[gtranslate]

කුමන ගම ගැන මතක කවිය..!

kumana gama yaman putha knews

මම කාලය ටිකක් ආපස්සට හරවනවා. මම යනවා 1818ට. සුද්දෝ ලංකාවේ අපිට මාරාන්තික ප්‍රහාරයක් දීල කන්ද උඩරට තමන් යටතට සම්පූර්ණයෙන්ම ගත්ත වර්ෂයට. 1818 කිව්වොත් වෙල්ලස්ස මහ කැරැල්ල. ලංකාවේ කල්ලෝ සුද්දන්ට එරෙහිව ගහපු පළමු කැරැල්ල. කැරැල්ල පරාදයි. සුද්දෝ රුධිරයෙන් කැරැල්ල පරාද කළා.

මාර්ෂල් ලෝ ගෙනැල්ල හන්දියක් හන්දියක් ගානේ ස්වදේශිකයෝ මරා දැම්මා. මැරුණු ගාන සමහරු කියන්නේ 10,000යි කියල. තවත් සමහරු 50,000කට උස්සනවා. ව්‍යසනය හැමතැනම තිබුණා. ඝාතන මහපාරේ හැමතැනම පේන්නට තිබුණා. මාරයත් ඒ වගේමයි. මිනිස්සු කැලේ පැන්නා. ජීවිතය හොයාගෙන. සමහරුන්ට ජීවිතය මුණගැසුණා. තවත් සමහරුන්ට මරණය.

තවත් සමහරුන්ට ජීවිතය මුණගැසෙන්න ගොඩක් දුර යන්න වුණා. එහෙම ජීවිතය හොයාගෙන කන්ද උඩින් පහළට බැහැපු කණ්ඩායමක ගමන මහ මුහුද නතර කළා. එක පැත්තකින් මහ මුහුද. අනෙක් පැත්තෙන් කුඹුක්කන් ඔය. තවත් පැත්තකින් කුරුල්ලන් ගොඩබසින මඩ ගොහොරු විල්ලුව. තවත් පැත්තකින් මිදුණ සුදු හිමකැට කලපුව.

තැන්නේ කැලෑ කැටිය අත තිබූ කැති මන්න පහරින් එළිපෙහෙළි වෙන අතරේ වැව් පොකුණු විතරක් නොවෙයි වෙහෙර විහාරත් මතු වුණා. කළුපාට සරු පස හවසට කාල දාන බිජු උදේට පැළකරල තිබුණා. බොහෝ කාලයකට පස්සේ නිවීසැනසීම ළඟ ජීවිතය නතර වෙලා. ඒ අතීතය.

කුමනට මඟ

කුමනට යන මඟ ගොඩක් දුරයි. මමත් හිතුව කුමනට යන්න. පැරැන්නෝ ගිය පාරේ නම් නොවෙයි. රත්නපුර, සියඹලාණ්ඩුව, පානම හරහා කාපට් පාරේ. හැබැයි අද කුමන කියල ගමක් නම් නැහැ. තියෙන්නේ අභයභූමියක් විතරයි. එදත් කුමන අභය භූමියක් තිබුණා. හැබැයි ඒ ගමට යාව. අද ගම නැති නිසා ගම වසාගෙන අභය භූමිය පැතිරිලා. තවමත් කුමන පාසලේ නටබුන් තිබෙනවා.

කුමන කියන්නේ ගොඩක් රසබර කතාන්දර ගොඩකට හිමිකම් කියන ලස්සන පුංචි හුදෙකලා ගමකට. කුමනට යන පාරේ අන්තිම පහුවෙන ගම තමයි පානම. පානම කියන ගම කුමනට වඩා පැරණියි කියල තමයි කියන්නේ. පානම ඉඳලත් කිලෝමීටර් 24ක් කැලය මැදින්ම යන්න ඕන කුමන මුණගැසෙන්න.

කුමන කියන්නේ කැලේ මැද්දෑවේ තිබුණ හුදෙකලා පුංචිම පුංචි ගමකට. වටේටම තිබුණේ අභයභූමිය. යාල කියන්නෙත් මේ කැලයේම එක කෙළවරක්. මුහුද අත ළඟ කුඹුක්කන් ඔය. ගම වටා එතැන මිහිදුම් සේලයක් වගේ.

වන මැද ගමකී
එය ළඟ ගලනා මහ ගඟකී
අලි කොටි වළසුන්ගේ නිජ බිමකි
තෙල් පොහොරත් නැතුව
ගොවිතැන් කළ බිමකි
මගේ ගම මනහර කුමනකී

දැන් ගමක් නැහැ කැලය විතරමයි. එහෙමනම් කොහොමද ගම ඇතුළට යන්නේ. මෙහෙම හිත හිතා ඉන්න ඇසිල්ලක තමයි පානම දී රන්මල් අප්පු මාමා හමුවුණේ. එයා කුමන ගැන කතාව පටන් ගත්තේ ලස්සන කවියකින්. මිනිහා කවිකාරයෙක්.

kumana gama yaman putha knews 1
අතීතයේ සිට තවමත් කුමන ජීවත්වන පොල් ගස් සහ කුමන පාසල් ගොඩනැගිල්ලේ වර්තමාන හිමිකරු

අවුරුදු 40ක් කුමනේ ජීවත් වෙච්ච පට්ට ගැමියෙක්. 1990 කුමන ගම අයින් කළාට පස්සේ අනික් අය මහවැලියට යනකොට එයා කුමනට ළඟ පානම නැවතුණා. කුමනට ළඟින්වත් ඉන්න ඕනෑ. උපන් බිමේ ඉන්න බැරිනම් ඒ අසලකවත් ඉන්න එක සැපක් කියල තමයි රන්මල් අප්පු ධනපාල මාමා කියන්නේ.

‘මොකද මහත්තයෝ කුමන ගැන කියන්න තියෙන්නේ. හෙට ආයෙත් යන්න අවසර දෙනව නම් මම එක පයින් යනවා. මැරෙන්න කලින් කුමනට යාගන්න තියෙනවා නම් ඒ ඇති. කුමන වගේ ගමක් තව නැහැ. කුඹුක්කන් ඔය කියල කියන්නේ නිකම් ගඟක් නොවෙයි. ඖෂධ ගංගාවක්. බැහැල නෑවහම බඩගින්න කොහේ ගියාද නැහැ.

අපි කවදාවත් තෙල් බෙහෙත් ගහලා කුඹුරු කළේ නැහැ. මොකද වැපිරුවේ 44, පච්චපෙරුමාල්, නෝනා වී, හීනැටි, දහනෙල්, අයියරට වගේ වී ජාති. මාදම්, දිවුල්, පලු, නෙල්ලි, වීර …. ගඟට බැස්සහම ඕන තරමට මාළු කලපුවට ගියාම ඉස්සෝ කකුළුවෝ. මෙහෙම ගමක් මහත්තයට හම්බවෙලා තියෙනවද? මම නම් හිතන්නේ නැහැ. ගිනි කාෂ්ටකේට කලපුවේ ලුණු මිදෙනවා. හොණ්ඩරයක් රුපියල් 8යි. දැන් අටදාහක් වටිනවා’.

මේ සේරම කතා අස්සේ මමත් කුමන ගම ගැන සිතුවමක් සිතේ අඳිමිනුයි ඉන්නේ. ඒ සිත්තමට තවත් ලස්සන පාටක් එකතු කළේ බබා සිංඤෝ, සිසිලියා නැන්දා. එයා කුමන ගමේ තිබුණ වැව් ගැන මනරම් විස්තරයක් කළා.

කණබිසෝ වැව

‘මණ්ඩාගල වැව, කණබිසෝ වැව, අතුරු මිතුරු වැව, නාබඩගස් වැව මේවා තමයි අපිට තිබුණ වැව් මහත්තයෝ. කණබිසෝ වැව කිව්වට මේක වැවක් නොවෙයි. මේක කවදාවත් හිඳෙන්නැති දිය කෙමනක්. තියෙන්නේ ගල් කුළක් මුදුනේ. බොහොම ඉස්සර කාලෙක මේ ප්‍රදේශයේ රජ කෙනෙකුයි බිසවකුයි ඉඳල තියෙනවා. රජ්ජුරුවෝ අකාලේ මැරෙනවා. බිසව අන්ධ වෙනවා. බිසව ගල මුදුනේ ඉඳගෙන කියනවා මගේ කකුල් වතුරෙන් යටවෙන්න නෙළුම් මල් කකුලේ වදින්න වැවක් බඳින්න කියල.

ඉතින් පිරිවර මොකද කරන්නේ මේ ගල් කුළ යට වෙන්න වැව් බඳින්න පුළුවන් කාටද කියලා ගලේ ඔරුවක් කොටලා ඒකට වතුර පුරවලා ගෙම්බෝ එහෙම ගෙනත් දානවා. බිසවට පේනව කියලද? එයාගේ කකුල මේ දිය කෙමන උඩින් තිබ්බහම සතුටු හිතෙනවා. මේ ප්‍රදේශයට සශ්‍රීක වෙන්න කියල එයා ඒකටම පැනලා දිවි නහගන්නවා. ඒකට අදත් කියන්නේ කණබිසෝ වැව කියල’

සිසිලියා නැන්දත් කෙල්ල කාලේ පැනල නාන්න ඇති? මම එහෙම කියනකොට සිසිලියා නැන්දගේ මුහුණේ නෙළුම් මල් පිපෙනවා.

‘අපි කෙල්ලෝ කාලේ ඔය කැලේ පීරපු නැති ගහක් ගලක් නැහැ මහත්තයෝ’. අලි කොටි වලස්සු ඉන්න එකේ බයක් එහෙම දැනුණේ නැද්ද? ‘බය කොහේද මහත්තයෝ. අපි දණගාන කොටනේ මිදුලේ අලි ඉන්නව දැක්කේ. උනුත් හිටිය, අපිත් හිටිය’.

මේ සහජීවනය ගැන පර්යේෂණයක් කරන්න ඕනෑ. මට හිතෙනවා. ඇත්තමයි ගම සම්පූර්ණයෙන්ම කැලේ ඇතුළේ තිබුණේ. කවදාවත් අලියෙක් ගහල නැහැ. කුමන ඉතිහාසයටම සතකුගේ හිරිහැරයකින් මියගිහින් තියෙන්නේ එක්කෙනයි. එයත් වනජීවී එකේ වැඩකළ සුමතිපාල.

කුමන ප්‍රහාරය

‘මේ කැලේ කුළුමදයෝ ඕනෑ තරම් ඉන්නවා. ඒ කාලේ අපේ ගමේ එළහරක් මී හරක් ඔක්කොම 1000ක් විතර හිටියා. සේරමල උදේට කැලේට අතඅරිනවා. හවසට පට්ටියට දානවා. කුළුමදයෝ පට්ටි වැටෙන කාලේට හරිම සැරයි. නාඹර වැස්සියක් අපේ පට්ටියේ හිටියොත් උන් හොයාගෙන එනවා. ඊට පස්සේ යනවා බොරු.

kumana gama yaman putha knews 2
කුළුමදයා

සිරිපාලයත් උදේ පට්ටියට යනකොට කුළුමදයා පට්ටියේ වැස්සියක් එක්ක පට්ටි වැටිල හිටියේ. මිනිහ දැක්කේ නැහැ මේක. දමල ඇන්නා. බොක්ක එළියට පැන්නා. ඒක නොවෙයි කතාව මහත්තයෝ. බොක්ක අතේ තියාගෙන කරත්තෙන් මඩකලපුව ඉස්පිරිතාලයට ගියා. ඒත් ලෙඩා මැරුණේ නැහැ. එතරම් ශක්තියක් කුමන මිනිස්සුන්ට තිබුණා. මිනිහ මැරුණේ ඉස්පිරිතාලේ ඇඳ පල්ලට වැටිලා. එදා සිරිපාලයට ඇන්න මදයත් ඇත්ත එකෙක් නොවෙයි පිල්ලියක් කියනවා. මිනිහා වනජීවී එකේ ඉන්නකොට රත්නපුර පැත්තෙන් ආපු මැණික් ගැරුම්කාරයෝ ටිකක් අල්ලලා තියෙනවා. ඔය තරහට ගුරුකමක් කොලා ඕකයි වුණේ. ඒකනේ මහත්තයෝ ඉස්පිරිතාලේදීත් බයවුණේ’.

මේ කතාවත් ඉතින් කිව්වේ රන්මල් අප්පු මාමා. කුමන මන්ත්‍ර ගුරුකම්වලටත් හරිම ප්‍රසිද්ධලු. අප්පු මාමා මටත් මන්තර ගොඩක් කියල දුන්නා. අලියට, වළහට වගේ. ඒ කාලේ මේ ගම් රැකුණේ ඒ මන්තර සාස්තරයෙන් කියල තමයි අප්පු මාමලා කියන්නේ. මට නම් ඕවා ඔච්චර විශ්වාසයක් නැහැ.

හැබැයි ඉංග්‍රීසි වෙදකම නම් ගොඩක් දුරට ගම්මානයෙන් දුරස්ථ වෙලායි තිබිල තියෙන්නේ. ගමේ මිනිහෙකුට කලාතුරකින් තමයි ලෙඩක් දුකක් වෙලා තියෙන්නෙත්. ඉඳලා හිටලා එහෙම වුණත් ඒ ලෙඩාට පිහිට වෙන කාරිය කොරල තියෙන්නේ බන්දුවා මුල්ලකාරයා කියන අයියා මලෝ දෙන්නා. මේ දෙන්න මෑත පාරම්පරික වෛද්‍යවරයෝ කිව්වොත් එයාලටත් ඒක ගෞරවයක්.

කුමන විවාහ සිරිත

පානම වගේම තමයි සිංහල දෙමළ විවාහ කුමන ගමටත් පොදුයි. රන්මල් අප්පු මාමයි මාමාගේ මලයයි දෙන්නම හිර විදිහට ගෙනත් තියෙන්නෙ දෙමළ ගැහැනු. කුමන පානම වගේ ගම්වල ඒ කාලේ ගැහැනු උදවිය හිඟයි කියනවනේ. පරිපාලනය සිද්ධ වුණේ මඩකලපුවෙන්. එහේ ගොඩක් දෙනෙක් දෙමළ. පරිපාලන නිලධාරිනුත් දෙමළ. ඉතින් මඩකලපුව පැත්තෙන් හිර ගේන එක මේ මිනිස්සුන්ගේ සමාජ තත්ත්වයටත් හොඳ වෙන්න ඇති.

මෙහෙ වග වාසගම් එහෙමත් තියෙන්නේ දෙමළ ක්‍රමයට. තාත්තාගේ නමේ කෑල්ලක් මුලට දාලා තමයි අලුත උපන් එකාට නම දෙන්නේ. දිගට යන වග වාසගම් මෙහෙ උදවියට නැහැ. දැන් රන්මල් අප්පු ධනපාල කියපු ගමන් රන්මල් අප්පු කියල කියන්නේ තාත්තාගේ නම. ඊට පස්සේ ධනපාල කෑල්ල මුලට දාලා පුතාට නම දෙනවා. මේකයි ක්‍රමය.

මේ ගම්වල ලිංගික නිදහසත් උපරිමයට තිබුණාය කියල තමයි කියන්නේ. ලිංගික ඉරිසියාව ඇත්තෙම නැහැ. ඒ කාලේ චාරිත්‍රයක් තිබිල තියෙනවා මෙහෙම. අපි හිතමු අයියයි මල්ලියි දෙන්න ඉන්න ගෙදරකට තවත් ගෙදරකින් හිරයක් කතා කළා කියල. එතකොට ඒ නැකැත් දවස එනකොට අයියා දුරක ගිහිල්ලා හිටියොත් මලයාට අර ගෑනි බන්දලා දෙනවා.

හැබැයි අයියා ගෙදරට ආපු ගමන් අයියට ඒ ගෑනි අයිති වෙනවා. ඒ වගේම දෙනවා. ඒ වගේම තවත් අපූරු ක්‍රමයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේක පානමටත් පොදුයි. අපි හිතමු ගෙදර මිනිහ පැළට ගිහිල්ල එනකොට ගෑනි තවත් මිනිහෙක් එක්ක ගෙදර හිටිය කියලා. එතකොට කිසිම ආරෝවක් නැහැ. ගෑනි ඒ මිනිහට භාරදෙනවලු. ඊට පස්සේ අර මනුෂ්‍යයා තනියෙන් ඉන්නවලු.

නැත්නම් අපි හිතමු අර ගෙදරට ආපු මනුෂ්‍යයත් බැඳපු කෙනෙක් කියලා. එතකොට ඒ ගෑනි තනිකඩ වෙනවනේ. එතකොට මේ මනුෂ්‍යයා අර තනිකඩ ගැහැනු උන්දෑගේ ගෙදරට යනවාලු. ගහ මරා ගැනිලි සියදිවි හානිකර ගැනීම් මොකුත් නැහැ. අද මේවා ඉතිං නටබුන් අතීතය විතරමයි. කොහොමත් අපි පෘතුගීසි විවාහය එන්න කලින් විවෘත සංස්කෘතියක් භුක්ති විඳපු උදවිය. දැන් ඒ සංස්කෘතිය සදාචාරය නැහැ. දැන් තියෙන්නේ වික්ටෝරියානු සංස්කෘතිය. අපි සුද්දට බැන බැන ඒක තාම කරේ තියාගෙන යනවා. ඒ නිසා ලිංගිකත්වය ආදරය වගේ දේවල් අපිට ගොඩක් ඈතයි.

ප්‍රේමදාස සහ කුමන

ආර්. ප්‍රේමදාස කියල කියන්නේ අගමැතිවරයෙක්. ඒ වගේම ජනාධිපතිවරයෙක්. කුමන පැරන්නන්ට ප්‍රේමදාස මහත්තයා ගැන තියෙන්නේ විචිත්‍ර මතකයක්. ඒ මතක මාත්‍රයට මේ ලිපිය අස්සේ ඉඩ චුට්ටක් හරි නොදුන්නොත් ඒක අඩුවක්.

ප්‍රේමදාස මහත්තයාගේ හොඳම යාළුවා තමයි ජේමිස් මාමා. දෙන්නම මිට්ටෝ. දඩයමේ යන්න වුණත් තකට තක. 70වට කලින් කාලේ ප්‍රේමදාස මහත්තයා නිතරම කුමනට එනවා. මාසේ හමාර නැවතිලා ඉඳලා යනවා. එයා මෙහෙ ආවහම ඉන්න ගෙදර තමයි සූරියගස් සෙවණ. එහේ ලස්සන ළමිස්සියෝ තුන්දෙනෙකුත් හිටියා. බණ්ඩාර මැණිකා, සුදු මැණිකා, හුජු මැණිකා.

අපේ ගෙවල් හැම එකක්ම කටු මැටි ගහල පොල් අතු වහල තිබුණේ. ප්‍රේමදාස මහත්තයා කවම කවදාවත් ගෙවල් ඇතුළේ නිදියන්නේ නැහැ. හැමතැනම සියඹලා, කොහොඹ ගස් තිබුණ. ඒව යට තමයි ඉන්නේ. ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වුණ ගමන් අපේ කට්ටියගෙන් ඇහුවා මහවැලියට යන්න කැමතිද කියල. කට්ටියක් ගියා. අපි මෙහේ නැවතුණා’

අප්පු මාමා ප්‍රේමදාස කුමන මතක මතක් කොලේ එහෙම..!

මේ සියලු තොරතුරුත් එක්කම මනරම් කුමන 1990 පස්සෙ අතීතයක් විතරමයි. යුද්ධය වගේ හේතු නිසා ඒක එහෙම වුණා. වීරසිංහ පද්මසිරි අවුරුදු 21ක් විතර කුමන හිටිය. දැන් ආයෙත් කුමන පදිංචි කරාවිය කියල දෑස් දල්වාගෙන බලාගෙන ඉන්නවා. කුමනින් ගිය ගොඩක් පැරැන්නෝ නැවත ගමට එන්න පුල පුලා බලා සිටිනවා කියල තමයි වීරසිංහ කියන්නේ.

මේ පැරණි රමණීය ගම නැවත ජීවය ලබනවා නම් එය කොතරම් අගේදැයි මටත් සිතෙනවා. රන්මල් අප්පු මාමාගේ කවියකින්ම මේ ලිපියට අවසානයක් තියමු. ඔබත් කුමන ගියොත් කුමන ගමට යන්න අමතක කරන්න එපා.

නිල් මල් කැලේ ඇවිදින විට සතුට දැනේ
කුඹුක්කන් ගඟේ දිය නෑවම සුවය හනේ
කැලෑ රොදක ඉපදුණ මට දුක නොදැනේ
මව්බිම මගේ කලබල මැද අහිමි වුණේ…!

-කේ. සංජීව-

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ...

කැරපොත්තන්ගේ සටන පළමු ජය වාර්තා කරයි

සමස්ත ඉන්දියාව පමණක් නොව ලෝකයම සොලවමින් වීදි බැස සිටින කැරපොත්තන්ගේ ජනතා පක්ෂය සිය පළමු ජයග්‍රහනය වාර්තා කරගෙන ඇතැයි ද ඒ අනුව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා...

මන්දිරවල ජනපති නෑ. නමුත් ජනයා ඉදලා. බර වියදමකුත් ගිහිං

ජනාධිපතිවරයා රටපුරා ඇති ජනාධිපති මන්දිර භාවිතා කරන්නේ නැති බව ප්‍රකාශ කරමින් එම මන්දිරවල නවාතැන් නොගත්තත් එහි බොහෝ දෙනෙක් රැඳී සිට ඇති බවද ඒ සඳහා 2025 වර්ෂයේදී විශාල වියදමක් දරා ඇති බවද ජාතික විගණන...