2028 න් පසු ණය ආපසු ගෙවීම් යළි ආරම්භ කිරීමට සිදු වන බවත්, එනිසා එම කාලය වන විට ශ්‍රී ලංකාව සිය විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 15ක් පමණ දක්වා ගොඩනඟා ගත යුතු බවත් ප්‍රකාශ කරන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඒ අනුව අතිරේකව සොයා ගත යුතු අමෙරිකානු ඩොලර් බිලියන 7ක මුදල සොයා ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කරයි.
හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් රචිත “යුද දෙකකට උර දී” කෘතිය එළිදැක්වීමේ උත්සවය අද (18) කොළඹදී පැවති අතර, එම අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේය.
2028 වසරේ අගභාගයේ සිට රටට තවත් දැඩි ආර්ථික අභියෝගයකට මුහුණ දීමට සිදු වනු ඇතැයි අනතුරු අඟවන හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, 2026 වසර අවසන් වන විට විදේශ සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 8ක් පමණ දක්වා ළඟා වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරන පසුබිමක, 2028 වන විට ණය ගෙවීමට නම් අපගේ විදේශ සංචිතය ඩොලර් බිලියන 15ක මට්ටම ඉක්මවිය යුතු බවයි.
ඒ අනුව ශ්‍රී ලංකාව මේ මට්ටම කරා ළඟා වීම සඳහා තවත් අතිරේක ඩොලර් බිලියන 7ක මුදලක් සොයා ගත යුතු යැයි ප්‍රකාශ කරන හිටපු ජනාධිපතිවරයා, එම මුදල සොයා ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කරයි. ඒ සඳහා වර්තමාන රජයට පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බව ප්‍රකාශ කරන ඒ මහතා, “අපි පළමු වටය අවසන් කර තිබෙනවා. දැන් දෙවැනි වටය ආරම්භ විය යුතුයි,” යනුවෙන් ද ප්‍රකාශ කළේය.
වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ආර්ථික වැඩසටහන 2027 මාර්තු අග වන විට අවසන් වීමට නියමිත බව පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා, එම වැඩසටහනින් ඔබ්බට රජය සතු ආර්ථික උපායමාර්ගය කුමක්ද යන්න ද ප්‍රශ්න කරයි.
රටේ ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සහ අනාගත ආර්ථික වර්ධනය සඳහා රාමුවක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින්; මහ බැංකු පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත සහ ආර්ථික පරිවර්තන පනත ඇතුළු නීති කිහිපයක් සිය පාලන සමය තුළ හඳුන්වා දුන් බව ප්‍රකාශ කරන හිටපු ජනාධිපතිවරයා, වත්මන් රජය විකල්ප සැලැස්මක් ඉදිරිපත් නොකර ආර්ථික පරිවර්තන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන නොයෑමට තීරණය කර ඇති බවට චෝදනා කරයි.






