ ඉඳලා ගේන වරුෂාව මේ බිමට හලලා මේක මහා වගුරක් කළානේ. ඔය කඳු අතරේ තැනි කියන්නේ ඉතිං එහෙම වගුරු තමයි බොල.
ඉතිං සපරගමුවට වහින්නේ නැති දවසක් නෑ. ඕකට අපේ අම්මා කියනවා මරු කතාවක්. දවසක් ශක්‍රයා වැහි බෙදන වැහි මඟුලක් ලෑස්තිකරලා දේව මණ්ඩලයට කිව්වලු වෙලාවට වරෙල්ලා වැහි බෙදනවා කියලා. අපේ සමන් දෙයියට ඉතිං මේකට වෙලාවට යන්න වුණේ නෑ. යනකොට දෙයියෝ වැහි බෙදාගෙන ඉවරයි. සමන් දෙයියෝ ශක්‍රයට කිව්වලු “අනේ දෙවියන් වහන්ස ඔය දේව මණ්ඩලයට කියන්න එයාලගේ පළාතට වැහි අරගෙන යනකොට මගේ ප්‍රදේශයටත් හලාගෙන යන්න” කියලා.
ඉතිං හලනවා හලනවා ඉවරයක් නෑ. වාරෙටත් හලනවා අවාරෙටත් හලනවා. වැස්ස උනත් වැඩිවුණාම ගස් ගෙඩි දෙන්නේ නෑ; මොකද ඌ හිතනවා ‘අනේ වතුර නැතුව මැරෙන්න නම් වෙන්නේ නෑ, ඒ නිසා ඔය පැටව් ගහන එකනම් කොයිවෙලාවක කරගන්න බැරිද’ කියලා. ඉතිං ඔන්න ඕකයි මේ කියන්න යන කතාවට හේතුව. මේක මේ මම හිතන එකක් මිසක් විද්‍යාඥයෝ එහෙම හොයාගත්ත දෙයක්නම් නෙවෙයි.
ඉතිං සපරගමුවේ ඔය වගාවල් කරන්න ලේසි නෑ. කොස්, දෙල්, කැලෑ දෙල් වගේ දේවල් ඇරෙන්න කොළපාටට කිසි අහේනියක් නැතුව වතුර බීලා හැමවෙලාවෙම හිනාවෙලා ඉන්න කොළ තමයි ඉතිං ඕනෑ වෙලාවක සපරුන්ගේ කුසේ පුරවන්න හිටියේ. ඉතිං ඔය පොල් ගහක් හදාගත්ත උන්දලා මැල්ලුම් කනවා කෙළවරක් නෑ.
ඉස්සර අපේ අම්මා සතියට දවස් දහයක් විතර මැල්ලුම් හදනවා. ඉතිං හිතහල්ලකෝ මැල්ලුම් සතියේ දිග. උන්දෑ ඕසෙට කොළයක් නැත්තං හත්තිලව්වේ ‘දහදුරා මැල්ලුම’ කියලා එකක් හැදුවා. ඒක ගැන පස්සේ ලියන්නම්කෝ..!
රස ගුණ පිරි ගමේ මැල්ලුම්
මම නම් ආසම මැල්ලුම මොකක්ද කියලා ඇහුවොත් කියන්නේ ජපන් බටු කොළ මැල්ලුම කියලා. ඒක මාරම රහා කොළයක්. පොල් රෑන් එක්ක එකට ඇමිණුනාම මාර කිරි රහක් දෙන්නේ. රතු ලූණු ටිකක් වැඩිපුර දාගත්තාම පට්ට පඳුරු යන්න කන්න පුළුවන්. ජපන් බටුවලට සමහර පැතිවල ‘සිංගප්පූරු කොළ’ කියලත් කියනවා.
අපි නම් ඉතිං සුදු පාට බටු ගෙඩියක් වගේ එකක් හැදෙන හින්දා තමයි ජපන් බටු කියන්නේ. හීනියට ලස්සනට ලියලා, ඒකට රතු ලූනු, කොළ මිරිස් දාලා, උම්බලකඩ ටිකකුත් දාලා, ලුණු පදමට දාලා, පොල් එක්ක හොඳට අනලා ළිපට තියලා එහෙට මෙහෙට දාගන්නයි තියෙන්නේ.
හොඳම ක්‍රමය තමයි මැටි හට්ටිය එහෙම නැත්තං ඇතිලිය රත් වුණාට පස්සේ ළිප නිවලා මැල්ලුම දාගෙන එහෙට මෙහෙට පද්දගන්න එක. අපේ අම්මනම් මේක කොළට කොළේ, කොළ පාට මරන්නේ නැතුව බාගෙන ඒකට දෙහි ඇඹුල් සුට්ටක් මිරිකගන්නවා. අම්මෝ සුදෝ රස! සුදු ඉටි චූටි හාල් බතක් එක්ක දෙන්න පුළුවන් බඩ උල්වෙන්න.
ඊළඟට පට්ටම මේ රහට කිට්ටුම රහක් තියෙන මැල්ලුම තමයි පොල්පලා මැල්ලුම. පොල්පලා දළු තමයි මේකට ඉතිං ගන්නේ. ඉස්සර ඉඩම සුද්ද කරලා ගිනිතියලා වැස්ස වැටෙනකොට මුලින්ම මතුවෙන්නේ මෙයා. ඊළඟට ගල් කූර, ඊළඟට වෙනිවැල්ල. මේ තුන්දෙනාම මැල්ලුම් කන්න පුළුවන් හැබැයි ඔය අගට කියපු දෙන්නා හරියන්නේ පරිප්පු එක්ක කිරට කිරේ ක්‍රීමියට, කහපාටට හදලා ගන්න. ඒක මාර රහයි. ඊටපස්සේ මේ වගේම ළඟින් යන රසයක් තමයි දඹල කොළේට තියෙන්නේ.
මම ඉතිං මුලින්ම කිව්වනේ සපරගමුව කියන්නේ මඩ ගොහොරුවක් කියලා. ඉතිං මේ මඩ ගොඩවල්වල, පුරන් වෙලා ගිය කුඹුරුවල හැදෙනවා දම්පාට මලක් පිපෙන ජපන් ජබර කියලා ගහක්. මේ ජපන් ජබර කොළේ කියන්නෙත් මැල්ලුමට මාර රසම රස එකක්. මේක හෝදලා ගන්නකොට හොඳට දිය බේරෙන්න තියලා ගන්න එක තමයි රස රහස. මොකද වතුර ටිකක් වැඩිවුණොත් මැල්ලුමේ පොඩි දියර ගතියක් එනවා, එතකොට රස නෑ. ඔය කන්කුන් උනත් රසට මැල්ලුම් හදාගන්න පුළුවන් වතුර එක්ක දාන සෙල්ලම හරියට දාගන්න පුළුවන් කෙනෙක්ට.
ඊළඟට මේ වගේම රස මැල්ලුමක් තමයි ඕලු මල් මැල්ලුම. ගොඩාක් අය කාලා නැතුව ඇති. ඒත් පුදුම රසක් තියෙන්නේ. ඕලු මල් නම් ඉතිං පොල් නොදා ලාවට උම්බලකඩ එහෙම ඕසෙට දාලා, ලොකු ලූණු එහෙම හොඳට දාලා තෙලට දාලා ගත්තත් මරු. අහුවුණොත් කාලා බලන්න, පිපෙන්න කලින් පොහොට්ටු තමයි රසම.
ඉස්සර අපිට ඔය පණු අමාරු හැදෙනකොට මුළු පවුලටම එකට තමයි හැදෙන්නේ. ඊටපස්සේ ඉතිං පවුලම පස්ස කහා කහා තමයි ඉන්නේ. ඕක දැක්ක ගමන් අම්මා කරන වැඩේ තමයි එරබඳු දළු ටිකක් කඩාගෙන ඇවිත් හොඳට පොල් දාලා මැල්ලුමක් හදන එක. ඒකත් මාරම රස මැල්ලුමක්, හැබැයි නිතර කන්න හොඳ නෑ කියලා අම්මා හදනවා අඩුයි.
සපරු ගෙදර වට්ටක්කා වැලක් සාමාන්‍යයෙන් හදාගන්නවා. හද්දා වැස්ස නිසා ගෙඩි නැතිවුණත් වැල සරුවට ලියලනවා. සමහර වැල් කොළ ඉහළගෙන යන්න පුළුවන් ගානට ඕසෙට හැදෙනවා. ඒක වෙන්නේ ඉතිං ඔය කුණු ගොඩක් අයිනෙන් එහෙම හිටෙව්වොත්. කොහොම හරි වට්ටක්කා කොළ හත්මාළුවට ගන්න නිසා අපි ඉතිං වට්ටක්කයාට ආලෙයිනේ. හැබැයි අපි හත්මාළුව කන්නේ අප්‍රේල් 14 වෙනිදට විතරයි. ඒත් ඉතිං වට්ටක්කා දළු මැල්ලුම අපි නිතරම කනවා. ඒක පුදුම රස මැල්ලුමක්. දල්ලට වඩා ජූසි පුරෝගත්ත දණ්ඩ පොල් එක්ක හැපෙනකොට එන චරස් රස තමයි රස.

අම්මාගේ දහදුරා මැල්ලුම
ඔහොම මැල්ලුම් හදාගෙන හදාගෙන, එළුවෝ කියලා හිතන් අපිට කොළම ගිල්ල ගිල්ලා මාර සතුටක් ගන්න අම්මා සමහර දවස්වල හැදුවා අමුතු මැල්ලුමක්. ඒකට අම්මා කිව්වේ දහදුරා මැල්ලුම කියලා. ඉස්සර අපිට කොහේහරි ගිහිං පරක්කුවෙලා රෑ දෙගොඩහරියේ එහෙම ආවාම අම්මා අහනවා “මොන දහදුරාවෙද බන් ගියේ ලොක්කෝ” කියලා. මම හිතන්නේ මේ දහදුරා මැල්ලුම එන්නෙත් මෙතනින් වෙන්න ඇති. මේ දහදුරා මැල්ලුම අපේ අම්මා හැදුවේ ඔය කිසි කොළයක් තනියෙන් හදන්න බැරි විදිහට හිඟ වුණාම.
ඉතිං මේකයි කළේ; මුලින්ම අම්මා මිදුල වටේ රවුමක් යනවා ඇතුල්පතත් ඉනේ ගහගෙන. ගිහිං මුලින්ම වැටේ හිනාවෙන කෝප්පයාගේ තුනටියෙන් කඩලා අරගෙන ඒකෙන් හොඳ ලපටි දල්ලක් දෙකක් කඩලා අරගෙන ඒක දාගන්නවා ඇතුල් පතට. ඊටපස්සේ ඔන්න තව සුට්ටක් එහාට යනකොට දඹලයා අර සඳුන් ගහේ එතුණු සමන් වැල වගේ උඩට ගිහිං, කඩාගන්නවා දළු කොළ ටිකක්. තව ටිකක් එහාට යනකොට අනේ කරල් දෙන්නෙත් නැති ඔහේ ඉන්නවට ඉන්න කේඩෑරි මෑ වැලේ බොහෝම අමාරුවෙන් උඩට ආපු දල්ලට දෙනවා සොට් එක. ඊළඟට තවත් එහාට යනකොට පැෂන් වැල හම්බවෙනවා, “ගෙඩියක් දෙන්නේ නෑනේ ළමයෙක්ට ආසාවට කන්න” කියලා පැෂන් වැලට බැන බැන දළු දෙක තුනක් කඩාගන්නවා.
ඔහොම ගේ වටේ හක්කලන් ගහනකොට බිම වාඩිවෙලා ඉන්නවා නේද ඔය කුප්පමේනිය, ගල් කූර, වෙනි වැල්ල, මොනරකුඩුම්බිය වගේ ඇච්චෝ බැච්චෝ; උන්දැලත් කඩලා කරලා ගන්නවා ඇතුල් පතට. එහෙම රවුමක් ගිහිං එනකොට ඉතිං ඇතුල්පතේ ඕසෙට කොළ, ඕකේ නැත්තේ නයි කොළ විතරක් වෙන්ඩත් පුළුවන්. ඊටපස්සේ ඉතිං ගෙදර පල්ලමේ ඉමේ කොස් ගහට ගිහිං කොස් දළු හත අටකුත් කඩාගන්නවා. කොස් දල්ල කියලා කියන්නේ තනියෙන් උනත් කන්න පුළුවන් රසම රස මැල්ලුමක්. ඊටපස්සේ එතන තියෙන මංචාඩි ගහෙනුත් දල්ලක් දෙකක් කඩාගන්නවා.
ඕක ඉතිං ගෙනල්ලා හෝදන්නේ නෑ, හරිම ආදරෙන් කොළේ කොළේ දිග ඇරලා බලනවා. ඇත්තටම ඉස්සර එහෙම හෝදන්න කියලා දෙයක් ඇත්තෙත් නෑ. ඔය පිටි මකුණෝ වගේ හිටියොත් හොඳට හෝදලා කිරිගොට්ටේ දාලා තියෙනවා දිය බහින්න. ඊටපස්සේ ඉතිං කැත්ත අරගෙන බිම දාගෙන පාගගෙන අර කොළ බූසිය හොඳට හවරිය වගේ එකතු කරලා අරගෙන, හරියට මැදින් කපලා ආයේ එකට එකතුකරලා ගුලියට අරගෙන හීනියට ලියන එක තමයි කරන්නේ. එහෙම ලියන්න බෑ ලේසියෙන්, ඒක මාර ලියවිල්ලක්. හීනියට ලියවිලා දහදුරාවේ ගිහිං කඩාගත්ත දහදුරා කොළ සේරම එකට එකතුවුණොත් තමයි රසම.
ඊටපස්සේ ඉතිං මේකට රතු ලූණු දානවා ඕසෙට. අපේ අම්මා රතු ලූණු නැත්තං කවදාවත් ලොකු ලූණු වලින් මැල්ලුම් හැදුවේ නෑ. ඊටපස්සේ ඉතිං මේකට හොඳට පොල් ගාලා දානවා. දාලා හොඳට පදමට ලුණු, කොළ මිරිස් වගේ දේවල් දාගෙන හොඳට අනලා ළිපේ තියලා එහෙට මෙහෙට දාලා කොළපාට යන්න කලින් බාගන්නවා.
මෙන්න මේ බාගැනිල්ලත් හරිම වැදගත්. මෙහෙම බානකොට හට්ටිය කොච්චර වෙලාවක් රස්නෙන් තියෙයිද කියලා ඔයාට දැනුමක් තියෙන්න ඕනෑ. එහෙම ලොකු රස්නයක් තියෙනවා නම් පොඩ්ඩක් කූල් වෙනකම් බාලත් එහෙට මෙහෙට කරන්න ඕනෑ, නැත්තං මැල්ලුම් කරවෙලා යන්න පුළුවන්. කොළේ අස්සේ තියෙන හරිතප්‍රද ටික යාන්තම් මෙළෙක් වෙනකොට ළිපෙන් බාගන්න එක තමයි මැල්ලුමේ පදම.
ලබන සතියට අටසීයක් කොළ උයලා වගේම සම්බෝල කන හැටි ගැන ලියන්නම්. මේවා සපරගමුවට විතරක් විශේෂ වුණ කෑම හරිද?
-කේ. සංජීව –






