‘කළුගු මලෙයි නාදනේ කන්දනේ කුමරනේ
උන්දන් පාටෛ පාඩුවේන් අරුල් තාරුම් මුරුගනේ
තින්දිනක්ක තින්දිනක්ක තිරුවඩි සරණමේ’
තාලයට ගැයෙන භජන් ගීතයක්. ‘ලිහිණි කන්දේ වැඩසිටින කතරගම දෙවියනේ, මම නුඹේ ගීතය අර්ථවත්ව ගායනය කරමි…’ කාමය, ධනය සහ බලය පසුපස හඹා යන ලෝකය මිරිඟුවක්.. ඒ මායාවෙන් මිදීමට ඇති එකම මඟ ඊගෝව සම්පූර්ණයෙන්ම දෙවියන් පාමුල අතහැරීම බව නෙක හඬින් ගයමින් මහ ඝන වනය තුළ බලාපොරොතු පොදි බැඳන් මිනිස්සු ලිහිණි කන්දට ඇදෙනවා.
ඇසළ සඳ අහසේ රටා මවවා… මේ ඇසළ මහයි (ආඩි). ඔකඳ දේවාලයේ සුදු වැලි තලාව මත තැනින් තැන මිනිස්සු පොකුරු පොකුරු හිඳ තාලයට භජන් ගයනවා. එතකොට ගයන බජන් ගීත වෙනස්. ඒවාට ගමන් තාල නෑ. ඊටවඩා ශාන්තයි. මන්දගාමීයි. ගිනිමැල සුළඟට ලෙළ දෙමින් සට සට ගා ඇවිළෙනවා.
පාන්දර පූජාවට ලෑස්ති විය යුතුයි. පැණි කිරිබත් (පොංගල්), පලතුරු, තැම්බූ කඩල ලෑස්ති කරනවා. දැල්වෙන මැල වටේට මිනිස්සු භජන් කියනවා… සේරම කතරගම දෙවියෝ ගැනමයි. හෙට උදේට කැලයට ඇතුළු වෙන්න ඕන. කැලයේ රුදුරු වනසතුන්… ආරක්ෂාව දෙවියන්ට භාරයි… පූජාවේ නිමිත්තත් ‘අනේ අපිව සුරකින්න කන්දෙ දෙවියනේ…’ කියන එකම තමයි. ඊටපස්සේ ඔවුන් කැලේ මැදින් වැටිල තියෙන දශක ගණනක් පැරණි මඟ පසුකර යනවා ලිහිණින්ගේ කන්දට, පාද යාත්‍රාවෙන්ම, කඳසුරිඳු මුණ ගැහෙන්න.
මේ බජන් ගායනා ගැනත් චුට්ටක් කියන්නම්.. තිරුප්පුගල් කියලා තමයි කියන්නේ. 5 වැනි සියවසේ ජීවත් වූ අරුණගිරිනාදර් තුමා තමයි මේවා ලියලා තියෙන්නේ. කතාවේ හැටියට එතුමා ඉන්දියාවේ කෝවිල් 200කට වැඩියෙන් සරලා ගීත 16,000ක් විතර ලියලා තියෙනවා. කොහොමවුණත් අද ඉතිරිව තියෙන්නේ ගීත 1,300ක් විතර. ඉතිං එතුමා ලංකාවටත් ඇවිත් කෝනේශ්වරම් සහ කතරගම දේවාලය වන්දනා කරගෙන තියෙනවා. කතරගම දෙවියන් වෙනුවෙන් එතුමා තිරුප්පුගල් ගීත කිහිපයක්ම රචනා කරලා තිබෙනවා. කතරගම දකුණු ඉන්දීය හින්දු භක්තිකයෝ අතරේ ජනප්‍රිය වෙන්නත් මේක එක හේතුවක්. මේවා අතුරු කතා ඒත් ඉතිං පාද යාත්‍රාව අස්සේ ඒ ඉතිහාසය අස්සේ මේවා සැඟවෙලා තිබෙනවා.
මම කාලයක් පහළ ඌවේ වැදිපත්තුවේ මෙහෙම හක්කලන් ගහා ගහා එක එක ජනකතා එකතු කළා. ඒ අස්සේ මම දවසක් කුඹුක්කන හන්දියෙන් බැහැලා නියදැල්ලට ගිහිං එහෙන් කෑලේ ගතවෙලා බැටරිය පැත්තෙන් කතා බතා එක්කාසුකරගෙන මළුවලට පුරෝ පුරෝ සියඹලා දේවාලයට ගියා. කතරගම දෙවියෝ භාවනානුයෝගීව තවමත් මෙතන ඉන්නවා කියලා තමයි මිනිස්සු හිතන්නේ.
මුලින්ම දඩයක්කරුවෝ තමන්ගේ දඩයමෙන් ලේ ගොටුවක් උරාගෙන මෙතන දෙවියන්ට පිදුමක් විදිහට තියලා ගිහිං තියෙනවා ඒක තමයි සියඹලා දේවාලයෝ ආරම්භය. සමහරුන් කියන විදිහට කතරගම දෙවියෝ ඔකඳින් ලංකාවට ආවාම වල්ලි අම්මා හොයාගෙන මේ සියඹලා දේවාලය තියෙන කැබලිත්ත පැත්තේ ඉන්නකොට අපේ හිංගල මාමා කෙනෙක් තමයි උදව්වට ඉදලා තියෙන්නේ. එතුමා තමයි තවමත් මෙතන සියඹලාවෙ ඉන්නේ කියලත් කියනවා. කොහොමවුණත් මට කියන්න ඕනෑ උනේ කතරගම එක්ක බැඳුන භාවනා කතාවක් තියෙනවා අන්න ඒක මේ පාදයාත්රාව අස්සෙත් තියෙනවා කියන එකයි. දකුණු ඉන්දීය හින්දු භක්තිකයෝ කතරගම සලකන්නේ අධ්‍යාත්මික භාවනාමය සහ ගුප්ත තැනක් විදිහට.
මෙහෙම කතරගම භාවනා ඉතිහාසය එළිකරගෙන අතීතයට යනකොට කල්‍යාණගිරි ස්වාමි නැත්තං මුත්තුලිංග ස්වාමි කියලා තාපස චරිතයක් ගැනත් කියවෙනවා. මෙන්න මේ නිසා තමයි දකුණු ඉන්දීය බැතිමතුන් කතරගම මහා තාපසවරුන්ගේ භූමියක් විදිහට සලකන්නේ. භාවනා කරලා අධ්‍යාත්මික විමුක්තිය ලබාගන්න ඇහැක් තපෝවනයක් තමයි කතරගම කියලා කියන්නේ.

එහෙනම් අපි ආයෙත් පාද යාත්‍රාවට නඟිමු..!
කතරගම දෙවියන්ට නම් ගොඩක් තියෙනවා. එයාල ඒ නම් මුලට දාලා “හරෝ හරා” අගට දාල එක හඬින් කෑගහනවා. හරෝ හරා කියන්නේ ‘අර+හර’ කියන එකෙන් හැදිච්ච වචනයක් කියනවානේ. අර කියන්නේ පව්. හර කියන්නේ නැතිවීම නැත්නම් කැපිලා යෑම. ඉතින් මේ අර+හර එකතුවෙලා අරෝ හරා… ඒක පස්සේ කලෙක හරෝ හරා වුණා කියලා කියනවා. පව් සේදීම ගැන තමයි මේ හඬ අපිට කියන්නේ. අරෝ හරා හරෝ හරා..!
ගොඩක් දමිළ බැතිමතුන් කතරගමට දිවෙන පාද යාත්‍රාව පටන් ගන්නේ ඔකඳ දේවාලයෙන්. යාපනයේ සෙල්වසන්නිධි කියන කතරගම දෙවියන්ගේ කෝවිලේ ඉඳලම ගමන පටන් අරගෙන පයින්ම කතරගමට එන උදවියත් ඉන්නවා. එයාලා නම් ඉතින් ගමන පටන් ගන්නේ මැයි මාසේ. මේ පාද යාත්‍රාවට එක්වෙන ගොඩක් දෙනා කප් සිටුවීමට කතරගමට එන්න තමයි හිතන්නේ. තවත් කට්ටියක් උත්සවය අතරමැද වෙනකොට කතරගමට එනවා. තවත් අය දිය කැපීමේ මංගල්‍යය වෙනකොට කතරගමට එනවා.
ඔකඳින් පටන් අරගෙන කොච්චිපතාන (පුල්ලෙයාර් අඩි) වෙනකම් ඝන කැලේ. කැලයට ඇතුළු වෙන්න කලියෙන් කැලේ කොපමණ දවසක් රැය පහන් කරනවාද කියා සිතන්න ඕනෑ. ඒ අනුව තමයි කඳමළු බඳින්නේ… වැඩි බර ගමනට විඩා දෙනවා. සැතපුම් සීයකට වඩා දුෂ්කර ගමනක්. සැහැල්ලු ඇඳුම් අඳිනවා. ගැහැනු නම් සල්වාර්. කහපාට පඬුපාට ගොඩක් වෙලාවට පේනවා. පිරිමි නම් සාමාන්‍යයෙන් වේට්ටියක් අදිනවා.
කතරගමට පයින් යන මේ ගමනේ වේගයත් භක්තිය මත තීරණය වෙනවා කියලා තමයි එයාලා නම් කියන්නේ. ගොඩක් හෙමින් කාලයක් අරගෙන ගමන යන්නේ භක්තිය වැඩි කට්ටිය කියලා තමයි කතාව. ඒකත් භාවනාවක් වගේ පියවි සිහියෙන් කරන අය ඉන්නවා. ඒකයි වැදගත්.
ඒ කොහොම වුණත් සමහර කාණ්ඩ මේ ගමන දින පහෙන්, හයෙන්, අටෙන්, දහයෙන් නිම කරනවා. එක ලොකු කණ්ඩායමකට දෙසීයක් වගේ ඉන්න අවස්ථාත් තියෙනවා. ඒ දෙසීය ඇතුළෙත් පහෙන් හයෙන් සැදි පුංචි පුංචි කණ්ඩායම්. දෙවියන්ට කැපවෙච්ච දේවල් විතරක් කතා කරනවා කියලා දෙවියන්ට පොරොන්දු වෙලා ඔකඳින් කැලේට ඇතුළු වෙන මේ කට්ටිය ගමන පුරාවට ඒ පොරොන්දු ආරක්ෂා කරනවා. එතකොට දෙවියෝ එයාලව ආරක්ෂා කරනවා. අලි කොටි වලස්සු ළඟටම එනවා. එයාලා හරෝ හරා කියලා කෑගානවා. එතකොට එයාලා කැලේ ඈතට ඈතට යන්න යනවා.
ගමනේ සමහර වෙලාවට වහිනවා. සාමාන්‍යයෙන් ඇහැළ මාසේට කුමන පානම වගේ පැතිවලට පායනවා. අව කාලයේ වහින මේ වැස්සට එයාලා හරෝ හරා කියලා සද්ද කරනවා. එතකොට වැස්ස තුරල්වෙලා ආකාසේ ආයෙත් නිලට හැරෙනවා. මේ හැමතැනම කඳසුරිඳු ඉන්නවා කියලා එයාලට මේ ගමනෙදි හොඳටම දැනෙනවා.
පාද යාත්‍රාවට බොහෝ දෙනෙක් එකතු වෙන්නේ බලාපොරොත්තු පොදි බැඳගෙන. එයාලා ඒ බලාපොරොත්තු එයාලගේ සැහැල්ලු පොදි ඇතුළෙම හංගාගෙන කතරගමට අරගෙන යනවා. සමහරු යන්නේ විවාහයට හොඳ කෙල්ලෙක් ලැබෙන්න කියලා. සමහරු හොඳ රක්ෂාවක්. සමහරු හොඳ පවුල් ජීවිතයක්. සමහරු තමන්ට තියෙන අපල දුරුවෙන්න, ලෙඩ රෝග අඩුවෙන්න කියලා මේ යාත්‍රාවට එකතු වෙනවා. බොහෝ දෙනෙක් අතරේ විශ්වාසයක් තියෙනවා කතරගම දෙවියෝ කතරගමට යනකොට මේ බලාපොරොත්තු පොදියට පණ අරන් දෙනවා කියලා. ඉතින් කාලයක් තිබුණ රෝගයක් වුණත් මේ පාද යාත්‍රාවෙන් පස්සේ සනීප වුණ කට්ටියත් ඉන්නවා.
මේ ඝන කැලේ එයාල හැමතැනම නතර වෙන්නේ නැහැ. නතරවෙන්න පාරම්පරිකව ගොඩනැගිච්ච නිශ්චිත තැන් තියෙනවා. ඒ තැන් ගොඩක් ලස්සනයි. සමහර තැන්වල දේවාල කෝවිල් තියෙනවා. දෙවියෝ වැඩ සිටිනවා. සමහර තැන්වල භූතයොත් ඉන්නවා. ඒ වගේ තැන්වලදී එයාල පය ඉක්මන් කරනවා.

ඔකඳින් පටන් ගත්තාම ළිඳ ළඟ, කුඹුක්කන් දේවාලය, පළටු වෙට්ටු, නාවලඩි, තොලයාපොළ වෙට්ටු, කල්ලවියාල, වියාල (යාල), වරහන (වල්ලි අම්මාහාර්), කදිරමලෙයි කන්දසේවට්, පුල්ලෙයාර් අඩි (කොච්චිපතාන) යන තැන්වල එයාලා නතරවෙන්න පුරුදු වෙලා. මේ ගමන සමහරු මේ යන්නේ දහදොළොස්වෙනි වතාවට. හරියට අපි සිරීපාදේ කරුණාකරනවා වගේ.
මේ යන ගමනේ මේ විශේෂ තැනුත් තියෙනවා. කුඹුක්කන් පත්තිනි දේවාලයට එයාලා අනිවාර්යයෙන්ම පූජාවක් තියෙනවා. නාවලඩි කියන්නේ බොහොම බය හිතෙන භූත දෝෂ තියෙන තැනක්. මෙතන හොල්මන් අවතාර එහෙමත් තියෙනවලු. මෙතන තියෙන බහිරව දේවාලයට එයාලා වතාවත් කරලා පය ඉක්මන් කරනවා. හැබැයි මෙතන රැඳෙන්න කැමැති බය නැති කට්ටියත් ඉන්නවා කියලා තමයි කියන්නේ.
මෙතනින් පස්සේ තමයි ඉවරයක් නැති කැලේ හම්බවෙන්නේ. එතැනට කියන්නේ තොලයාපොළ කියලා. ඒ වචනේ තේරුම තමයි ගමන ඉවර වෙන්නේ නැති තැන කියන එක. ඉතින් එයාලා මේ ගමන ඉවර වෙන්නැති තැනින් නැවුම් බලාපොරොත්තු එක්ක නැවත ගමන පටන් ගන්නවා. නවතින්න පුරුදු වෙලා ඉන්නේ ගොඩක් වෙලාවට මැණික් ගඟ නැත්නම් කුඹුක්කන් ඔය අසබඩ. සමහර නවතින තැන් සෙවණ ගහන තැනිතලාවල්. සමහර තැන් ගඟ මැද සුදුවැල්ල. මේ කොතැනක වුණත් ගිනිමැලයක් දල්වලා ඒක වටේට රෙදි එළලා නිදා ගන්නවා. සමහරු දවසම ඇහැරලා ඉන්නවා. ගොඩක් වෙලාවට කාන්තාවෝ මැදිකරලා පිරිමින් වටේට ඉන්නවා. ඒක ආරක්ෂාවට.
වරහන කියන තැනේදී දේවතා එළි පේනවා කියනවා. ඒ වගේම වරහන කියන්නේ ප්‍රසිද්ධ වලස් තිප්පොළක්. එයාලත් නිතරම මෙතැනදි බැතිමතුන්ට මුණගැහෙනවා. හරෝ හරා කියන දෙවියන්ගේ නම අගට දාලා ශබ්ද කළාම එයාලා වතුර බීලා පාඩුවේ කැලෑ වදිනවා කියලයි කියන්නේ.
මේ ගමනේ හුඟක් සතුටු හිතෙන තැන තමයි කදිරමලෙයි කන්දසේවට් කියන්නේ. ඒකේ තේරුම තමයි වැඩිහිටි කන්ද පෙනෙන තැන කියන එක. ඉතින් සතුටු නැද්ද. ඒ කියන්නේ කතරගම සුරිඳුගේ දිහාවට ඇවිත් කියන සුබ ලකුණ. හරියට ඒක මඟ කියන තාරකා එළියක් වගේ.
ඉස්සර මිනිස්සු සමහර වෙලාවට තාරකා වගේම මේ කන්දත් මතක තියාගෙන කැලේ එන්න ඇති. පස්සේ මෙයාලා එනවා පුල්ලෙයාර් අඩි තියෙන තැනට. අපි නම් අද කියන්නේ කොච්චිපතාන කියලා. මෙතැන ගණ දෙවි කෝවිලක් තියෙනවා. ඒකෙදි ගණ දෙවියන්ට පූජාවක් තියෙනවා. කොහොම වුණත් හින්දු දේව විශ්වාසය අදහන බැතිමතුන් මුලින්ම වඳින්නේ ගණ දෙවියන්ටනේ. එයා නුවණට අධිපති වගේම කඳසුරිඳුට අයියා වෙනවා කියලත් කියනවා.
කතරගමට යන බැතිමතුන් මැණික් ගඟේ ශුද්ධ ජලය ස්නානය කරලා කෙළින්ම යන්නේ කතරගම දෙවියෝ දැකබලාගන්න නෙවෙයි. මුලින්ම යන්නේ සෙල්ල කතරගමට, ඒ ගණ දෙවියෝ මුණගැහෙන්න. ඊටපස්සේ තමයි කතරගම දෙවියන් ළඟට එන්නේ.
කතරගමට ලියවුණ තිරුප්පුගල් ගීතවලින් මූලිකවම වර්ණනා කරන්නේ මැණික් ගඟ, යාල ඝන කැලය සහ වල්ලි – කඳසුරිදු ප්‍රේමය ගැන කියලා තමයි කියවෙන්නේ. ‘නිරන්තරයෙන් ගලා බසිනා වූ, පවිත්‍ර වූ සිහිල් දිය දහරින් යුත් මැණික් ගංගාව අසල වැඩ වසන දෙවිඳුනේ… මගේ සිත තුළ ඇති බිය, සැකය සහ මරණය පිළිබඳ චකිතය නැති කර, මට පරම සත්‍යය අවබෝධ කරගැනීමේ ඥානය ලබා දුන මැනවි. අසුරයන්ගේ අහංකාරය බිඳ හෙලූ බලගතු වේලායුධය දරන්නා වූ, මොණර වාහනය මත වැඩ සිටින්නා වූ කතරගම ශ්‍රේෂ්ඨ දෙවිඳුනේ, මාගේ ආත්මය සසර දුකින් මුදාගෙන ඔබ වහන්සේගේ ආලෝකය වෙත යොමු කරගනු මැනවි.’ වගේ තේරුම් තමයි ඒ ගීතවල තියෙන්නේ.
කොහොම වුණත් මැණික් ගඟේ දිය නෑමෙන් පස්සේ පාද යාත්‍රාව අවසන් වෙනවා. මෙතැනදී පිරිමි බොහෝදෙනෙක් හිස බූ ගානවා. මැණික් ගඟෙන් ගොඩට එනකොට කකුල් කෙඩෙත්තුව වගේ සියලු රෝග නිවාරණයි කියලා ඔවුන් කියනවා. හරියට අපි සීතගඟුලට බහින්නැහේ..!
සමහරු මේ කාෂ්ඨක පොළොවේ මුළු ගමනම පාවහන් නැතුව ගෙවා දමනවා කියනවානේ. ඒකෙන් ඔවුන් දෙවියන්ට ඔප්පු කරලා පෙන්නනවා තමන්ගේ භක්තිය. දෙවියෝ පැහැදෙනවා. මේ වගේ දුෂ්කර ක්‍රියාවකින් තමන් කරපු යම්කිසි පවක් තියෙනවා නම් ඒක සේදිලා යනවා කියලත් හිතනවා.
ජීවිතේ ආයෙත් අලුත් වෙනවා. පරණ කුණු මැණික් ගඟේ පාකරලා දෙවියෝ ඉෂ්ට කරන නැවුම් බලාපොරොත්තුවලින් ඇසළ සඳට පස්සේ මෝරන හඳ දිහා බලනවා. කාලය ගෙවිලා යනවා. ආයෙත් ඇසළ සඳ එනවා. ඔවුන් රොද බඳිනවා ඔකඳට නැවතත් කඳ සුරිඳුන් දකින්නට…
-කේ. සංජීව-
විශේෂ ස්තූතිය – සරෝජා දේවනායගම්
බොහෝ කාලෙකට කලින් මේ මඟ ගෙවා ඇවිත් ලියපු ලිපියක්. මේ පාද යාත්‍රා සමය නිසා මෙහෙම ආයෙත් සයිබර් අවකාශයේ පාකරන්න හිතුවා. අවුරුදු 10කට එහා මේ කතාවේ සමහර තැන් දැන් වෙනස් වෙලා ඇති..!






