ව්‍යවස්ථා සංශෝධන යෝජනාව සහ උද්දමනය ඉහළ යෑම වැනි කරුණු නිසා වර්තමාන රජයට සහ ජනාධිපතිවරයාට තිබෙන ජනතා කැමැත්ත වේගයෙන් පහළ යමින් ඇතැයි බුද්ධි අංශ වාර්තා මඟින් පෙන්වා දී ඇති බවත්, ඒ පිළිබඳව වර්තමාන ආණ්ඩුව තුළ කටයුතු කරන ජාතික ජන බලවේග පාර්ශ්වය දැඩි කනස්සල්ලෙන් පසුවන බවත් වාර්තා වෙයි.
මේ අතර වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනය සිය නවතම ‘රට හිතන හැටි’ ජනමත විමසුමට අනුව, රජය කෙරෙහි ඇති ජනතා කැමැත්ත 65% සිට 50% දක්වා පහළ බැස ඇතැයි වාර්තා කරයි.
පසුගිය ජූලි මාසයේදී පවත්වන ලද සමීක්ෂණයට අනුව, මෙම වසරේ පෙබරවාරි මාසයේ වාර්තා කළ 65% ක ඉහළ අනුමැතිය 49.83% ක් දක්වා පහත වැටී තිබෙන බව ද පෙන්වා දෙයි. ඒ අනුව වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාවන් අනුමත නොකරන ප්‍රතිශතය ද පෙර පැවති 15% ක සීමාවේ සිට 31.40% දක්වා ඉහළ ගොස් ඇත.
බදු බර වැඩි වීම, උද්දමනය ක්‍රමයෙන් ඉහළ යෑම සහ ප්‍රමාණවත් ලෙස ආර්ථිකය ප්‍රසාරණය නොවීම වැනි කරුණු හේතුවෙන් ජනතාව රජය පිළිබඳව සිතන ආකාරය ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින බව වැඩිදුරටත් වාර්තා වෙයි.






