සපරුන්ගේ කැලේ කොළේ කෑම ආලේ..!

k foods

කැලේ කොළේ මාළුව ඕසෙට කන ජාතියක් ඉන්නෝ නම් මේ ලංකාවේ.. ඒ සපරුන් තමයි. සපරගමුවේ මිනිස්සු තරම් කැලෙන් අහුලන් කාපු ජාතියක් තවමත් කන ජාතියක් මේ සිරි ලංකාවේ නැතුව ඇති. ඉතිං මේ කියන්න යන්නේ දැනටත් කාටහරි ඕනෑ නම් කැලේ ගිහින් හොයං කන්න පුළුවන් කෑම ජාති ටිකක්.

සපරගමුව කියලා කියන්නේ ඉතිං වගුරක් නෙව. වගුරට උඩින් බලාගෙන කොකං පාගෙන ඉන්නේ කඳු. ඒවායේ තවමත් තිබෙන්නේ කැලෑ බූසි. ඉතිං මේ කැලෑ තොප්පිය අස්සේ අරුම කෑම තමයි තිබෙන්නේ. මම ගිය දවසක ලිපියක ලිව්වනේ හල් ගැන. හල් කියන්නෙත් එහෙම කැලෙන් ඇහිඳගෙන නැත්තං කඩාගෙන එන කැලෑ ගෙඩියකට. අම්මෝ එහෙමට කෑම අපි කොහොමට නම් කාලා ඇත්ද? දැන් මම කොළොම්තොටේ ජීවත් වුණත් සමහර දවසකට මහරගම පොළට ගියාම හිනාවෙලා ඇස් දෙක උදුරගන්න බරකොකු, මියන දළු, හීන් බෝවිටියා වගේ කොළ ජාති පේනකොට මට දුවන්න හිතෙන්නෙම රත්නපුරේට.

මියනකොළ, බරකොකු, හීන් බෝවිටියා වගේ කැලේ කොළේ දැන් ටිකක් ජනප්‍රියයි. ඒකට හේතුව මේවා එක එක බහුල රෝග වලට ගුණයි කියලා පැතිරෙන කතාබතා. ඉතිං මම මේ කියන්න යන කෑමත් ගුණයි හොඳේ. කාලා බලන්න අහුවුණොත්.

මම මෙහෙම ලිස්ට් එකක් ලියන්නම්කෝ, මුලින්ම මෙන්න කියවගෙන යන්න. හිතලා බලන්න කීයක් ජාති කාලා තියෙනවාද කියලා. ගල්කූර මාළුව, වෙනිවැල්ල මාළුව, අලකොළ මාළුව, මොනරකුඩුම්බිය මැල්ලුම, මදටිය කොළ මැල්ලුම, කැකිල්ල දළු මාළුව, කටු අනෝදා මාළුව, කඩු පහර මැල්ලුම, දිය හබරල මැල්ලුම, කැබෙල්ල දළු මාළුව, ගෙඩි මුරුංග මාළුව, බෙරලිය මාළුව, තෙඹු බඩ මාළුව, බරකොකු මාළුව, කුරුම්බ කහකඩ මාළුව, කොට්‍ටම්බ මද මාළුව, තිත්ත ගෙඩි මාළුව, රඹමුව පීකුඳු මාළුව, පොල් බඩ මාළුව, කිරිහැන්ද මාළුව, මඬු දළු මාළුව, මියන දළු මාළුව, කිතුල් බඩ මාළුව, හිඟුරල මාළුව, දෙල් කොස් මාළුව (ඉන්දියන් දෙල් මාළුව), ඉන්දියන් දෙල් මැල්ලුම, රාජා අල මාළුව, කටු අල හොද්ද, කටු අල මල් බැඳුම, ලාඩප්පා මල් බැඳුම, බේදුරා දළු මාළුව, කතුරු මුරුංගා මල් කිරිහොද්ද, කහ හබරල මැල්ලුම ඔය වගේ කප්පරක් මතකයෙන් ලියන්න පුළුවන්. මේවා හදාගන්න විදිහ වෙන වෙනම ලියන්න ආසාවක් තියෙනවා බලමු ඒක ඉතිං.

මේවායින් දෙක තුනක් හදන විදිහ ලියන්නම් ඉතිං. මම ආසම කෑමක් තමයි කැකිල්ල දළු මාළුව. කැකිල්ල කියලා කියන්නේ මීවනයක්. රත්නපුරේ පතල් කර්මාන්තය ගොඩනැගිලා තියෙන්නෙම ඕසෙට හැදෙන මේ මීවනය නිසා කියලා කියන්න පුළුවන්. පතල් බහිනකොට වළ වටෙන් පස් කඩාගෙන වැටෙන එක වගේම වතුර කඩාගෙන බිඳගෙන එන එක නතර කරන්නත් ගන්නේ මේ කැකිල්ලයා තමයි. ඉස්සර අපේ ගෙදරට උඩහා කන්දේ ඕසෙට තිබුණ කැකිල්ල ලන්දේ තමයි අපි තාරාඩෙ සෙල්ලම කරන්නේ. කැකිල්ල කියන්නේ ඉතිං හැංඟිලා ඉන්න කියාපු වදුල්. ඉතිං ඕසෙට හැදෙන මේ පඳුරු පඳුරු ගස් ගොමුවේ උඩට උඩට ඩෙංකුටු වගේ මතුවෙන කැරැන් කොකු දල්ල තමයි කෑමට ගන්නේ. කඩලා ගෙනල්ලා මුලින්ම කරන්නේ ගොරකා පත්තක් දෙකක් ලුණු ටිකක් දාලා තම්බන එක. ඊටපස්සේ පෙරළා අරගෙන මිරිස් තුනපහ හොඳට කබලේ බැදලා කරලා ඒකට මේ කැකිල්ලයා දාලා හොඳට මිටි කිරි දාලා ඒකට ගම්මිරිස් සුදුලූණු තක්කාලි වගේ දේවල් යහමින් දාලා ළිප තියලා සැහැල්ලුවේ හෙමිහිට නටන්න දීලා වහලා නළවලා නිදිකරවලා ගත්තාම කැකුළු හාලේ බත් කන්න පුළුවන් ඉස්මුරුත්තෙට එන්න.

ඊටපස්සෙ බරකොකු නැත්තං ඩෙංකුටු කියන එකත් එහෙම තමයි උයන්නේ. මේක ටිකක් සෙවල නිසා හොඳට තම්බලා මිරිකලා තමයි ගන්න ඕනෑ. ඔය ආතරයිටීස් වගේ සන්ධි රෝග ගොඩකට බණ්ඩක්කා වගේ සෙවල මේ ඩෙංකුටුවා හොඳයි කියලා කියන නිසා අද නගරයේ නාගරිකයාත් මේක ගෙනිහින් අමාරුවෙන් හරි කනවා. ඒත් හොඳට තම්බලා හොඳට කිරි දාලා ඊටපස්සේ හොඳට අබ, ලූණු, සුදු ලූණු එක්ක තෙලට හලලා ගත්තා නම් ආයේ අමාරුවෙන් කන්න දෙයක් නෑ. නිකං උනත් කටට හලාගන්න පුළුවන්.

මොනරකුඩුම්බිය කැඳ හරි ජනප්‍රියයි මහරගම අපේක්ෂා රෝහල ඉස්සරහා. මම දවසක් ඒ කැඳ කඩේ අක්කගෙන් ඇහුවා මේක ඇයි මෙච්චර මිනිස්සු හොයන්නේ කියලා. එතකොට මට ලැබුණු උත්තරය තමයි රුධිර පට්ටිකා නග්ගලා හදලා කොරලා ගන්න මේක කියාපු ඖෂධය කියලා. ඒක ඇත්ත වෙන්න ඇති. වල් කොත්තමල්ලියා තම්බලා බිව්වාම බලාගෙන ඉන්නකොට සීනි බහිනවා වගේ මේකා කැඳට හදලා බිව්වාම බලාගෙන ඉන්නකොට රුධිර පට්ටිකා නැඟලා එනවා ඇති. පිළිකා රෝගීන්ට කීමෝ ප්‍රතිකාරය දෙනකොට ඇඟේ ලේ හිඳෙනකොට මේක හොඳ බෙහෙතක් වෙන්න ඇත්තේ ඒකයි. ඒත් ඉතිං ආයිබෝන් මේක අපි කැඳ විතරක් නෙවෙයි බිව්වේ, මැල්ලුමට කෑවා විතරක් නෙවෙයි, හොඳ උකු හිරි හොද්දට කරටි වීසි කරලා මාළුවටත් උයලා කෑවා. ඒක නිසා වෙන්න ඇති තවමත් ඉහෙන් බහින රෝගයක් නැත්තේ. මොණරකුඩුම්බියා කියලා කියන්නේ ගෙදර මිදුල වටේ රවුමක් ගියාම අතට අහුරක් කඩාගන්න පුළුවන් සුලබ යාළුවෙක්.

ඉස්සර මම කන්න ආසම මැල්ලුමක් තමයි ඉන්දියන් දෙල් මැල්ලුම. සමහර පළාත්වල මේකට කියන්නේ කොස් දෙල් කියලා. නිකං දූරියමක් වගේ කටු තියෙන මේ දෙලේ මාරම රස දෙලක්. පිට පොත්ත රැහැලා හොඳට පිහියෙන් කොටලා ඇතුල්පතකට ගාලා ගත්තා නම් ඉතිං වැඩේ ලේසියි. ඊළඟට ඉතිං හොඳට පොල් ගාලා ඒකට කොච්චි, සුදු ලූණු, රතු ලූණු, ගම්මිරිස්, රතු මිරිස් එකට අඹරගෙන ඒක මේ ඉන්දියන් දෙල් හාදයා එක්ක හොඳට කලවම් කරලා මිරිකලා මික්ස් කරලා පොඩ්ඩක් ළිප තියලා මද රස්නේ සනහලා ගන්න විතරයි තියෙන්නේ. කන්න පුළුවන් බඩ පැලෙන්න. ඉස්සර අපි සුදු බතුයි ඉන්දියන් දෙල් මැල්ලුමකුයි හදලා අඩුවට කෑලි කරවලයා හොද්දක් ගහනවා, අම්මෝ අම්මෝ තමයි අන්තිමට..!

කටු අල කියන්නේ හරි රස අලයක්. ඒත් ඉතිං මේකා හාරලා පොළොවෙන් උඩට ගන්න එක ලේසිපහසු වැඩක් නෙවෙයි. කෙන්දක් වගේ යටට යටට බැහැලා පාරු ගල කිට්ටුවට ගිහිං තමයි පොඩ්ඩක් මහත්වෙලා ඔහේ හොරා වගේ ඉන්නේ. ඉතිං ටිකක් ටිකක් පහළ හාරනකොට ඉවසීම අඩුවෙනකොට, යකඩ පාර කෙඳි අලයාට වදිනකොට, අලයා කැඩිලා සුකුඩු වෙලා යනකොට අපි අනේ බම්බුව කියලා වැඩේ නතර කොරනවා. ඒත් ඉතිං අල්ලගෙන ළිඳ වගේ ගේම ගැහුවොත් අලයා ගලෝගෙන රසට කන්න පුළුවන්. ඒත් ඉතිං ඒක ලේසි නෑ. ඒත් ඉතිං අලයා පොළොවේ අඩියට අඩියට යනකොට වැල දිගට දිගට ගස්වල එතෙනවා, වැල් ගාලක් වෙනවා, පස්සේ ඉතිං අතු ඉති පුරෝලා මල් එල්ලගෙන හිනාවෙනවා. එතකොට අපේ අම්මා කරන්නේ ඇතුල්පතකට මල් කඩාගෙන එනවා, ඇවිත් රට ලූණු හාල් මැස්සෝ බැදුමට කරවෙන්න සිටි සිටියේ තියලා ටිකක් වෙලාවකින් අර මල් ගොමුව ඒකට අතෑරලා තියලා ගන්නවා. අම්ම්මෝ රස බිත්තර වගේ කන්න පුළුවන්. මේකට හාල් මැස්සෝ නැත්තං හොඳටම දාන්න ඕනෑ උම්බලකඩයා, එතකොට තමයි මාරම රස වෙන්නේ. අබ, ගම්මිරිස් පදමට සෙට් වුණොත් මීට වඩා රස බැදුමක් තවත් නෑ හරිද..!

සපරගමුවට චුරු චුරුව නැති කාල හරිම අඩුයි. හැබැයි හොඳට අව්ව පායන කෙටි කාලවලට සපරුන් අරින්නෑ හේන් කොටනවා. එහෙම කොටලා ගිනි තියනවා. ගිනි තියලා ටික දවසක් ගියාම, පොඩි වැහි අල්ලක් හලාගෙන ගියාම මුලින්ම මතුවෙන්නේ ගල්කූර, ඊළඟට වෙනිවැල්ල. මුන් දෙන්නා හරියට රයිගමයයි ගම්පොළයයි වගේ තමයි. ඉතිං අපි මුන් දෙන්නටම ආදරෙයි. මොකද මුන් දෙන්නම හරිම රසවත්. ගුණවත්. අපි ඉතිං මිටියට කඩාගෙන ආවාම තියහන් ලොකු පුතේ පරිප්පු ටිකක් ගෙනල්ලා හදමු කියලා අම්මා කියනවා. රතු පරිප්පු එක තැම්බීගෙන එනකොට මේ හාදයෝ දෙන්නා ඒකට කඩලා හරි කෙටියට කපලා හරි දැම්මාම මාරම රහයි. ඔය පරිප්පුවලට නිවිති දැම්මා වගේ නෙවෙයි හරිද? මේක තනිකර කිරට හදාගන්න කෑමක්. ඊටපස්සේ හට්ටියේ මාළුවට ටික ගොජ ගොජ ගානකොට මැටිකෝප්පෙට බාගෙන හට්ටිය ගින්නෙන් වේලෙනකොට ඒකට දාගන්නවා අබයා. ඌ සට සට ගාලා පිපිරෙනකොට හැන්දෙ පිටපැත්ත තියලා උගේ ඇඟ උඩින් පොඩ්ඩක් තදකරලා අතුල්ල ගන්නයි තියෙන්නේ. ඊටපස්සේ ඒක උඩට පොල්තෙල් ටිකක් දාලා ඒක හොඳට නටනකොට ඒකට දානවා ඕසෙට ලොකු ලූණු රවුම්, කරපිංචා, සුදු ලූණු, වියළි මිරිස් කරල් ටිකක්. උම්බලකඩ තියෙනවා නම් ඒකත් මරු, දාගන්නයි තියෙන්නේ. ඊටපස්සේ හොඳට රන්වනට සුවඳට බැදීගෙන එනකොට ඒකට අර අයින් කරගත්ත පරිප්පුවා එක්ක කලවමට උයාගත්ත ගල්කූර මාළුව දාගන්නයි තියෙන්නේ.. පුදුම රසක් ඈ..!

තව ලිව්වොත් මේක දිග වෙනවා ඉතිං. ඒ නිසා ආයේ දවසක ඉතුරු කොළ ටික ගැනත් ලියන්නම්කෝ..!

-කේ. සංජීව-

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...