ඉන්දියාව සමඟ කොළඹ එස්.එස්.සී පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය අපට ජයගැනීමට නොහැකි විය. එහෙත් එය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට හැකි විය. ගොඩක් ක්‍රිකට් ලෝලීන් මේ දිනවල ඒ ගැන කතා වෙනවා. ඉතිං ගාල්ලේ තරගය පරාජය වෙලා 2-0ක් විදිහට මේ තරගයත් පරාජය වෙන්න තිබුණ වැඩි ඉඩකඩ අහුරපු ක්‍රිකට් තරුව ගැන තමයි මේ කතාව.
ඔහු සොනාල් දිනූෂ. තවමත් ටෙස්ට් තරග පහයි ක්‍රීඩා කරලා තිබෙන්නේ.
ඉන්දියාව පළමු ඉනිමට කඩුලු 9කට ලකුණු 503ක් අරගෙන ඉනිම අත්හිටුවන්න තීරණය කළාම ගොඩක් අය හිතුවේ මේ තරගයත් පරාජය වෙයි කියලා. මොකද හඹාගෙන යනවා කියන්නේ ලේසි නෑ. අනික ශ්‍රී ලංකා ක්‍රිකට් දිගින් දිගටම අසාර්ථක වුණ පසුබිමක මේ වගේ ලකුණු පුවරුවක් පස්සේ දුවන්න පුළුවන් ශක්තිමත් කණ්ඩායමක් අපිට ඉන්නවද කියන ප්‍රශ්නය අපි හැමෝටම තිබුණා.
ශ්‍රී ලංකාව ලකුණු 290කට පළමු ඉනිම දැවී ගියහම තවත් ලකුණු 213ක් පිටුපසින් ඉන්නකොට, ඉන්දියාවට මේ තරගය ජයග්‍රහණය වෙනුවෙන් කාලය එක්ක තමයි සටන් කරන්න තිබුණේ. ඒත් අන්තිමට වුණේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම. ඒක ලොකු කතාවක්. ඒ කතාව පුරාම ඉන්න වීරයා තමයි සොනාල් දිනූෂ කියන්නේ.
අන්තිමට ලංකාව දෙවැනි ඉනිමේදී කඩුලු 9කට ලකුණු 429ක් ලබාගත්තා. තවමත් 25 හැවිරිදි වියේ සිටින වමත් පිතිකරුවෙක් වුණ සොනාල් දිනූෂ කොටු පවුරක් වගේ හිඳිමින් පළමු ඉනිමට ලකුණු 103ක් ලබාගත්තා. ඊටපස්සේ දෙවැනි ඉනිමේදී පන්දු 264කට මුහුණ දීලා නොදැවී ලකුණු 133ක් ගත්තා. මේ ඉනිමට හතරේ පහර අටක් සහ හයේ පහර දෙකක් ඇතුළත් කරන්නත් ඔහු සමත් වෙනවා.
ඉතිං මේ ශතක දෙක නිසා ටෙස්ට් තරග ඉතිහාසයේ වාර්තාවන් ටිකක් අලුත් වුණා. තමන් ක්‍රීඩා කරපු පස්වැනි තරගයේදි තරුණ ක්‍රීඩකයෙක්ට මෙහෙම කරන්න පුළුවන් වෙනවා කියන්නේ ඒක ලොකු දෙයක්.

2000 වසරේ කොළඹදී උපන් සොනාල් දිනූෂ, කොළඹ මහානාම විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ආපු ක්‍රීඩකයෙක්. වමතින් පිතිකරණයේ යෙදෙන ඔහු වමතින් orthodox spin පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කිව්වොත් නිවැරදියි.
අවුරුදු 19න් පහළ කණ්ඩායම වගේ කණ්ඩායම්වලට ක්‍රීඩා කරමින් තමයි දිනූෂ ජාතික කණ්ඩායමේ ස්ථානයක් වෙන් කරගන්නේ. ඔහුගේ පළවැනි ටෙස්ට් තරගය 2025 ජූනි මාසයේ බංග්ලාදේශයට එරෙහිවයි. දිනූෂගේ පළමු පෙළ වාර්තා අතර කඩුලු 130කට වඩා සටහන් වෙලා තිබෙනවා.
ඉන්දියාවට එරෙහි ගාල්ලේ තිබුණ පළමු ටෙස්ට් තරගයට බහිනකොට ඔහුගේ නම ඉස්සරහා තිබුණේ අන්තර්ජාතික තරග තුනක ඉතිහාසයක්. ගාල්ලේ තරගය තමයි හතරවෙනි තරගය. ඉතිං ඔහු මේ හතරවෙනි තරගය අවසන් කරන්නේ ලකුණු 100 සහ 84ක් ගහලා. අපි මේ තරගය පරාජයට පත්වුණත්, මේ තරගයෙන් තමයි ක්‍රිකට් ලෝලීන් වැඩි දෙනෙක් දිනූෂව අඳුරගන්නේ.
දැන් අපිට යන්න පුළුවන් කොළඹ එස්.එස්.සී එකේ තිබ්බ දෙවැනි ටෙස්ට් තරගයට. මේ තරගයේදී දිනූෂ ඉනිම් දෙකේ පිළිවෙළින් 103 සහ නොදැවී 133ක් ගහනවා. මේකෙනුත් මගේ හිත ගියේ දෙවැනි ඉනිමට. ඒක නියම ටෙස්ට් ඉනිමක්.
ඉන්දියාවට එරෙහි තරගාවලියේ ඉනිම් හතරක් අස්සේ 100 – 84 – 103 – 133 ක් විදිහට ලකුණු 420ක් ගහන දිනූෂ, ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරග දෙකක තරගාවලියක ඉනිම් හතරේදීම ලකුණු 50 ඉක්මවූ දෙවැනි පිතිකරුවා වෙනවා. මීට කලින් මේ වගේම දෙයක් කරලා තිබුණේ සිම්බාබ්වේ ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම පිතිකරුවෙක් වෙච්ච ඇන්ඩි ෆ්ලවර්.
ඉතිං දිනූෂ එස්.එස්.සී තණතීරුවේ ගහපු ශතක දෙක නිසා අවුරුදු 78කට පෙර Vijay Hazare තිබ්බ වාර්තාවක් ගැනත් ආයෙත් කතා වෙන්න වුණා.
හඹාගෙන යන කණ්ඩායමක ක්‍රීඩකයකු ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදීම ශතක ලබාගත් අවස්ථා ටෙස්ට් ඉතිහාසයටම තිබුණේ අවස්ථා දෙකක් විතරයි. අන්තිමට දිනූෂ තුන්වැන්නා වුණා. 1948දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ඇඩිලේඩ්වලදී ඉන්දියාවේ Vijay Hazare ලකුණු 116 සහ 145 අරගෙන තිබුණා. ඒ වගේම 2001දී දකුණු අප්‍රිකාවට එරෙහිව හරාරේවලදි සිම්බාබ්වේ කණ්ඩායමේ ඇන්ඩි ෆ්ලවර් ලකුණු 142 සහ නොදැවී 199 අරගෙන තිබ්බා. ඉතිං වසර 25කට පස්සේ අපේ දිනූෂ මෙන්න මේ කෙටි ලැයිස්තුවට තමන්ගේ නම දාගන්නවා ඉන්දියාවට එරෙහිව 103 සහ නොදැවී 133ක් විදිහට.
ඒ වගේම ලංකා කණ්ඩායමේ වාර්තා අතරට ගිහිං බැලුවාම එකම ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදීම ශතක ලබාගත් අටවැනි ශ්‍රී ලාංකික පිතිකරුවා තමයි දිනූෂ. දිනූෂට කලින් මේ දක්ෂතාවය දුලීප් මෙන්ඩිස්, අසංක ගුරුසිංහ, අරවින්ද ද සිල්වා, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් දක්වලා තිබෙනවා.
මේ සේරම පැත්තකින් තියලා අපි දිනූෂ අලංකාර විදිහට ක්‍රීඩා කරපු එස්.එස්.සී තරගයට විතරක් ගියත් ඇති මේ තරුණයාගේ දක්ෂතා දකින්න. එස්.එස්.සී වගේ තණතීරුවක ඉදිරියට පැමිණ cover drive, off drive වගේ පහරවලට යෑම කොච්චර අවදානම් ද කියලා දිනූෂ ඉක්මනින්ම තේරුම් ගත්තා කියලයි මට හිතෙන්නේ. අන්න ඒ මොළය සහ ඉවසීම තමයි ටෙස්ට් තරගයකට වටින්නේ.

දිනූෂගේ ලකුණු ගැහිල්ල දිහා බැලුවාම පේනවා ඔහු ඉන්දීය දඟ පන්දු යවන්නන්ට එරෙහිව sweep shot එක තමයි වැඩියෙන්ම පාවිච්චියට ගත්තේ. ඒක තමයි ප්‍රධාන ආයුධය. සාමාන්‍ය sweep එක, fine sweep එක, paddle ආකාරයේ පහර සහ අවස්ථාව අනුව වෙනස් කරන ලද sweep එක ඔහු හොඳටම විතරක් නෙවෙයි දෙගිඩියාවක් නැතුව විශ්වාසයෙන් පාවිච්චියට ගත්තා. දිනූෂගේ ලකුණු රහස තියෙන්නේ එතන. සාර්ථකත්වය තියෙන්නේ එතන. ඔහු ඉන්දියාවට එරෙහි මෙම තරගාවලියේ දඟ පන්දු යවන්නන්ට එරෙහි sweep පහරවලින් විතරක් ලකුණු 173ක් ගහලා තිබෙනවා.
ටෙස්ට් තරගයක ඉවසීම, තාක්ෂණය ගොඩක් වැදගත්. දිනූෂ ළඟ මේ දෙකම තිබ්බා අඩුවක් නැතුවම. විශේෂයෙන් පරාජයෙන් බේරෙන්න ගහන තරගයක, හඹාගෙන යන තරගයක තරග රටාව, තාක්ෂණය මේ සේරම වෙනස්. දිනූෂ ඒ වෙනස හොඳින් තේරුම් අරගෙන තමයි ක්‍රීඩා කළේ.
එස්.එස්.සී තරගයේ ඉනිම් දෙක එකතු කළහම දිනූෂ පන්දු 426කට මුහුණ දීලා තිබ්බා. දෙවැනි ඉනිමේ නොදැවී 133ක් ගහන්න පන්දු 264ක් භාවිතා කරලා තිබ්බා. කඩුල්ලේ රැඳී සිටි කාලය මිනිත්තු 420ක්. පැය හතකට ආසන්න වෙලාවක්. මානසික පීඩනය දරාගැනීම, ඉවසීම ප්‍රගුණ කරපු වෙලාවක් ඒක. කඩුල්ලක් වැටෙන සෑම අවස්ථාවකම ඉන්දියාව තරගය ජයගැනීමට තවත් පියවරක් ඉස්සරහට තිබ්බා. ඉතිං හිතාගන්න පීඩනය කොහොම වෙන්න ඇතිද කියන එක. මේ වගේ වෙලාවක එක දාන එක, කඩුල්ල ආරක්ෂා කරගන්න එක, නිවැරදි සමබරතාව පවත්වා ගන්න එක ටෙස්ට් පිතිකරුවකුට තිබෙන අසීරුතම කාර්යය කියලා තමයි කියවෙන්නේ. හැබැයි ටෙස්ට් තරග 50ක් ක්‍රීඩා කළ පිතිකරුවකුගේ සන්සුන්භාවයකින් තමයි දිනූෂ ක්‍රීඩා කළේ. අන්න ඒක තමයි මේ සාර්ථකත්වයට හේතුව.
අපි කිව්වේ දිනූෂගේ කතාව, ඔහුගේ වීරත්වයෙන් පිරි ඉනිම් දෙක ගැන. විශේෂයෙන් දෙවැනි ඉනිම. ඒත් ලංකාව පරාජයෙන් ගලවාගත්ත මේ සටන ඔහු තනියෙම කරපු සටනක් නෙවෙයි. ඒකට තවත් දෙන්නෙක් ලොකු දායකත්වයක් දුන්නා. ඒක ගැනත් වචනයක් නොලීවොත් හරි නෑ.
ලංකා දෙවැනි ඉනිම ලකුණු 218කට කඩුලු හයක් වැටිලා අසීරුවේ ඉන්නකොට කේෂර නුවන්ත එක්ක දිනූෂ හත්වැනි කඩුල්ලට ලකුණු 112ක සබඳතාවක් ගොඩනගනවා. නුවන්ත පන්දු 150කට ලකුණු 46ක් ගහලා දිනූෂට ලොකු සහායක් දෙනවා. ඊළඟට ලහිරු කුමාර පන්දු 90කට මුහුණ දීලා ලකුණු 12ක් ගන්නවා. මේක ලකුණු 12ක් විතරක් නෙවෙයි, කඩුල්ලේ රැඳී සිටීමේ වටිනාකම ලකුණු 12කට සීමා කරන්න බෑ. දිනූෂ සහ කුමාර අතර සබඳතාව පන්දු 170ක් පුරා දිගහැරුණු ලොකු කතාවක්. ඉන්දියාවට මේ තරගය ජයගන්නට තිබ්බ කාලයෙන් මෙතනින් සෑහෙන ප්‍රමාණයක් ලහිරු කුමාර තමන් සතු කරගන්නවා. අවසන් ප්‍රතිඵලය ලංකාව කඩුලු 9කට ලකුණු 429ක් අරගෙන පරාජයක් විදිහට ලියවෙන්න තිබ්බ තරගයක් ජය පරාජයෙන් තොර තරගයක් බවට පත් කරනවා.
ශ්‍රී ලංකාව මෙහෙම හඹාගෙන ගිහිං ටෙස්ට් තරගයකින් පරාජය නොවී ගැලවුණු හතරවෙනි අවස්ථාව තමයි මේ. මීට පෙර 1994දී සිම්බාබ්වේට, 2006දී එංගලන්තයට සහ 2010දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව මෙවැනි ගැලවීම් කරලා තිබෙනවා.
1997දී සනත් ජයසූරිය ලකුණු 571ක්, 2010දී කුමාර් සංගක්කාර ලකුණු 467ක් ගහපු අවස්ථා තමයි ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියක ශ්‍රී ලංකා පිතිකරුවකු ලබාගත් ඉහළම ලකුණු එකතුව වෙන්නේ. ඉතිං 2026දී දිනූෂ ගහපු 420 මෙන්න මේ විශිෂ්ට ලැයිස්තුවේ ඊළඟට සටහන් වෙනවා.
මෑත කාලයේ අපේ ටෙස්ට් කණ්ඩායමට තිබ්බ ලොකුම ගැටලුවක් වුණේ දක්ෂතාව නොමැතිකමට වඩා දිගු ඉනිම් ගොඩනැගීමේ අඛණ්ඩතාව නැතිකම. දිනූෂගේ ආගමනය වැදගත් වෙන්නේ මෙන්න මෙතන.

ඉතිං අද වෙනකොට දිනූෂගේ පිතිකරණය අගය කරන්නේ ලංකාවේ අපි විතරක් නෙවෙයි. දිනූෂ ඉන්දියාවේත් අවධානය දිනාගෙන ඉවරයි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති Rajeev Shukla පවා දිනූෂගේ පිතිකරණය අගය කරමින් ඔහු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ විශිෂ්ට ක්‍රීඩකයකු විය හැකියි කියලා කියනවා.
ටෙස්ට් තරග පහක් කියලා කියන්නේ ක්‍රීඩකයකුගේ සමස්ත ජාත්‍යන්තර අනාගතය තීරණය කරන්න තරම් දේකුත් නෙවෙයි. ඒක ඉතා කුඩා නියැදියක්. විවිධ රටවල, වේගවත් සහ ඉපිලෙන තණතීරුවල, swing සහ seam පන්දු යැවීම් ඉස්සරහා දීර්ඝ කාලයක් පුරා දිනූෂ මේ අඛණ්ඩතාව පවත්වාගන්නේද කියන එක උඩ තමයි ඔහු දක්ෂයෙක්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ. කොහොමවුණත් ඔහු ඒ වෙනුවෙන් කැපවෙනවා කියන සූදානම නම් හොඳටම පේනවා. අපි බලාගෙන ඉමු..
තවත් සංගෙක්, තවත් මහේල කෙනෙක්, තවත් අරවින්දයක් විදිහට ඉස්සරහට ආවොත් ඒක ලංකාවේ වැටුණ ක්‍රිකට්වලට නම් හොඳ වෙයි..!






