[gtranslate]

ටිරාන් අලස්ගේ ඊ-වීසා කතාව මතකද?

tiran alles e visa scandal exposed k investigations

ටිරාන් අලස් යනු ලංකාවේ කුප්‍රකට දේශපාලනඥයෙකි. ව්‍යාපාරිකයෙකි. පත්තර සමූහයක අයිතිකරුවෙකි. දේශපාලන ඩීල්කරුවෙකි. ඉතිං දැන් ඔහුගේ නම ආයේ ආයෙත් ඇසෙන්නට පටන්ගෙන ඇත. ඒ හරක් කටාගේ අල්ලස් සිදුවීමත් සමඟය. ටිරාන් අලස්ගේ කුප්‍රකට ගනුදෙනු පිළිබඳව මේ ලියුම්කරු බොහෝ දෑ ලියා ඇත. ඒ රාවය පුවත්පත, අනිද්දා පුවත්පත සහ තවත් වෙබ් අඩවි වෙනුවෙනි.

එසේ කාලෙකට කලින් ලියූ එක සිද්ධියක් වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ සමයේ ක්‍රියාත්මක වූ ඊ-වීසා ගනුදෙනුව පිළිබඳවය.

ටෙන්ඩර් නැතිව හොර රහසේ වගේ වීසා නිකුත් කිරීමේ සේවාවන් පිටරට සමාගමකට ලබාදී ඇති බව එකල අපි එකපාරටම දැනගත්තේ සඳරු කුමාරසිංහ නම් තරුණයෙක් කටුනායක ගුවන්තොටුපළ තුළ තමන්ට සිදුවූ අසාධාරණයක් පිළිබඳව හඬ නැඟීම නිසාය. එම හඬ නැඟීම කවුරුන් හෝ වීඩියෝ කර සමාජ මාධ්‍යයට එක්කර තිබූ අතර එයින් ටිරාන් අලස් මහතාගේ මේ අලුත් සෙල්ලම පිළිබඳ කතාවට පියාපත් ලැබුණි.

2024 මැයි මාසයේ දිනෙක කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ සිදුවුණ එම සිදුවීම පිළිබඳව ‘සටහන් රේඩියෝ’ යූටියුබ් නාලිකාවට එකල සඳරු කුමාරසිංහ දීර්ඝ විස්තරයක් කර තිබූ අතර එහි තැනක මෙසේ සඳහන් විය.

‘පසුගිය මැයි 01 මමයි මගේ පෙම්වතියයි බැංකොක් ඉඳලා ලංකාවට ආවා. ඒක පැය තුනක ගුවන් ගමනක්. අපි එනකොට වීසා කටයුතු සිද්ධවෙන තැන පෝලිම් 5ක් තිබුණා. විදේශිකයෝ 200ක් 300ක් අතර ප්‍රමාණයක් හිටියා. මගේ පෙම්වතියට සංචාරක වීසා බලපත්‍රයක් තිබුණා. ඒත් කවුන්ටර් එකට ගියාම කිව්වා මේ වීසා එක වැලිඩ් නෑ කියලා. ඉතිං අපි වීසා එක ගන්න පෝලිමට ගියා. පෝලිම ඉස්සරහට යන්නේ නෑ. එතන ආගමන විගමන නිලධාරීන් 12ක් 15ක් කම්පියුටර් එක දිහා බලාගෙන ඉන්නවා. මම ඇහුවා ඇයි වීසා දෙන්න පරක්කු කියලා. එතකොට ඉමිග්‍රේෂන් ඔෆිසර් කෙනෙක් කිව්වා, ඒකේ වගකීම අපිට ගන්න බෑ වීසා දෙන එක සමාගමකට දීලා තියෙන්නේ කියලා. මම නිතරම රට යන එන කෙනෙක්. ඉතිං මම හොඳටම දන්නවා මෙතන වෙනදට කිසිම පෝලිමක් නෑ. ඊටපස්සේ මම එතන හිටපු ඉන්දීය ජාතිකයෙක් ළඟට ගිහිං මේක ගැන ඇහුවාම ඔහු රළු විදිහට කතාකරලා කිව්වා අපි වීඑෆ්එක්ස් (VFS) එකෙන්, අපි තමයි මේක කරන්නේ, ගාස්තුව විදිහට ඩොලර් සීයක් ගන්නවා කියලා. ඒ ගාණින් ඩොලර් 18.5ක් ඔවුන්ට කෙලින්ම යනවා සේවාව වෙනුවෙන්. එතකොට මම ඩොලර් 18.5ක් ගෙවලා පෝලිමේ ඉන්නත් ඕනෑ. ඔන්න ඔතනදී තමයි මම කෑගැහුවේ.’

දැන් ප්‍රශ්නයේ මුලට යමු

අපි කවුරුත් දන්නා පරිදි යම් රටකට ඇතුල් වීමේදී ඒ සඳහා වීසා ලබාගත යුතුය. මෙහිදී වීසා ලබාදෙන ආකාරයන් කිහිපයක් පවතී. ලංකාව කුඩා රටක් වුණත්, ආර්ථිකව කඩාගෙන වැටුණ රටක් වුණත්, යම් පුද්ගලයෙක් විදෙස් රටක සිට ලංකාවට පැමිණෙන්නේ නම් ඔහු මේ රටට ඇතුල්වීම සඳහා වීසා ලබාගත යුතුය. ඒ සඳහා 1847 වසර තරම් ඈතක සිට නීති සකස් වී ඇත. ලංකාවට ඇතුල් වන්නන් සඳහා වීසා ලබා දීමේ ක්‍රමවේදයන් කාර්යක්ෂම සහ නවීන කළ යුතු බවට බොහෝ කලක සිට පවතින සංවාදයකි. එහි තර්කයක් නැත. අනෙක් පැත්තෙන් ඒ සඳහා නොයෙක් ආණ්ඩු බොහෝ අවස්ථාවන් වලදී ඉතාමත් වැදගත් පියවරයන් ගෙන ඇත.

මෙම සංවාදයන් තිබියදී වුණත් ආගමන විගමන දෙපාර්තමේන්තුව 2012 වසරේ සිට මෙම වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ක්‍රමානුකූලව සිදුකරගෙන ගියේය. ඒ අනුව ඕනෑම අයෙක්ට http://www.eta.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ගොස් ඔන්ලයින් වීසා අයදුම් කිරීමට පහසුකම් රජය හඳුන්වා දී තිබුණි. මෙම ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වූ අතර විදෙස් සංචාරකයන් හට අයදුම් කර කෙටි කාලයක් තුළ වීසා ලබාගන්නට හැකිවිය.

මෙහිදී සිදුවුණේ දින දෙකක් වැනි කාලයක් තුළ රටට ඇතුල් වීම සඳහා වීසා අනුමැතිය ලබාදීමය. එම අනුමැතිය ලබාදීම තහවුරු කළ පසුව ගුවන්තොටුපළ පරිශ්‍රයේදී එම විදේශිකයාට වීසාවන් නිකුත් කරනු ලැබීය. මෙම ක්‍රමවේදයේ අවුලක් තිබුණේ නැත. ප්‍රමාදයක් තිබුණේද නැත.

මේ වෙනුවෙන් වූ තාක්ෂණික සහාය ශ්‍රී ලංකා ටෙලිකෝම් සමාගමට අනුබද්ධ මොබිටෙල් (Mobitel) ආයතනය විසින් සිදු කළ අතර එය රජය යටතේ පවතින සමාගමක් නිසා ඒ හරහා තවත් ප්‍රතිලාභ රටට ලැබුණි. සංචාරකයින් බහුල වශයෙන් පැමිණි එකලද මෙය කිසිම ප්‍රශ්නයකින් තොරව සිද්ධවිය. ඊට අමතරව ගුවන්තොටුපොළට පැමිණි පසු ‘ඔන් අරයිවල්’ (On Arrival) වීසා ක්‍රියාවලියද ප්‍රමාදයකින් තොරව පසුගිය කාලයේ හොඳට ක්‍රියාත්මක විය.

මේ සියල්ල මෙසේ සිදුවන අතර වාරයේ, IVS-GBS Global Services යන ඉන්දීය සමාගම ආගමන විගමන විෂය අයිති මහජන ආරක්ෂක අමාත්‍යාංශයට 2023 ජුනි මාසයේ ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනාවකට තටු ලැබී ඇත. ‘E-Visa, Consular Services, Visa Services, Bio Metric Services and Tourism Promotion’ යන සිරස යටතේ අමාත්‍යාංශයට ආ එම යෝජනාව අවසානයේ කැබිනට් පත්‍රිකාවක් ලෙස අමාත්‍ය ටිරාන් අලස්ගේ අත්සනින් කැබිනට් මණ්ඩලයට ගොස් ඇත.

23/1692/626/018 යන අංකයෙන් යුතු එම කැබිනට් පත්‍රිකාව 2023 සැප්තැම්බර් මාසයේ 11 වැනි දින අමාත්‍ය මණ්ඩලය වෙත ටිරාන් අලස් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති අතර එයට එදිනම කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව මෙම ව්‍යාපෘති යෝජනාව ඇගයීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු දිනයට දින දෙකකට පසු මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් පී.වී. ගුණතිලක විසින් ඇගයීම් කමිටුවක් පත් කරනු ලැබූ අතර එහි සාමාජිකයින් ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ටී.වී.ඩී. දමයන්ති, එස්. කරුණාරත්න, ආගමන විගමන පාලන ජනරාල් අයි.එස්.එච්.ජේ. ඉලුක්පිටිය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චම්පික රාමවික්‍රම, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී එම්.පී.ඩී.පී. පතිරණ සහ මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එම්.ආර්.ජී.ඒ. මුතුකුඩ (භාණ්ඩාගාරයේ නියෝජිත) යන අය පත්වීම් ලැබීය.

මෙම කමිටුවේ නිර්දේශයන් දෙස බැලීමේදී පෙනෙන්නේ මෙම කමිටුව ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු කිරීම වෙනුවෙන්ම පත් කළ එකක් කියාය. එයට ආවරණයක් ලබාගැනීමේ අරමුණෙන් කළ දෙයක් කියාය. ඉහත ආයතනය සමග අත්සන් කිරීමට යන ගිවිසුම වෙනුවෙන් නීතිපතිගේ නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලබාගැනීම ද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. මේ සියල්ලෙන් පෙනෙන්නේ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව කටයුතු කිරීම සඳහා අමාත්‍යවරයා තීන්දු තීරණ ගෙන ඇති බවයි.

යම් සමාගමක් ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කළ පසුව එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීම යනු ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව කටයුතු කිරීමට අවස්ථාවක් නොවන බව ප්‍රකාශ කළ යුතුය. හරිනම් අමාත්‍යවරයා සහ රජය කළ යුතුව තිබුණේ මෙම ව්‍යාපෘතිය සාර්ථකව කරන්නට හැකි තවත් සමාගම් සිටීනම් ඒ සඳහා අවස්ථාව සලසමින් ටෙන්ඩර් කැඳවීමය. මෙම ටෙන්ඩර් ප්‍රශ්නය පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගෙන් එකල කරුණු විමසීමේදී ඔහු ප්‍රකාශ කරන්නේ මෙවැනි අදහසකි.

‘රට යන ලංකාවේ අය පවා දන්නවා VFS කියන්නේ මොකක්ද කියලා. මේ ආයතනය රජයන් 67ක, රටවල් 151ක මධ්‍යස්ථාන තුන්දහසකට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යන සමාගමක්. ඒ සේවාවට ඒගොල්ලෝ එක්ක තරග කරන්න කවුරුත් නැහැ. යුරෝපය ඇතුළු ලෝකයේ බොහෝ රටවල් භාවිත කරන්නේ VFS සේවාවයි’ – බීබීසී සිංහල

අමාත්‍යවරයා මෙසේ කීවත් මේ සිදුවීම ඇවිලී ගිය සැනෙකින් ආණ්ඩුව කීවේ මෙය ටෙන්ඩර් පටිපාටිය හරහා ක්‍රියාත්මක වූ ගනුදෙනුවක් කියාය. ඉන්පසුව දැන් ඔවුන් වීඑෆ්එස් සරණ යමින් අනෙක් ප්‍රධාන ආයතනය ගැන නොකර කතාය.

ඇයි මේ VFS ගැටගහන්නේ?

මේ ගනුදෙනුව පිළිබඳව ඇවිලී යන සංවාදයේ කියවෙන සමාගම් නාමය වන්නේ VFS ය. එහෙත් මේ ව්‍යාපෘති යෝජනාව ආණ්ඩුවට ඉදිරිපත් කරන්නේ IVS-GBS Global Services යන සමාගමයි. ඔවුන් ඉදිරිපත් කළ ව්‍යාපෘති යෝජනාව වාර්තාවට අනුවම එය මුම්බායි සිට ක්‍රියාත්මක වෙන සමාගමකි.

මෙම යෝජනාවේ Presented by IVS GBS Global Services powered by with VFS Global as a Technical Partner යන්න පැහැදිලිව සටහන්ව තිබියදීත් ආණ්ඩුව VFS මතුකරමින් මෙම ගනුදෙනුවට ඉන්දීය සමාගමක් සම්බන්ධ නැති බව කියන්නේ ඇයි? ඉන්දීය තානාපති කාර්යාලය හදිස්සියෙන් වාගේ එවක නිවේදන නිකුත් කරමින් ප්‍රතිචාර දක්වන්නේ ඇයි? රට යන අය වීඑෆ්එස් ගැන හොඳ කියන නිසා අමාත්‍යවරයා ආරක්ෂිත පියවරක් ලෙස මේ නම භාවිතා කරනවාද?

මෙම කරුණ පිළිබඳව අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ එවකදී ප්‍රකාශ කළේ ‘VFS ග්ලෝබල් සමාගම මේකට සම්බන්ධ වෙන්නේ තාක්ෂණ සහකරු ලෙසයි. මේක භාර දීලා තියෙන්නේ IVS GBS කියන සමාගමට. ටිරාන් නම කියන්න බය සමාගමට තමයි භාර දීලා තියෙන්නේ. මැයි මස 06 වෙනිදා දිනය යටතේ VFS සමාගම මාධ්‍ය නිවේදනයක් යොමු කරලා තියෙනවා. ඒ මාධ්‍ය නිවේදනයේ දෙවන පිටුවේ පැහැදිලිව කියලා තියෙනවා IVS GBS කියන සමාගම තමයි මූලික කොන්ත්‍රාත්කරු මේ ව්‍යාපෘතියේ, VFS සමාගම තාක්ෂණික සහයකයා කියලා. අපි බලමු IVS GBS කියන සමාගම මොකක්ද කියලා. ඒ සමාගම කාගේද කියලා? IVS කියන නම කියන්න ටිරාන් අලස් ගේ දිව පැටලෙන්නේ ඇයි? මොකක්ද ඒ රහස. IVS කියන සමාගම අයිති කවීරාජ් බන්ධාරි කියන ඉන්දියාවේ කෝටිපති ව්‍යාපාරිකයාට. කවීරාජ් බන්ධාරි කියන්නේ හිටපු ඉන්දීය විදේශ ලේකම් රොමේෂ් බන්ධාරිගේ පුතාට’

පෙරටුගාමී සමාජවාදී පක්ෂය එදා හෙළිකළ මෙම කරුණු සමග අමාත්‍යවරයාගේ මෙම ගනුදෙනුවේ තවත් අන්තයක් පෙනෙනු වළකනු බැරි විය. ටෙන්ඩර් පටිපාටියක් නැතිව අදානිගේ සුළං මෝල් ලංකාවේ කැරකෙන්නට නියමිතව තිබූ එකල මෙයත් කිරිකජු වගේය.

VFS ආයතනය යනු ලොව පිළිගත් ආයතනයකි. එය ඇත්තකි. එහි කතා දෙකක් නැත. ඔවුන් කරන්නේ රට යන්න බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයාගේ වීසා අයදුම්පත රැගෙන එය තානාපති කාර්යාලයට ගෙනගොස් භාරදී ආපසු වීසා ලැබීම හෝ නොලැබීම දැනුවත් කර වීසා ලැබී ඇත්තම් එය ගෙනත් දීමේ ක්‍රියාවලියයි. එහෙත් ඔන් අරයිවල් වීසා නිකුත් කිරීමේ රාජකාරිය සඳහා ගුවන්තොටුපළ පරිශ්‍රයන් තුළ වැඩ කරන VFS ආයතනයක් පිළිබඳව මේ ලියුම්කරු නම් දැනුවත් නැත.

ඒ මන්ද ඕනෑම රටකට යම් පුද්ගලයෙක් ඇතුල් කරගන්නවාද නැද්ද යන්න තීරණය කරන්නේ එම රටේ ආගමන විගමන පාලකවරයා නිසාය. අනෙක් පැත්තෙන් තාක්ෂණික සහකරු කවුන්ටරයට පැමිණ වීසා නිකුත් කරන්නේ කෙසේද? මේ ප්‍රශ්නවලින් එකල අපිට පෙනුනේද දැන් පෙනෙන්නේ ද මේ ගනුදෙනුවේ අඳුරු අහුමුළු ඕනෑ තරම් තිබෙන බවය. අල්ලස් කොමිසමට ක්‍රියාත්මක වෙන්නට ඕනෑ තරම් අවකාශයක් මෙහි ඇත.

තිබුණ අනුමැතියට මොකද වුණේ?

විදේශිකයන් සඳහා මෙරටට පැමිණි පසුව වීසා නිකුත් කිරීම, කෙටිකාලීන හා වාස වීසා සඳහා මාර්ග ගතව අයදුම්පත් යොමුකිරීම සහ එම අයදුම්පත් යොමුකිරීමේදී ඔවුන්ගේ නිලධාරීන් මගින් (backend QC checking) තත්ත්ව පරීක්ෂාවට ලක්කර මෙම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම, මාර්ගගත වීසා ඉල්ලුම් කිරීමට අදාළ අතුරු මුහුණත (frontend interface) හා වීසා සැකසීමේ හා අනුමත කිරීමේ පද්ධතිය යන පද්ධති මෘදුකාංගය නොමිලේ ලබාදීම, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා වන ඉල්ලුම්පත්‍ර එකතු කිරීම, ජෛවමිතික දත්ත ලබාගැනීම හා එම තොරතුරු විදෙස් ගමන් බලපත්‍ර සෑදීම සඳහා දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම සහ ඊට අදාළ මෘදුකාංග සැපයීම, ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශයන් හි ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම, විදේශිකයන් සඳහා මෙරට පැමිණි පසු සංචාරක රක්ෂණාවරණයක් ලබාදීම, උක්ත සේවාවන් සැපයීම සඳහා මූලිකව වසර 12ක් සඳහා ගිවිසුමකට එළඹීම සහ ඉන්පසුව එය තවත් වසර 6ක් දක්වා දීර්ඝ කිරීම, වීසා ලබාදීමේ සේවා ගාස්තුව ලෙස රක්ෂණාවරණයද ඇතුලත්ව ඩොලර් 25ක් හෝ රක්ෂණාවරණය රහිතව ඩොලර් 18.5ක් අය කිරීම, අමතර සේවා ගාස්තුවකට යටත්ව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජෛවමිතික දත්ත රැස් කිරීම සඳහා ඒකක 50ක උපරීමයකට යටත්ව සැපයීම, විවිධ භාෂා ගණනාවකින් සේවාවන් සැපයීම, යන කරුණු මෙම සමාගම ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවට ඉටුකර දෙන්නට යෝජනා කරන යෝජනාවන් ය.

කැබිනට් මණ්ඩලය මෙම කරුණුවලට එකල එකඟවී ඇත. එකල පත් කරනු ලැබූ ඇගයුම් කමිටුවත් නිර්දේශ ඉදිරිපත් කරමින් මෙම යෝජනා පිළිගැනීම වෙනුවෙන් වෙනත් නීතිමය ආවරණයක් සකසා ඇති බව පෙනෙයි.

මෙහි සමහර කරුණු හොඳ ඒවාය. මේවා ක්‍රියාත්මක කළ යුතු දේවල්ය. එහි ගැටලුවක් නැත. එහෙත් කිසිඳු ප්‍රශ්නයක් නැතිව දුවපු සේවාවන් කඩිමුඩියේ දෙන්නේ ඇයි? එකල අපිට පැන නැඟි ප්‍රධාන ප්‍රශ්නය එයයි.

අනෙක් පැත්තෙන් විදේශිකයන් සඳහා මෙරටට පැමිණි පසුව වීසා නිකුත් කිරීම වැනි කාර්යයක් මෙවැනි සමාගමක භාරයට පත් කරන්නේ කෙසේද? ඉහත යෝජනාවලිය දෙස බලන විට පුද්ගලයන්ගේ ජෛවමිතික දත්තයන් විදෙස් සමාගමක් අතට පත්වීමේ අනතුරක් ද ඇත. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අදහස කුමක්ද?

‘මෙම ආයතනය‘ ලොව පුරා රටවල් 145ක වීසා ලබාදීමේ සේවා සපයන ආයතනයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් කීර්තියට ලක්ව ඇති ආයතනයක් බව ඇගයුම් කමිටු වාර්තාවේ සඳහන්ව ඇත. මෙයත් ඔවුන්ගේ අරුම නිරීක්ෂණයන් අතරින් එකක් ය. මෙම යෝජනාව ඉදිරිපත් කරන විට එම යෝජනාවේම එක් තැනක මෙම ගිවිසුමට මැදිහත්වෙන ආයතන තුන ලෝකයේ රටවල් තුළ කටයුතු කරන ආකාරය පිළිබඳව දළ සටහනක් ඉදිරිපත් කර ඇත.

එහි වීඑෆ්එස් ආයතනය රටවල් 145කට සේවාවන් සපයන බව සඳහන් වෙයි. එම සඳහන මේ සමාගම් තුනටම අදාළ වන්නේ කෙසේද? අනික ඔවුන් පැමිණෙන්නේ තාක්ෂණික සහායටය. මෙහි සඳහන් ප්‍රධාන සමාගම GBS Technology Services සමාගමයි. එහි ඔවුන්ම සඳහන් කරන ආකාරයට ඔවුන් කටයුතු කරන්නේ රටවල් 10ක පමණක් ය. මෙයින් අපිට එදා පෙනුනේද අද පෙනෙන්නේ ද වීඑෆ්එස් අක්කා පෙන්වා නංගී දී මේ අතයට ගේමක් මෙහි ඇති බවය.

අක්කා පෙන්වා නංගී දෙනවා වගේ මේ සියල්ල මෙසේ සිද්ධ වනවිට ඉලෙක්ට්‍රොනික ගමන් අවසර පත්‍ර පද්ධතිය දියුණු කිරීම සහ ආරක්ෂණ පද්ධතියක් සකස් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය වෙත භාරදීමට 2021 ජූලි 29 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවට 2021 අගෝස්තු 17 වැනිදා අනුමැතිය (CP/21/1477/303/117) ලැබී ඇත. එම අනුමැතිය අනුව මොබිටෙල් ආයතනය අදාළ පද්ධතිය සකස් කර අවසන් කර තිබියදීත් එවක අමාත්‍ය ටිරාන් අලස්, මෙසේ ක්‍රියාත්මක වුණේ ඇයි? එයත් සොයා බැලිය යුතුය.

අනෙක් පැත්තෙන් සංචාරක අමාත්‍යාංශය කරන්න ඕනෑ කටයුත්තක් ද මෙහිදී ටිරාන් අලස් අමාත්‍යවරයා තමන් වෙත පවරා ගත්තේ ඇයි? ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශයන්හි ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සංචාරක අමාත්‍යාංශයේ වැඩක්ය. එයත් මෙම යෝජනාවලිය ඇතුලට දමාගෙන එදා මේ නැටූ නාඩගම කුමක්ද? මේවා අදවත් සොයා බැලිය යුතුය.

සේවා ගාස්තුව සාධාරණ ද?

ගිවිසුමට අනුව මෙම සේවාවන් වෙනුවෙන් මෙම ආයතනය ඩොලර් 18.50ක් අයකරයි. ඕනෑම සේවාවක් සඳහා මිලක් තිබෙයි. එම තත්ත්වය තුළ මේ මිල ගැන අපට වරදක් ප්‍රකාශ කළ නොහැකිය. එහෙත් අපට අසන්නට තිබෙන ප්‍රශ්නය එය නොවෙයි. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නිලධාරින් මෙතෙක් සාර්ථකව ප්‍රශ්නයකින් තොරව කරගෙන ආ සේවාවක් මෙසේ විදෙස් රටක සමාගමකට ලබාදීම මගින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් පිටරටට ගලාගෙන යෑමට ඉඩ සෑදීම අවුලක් නැද්ද යන්නයි. රට බංකොලොත්වී කබලෙන් ළිපට වැටී සිටි එකල (දැන් කියාද වෙනසක් නැත) මේ කරන්න ගිය වැඩේ හරිද? අප අහන්නේ එයයි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේම ඇගයුම් කමිටුව කියන ආකාරයට 2035 වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ගණන මිලියන 5.4ක් ය. දැන් ඔබට ලංකාවෙන් පිටතට ඇදී යන ඩොලර් ප්‍රමාණය පිළිබඳව වැටහෙනවා ඇත. 2035 වසරේ දී එම ප්‍රමාණයට සංචාරකයන් ලංකාවට පැමිණියහොත් ඔවුන් වෙත 2035 දී ලැබෙන ආදායම (වීසා නිකුත් කිරීමේ සේවය වෙනුවෙන් අය කරන ඩොලර් 18.50ට අදාලව පමණක්) ඩොලර් මිලියන 100කි. ඔවුන් අපේක්ෂා කරන සංචාරකයන් ප්‍රමාණය ඉදිරි දස වසර තුළ ශ්‍රී ලංකාවට පැමිණියහොත් කොන්ත්‍රාත්තුව අවසන් වෙද්දී එම සමාගම වීසා නිකුත් කිරීමට අය කරන සේවාවට පමණක් ලබාගන්නා ආදායම ඇමෙරිකා ඩොලර් මිලියන 841ක් පමණ ය.

මෙන්න මේ දත්ත ඇතුලේ කතාව ඇතුලේ අල්ලස් වැරදි දූෂණය පිළිබඳ වැරදි සැඟව තිබිය හැකිය.

මේ අනුව එදා ගිය ඩීල් එකේ තරම සිතාගන්නට අමාරු නැත. සේවා දහයක් සැපයීම වෙනුවෙන් මෙම සමාගම එකල ලංකා රජය සමග ගිවිසුම් ගතවූ අතර ඒ අනුව ඔවුන් උපයන ඩොලර් ප්‍රමාණය මීට බොහෝ සෙයින් විශාල වන්නට පුලුවන් ය.

යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවානම් හාල් මල්ල ගැන කවර කතාද කියා කියමනක් ඇත. මේ කියමන අනුව යමින් ටිරාන් අලස් අමාත්‍යවරයා ප්‍රමුඛ රජය එකල හාල් මල්ල පරීක්ෂා නොකරම වීසිකර දැමුවේ ය.

අද අතීතයේ මේ කතාවලට සිදුවන්නේ කුමක්ද? වගකිව යුතු මාධ්‍යවේදීන් විදිහට අප හඬනැඟි මේ ප්‍රශ්න වෙනුවෙන් අප තවමත් පෙනී සිටින බව කිව යුතුය.

– කේ. සංජීව –

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ...

කැරපොත්තන්ගේ සටන පළමු ජය වාර්තා කරයි

සමස්ත ඉන්දියාව පමණක් නොව ලෝකයම සොලවමින් වීදි බැස සිටින කැරපොත්තන්ගේ ජනතා පක්ෂය සිය පළමු ජයග්‍රහනය වාර්තා කරගෙන ඇතැයි ද ඒ අනුව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා...

මන්දිරවල ජනපති නෑ. නමුත් ජනයා ඉදලා. බර වියදමකුත් ගිහිං

ජනාධිපතිවරයා රටපුරා ඇති ජනාධිපති මන්දිර භාවිතා කරන්නේ නැති බව ප්‍රකාශ කරමින් එම මන්දිරවල නවාතැන් නොගත්තත් එහි බොහෝ දෙනෙක් රැඳී සිට ඇති බවද ඒ සඳහා 2025 වර්ෂයේදී විශාල වියදමක් දරා ඇති බවද ජාතික විගණන...