[gtranslate]

ගිනි රස්නේ වෙලාවක ගිනි අඟුරු අමතක කිරීම..!

meegamuwa prison knews

අපි සාමාන්‍යයෙන් කැලයකට ගිහින් ගිනි මැලයක් ගැහුවට පස්සේ ටික වෙලාවකින් අපි ඒ ස්ථානයෙන් ඉවත්ව යනවා නම් අපි මුලින්ම කරන දේ තමයි ගිනි මැලය හොඳටම නිවන එක. ඊළඟට අඟුරු ඈත් මෑත් කරලා අතේ වතුර බිඳක් හරි තියෙනවා නම් ඒක උඩට හලන එක. එහෙම කරලත් අපේ හිතට මදි.

ඊට පස්සේ අපි කරන්නේ මේ අඟුරු හොඳටම එහෙට මෙහෙට කරලා ඈත් කරන එක. මේ ක්‍රියාවට මානවයා ගින්දර සොයාගත්ත කාලය තරම් දිග ඉතිහාසයක් තියෙනවා. හැබැයි අපේ බන්ධනාගාර පරිපාලකයෝ පසුගිය 2026 ජූලි 5 දවසේ රාත්‍රියේ මේක අමතක කරලා තමයි වැඩ කළේ. ඒ අමතක කිරීමේ ප්‍රතිඵලය කොතරම් දරුණු ද කියලා අපි ජූලි 6 වෙනිදා නින්දට යනකොට දැනගත්තා දැකගත්තා.

මීගමුව බන්ධනාගාරය තුළ පසුගිය 5 වෙනිදා ඇතිවුණ දරුණු ප්‍රචණ්ඩකාරී ගැටුම නිසා රැඳවියෝ දෙදෙනෙකුට තමන්ගේ ජීවිත අහිමි වුණා. තවත් 28 දෙනෙකුට රෝහල් ගත වෙන්න වුණා. පහළ ලින්ක් වලින් ගියොත් ඔයාට පුළුවන් අපි ඒ ගැන ලියපු ආටිකල් කියවන්න.

ඉතින් පහුගිය 5 වෙනිදා දහවල් ඇතිවුණ මේ ගැටුම මේ විදිහට 5 රාත්‍රිය වෙනකොට මැඬලන්න බන්ධනාගාරය සමත් වුණා කියලා ඔවුන් අපිට කිව්වත් ඔවුන් 5 ඇතිවුණ ගින්න සම්පූර්ණයෙන්ම නිවන්නේ නැතුව තමයි රාත්‍රියේ සේවා මුරය අවසන් කරලා තිබෙන්නේ.

5 දවසේ පැතිරුණු ගින්න 6 වෙනිදාට තියාගන්නේ නැතුව නිවලා දාන්න ඕනෑ තරම් වෙලාව තිබ්බා. නමුත් මොකක් හෝ හේතුවකට බන්ධනාගාර පරිපාලනය ඒ පියවරට යන්නේ නෑ. ඔවුන් 5 වෙනිදා මේ සිද්ධියත් එක්ක තමන්ගේ සෙල්වලින් එළියට ආපු සිරකරුවෝ දිගටම එළිමහනේ තබලා තිබෙනවා. 5 දහවල් කැඩුවයි කියන සිරමැදිරි පිළිසකර කරලා ඒ කුටිවල ඉබි යතුරු දාලා මේ සිරකරුවන් අඩුම මීගමුව බන්ධනාගාරය තුළවත් වෙන් කරලා තියන්න බන්ධනාගාර පරිපාලනය කටයුතු කළේ නැත්තේ ඇයි?

සාමාන්‍යයෙන් මෙහෙම දෙපිරිසක් අතරේ ගැටුමක් ඇතිවුණාම සහ විශේෂයෙන් එක පාර්ශවයක සාමාජිකයන් දෙදෙනෙක් ඝාතනය වෙන පසුබිමක මේ වෙන් කිරීම අත්‍යවශ්‍යයි. බොහෝ වෙලාවට ගැටුම සමනය කිරීමේ එක උපක්‍රමයක් විදිහට ඒක කෙරෙනවා. තත්ත්වය මෙය නම් 5 දවසේ රෑ ආණ්ඩුව කියපු විදිහට බන්ධනාගාර පරිපාලකයෝ ආරක්ෂක අංශයන් එක්ක එකතුවෙලා මේ ගැටුම සමථ කරලා නැද්ද? උත්තරේ තමයි ඔහේ නිවෙන්න ඇර බලාගෙන හිටියා ය කියන එක.

බන්ධනාගාර භාර ඇමති හර්ෂණ නානායක්කාර

බන්ධනාගාර භාර ඇමති හර්ෂණ නානායක්කාර කියන විදිහට පසුගිය ජූලි 6 මේ ගැටුම ආයේ පටන් ගන්නේ රැඳවියන්ට ආහාර දෙන්න සූදානම් වීමත් එක්ක. එතනදී ඔවුන් නිලධාරීන් එක්ක තමයි ගැටෙන්නේ. දැනගන්න තියෙන විදිහට නිලධාරීන්ට වටකර ප්‍රහාරයක් එල්ලකරලා තිබෙනවා. ඒක අතිශය දරුණු මාරාන්තික ප්‍රහාරයක්. ඒ සමඟ තමයි බන්ධනාගාර පරිපාලනය වෙඩි තියන්න තීරණය ගෙන තිබෙන්නේ. මේ ගැටුම අතරතුර බන්ධනාගාර නිලධාරීන් අතේ තිබුණ ගිනි අවි දෙකක් රැඳවියන් පැහැරගෙන තිබෙනවා. එහි ප්‍රතිඵලය තමයි නිලධාරීන් හිතපු නැති ප්‍රමාණයක් මිය යෑම.

ජූලි 5 දවසේ මේ ගැටුම ආරම්භ වුණාම ඒ ස්ථානයට අමතර පොලිස් නිලධාරීන් වගේම එස්.ටී.එෆ් නිලධාරීනුත් එනවා, නමුත් ගැටලුව මේ නිලධාරීන්ගේ සේවය ගනිමින් අඩුම 6වෙනිදා උදේ වෙනකොට වත් මේ ගැටුම අවසන් කරලා රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරන්න බන්ධනාගාර පරිපාලනය පියවර නොගැනීම.

6 වෙනිදා ගැටුම පටන් ගත්ත විදිහ ගැන රැඳවියන්ගේ පාර්ශවයෙන් කියවෙන්නේ, ආණ්ඩුව සහ අමාත්‍යවරයා කියනවාට වඩා වෙනස් කතාවක්. ඔවුන් කියන්නේ පහුවදා රැඳවියන් බලන්න සිය සමීපතමයන්ට අවස්ථාව දෙනවා කීවට ඒක වෙලා නෑ කියලා.

ඊළඟ කාරණය තමයි, කලින් දවසේ ගැටුමට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයන් කිහිපදෙනෙක් බන්ධනාගාර පාලනය විසින් වෙනමම ඉවතට අරගෙන ඔවුන්ට පහර දෙන්න හැදුවා කියන එක සහ ඒ සමඟම මේ දෙවෙනි දිනයේ ගැටුම හට ගත්තා කියන එක.

මෙහෙම ගැටුමක් උනාට පස්සේ ඒක ලීඩ් කරපු අය හඳුනගෙන, ඔවුන්ට හොඳටම ගහන එක බන්ධනාගාර සාම්ප්‍රදාය කියලා තමයි මේක දන්න විශ්වාසදායක මූලාශ්‍රයක් ප්‍රකාශ කරන්නේ. මේ කියන විදිහට මේ සිද්ධියට මුල්වුණ රැඳවියන්ට පහර දීම සඳහාම වෙනත් බන්ධනාගාර නිලධාරීන් 6 වෙනිදා උදේ මීගමුව බන්ධනාගාරයට ඇවිත් තිබෙනවා. මේ විදිහට ඝාතනයට ලක්වුණ බන්ධනාගාර නිලධාරීන් සියල්ලම වගේ එහෙම පිට බන්ධනාගාරවලින් ආපු අය කියලා තමයි අපේ වෙබ් අඩවියට කතා කරපු ඒ විශ්වාසදායක ආරංචි මාර්ගය ප්‍රකාශ කළේ.

දැන ගන්නට තිබෙන විදිහට මේක පිටුපස විශාල පරිපාලන අවුලක් තිබෙනවා. හිටපු බන්ධනාගාර ප්‍රධානියාගේ සේවය අවසන් වෙන්නේ කැබිනට් තීරණයක් උඩ. මේ තීන්දුව වැරදියි කියලා බොහෝ දෙනෙක් කියනවා. ජනාධිපති සමාවට අදාළ සිදුවීමක් තමයි මේ සේවයෙන් ඉවත් කිරීමට හේතුව. කොහොමහරි ඊළඟට ආපු වැඩබලන ප්‍රධානියාගේ බන්ධනාගාර පරිපාලනය අන්තිමයි කියන එක තමයි මේ සිදුවීමෙන් පවා අපිට පෙනෙන්නේ.

අනෙක තමයි පසුගිය 5 වෙනිදා සිදුවීම වෙලාවේදී ඒකට බන්ධනාගාර අමාත්‍යවරයා තමන්ගේ උපරිමයෙන් ඊට මැදිහත් වුණේ නෑ කියන එක. විපක්ෂය චෝදනා කරන්නේ වර්තමාන අමාත්‍යවරයාට මේ වෙලාවේ බන්ධනාගාරය දිහා බලාගෙන ඉන්න වෙලාවක් නෑ, ඔහුට 22වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ලෑස්තිවෙන්න ලොකු තැන නියෝග කරලා කියන එක. කොහොම වුණත් අවසානයේ ව්‍යසනය බරපතළ තත්ත්වයකින් තමයි කෙළවර වුණේ.

අමාත්‍යවරයාම කියන විදිහට මේ සිදුවීමෙන් මේ වෙනකොට බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙක් ඝාතනයට ලක්වෙලා තිබෙනවා. ඒ වගේම බන්ධනාගාරයේ රජයේ භාරයේ සිටි රැඳවියන් 19 දෙනෙක් ඝාතනය වෙලා තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් 23ක් තුවාල වෙලා තිබෙනවා. රැඳවි‍යන් 54 දෙනෙක් තුවාල වෙලා මේ වෙනකොට මීගමුව සහ කොළඹ ජාතික රෝහලට ඇතුල් කරලා තිබෙනවා. මේ සංඛ්‍යා දත්ත වාර්තාවන් අවසාන නිල දත්ත නොවෙයි. මේ ප්‍රමාණයන් තවත් ඉහළ යන්න පුළුවන්. ඒකට හේතුව මේ තුවාලකරුවන් අතරේ තවත් බරපතළ තුවාලකරුවන් සිටිනවා කියන එක.

බූරු මූණා

ආණ්ඩුව කියන විදිහට මේ ගැටුමට මූලිකම හේතුව වෙලා තිබෙන්නේ, බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වූ රහසිගත මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ ඔත්තු බන්ධනාගාර පරිපාලනයට යම් කණ්ඩායමක් විසින් සැපයීම. ‘බූරු මූණා’ නැමැති පාතාල සාමාජිකයාගේ සගයෙකු වන ‘කටුවැල්ලේගම සුරේෂ්’ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් ඒ කණ්ඩායම සොයාගෙන ඔවුන්ට පහර දීම තමයි, ආණ්ඩුව කියන විදිහට මේ ගැටුමට මූලිකම හේතුව.

මේ ගැටුමෙන් පස්සේ තමයි සිරකුටිවල ඉබි යතුරු කඩලා රැඳවියන් ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරෙන්නේ. ෆාමසිය කඩලා වේදනානාශක අධි මාත්‍රාවෙන් අරගෙන තිබෙනවා කියලත් කියවෙනවා. මෙහි අවසන් ප්‍රතිඵලය විශාල විනාශයක් සිදුවීම. බන්ධනාගාරය තුළ තිබූ CCTV පද්ධති සහ බොඩි ස්කෑනර් යන්ත්‍රයද රැඳවියන් විසින් සම්පූර්ණයෙන්ම විනාශ කරලා කියලා තමයි අමාත්‍යවරයා කියන්නේ.

බන්ධනාගාර ගැටුම්වල ඉතිහාසය

ලංකාවේ බන්ධනාගාර ඉතිහාසය දිහා බැලුවහම මේ ගැටුම් අපිට අමුත්තක් වෙන්න විදිහක් නෑ. අනික් පැත්තෙන් මේ ගැටුම් අවසානයේ මේවට සම්බන්ධ වුණ පිරිස්වලට වගකිව යුතු අයට නීතිය ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ හරිම සීමිත ආකාරයකට.

අපි මුලින්ම 1983 වැලිකඩ බන්ධනාගාර සංහාරයට ගියොත් කළු ජූලිය කියන වාර්ගික කෝලාහල සමයේ, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවුම් භාරයේ සිටි දෙමළ දේශපාලන සිරකරුවන් 53 දෙනෙකු සිංහල රැඳවියන් විසින් 1983 ජූලි 25 සහ 27 යන දිනවලදී සිරමැදිරි තුළදීම අමානුෂික ලෙස පහර දී ඝාතනය කරනවා.

බන්ධනාගාර නිලධාරීන් සිතාමතාම දෙමළ රැඳවියන් සිටින සිර කුටිවල දොරවල් විවෘත කරලා සිංහල රැඳවියන්ට ඒ ප්‍රහාරයට ඉඩ සැලසුවා කියලා තමයි කියවෙන්නේ. මේක දැන් කාලයක් තිස්සේ නැඟෙන චෝදනාවක්.

1997 දෙසැම්බර් 12 වැනිදා කළුතර අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිටි දෙමළ දේශපාලන සිරකරුවන් පිරිසකට එරෙහිව සිංහල රැඳවියන් 200කට අධික පිරිසක් කඩු, පොලු සහ ගල්වලින් සන්නද්ධව සිරමැදිරි තුළට කඩාවැදී ප්‍රහාර එල්ල කරනවා. මෙයින් දෙමළ රැඳවියන් 3 දෙනෙකු සිරමැදිරි තුළදීම ඝාතනයට ලක්වෙනවා.

මේ ගැටුම මැඬපැවැත්වීමට ඔවුන් නිසි බර යොදා උත්සාහයක් නොගත්තා කියන චෝදනාව තමයි මෙතනදීත් බන්ධනාගාර නිලධාරීන්ට එල්ල වෙන්නේ.

අපි කවුරුත් දන්න 2012 වැලිකඩ බන්ධනාගාර ගැටුම අතරතුර යුද හමුදාව සහ ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් රැඳවියන් 27 දෙනෙකු ඝාතනය වෙනවා. ලිස්ට් එකට නම අඬගහලා පෝලිම් කරලා හිසට වෙඩි තිබ්බා කියන එක තමයි චෝදනාව.

2020 නොවැම්බර් 29 වැනිදා කොවිඩ්-19 වසංගත සමයේ තමන්ට පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා රැඳවියන් කළ සාධාරණ විරෝධතාවයකදී බන්ධනාගාර නිලධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාර නිසා රැඳවියන් 11 දෙනෙකු මිය යනවා.

පසුකාලීනව වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය සිය තීන්දුව මගින් ප්‍රකාශයට පත් කරන්නේ, මෙම සිරකරුවන් 11 දෙනා ඝාතනය කිරීම කැරැල්ලක් මැඬපැවැත්වීමක් නොවන බව සහ එය සමූහ ඝාතනයක් බව.

මීට අමතරව අනුරාධපුරය, අඟුණුකොළපැලැස්ස, මාතර, කුරුවිට ආදී බන්ධනාගාර තුළිනුත් මේ ප්‍රචණ්ඩත්වය පිළිබඳ සාක්ෂි වගේම සිරකරු ඝාතනයන් පිළිබඳවත් කියවෙනවා.

මේ අවලස්සන තත්ත්වයට හේතුව කුමක්ද?

මෙයට ප්‍රධානතම හේතුව බන්ධනාගාරවල ඉඩකඩ සීමිත වීම. 11,000ක් ඉන්න පුළුවන් බන්ධනාගාර පද්ධතිය තුළ 41,000ක් රැඳවියන් සිටිනවා. මෙය තමයි මේ ගැටුම්වලට සහ සහාසික ප්‍රචණ්ඩත්වයට ප්‍රධානතම හේතුව. වැලිකඩ බන්ධනාගාරයේ ධාරිතාව 1,174ක් වුණත් එහි 3,800ක් රඳවාගෙන සිටිනවා. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ධාරිතාව 310ක් වුණත් එහිත් රැඳවියන් 2,126ක් රඳවාගෙන ඉන්නවා.

මැගසින් බන්ධනාගාරයේ ධාරිතාව 608ක් වුණත් එහිත් රැඳවියන් 2,600ක් රඳවාගෙන සිටිනවා කියන එක තමයි සංඛ්‍යා දත්ත අපිට කියන බියකරු ඇත්ත. අනෙක් බන්ධනාගාරවල තත්ත්වයත් මීට නොදෙවැනි බව කියන්න අවශ්‍යයි.

මෙතන සිටින 41,000ක රැඳවුම්කරුවන්ගෙන් 20,000ක් විතර දෙනා ඉන්නේ ඇප දිය හැකි මට්ටමේ. එහි බහුතරය මත්ද්‍රව්‍ය වැරදි. පොලීසිය විසින් අත්තනෝමතික ආකාරයට 54 වගන්තිය ගහලා බන්ධනාගාර ගත කරපු රැඳවියන් තමයි මෙතන ඉන්න සාතිශය බහුතරය.

ඇප දීම රීතිය රිමාන්ඩ් කිරීම ව්‍යාතිරේකය ලෙස නීති පොත්වල ලියවෙලා තිබුණත් ගොඩක් මහේස්ත්‍රාත්වරුන් ඇප නොදෙන්න තමයි පෙළඹෙන්නේ. අපිත් සමාජයක් විදිහටම මනුස්සයෙක් වැරැද්දක් කරපු ගමන් ඔහු රිමාන්ඩ් කළ යුතුයි කියන මතයේ තමයි තදින්ම සිටින්නේ.

එයට හේතුව ලංකාවේ රිමාන්ඩ් කිරීම යන්න දඬුවමක් විදිහට පොදුවේ පිළිගැනීම. රණ්ඩුවක් වුණත් ‘හිටහන් මම උඹව 14ක් ඇරලා තමයි පස්ස බලන්නේ’ කියලා තමයි අපි කවුරුත් තරහට වුණත් පොදුවේ කියන්නේ.

අධිකරණයෙන් වැරදිකරුවෙක් වෙන තුරු ඕනෑම පුද්ගලයෙක් සැකකරුවෙක් පමණයි කියලා අපි පොදුවේ පිළිගත්තත් ඒ නිවැරදිකරුවාටත් තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්නට ප්‍රථමයෙන් මේ අන්ත අපායක් බඳු සිර මැදිරියක කූරු ගනින්න සිදුවෙනවා. එය ඇත්තටම නිකරුනේ දඬුවම් ලැබීමක් නොවෙයිද?

නිලධාරී හිඟය

පවතින දත්ත අනුව සමස්ත බන්ධනාගාර පද්ධතියම පාලනය කිරීම සඳහා සැබවින්ම අවශ්‍ය නිලධාරී ප්‍රමාණයෙන් දැන් සිටින්නේ හතරෙන් එකක් වැනි ඉතා අවම පිරිසක්. එසේ රාජකාරි කරන පිරිසත් මේ සේවක හිඟය නිසාම දැඩි මානසික අවුලක සිය රැකියාව සිදු කිරීම බන්ධනාගාරය මෙවැනි අවලස්සන තැනක් වන්නට ප්‍රධාන හේතුවක්.

මීගමුව බන්ධනාගාරයේදී ද දහස් සංඛ්‍යාත රැඳවියන් පාලනය කිරීමට සිටියේ සීමිත නිලධාරීන් පිරිසකි. මෙවැනි නිලධාරී හිඟයක් පවතින විට, රැඳවියන් සංවිධානාත්මකව කැරලි ගසද්දී ඔවුන් පාලනය කිරීම නිලධාරීන්ට තනිවම කළ නොහැකි වෙයි. මෙහිදී ද සිදුවූයේ නිලධාරීන් ප්‍රමාණයෙන් අඩු වීම නිසා රැඳවියන්ට පහසුවෙන්ම නිලධාරීන්ව යටපත් කර, ඔවුන් සතු ගිනිඅවි පවා පැහැර ගැනීමට හැකි වීමයි.

අවම පහසුකම්

බන්ධනාගාරය තුළ පවතින යටිතල පහසුකම් ද තිබෙන්නේ අතිශයින්ම ඛේදනීය මට්ටමක. සිය ගණනක් රැඳවියන් වෙනුවෙන් භාවිත කිරීමට ඇත්තේ එකම වැසිකිළියක් වැනි අවම පහසුකම්ය. සෞඛ්‍ය පහසුකම්, නිසි ආහාර පාන මෙන්ම නිදා ගැනීමට පවා ඉඩකඩ නොමැති වීම නිසා රැඳවියන් සිටින්නේ පාලනාධිකාරිය සහ ආරක්ෂක අංශ කෙරෙහි දැඩි වෛරයකිනි. මෙවැනි පසුබිමක, පාතාල සාමාජිකයන් හට රැඳවියන් සිය පාලනයට නතු කර ගැනීම අමාරු නැත.

අනෙක් පැත්තෙන් බන්ධනාගාර යාන්ත්‍රනය තුළ පාතාල සහ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් සඳහා පුළුල් පරිමාණ නිදහසක් හිමිවීම සහ නොබියව එම නිදහස පාතාල සහ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් කාලයක් තිස්සේ අභ්‍යාස කිරීම ලංකාවේ බන්ධනාගාර මෙවැනි තත්ත්වයකට පත්වන්නට හේතුවක් වී ඇත. දුරකථන භාවිතය බන්ධනාගාය තුළ තහනම් වූවත් එය කවදාවත් කරන්නට බැරිය.

බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය රැගෙන යාම තහනම් වුණත් සමහර බන්ධනාගාර තුළ එළියේ සමාජයට වඩා වැඩියෙන් මත් ද්‍රව්‍යයන් තිබෙන්නේ ය. මේවා පාලනය කිරීම පාලකයන්ටත් අසීරු වී තිබෙන තත්ත්වයක් තුළ මෙවැනි ඛේදනීය සිදුවීම් වාර්තා වීම අරුමයක් නම් වන්නට බැරිය. මෙහෙම නොවුණොත් තමයි පුදුමය..!

භූමරංගය

රැඳවියන්ට මෙම අයුතු නිදහස ලබාදී තිබෙන්නේ ද බන්ධනාගාර පරිපාලනය විසින්මය. අද මේ නිලධාරීන්ගේ ඝාතනයන්වලට ද හේතුව එය බව බන්ධනාගාර පරිපාලනය වහා තේරුම් ගත යුතුය. පාතාලය මර්දනය කිරීම, මත් උවදුර මර්දනය කිරීම සියයට සියයක් සාර්ථක කර ගැනීමට නම් එයට බන්ධනාගාරයෙන් විශාල සහායක් ලැබිය යුතුය.

ඒ සඳහා බන්ධනාගාරවල කොටුකර රජයේ වියදමෙන් තබාගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමාජයෙන් හුදකලා කළ යුතුය. එය කළ හැක්කේ බන්ධනාගාර පරිපාලනයට ය. එය නොකරන තාක් මත් උවදුර හෝ පාතාල උවදුර සමාජයෙන් තුරන් කරන්නට බැරි බව අප මතක තබා ගත යුතුය.

අපරාධ ලංකාව

ඊයේ මීගමුව බන්ධනාගාරය අසලට එකතුවූ දහස් සංඛ්‍යාත මිනිස් පොකුරේ කතාව බියකරු ය. එයින් හැඟවෙන්නේ ලංකාව නම් සමාජය මත් රකුසාට බිලි වී තිබෙන පරිමාවයි. තාත්තා සහ පුතා සිරගෙදර සිටියදී අම්මා එළියේ උද්ඝෝෂණය කරයි.

අම්මා සහ පුතා ඇතුළේ සිටියදී තාත්තා එළියේ උද්ඝෝෂණය කරයි. මේ බොහෝ දෙනෙක් ඇතුළට ගොස් තිබෙන්නේ මත්ද්‍රව්‍ය වැරදි නිසා ය. මේ සියල්ලෝම පොලීසිය විසින් ගේමක් ගසා ඇතුළට දාලා යනුවෙන් කියන්නට බැරිය. එනිසා අපි වහාම ලංකාව වෙළාගෙන පැතිර පවතින මේ පිළිකාවේ තත්ත්වය හඳුනාගත යුතුය.

ආණ්ඩුවත් බලධාරීනුත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වැනි ආයතනයන් තවත් ශක්තිමත් කරමින් මිනිසුන් වාර්තාවන් එනකම් කිය කියා රිමාන්ඩ් එකේ නොතියා ඉතා ඉක්මනින් වාර්තාවන් ලබාදෙමින් නීති කටයුතු ඉක්මනින් කරමින් හැමෝම රිමාන්ඩ් කරන සංස්කෘතියට තිත තැබිය යුතුය.

වර්තමාන ආණ්ඩුවත් වෙන දා ආණ්ඩු සේම මීගමුව බන්ධනාගාරයේ ඇතිවුණ මෙම අවලස්සන තත්ත්වය පිරික්සීම සඳහා කමිටුවක් පත් කර ඇත. එහි සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පත් කර ඇති අතර, විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා සහ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා සෙසු සාමාජිකයන් ලෙස පත් කර ඇත.

මෙවැනි ගැටුම් ගැන කමිටු වාර්තා නම් ඕනෑවටත් වඩා අපේ රාජ්‍ය ලේඛනාගාරය සතුය. එහෙත් ඒ කමිටු නිර්දේශ *ක්‍රියාත්මක වුණු තැනක් සොයා ගැනීම නම් අසීරු ය.

මේ ආපරාධ රාජ්‍යයේ තිර පැවැත්මට එයත් එක හේතුවක් ය..!

-කේ. සංජීව-

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ...

කැරපොත්තන්ගේ සටන පළමු ජය වාර්තා කරයි

සමස්ත ඉන්දියාව පමණක් නොව ලෝකයම සොලවමින් වීදි බැස සිටින කැරපොත්තන්ගේ ජනතා පක්ෂය සිය පළමු ජයග්‍රහනය වාර්තා කරගෙන ඇතැයි ද ඒ අනුව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා...

මන්දිරවල ජනපති නෑ. නමුත් ජනයා ඉදලා. බර වියදමකුත් ගිහිං

ජනාධිපතිවරයා රටපුරා ඇති ජනාධිපති මන්දිර භාවිතා කරන්නේ නැති බව ප්‍රකාශ කරමින් එම මන්දිරවල නවාතැන් නොගත්තත් එහි බොහෝ දෙනෙක් රැඳී සිට ඇති බවද ඒ සඳහා 2025 වර්ෂයේදී විශාල වියදමක් දරා ඇති බවද ජාතික විගණන...