අපේ පරම්පරාව පිස්සු වැටුණු පළමු පාපන්දු තාරකාව මෙසී හෝ රොනාල්ඩෝ නෙවෙයි.
පේලේගේ ප්‍රතිභාව, යොහාන් ක්‍රයිෆ්ගේ ලස්සන මුහුණ, මැරඩෝනාගේ පිස්සු හැදෙන ඩ්‍රිබ්ලින් වලට පස්සෙ එවකට බාසිලෝනා සුපිරි තරුව රොනාල්ඩිනෝ ළඟට අපි ආවා. ඊටත් පසුව කරළියට ආ මෙසී සහ රොනාල්ඩෝ අදටත් පාපන්දු පිටිය දෙවනත් කරනවා.
රොනාල්ඩෝට දැන් 41ක්. ප්‍රධාන තරඟාවලි 10කදී ම එක ගෝලයක්වත් වාර්තා කරන්න අසමත් වෙද්දි සමහරු එහෙම කිව්වා.
ඒ තරඟාවලි 10ට කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය එක්ක තිබුණු 2026 ෆිෆා ලෝක කුසලාන තරඟයත් ඇතුළත්. 1-1ක් ලෙස තරඟය සම වුණත් පෘතුගාලයට හිමි වූ ගෝලය වාර්තා කළේ වෙනත් ක්‍රීඩකයෙකු විසින්.
ඉඩෝරයට සමුදෙමින් පසුගිය දා උස්බෙකිස්ථානය සමඟ පැවැත්වුණු තරඟය ගෝල 5-0ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් කරා ගෙනියන්නත්, ඉන් ගෝල දෙකක් තමා සතු කරගන්නත් රොනාල්ඩෝ සමත් වුණා. එපමණක් නොවෙයි. පාපන්දු ලෝක කුසලාන 6කදීම ගෝල වාර්තා කළ පළමු ක්‍රීඩකයා ලෙසත් ඔහුගේ නම ලියැවුණා.
2010 ෆිෆා ලෝක කුසලානයේ දි මෙසීට එකදු ගෝලයක් හෝ වාර්තා කළ නොහැකිවීම නිසා මේ වාර්තාවට හිමිකම් කීමට ඔහුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් මෙවර ලෝක කුසලානයේ දී රැස් කළ ගෝල 5 සමඟින් සමස්ත ගෝල 18කට හිමිකම් කියන මෙසීට පාපන්දු ලෝක කුසලානයේ වැඩිම ගෝල ලකුණු කළ ක්‍රීඩකයාගේ වාර්තාව බිඳ දමා එය තමා සතු කරගැනීමට හැකියාව ලැබුණා.
පාපන්දු කියන්නෙ වාර්තා පොත් නැවත නැවත අලුත් කරන ක්‍රීඩාවක්. මෙසීත් රොනාල්ඩෝත් කියන්නෙ තමන්ගෙ නමට යටින් හරි හරියට අලුත් වාර්තා ලියාගන්න දෙපළක්.
මේ ගෝල ද්විත්වය සමඟින් ලෝක ඉතිහාසයේ ගෝලයක් ලබාගත් දෙවැනි වයස්ගතම ක්‍රීඩකයා බවට වයස අවුරුදු 41ක් සහ දින 138ක් වයසැති රොනාල්ඩෝ පත්වුණා. එමෙන්ම පසුගිය දා ඇල්ජීරියාවට එරෙහිව වාර්තා කළ ගෝල ත්‍රිත්වය සමඟ පිරිමි ලෝක කුසලාන තරඟයක දී ගෝල එකකට වඩා වාර්තා කළ වයස්ගතම ක්‍රීඩකයා ලෙස මෙසී විසින් තබන්නට යෙදුණු ලෝක වාර්තාව බිඳ දමන්නත් රොනාල්ඩෝට හැකියාව ලැබුණා.
රොනාල්ඩෝ සහ මෙසී කියන්නෙ පාපන්දු බිමේ සදාකාලික ප්‍රතිමල්ලවයන්. ඔවුන්ගේ ජයග්‍රහණ සහ වාර්තා පිළිබඳ සංඛ්‍යානමය දත්ත රසිකයන් අතර නිරන්තරයෙන් හුවමාරු වෙනවා. මෙවර ලෝක කුසලාන තරඟාවලියේ දී මෙසී සහ රොනාල්ඩෝ සම සමව බෙදාගත් තවත් අපූරු වාර්තාවක් තිබෙනවා.
මෙසී තම පළමු ලෝක කුසලාන ගෝලය වාර්තා කළේ 2006 ජූනි 16 වැනිදා සර්බියාව සහ මොන්ටෙනෙග්‍රෝ රාජ්‍යයට එරෙහිව. එවිට වයස අවුරුදු 18ක් වූ ඔහු, අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිස ගෝලයක් ලබාගත්තා. ඊට හරියටම දිනකට පසුව 2006 ජූනි 17 වැනිදා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ත් තමන්ගෙ පළමු ලෝක කුසලාන ගෝලය වාර්තා කළා. එවකට 21 හැවිරිදි වියේ පසුවූ ඔහු ඉරානයට එරෙහිව, තරඟයේ 81 වැනි මිනිත්තුවේ දි ගෝලයක් රැස් කළා.
ඉතිහාසය නැවත නැවත පුනරාවර්තනය වීම සත්‍යයක් බව පසක් කරමින් ඉන් දශක දෙකකට පසු මෙය නැවතත් සිදුවෙලා.
2026 ජූනි 22 වැනිදා මෙසී ඔස්ට්‍රියාවට එරෙහිව ගෝල දෙකක් ලබා ගනිමින් සමස්ත ලෝක කුසලාන ගෝල සංඛ්‍යාව 18ක් දක්වා ඉහළ නංවා ගන්නා විට, ඊට පැය 24කට පසුව රොනාල්ඩෝත් උස්බෙකිස්තානයට එරෙහිව ගෝල ද්විත්වයක් ලබාගත්තා.
ඔවුන්ගේ පළමු ලෝක කුසලාන ගෝල 2006 වසරේදී දිනක පරතරයකින් වාර්තා වුණා වගේම මෑතකාලීන ලෝක කුසලාන ගෝලත් 2026 වසරේදි දිනක පරතරයකින් වාර්තා වීම පුදුමයක්. ක්‍රීඩකයෙකුගේ පළමු සහ මෑතකදීම (නැතහොත් අවසානයටම) ලබාගත් ලෝක කුසලාන ගෝල අතර ඇති දීර්ඝතම කාල පරතරයට හිමි ලෝක වාර්තාව සුපිරි සම වාර්තාවක් විදියට ඔවුන් දෙදෙනා විසින්ම සම කළේ එහෙමයි.

දෙදෙනාගෙන් කවුරු හෝ ඊළඟ ගෝලය රැස් කරන මොහොතේම මේ සමමිතියත්, වාර්තාවත් බිඳී යා හැකි වුණත් පාපන්දු රසිකයන් හැමෝම මේ මොහොත ආදරයෙන් වැළඳගත් බවට නම් සැක නැහැ. 2010 මැයි 5 වැනිදා මෙසී සහ රොනාල්ඩෝ දෙදෙනාම එකම දින තරඟ දෙකකදී හැට් ට්‍රික්ස් වාර්තා කළ සිදුවීමත් මේ සමඟම මතකයට නැගෙනවා.
පාපන්දු රසිකත්වය ‘මෙසී පිල’ සහ ‘රොනාල්ඩෝ පිල’ ලෙස දෙකඩ වීමට ගත්තේ කවදා දැයි හෝ ඒ ඇයි දැයි මට අදහසක් නැහැ. කොහොමවුණත් ස්පාඤ්ඤ පාපන්දු ඉතිහාසයේ දැවැන්තම ක්‍රීඩා සමාජ දෙක වන බාසිලෝනාව මෙසී විසිනුත්, රියල් මැඩ්රිඩ් කණ්ඩායම රොනාල්ඩෝ විසිනුත් නියෝජනය කිරීම මීට ප්‍රධානතම හේතුවක් වෙන්න පුළුවන්.
මේ දෙදෙනා ඒ තරඟයට පැමිණෙන්නත් කලින් ඉඳලාම ඒ පාපන්දු සමාජ එකිනෙකට හැප්පෙන එල් ක්ලාසිකෝ තරඟයට ඉතිහාසයක් තිබුණා. මෙසී සහ රොනාල්ඩෝ විසින් එල් ක්ලාසිකෝ නිර්මාණය නොකළත් ඒ වෙනකොටත් පුරාවෘත්තයක් වෙලා තිබුණ තරඟයකට ලෝකයේම අවධානය ලබා දීමේ ගෞරවය නම් ඔවුන් සතුයි.
දශකයකට වැඩි කාලයක් තිස්සේ පාපන්දු ක්‍රීඩාව කේන්ද්‍රගත වුණේ ලියොනෙල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියන නම් දෙක වටා විතරයි.
2007 සිට 2017 දක්වා වූ දශකය පුරාම පාපන්දු ලෝකයේ අග්‍රගණ්‍ය තනි පුද්ගල සම්මාන වන බැලුන් ඩෝර් සහ ෆිෆා වසරේ ක්‍රීඩකයා යන සම්මාන ද්විත්වයම අඛණ්ඩව දිනාගත්තෙ ඔවුන් දෙදෙනා පමණයි. වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ඒ මැදට එන්න නොහැකි වුණා.
ඒ සමඟම දේශීය ලීග් තරගාවලි, UEFA තරගාවලි සහ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාව පුරා පැවති වාර්තා නිරන්තරයෙන් අලුතින් ලියැවුණා. වැඩිම ගෝල ලාභීන්ගේ ලැයිස්තු උඩුයටිකුරු වුණා. මෙසී-රොනාල්ඩෝ අභියෝගයේ ලොකුම ජයග්‍රාහකයා වුණේ පාපන්දු ක්‍රීඩාවම යි.
මේ ක්‍රීඩක යුගලය රසිකයන්ට දුර්ලභ වරප්‍රසාදයක්. පුරාවෘත්තයක් දකින්නට ලැබෙන්නේ කාලයකට වතාවක් පමණයි. පුරාවෘත්ත දෙකක ජීවමාන අත්දැකීම ලබාගන්නට තරම් වර්තමාන පාපන්දු රසිකයන් වන අපි වාසනාවන්තයි.
මෙසී විටෙක භෞතික විද්‍යා නියමයන් පවා අභියෝගයට ලක් කරනවා. රොනාල්ඩෝ මිනිස් ප්‍රාණියෙකුට වඩා යන්ත්‍රයක් දැයි හිතෙනවා. මෙසී දෙවියන් වහන්සේ වන්නේත් රොනාල්ඩෝ යනු විශ්වකර්මයා වන්නේත් එබැවින් යැයි මම විශ්වාස කරනවා.
-නර්මදා විජේගුණරත්න-







