ලුටියන්ස් දිල්ලි කියලා කියන්නේ නවදිල්ලියේ හදවත. ඔන්න මේ වෙනකොට ලුටියන්ස් දිල්ලිය දැවැන්ත වීදි විරෝධතාවල කේන්ද්‍රස්ථානයක් වෙලා. හරියට අපේ ගෝල්ෆේස් අරගල භූමිය වගේ. විරෝධතා ගින්න ඇවිලිලා මේක ලියන අද 23 උදෑසන වෙනකොට දවස් තුනක් මහිතේ. මේ අරගලයේ ප්‍රධාන සංකේතය වෙලා තියෙන්නේ ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙක් වුණ සෝනම් වංචුක්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, මෑතකදී සිදුවූ විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමට එරෙහිව වගවීම වගේම මේ ප්‍රශ්නයට වගකියන්න ඕනෑ කියලා කියවෙන ඉන්දීය අධ්‍යාපන ඇමති ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීම ඉල්ලමින් වංචුක් උපවාසයක තමයි ඉන්නේ. ඒ පහුගිය ජූනි 28 වැනිදා ඉදලා.
ජන්තර් මන්තර් විරෝධතා භූමියේ ඉදලා තමයි ඔහු දිගමට මේ උපවාසය කළේ. එහෙත් අවසානයේ ඉන්දීය පොලීසිය වංචුක්ව බලෙන්ම උස්සගෙන ගිහිං රෝහලට දැම්මා. ජනතාව කඩිගුලක් වගේ ඇවිස්සුනා. ඊළඟට මෝදිගේ දරුණු මර්දනය මහපාරට පැමිණියා. අන්තර්ජාලය තහනම් වුණා. මේ සේරම අස්සේ ඉන්දියාවේ යම් දෙයක් වෙමින් තිබෙන බව තමයි පේන්නේ. මෑතකදි පිහිටවාගත්ත කැරපොතු පක්ෂය සහ ඒ පක්ෂය වටා එකතුවුණ ජෙන් සී කැරපොතු තරුණයෝ මේ විරෝධතාවල ඉස්සරැහින්ම ඉන්නවා. ප්‍රධාන දහරාවේ මාධ්‍ය මේක වාර්තා කරන බවක් පේන්නේ නෑ. නමුත් ‘The Print’ වගේ මාධ්‍ය ආයතනය, ප්‍රවීණ මාධ්‍යවේදියෙක් වන Shekhar Gupta වගේ අය මේ ගැන වාර්තා කරනවා. මේ The Print ආශ්රයෙන් knews.lk ගෙනෙන වාර්තාවක්.
ඔහු ජූනි 28 වෙනිදා ඉදලා උපවාසයක හැබැයි බලහත්කාරයෙන් රෝහල් ගත කරලා. Medanta රෝහලට වෙලා උපවාසයේ 25 වැනි දිනය පසුකරමින් ඉන්න වංචුක් කියන්නේ සාමකාමීව විරෝධතාවල නිරතවුණ කිසිදු ශිෂ්‍යයෙකුට එරෙහිව අපරාධ චෝදනා ගොනු නොකරන්නේ නැතිනම්, තමන් උපවාසය අත්හැරීමට සූදානම් කියලා.
මෙම අර්බුදය හුදෙක් ශිෂ්‍ය උද්ඝෝෂණයක් පමණක් නොවන අතර, එය සමස්ත ඉන්දීය දේශපාලන යාන්ත්‍රණයේම දුර්වලතා මනාව පෙන්නුම් කරන කැඩපතක් බවට පත්ව ඇත. ‘The Print’ මාධ්‍ය ආයතනයේ ප්‍රවීණ කර්තෘ Shekhar Gupta පෙන්වා දෙන්නේ, මෙවැනි බිම් මට්ටමේ අර්බුදයක් ආවරණය කිරීම සඳහා අතිශය දක්ෂ, තරුණ වාර්තාකරුවන් පිරිසකගේ අවශ්‍යතාවය අත්‍යවශ්‍ය බවයි. කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර මැදින් වාර්තාකරණයේ යෙදෙන මේ තරුණ මාධ්‍යවේදීන්, ඉන්දීය රජයේ නිහැඬියාව හමුවේ පුපුරා ගිය දැවැන්ත ජනතා කෝපයේ සැබෑ ස්වරූපය ලොවට හෙළි කරමින් සිටී.

කුඩා විරෝධතාවයක් දැවැන්ත අරගලයක් වූ හැටි
මෙම අර්බුදය මෙතරම් දරුණු අතට හැරීමේ ප්‍රධානතම සන්ධිස්ථානය වූණේ පසුගිය සෙනසුරාදා උදෑසන 7ට විතර දිල්ලි පොලිසිය ඇවිත් සෝනම් වංචුක්ව බලහත්කාරයෙන් රැගෙන යාම. ඊට පෙර සිකුරාදා දිනය වන විටත් ජන්තර් මන්තර් විරෝධතා භූමියේ හිටියේ 300ක විතර කුඩා පිරිසක්. සඳුදා දිනයේදී පාර්ලිමේන්තුව දෙසට පාගමනක් යාමට ඔවුන් සැලසුම් කර තිබුණත්, එය වැඩකරන දිනයක් නිසා ඊට විශාල ජනකායක් සහභාගී වෙයි කියලා කවුරුත් මුලින් හිතුවේ නෑ.
ඒත් සෝනම් වංචුක් අත්අඩංගුවට ගැනීමේ පුවත සැලවීමත් එක්ක තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට හැරුණා. ශිෂ්‍යයන් සහ අනාගත තරුණ පරපුර වෙනුවෙන් ඔහු කළ කැපකිරීමට රජය ගෞරව කළ යුතු බවට හැඟීමක් ජනතාව තුළ වේගයෙන් ගොඩනැගෙන්නට වුණා. එහි ප්‍රතිඵලය 1000, 4000, 5000 ආදී වශයෙන් දහස් ගණනින් ජනතාව ජන්තර් මන්තර් භූමියට පැමිණීම.
දිල්ලි පාරවල් උතුරලා ගියා. ගොඩක් අය කියන්න ගත්තා මෑතක දැක්ක ලොකුම විරෝධය කියලා. කැරපොතු පක්ෂයේ නිර්මාතෘ අභිජිත් ඩිප්කේ මේ එක්ක කිව්වා තම ඉල්ලීම අධ්‍යාපන ඇමති ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීමේ සිට අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඉල්ලා අස්වීම දක්වා දැන් වෙනස් වෙලා කියලා. ඒකට හේතුව මේ ජන ගඟ වෙන්න පුළුවන්.
පාර්ලිමේන්තු පාගමන සහ පොලිස් මර්දනය
විරෝධතාවයේ වඩාත්ම තීරණාත්මක දිනය වූණේ 20 වෙනි සඳුදා. එදා තමයි පාර්ලිමේන්තු පාගමන දාගෙන තිබුණ දවස. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීම වැළැක්වීමට ජන්තර් මන්තර් ආසන්නයේ Sansad Marg වල යකඩ මාර්ග බාධක එකට පාස්සලා තිබුණා. මෙට්‍රෝ දුම්රිය ස්ථානවල ගේට්ටුද අවහිර කළා. ඒත් බාධක වැඩිවෙන්න වැඩිවෙන්න ජනතාවත් වැඩිවුණා. විශාල ජනකායක් Barakhamba පාර සහ Tolstoy පටුමග හරහා පයින්ම ඇවිත් දිල්ලියේ මැද සියළුම වීදි අත්පත් කරගත්තා කියලා තමයි කියන්නේ.
තත්ත්වය පාලනය කරගන්න බැරිම තැන දහවල් 12 ට බලධාරීන් මධ්‍යම දිල්ලියේ අන්තර්ජාල සේවා සම්පූර්ණයෙන්ම විසන්ධි කළා. සන්නිවේදනය සඳහා ඉතිරිව තිබුණේ සාමාන්‍ය කෙටි පණිවිඩ විතරයි. පසුව Patel Chowk ප්‍රදේශයේදී පොලිසිය විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ බැටන් පොලු ප්‍රහාර එල්ල කිරීම පටන්ගත්තා. මාර්ග බාධක නිසා දුවන්න බැරුව හිරවුණ අවුරුදු 20-21 තරුණ ශිෂ්‍යයන් පසුපස කිසිදු අනුකම්පාවකින් තොරව පන්නා පහර දුන්නා කියලා තමයි වාර්තා වෙන්නේ.
මාධ්‍ය හැඳුනුම්පත් පෙන්වූවද, වාර්තාකරුවන්ට පවා මේ සහාසික පොලිස් ප්රහාරයන්ගෙන් බේරෙන්න බැරිවුණා. ‘The Print’ වාර්තාකාරිණී Alisha Dutta සහ ඇගේ සගයා වන Saqiba තුන් වතාවක් කඳුළු ගෑස් ප්‍රහාරවලට ලක්වී Shangri-La හෝටලය ඉදිරිපිට සිරවෙලා ඉදලා තියෙනවා. Connaught Place වල අවන්හල් ඇතුලට ගිය පොලීසිය විරෝධතාකරුවන් එළියට ඇදලා ඔවුන්ටත් බැටන් ප්‍රහාර එල්ල කරලා තියෙනවා.

රාත්‍රියේ නොසැලුණු ධෛර්යය
බැටන් ප්‍රහාර කඳුළු ගෑස් නිසා විරෝධතා නතරවෙයි කියලා ගොඩක් අය හිතුවත් ඒක එහෙම වුණේ නෑ කියලා තමයි කියන්නේ. මිනිස්සු ආයේ රාත්‍රිය උදාවෙනකොට ජන්තර් මන්තර් භූමියට ආවා. රාත්‍රී 7:30 වෙනකොට 1000ක විතර සෙනඟක් එහි ඉදලා තියෙනවා. පොලිසිය සහ කඩිනම් ක්‍රියාකාරී බලකාය (RAF) මුළු භූමියම අවහිර කරලා තිබුනත් පැය දෙකක සාකච්ඡාවලින් පස්සේ ජනතාවට ඇතුළට යාමට අවසර දෙන්න බලධාරීන්ට සිදුවුණා.
පොලිස් ප්‍රහාරවලින් දැඩි ලෙස තුවාල ලබා සිටි කවියෙකු ද ප්‍රින්ට් මාධ්‍යවේදියෙක්ට මෙහෙම කියලා තිබ්බා. ‘අපේ බය නැතිවෙන තරමට අපිව බය කරන්න එපා’. මධ්‍යම රාත්‍රියට කිට්ටුවෙනකොට තවත් මිනිස්සු වැඩිවෙලා තිබෙනවා. අධික වැස්ස නිසා කූඩාරම් කැඩිලා බිඳිලා ගියත් මිනිස්සු තම පවුල් එක්ක දරුවෝ එක්ක මුලු රැය පුරාම විරෝධතා භූමියේ ඉදලා තියෙනවා. හරියටම ගෝල්ෆේස් අරගල භූමිය වගේ.
මාර්ග බාධක කැඩුවේ කවුද?
වසර 45ක ඡායාරූප පුවත්පත් කලා අත්දැකීම් ඇති ප්‍රවීණ මාධ්‍යවේදී Praveen Jain කියන විදිහට වී.පී. සිංගේ කාලයේ පැවති මණ්ඩල් කොමිසමේ විරෝධතාවලදීවත් මෙතරම් විශාල අසංවිධානාත්මක සෙනඟක් තමන් දැකලා නෑ. විරෝධතා භූමියේ නවතා තිබූ මෝටර් රථවලට හානි කිරීම සහ මාර්ග බාධක කඩා දැමීම ශිෂ්‍යයන් විසින් සිදු නොකළ බව ඔහු කියනවා. පොලිස් අත්අඩංගුවට පත්වීමට ශිෂ්‍යයන් තුළ බියක් තිබූ බව තමයි ඔහුගේ අදහස.
ඇත්තටම මාර්ග බාධක කඩලා ඉදිරියට ගිහිං තිබුණේ, චන්ද්‍රශේඛර් ආසාද්ගේ Bhim Army කණ්ඩායමට අයත් පිරිසක්. මෙහේ වගේම තමයි..! එදින උදෑසන 10:20ට අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් විනාඩි 10ක කතාවක් කරලා ගිහිං තිබ්බා. ඉතිං ඒ වෙලාවේ විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගේට්ටුව අසලටම පැමිණීම ගැන කලබල වුණ පොලිසිය, කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.
ඒ එක්කම නිල් පැහැති නිල ඇඳුමින් සැරසුණු RAF බලකාය විසින් පෙලට් තුවක්කු භාවිතා කළා කියත් කියවෙනවා. වාර්තාකරුවන් කියන්නේ දිල්ලි පොලීසිය මේක ප්‍රතික්ෂේප කළත් තමන් ළඟ වීඩියෝ සාක්ෂි තිබෙනවා කියලා.
ජනතා කෝපයට හේතුව කිම?
මේ විරෝධතා මාලාව හුදෙක් ශිෂ්‍ය ගැටලුවක් විතරක් නොවෙයි. වාර්තාකාරිණීයක වෙන Isha Mishra කියන්නේ, ජනතාවගේ කෝපය දැන් සීමාව ඉක්මවලා කියලා. මෙය NEET විභාග ප්‍රශ්නයට පමණක් සීමා වුණ දෙයක් නෙවෙයි, රජයේ වෙනත් ප්‍රතිපත්ති සහ රජය තම වැරදි පිළිගැනීමට සූදානම් නැතිවීම පිළිබඳව ඇතිවුණ දැඩි ජනතා කෝපයක් තමයි මෙතන තියෙන්නේ කියලා ඇය කියන්නේ.
විරෝධතාවයට එක්වූ අන්ධ පුද්ගලයෙක් මෙහෙම කියනවා -‘ඡන්දෙ ඉල්ලන්න එනකොට ආදරෙන් කතා කරනවා, දැන් අපි මොනවා හරි ඉල්ලුවාම අපිට ගහනවා. අපි බදු ගෙවනවා, ඔබ වැඩ කරන්නේ අපිට’. මෙහේ වගේම තමයි..!
මෙම අර්බුදයේ දරුණුතම ඛේදවාචකය රජයේ දේශපාලන නායකත්වයක් හෝ නිසි මැදිහත්වීමක් මේ අරගලය සමනය කරගන්න නොමැති වීම කියලයි වාර්තා වෙන්නේ. අධ්‍යාපන ඇමතිවරුන් හතර දෙනෙකු සිටියත් බොහෝ දෙනෙකු ඔවුන් කවුදැයි කියලවත් දන්නේ නෑ කියලා තමයි Shekhar Gupta කියන්නේ. දේශපාලන තීරණ ගැනීමකින් තොරව, මෙවැනි දැවැන්ත ජනකායක් සමඟ තනිවම හැප්පීමට පොලිසියට නොහැකි බව ඔහු කියනවා.
වසර 27 කට පෙර, එනම් 1999 කාගිල් යුද සමයේදීත් ඉන්දීය රජය බිම් මට්ටමේ වාර්තාකරණයට ඉඩ ලබා දුන් බව Gupta සිහිපත් කරනවා. එදා යුද්ධයේ මුල් සති 3-4 තුළ ජෙට් යානා සහ හෙලිකොප්ටර් බිම හෙළමින් නරක ආරංචි පමණක් පැමිණියද, යොවුන් වාර්තාකරුවන් බිම් මට්ටමේ සිට සත්‍යය වාර්තා කළා කියලා තමයි ඔහු සිහි කරන්නේ. එදා මෙන්ම අද ද අන්තර්ජාලය විසන්ධි කිරීම් වැනි දැඩි බාධක මධ්‍යයේ වුණත්, සත්‍යය ලොවට ගෙන ඒමට මේ තරුණ මාධ්‍යවේදීන් දිවි පරදුවට තබා කටයුතු කරමින් ඉන්නවා. නවදිල්ලි වීදිවලින් අද ඇසෙන්නේ ඒ යටපත් කළ නොහැකි ප්රජාතන්ත්රවාදයේ හඬ. ඒ හඬ ලංකාවෙත් අරගල සමයේ ඇහුණා. දැන් ඉන්දියාවෙත් ඒක එහෙමයි.
ඉන්දියාවේ තත්ත්වය හෙට කුමක් වෙයිද? කාටවත් කියන්න බෑ. නමුත් ප්‍රකෝප වුණ ජනතාවක් වීදි බැහැලා ඉන්නවා. කැරපොතු පක්ෂය වගේ තරුණ පෙරමුණවල් අරගල කරලා ඉල්ලීම් දිනාගන්න කැසකවනවා. මේ දෙපිරසම එකතුවුණාට පස්සේ මොනවා වෙන්න පුළුවන්ද? මෝදි රජය නම් කියන්නේ විපක්ෂය මේ තරුණ අරගලකරුවන් ආණ්ඩුවට එරෙහිව උසිගන්වමින් ඉන්නවා දේශපාලනය වෙනුවෙන් කියලා. ඒත් ඉන්දියාවේ පතුලෙන් ඇහෙන හඬ කියන කතාව නම් ඒක නෙවෙයි..!





