[gtranslate]

‘මෙවර අවසන් තරඟයේ ලස්සන’ මේඩ් බයි ලා මසියා..!

spain football politics catalonia messi knews 1

2010යට පස්සේ මනරම් ස්පාඤ්ඤ පාපන්දුව ආයෙත් ෆිෆා ලෝක කුසලානයක අවසන් තරඟයට ඇවිත්. 2010 ලංදේසීන් එක්ක ගහපු තරඟය වගේම මේකත් ඔවුන් ජයග්‍රහනයෙන්ම අවසන් කරාවිය කියලා හිතෙනවා. ෆිෆා පටන්ගන්නකොටම ගොඩාක් අය කිව්වේ මේ පාර කුසලානය අරගෙන යන්නේ ස්පාඤ්ඤය තමයි කියලා.

ඒත් ඉතිං ඔවුන්ගේ මුල් තරඟ රටාව දිහා බැලුවාම හැවෝටම කුහුලක් ඇතිවුණා මුන්ට මේ පාර කප් එක ගන්න තියා අවසන් වටයට එන්නවත් පුළුවන් ද කියලා. ඒත් නොකවුට් ස්ටේජ් එකට එනකොට තමයි නියම ස්පාඤ්ඤ් පාපන්දු ලස්සන පිට්ටනියට බැස්සේ. සෙමියේ සොමිය දිහා බලනකොට මටනම් හිතෙන්නෙම ෆයිනලය ස්පාඤ්ඤයට පිපිඤ්ඤා කනවා තරම් ලේසි වෙයි කියලා.

ඒත් මගේ මේ කතාව ඒක ගැන විතරක් නෙවෙයි. ස්පාඤ්ඤය කියන්නේ පුදුම ලස්සන රටක්. පුදුම ඉතිහාසයක් තියෙන රටක්. ඉතිං ඒ රටේ පාපන්දුවට තියෙන්නෙත් අරුම ඉතිහාසයක්. අන්න ඒ අරුම ඉතිහාසය අස්සෙන් මට ආසා හිතුනා මේ පාර ලෝක කුසලානයේ අවසන් තරඟය දිහා බලන්න.

spain football politics catalonia messi knews 2

නූතන ස්පාඤ්ඤය

නූතන ස්පාඤ්ඤය තේරුන් ගන්නට නම් අපි ඔවුන්ගේ ඉතිහාසයට පියාඹන්න ඕනෑ. ස්පාඤ්ඤය කියලා කියන්නේ වසර 800ක් ඉස්ලාමීය උමයියාද් ක්ලීෆාත පාලනයක් තිබුණ රටක්. පසුව නැවතත් කතෝලික පාලකයන් මේ රට අත්පත් කරගන්නවා. ඊටපස්සේ තමයි නූතන ස්පාඤ්ඤ රාජ්‍යය බිහිවෙන්නේ. එතනදීත් 1936 ඉදලා 1939 දක්වා පැවති ස්පාඤ්ඤ සිවිල් යුද්ධයයි ඉතා වැදගත් ස්පාඤ්ඤය තේරුන් ගන්න.

ස්පාඤ්ඤයට ලේවැකි සිවිල් ‍යුද්ධ අමුතු දෙයක් නොවුණත් ප්‍රජාතන්ත්‍රවාදීව පත්වුණු දෙවන ස්පාඤ්ඤ ජනරජයේ වාමාංශික රජයට එරෙහිව, ජෙනරාල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ දියත් කරපු මිලිටරි කුමන්ත්‍රණය තමයි මේකට මුල. මේ යුද්ධයේදී ෆ්‍රැන්කෝගේ ෆැසිස්ට් හමුදාවන්ට නාසි ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් සහ ඉතාලියේ බෙනිටෝ මුසොලීනි ගේ සෘජු යුධ සහාය ලැබුණා. ඒ නිසාම වෙන්න ඇති අනෙක් පැත්තෙන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් වදින්න ලොව පුරා සිටි වාමාංසික ලෝලීන් ස්පාඤ්ඤයට ආවා ගියේ. ඇවිත් ඔවුන් ෆ්‍රැන්කෝගේ ෆැසිස්ට් හමුදාවන් එක්ක සටන් කළා. ජෝර්ජ් ඕවල් සහ අර්නස්ට් හෙමිංවේ වැනි ප්‍රකට මිනිස්සු මේ ස්පාඤ්ඤ සිවිල් යුද්ධයට සහභාගී වුණා ඒ අර්ථයෙන්. සුප්‍රකට ගාර්ෂියා ලෝර්කා පවා දෙවෙනි ජනරජය වෙනුවෙන් සහාය දීලා ඝාතනයට ලක්වුණා. සුප්‍රකට ගුවර්නිකා සිතුවමට තේමාව වෙන්නෙත් මේ සිවිල් යුද්ධය.

වසර තුනක ලේ වැගිරීම් ඉවර වෙන්නේ 1939 ජෙනරාල් ෆ්‍රැන්කෝ ජයග්‍රහණය කරලා. එතැන් පටන් 1975 දී මේ යක්ෂයා මියයන තුරුම ඔහු වසර 36ක් පුරාවට ස්පාඤ්ඤය පාලනය කරනවා. අතිශය දරුණු ඒකාධිපතියෙක් විදිහට. ඔහුගේ ප්‍රධානතම ප්‍රතිපත්තිය තමයි එකම ස්පාඤ්ඤයක්, එකම ජාතියක්, එකම භාෂාවක් කියන එක. ඒක උමතුවක්. මේ උමතුව නිසා තැලුනේ පොඩිවුණේ වෙන කවුරුත් නෙවෙයි ස්පාඤ්ඤ සිතියමේ කෙළවරක එල්ලිලා ඉන්න කැටලෝනියානුවන්.

franco knews
ජෙනරාල් ෆ්‍රැන්කෝ

කැටලෝනියාව සහ බාසිලෝනාවිය

කැටලෝනියාව ස්පාඤ්ඤයේ ඊසාන පැත්තේ තියෙන ලස්සන කලාපයක්. ඔවුන්ට ලස්සන භාෂාවක් තිබෙනවා. ඔවුන්ට කැටලන් සංස්කෘතිය තියෙනවා. හැබැයි ෆ්‍රැන්කෝ පාලනය අස්සේ මේ දෙකම නිහඬ කරගෙන ජීවත් වෙන්න තම‍යි කැටලෝනියානුවන්ට සිද්ධවෙන්නේ. මේ කැටලෝනියානු කලාපයේ අගනගරය තමයි බාසිලෝනා කියලා කියන්නේ. අන්න එතන තමයි අපේ මේ පාපන්දු කතාව තියෙන්නේ.

ෆ්‍රැන්කෝ පාලනය කැටලන් සංස්කෘතිය විනාශ කරන්න දැඩි නීති ස්ථාපිත කළා. පොදු ස්ථානවල කැටලන් භාෂාව කතා කිරීම මුළුමනින්ම තහනම් වුණා. කැටලෝනියානු ධජය ප්‍රදර්ශනය කිරීම අපරාධයක් විදිහට තමයි මැඩ්‍රිඩ් පාලනය සැලකුවේ. සාම්ප්‍රදායික කැට්ලන් නැටුම්, ගීත සහ කලාවන් තහනම් වුණා.

ඉතිං තමන්ගේ අයිඩින්ටි කාඩ් එක ෆ්‍රැන්කෝ අරගත්තට පස්සේ කැටලෝනියානු ජනතාවට රජයේ මර්දනයෙන් මිදිලා නිදහසේ හුස්ම ගන්න කියලා තැනකට ඉතිරිවුණේ එෆ්.සී. බාර්සිලෝනා පාපන්දු කණ්ඩායමේ නිල ක්‍රීඩාංගණය වන කැම්ප් නූ විතරයි. දසදහස් ගණනින් ක්‍රීඩාංගණයට එක්රොක් කැටලෝනියානුවන් ක්‍රීඩාංගනයේදී නිදහසේ කැටලන් භාෂාවෙන් බෙරිහන් දුන්නා. තහනම් කරලා තිබ්බ කැටලෝනියානු ධජය රහසින් ගෙනැල්ලා වැනුවා. බාර්සිලෝනා කණ්ඩායමේ නිල පාඨය වන ‘Més que un club’ එහි තේරුම හුදෙක් ක්‍රීඩා සමාජයකට වඩා වැඩි යමක් කියන දේ. ඇත්තටම බාර්සිලෝනා කියලා කියන්නේ ක්‍රීඩා සමාජයක් විතරක් නෙවෙයි. කැටලෝනියානු නිදහස් අරගලය බාසිලෝනාවිය අස්සේ තිබුණා තවමත් තියෙනවා. අන්න ඒක තමයි ස්පාඤ්ඤ පාපන්දුව මෙච්චර ලස්සන..!

මෙන්න මේ මර්දන කළු අඳුරු ඉතිහාසය නිසා තමයි රියල් මැඩ්රිඩ් සහ බාර්සිලෝනා අතර පැවැත්වෙන ‘එල් ක්ලැසිකෝ’ තරඟය ලෝකයේ පිස්සුම පිස්සු හැඟීම්බරම පාපන්දු ගැටුම බවට පත් වෙලා තියෙන්නේ. රියල් මැඩ්රිඩ් කියන්නේ, රාජකීයත්වය. ඒක නියෝජනය කළේ ෆ්‍රැන්කෝගේ මධ්‍යම රජයේ බලය. බාර්සිලෝනාව නියෝජනය කළේ කැරලිකාරීත්වය සහ නිදහස.

fcbarcelona knews
බාර්සිලෝනා පාපන්දු කණ්ඩායමේ නිල ක්‍රීඩාංගණය කැම්ප් නූ එදා

අඳුරු තරඟ ඉතිහාසය

බාර්සිලෝනා රියල් මැඩ්රිඩ් තරඟ ඉතිහාසයේ ජරාම තරඟය මොකද්ද කියලා හැවෝම කියයි 1943 Copa del Generalísimo තරඟය තමයි ඒ කියලා. ඒකට හේතුව මොකද්ද? මේ තරඟයේ පළමු අර්ධයේදී බාර්සිලෝනාව 3-0 ක් විදිහට පෙරමුණේ තමයි හිටියේ, විවේක කාලයේදී ෆ්‍රැන්කෝගේ රාජ්‍ය ආරක්ෂක ප්‍රධානීන් බාර්සිලෝනා ක්‍රීඩකයන්ගේ විවේකාගාරයට එනවා, ඇවිත් ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට මරණ තර්ජන එල්ල කරනවා. අවසානයේ බියට පත්වෙන ක්‍රීඩකයෝ තරඟ අතාරිනවා. දෙවන අර්ධයේදී රියල් මැඩ්රිඩ් ගෝල 11ක් ගහනවා. බාර්සිලෝනාවන් 1-11 පරාජය භාරගන්නවා.

බාර්සිලෝනා රියල් මැඩ්රිඩ් පාපන්දු ඉතිහාස මේවගේ කතාවලින් තමයි ලියවෙලා තියෙන්නේ. ඒ නිසාම මේ කණ්ඩායම් දෙක මාරාන්තිකව තමයි අදත් මූනට මූන හමුවෙන්නේ. 2002 අවුරුද්දේ ලුයිස් ෆිගෝ සිදුවීමත් මේවගේ එකක්. බාර්සිලෝනා හි වීරයෙකු විදිහට ගනන් ගත්ත පෘතුගාල ක්‍රීඩක ලුයිස් ෆිගෝ සල්ලි කුට්ටියක් නිසා තමන්ගේ පරම සතුරා වන රියල් මැඩ්රිඩ්ගේ තුරුලට යෑම කැටලෝනියානුවන් ගත්තේ බලු වැඩක් විදිහට. ද්‍රෝහී වීමක් විදිහට. ඉතිං 2002දි මැඩ්රිඩ් ක්‍රීඩකයෙකු විදිහට ලුයිස් ෆිගෝ කැම්ප් නූ වලට එනවා කෝප වෙන බාර්සිලෝනා රසිකයෝ ඔහුට ‘ඌරු හිස’කින් දමා ගසමින් තමන්ගේ දැඩි වෛරය ප්‍රකාශ කරන්නේ.

ඉතිං ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම ලෝක කුසලනාය 2010 දිනාගන්නකොටත් මේ අවුල රට අස්සේ තිබුණා. රියල් මැඩ්රිඩ් සහ බාර්සිලෝනා හැමදාම මේ විදිහට හැප්පුනා. 2010 නෙදර්ලන්තයත් එක්ක දකුණු අප්‍රිකාවේ ගහපු ලෝක කුසලානයේදී ස්පාඤ්ඤය කුසලානය තමන් සතු කරගන්නකොට ඒක අස්සේ ලොකුම වැඩේ කළෙත් මේ කියන බාර්සිලෝනා එහෙම නැත්තං කැට්ලෝනියා ක්‍රීඩකයෝ තමයි. තමන් රට අස්සෙදි නිදහස වෙනුවෙන් පාපන්දුව පාවිච්චි කළත් ඔවුන් ලෝකයට ගියාම ඒක අමතක කරලා එක රටක් විදිහට තමයි තරඟය ආවේ.

fcbarcelona knews 1
ඌරු හිසකින් ගැසීම සහ බාර්සිලෝනාවන් 1-11 ලෙස පරාජය වීම

අගමැති සැන්චෙස්

දැන් අපිට අදට එන්න හොඳ පොටක් පෑදිලා තියෙනවා. 2017 ඔක්තෝබර් 01 වෙනිදා කැටලෝනියානු ප්‍රාදේශීය රජය ස්පාඤ්ඤයෙන් සම්පූර්ණයෙන්ම වෙන්වෙලා ස්වාධීන ජනරජයක් බවට පත්වීම සඳහා නිල ජනමත විචාරණයක් සංවිධානය කරනවා. මේකට ස්පාඤ්ඤ මධ්‍යම රජය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ඉඩදෙන්නේ නෑ. ඔවුන් කියනවා මේ ජනමත විමසුම නීති විරෝධීයි කියලා. ඡන්දය වැළැක්වීම වෙනුවෙන් කැරලි මර්දන පොලිසිය යොදනවා.

පොලිසිය ඡන්ද මධ්‍යස්ථාන කඩා බිඳ දමමින් ජනතාවට අමානුෂික ලෙස පහර දෙනවා. මෙන්න මේ දවසේ මේ මර්දනයට විරෝධය පෑමක් විදිහට බාර්සිලෝනා කණ්ඩායම ලාස් පල්මාස් කණ්ඩායමට එරෙහිව සිය තරඟය කිසිදු ප්‍රේක්ෂකයෙකු නොමැතිව, හිස් ක්‍රීඩාංගණයක තමයි ක්‍රීඩා කරන්නේ. ලෝකයම ඒ දිහා බලාගෙන ඉන්නවා.

ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය සහ මධ්‍යම රජය මේ ජනමත විචාරණය ව්‍යවස්ථාවට පටහැනි සහ නීති විරෝධී කියලා තමයි කියන්නේ. මැඩ්රිඩ් නුවරින් කැරලි මර්දන පොලිසිය කැටලෝනියාවට යවලා ඡන්ද පෙට්ටි රාජසන්තක කරන්න, ඡන්දය ප්‍රකාශ කරන්න එන කැටලෝනියානුවන්ට බලපෑම් කරන්න මැඩ්රිඩ් පාලනය පියවර ගන්නවා.

මෙහෙම දැඩි මර්දනයක් ආවත් සුදුසුකම් ලත් ඡන්දදායකයින්ගෙන් 43% ක් ඡන්දය ප්‍රකාශ කරනවා. එයිනුත් 90% කට වඩා ස්වාධීනත්වයට පක්ෂව තමයි ඡන්දය දෙන්නේ. මධ්‍යම රජය වහාම ක්‍රියාත්මක වෙලා කැටලෝනියාවේ ස්වයං පාලන බලය තාවකාලිකව අත්හිටුවලා එහි පාලනය තමන් යටතට ගන්නවා. කැටලෝනියානු ජනාධිපති කාර්ලස් පුජ්දෙමොන් ඇතුළු නායකයින් අත්අඩංගුවට පත්වීම මඟ හැරීමට බෙල්ජියම වගේ යුරෝපීය රටවල්වලට පැනලා යනවා.

අද වෙනකොට කැටලෝනියාවට පුළුල් ස්වයං පාලන බලයක් (භාෂාව, අධ්‍යාපනය, පොලිසිය වැනි ක්ෂේත්‍රවලට) දීලා තිබුණත් විදේශ ප්‍රතිපත්තිය සහ ආරක්ෂාව වගේ දේවල්වලදි තවමත් විධානය එන්නේ මැඩ්රිඩ් වලින්.

freedom for catalonia knews
කැටලෝනියා නිදහස් සටන්

ඒත් වර්තමාන අගමැති පෙඩ්රෝ සැන්චෙස් ටිකක් වෙනස්. මිනිහා වමට බර නායකයෙක්. පැරණි මර්දනකාරී පිළිවෙතින් පැත්තකට වෙලා මිනිහා සාකච්ඡා මේසයට තමයි වැඩියෙන් කැමති. මිනිහා ස්පාඤ්ඤය දෙකඩ වීම වැළැක්වීමට ඉතාම සූක්ෂ්ම සහ කපටි දේශපාලනයක නිරත වෙලා ඉන්නවා. 2017 කැරැල්ල හේතුවෙන් සිරගත කර සිටි සහ කාර්ලස් පුජ්ඩමොන්ට් වැනි රටින් පලාගොස් සිටි කැටලෝනියානු නායකයන්ට ඓතිහාසික ‘පොදු සමාවක්’ලබා දෙන නීතියක් ද මිනිහා සම්මත කරනවා.

දක්ෂිණාංශික පක්ෂ මේකට විරෝධය පෑවත්, සැන්චෙස්ගේ මේ ප්‍රගතිශීලී වැඩේ නිසා කැටලෝනියානු දේශපාලන පීඩනය තාවකාලිකව හෝ දැන් සමනය වෙලා තියෙන්නේ. සැන්චෙස් අමුතු මිනිහා මිනිහා ඇමරිකාවේ ට්‍රම්ප් පාලනයේ පිස්සු දේශපාලනයට විරුද්ධයි විතරක් නෙවෙයි ඒකට කොන්ද කෙළින් තියාගෙන තීන්දු තීරණ ගන්නවා. යුරෝපේ එහෙම නායකයෝ අඩු නිසා සැන්චෙස් කැපිලා පේනවා. සැන්චෙස් කෙළින්ම ඉරාන ඇමරිකා යුද්ධයේදී තමන්ගේ රට යුද්ධය වෙනුවෙන් භාවිතා කරන්න දෙන්නේ නෑ කියලා ඇමරිකාවට කිව්වා. ඒකට ට්‍රම්ප් ලොකු ගෝරියකුත් දාගත්තා. මේ හාදයා ඊශ්‍රායලයත් එක්කත් ගේම ඉල්ලගෙන තමයි ඉන්නේ. ඒ විතරක් නෙවෙයි ඊලෝන් මස්ක් වගේ ව්‍යාපාරිකයොත් මිනිහට විරුද්ධයි. මෙන්න මේ ගෝලීය තත්වයත් මෙහෙම තියෙනකොට තමයි ට්‍රම්ප්ගේ පොළවෙදිම ස්පාඤ්ඤය අවසන් තරඟයට එන්නේ. මෙතනදී ට්‍රම්ප්කාරයා තමන්ගේ විහිළුකාරකම මොනවිදිහට පාවිච්චියට ගනියි ද ආජන්ටිනාව ට සහාය දෙයිද කියලා කියන්න නම් දන්නේ නෑ. හැබැයි මෝඩයා නිසා සැන්චෙස්ට පොඩි පාඩමක් උගන්වන්න කියලා රංගනයක් දාන්න පුළුවන්.

sanchesh knews
කැම්ප් නූ අද සහ ස්පාඤ්ඤ අගමැති සැන්චෙස්

2010දී ස්පාඤ්ඤයට ප්‍රථම වතාවට ලෝක කුසලානය දිනා දෙන්න ෂාවි, ඉනියෙස්ටා, පූයෝල්, පික්වේ, බුස්කට්ස් වගේ බාර්සිලෝනා ක්‍රීඩකයන් කසිලාස් සහ සර්ජියෝ රමෝස් වගේ රියල් මැඩ්රිඩ් තරු එක්ක එකට එකතුවෙලා ස්පාඤ්ඤය කියන රට වෙනුවෙන් ලොකු ගේමක් ගැහුවා. ට්‍රම්ප් මොන දේශපාලන පාපන්දුවක් ගැහුවත් මේපාරත් එහෙම දෙයක් තමයි වෙන්න යන්නේ..!

ලැමින් යමාල්, පේද්‍රි, ගාවි සහ පාවු කුබාර්සි වගේ බාර්සිලෝනා ‘ලා මාසියා’ ඇකඩමියෙන් බිහිවූ ක්‍රීඩකයෝ කැටලෝනියානු ආත්මයත් එක්ක ස්පාඤ්ඤය දිනවන්න මෙදාපාරත් 2010 වගේම ගේම ගහයි. රට අස්සෙදි ඔවුන් වෙන් වෙන්න බලාගෙන නිදහස වෙනුවෙන් පාපන්දු ආත්මය පාවිච්චි කළත් ඔවුන් ස්පාඤ්ඤයෙන් එළියට ගියාම ස්පාඤ්ඤය කියන පිස්සු රට වෙනුවෙන් තමයි ගහන්නේ. ඒනිසාම තමයි ඔවුන් දිනන්නේ.

spain foot ball la macia knews
ලා මාසියා එදා සහ අද

ලා මාසියා

ලා මසියා ගැනත් කතා නොකර කොහොමද? ලා මසියා කියලා කියන්නේ කැටලෝනියාවේ එෆ්.සී. බාර්සිලෝනා පාපන්දු සමාජයේ යොවුන් පාපන්දු ඇකඩමිය. ‘ලා මාසියා’ කියලා කැටලන් භාෂාවෙන් කියන්නේ ‘ගොවිපල’ කියන එක. ඉතිං මේ ගොවිපලෙන් පුදුම වර්ගයේ බැටළුවෝ තමයි නිශ්පාදනය කරලා තියෙන්නේ. ඒ ගැන චුට්ටක් විතරවත් කතා නොකළොත් මේ ලිපිය අසම්පූර්ණයි අසාර්ථකයි.

1979 දී බාර්සිලෝනා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක සහ පුහුණුකරු ජොහාන් ක්‍රයිෆ් ගේ යෝජනාවකට අනුව තමයි මේ ගොවිපල පටන් ගන්නේ. නෙදර්ලන්තයේ අජැක්ස් කණ්ඩායමේ යොවුන් ඇකඩමියේ ආකෘතියට අනුව මේක නිර්මානය කළා කියලා තමයි කියන්නේ. මුලින්ම ලා මාසියා ඇකඩමිය පවත්වාගෙන ගියේ බාර්සිලෝනාහි ‘කැම්ප් නූ’ ක්‍රීඩාංගණය ගාවම 1702 තරම් ඈතක හදපු පැරණි ගොවිපල ගොඩනැගිල්ලක. දුරබැහැරෙන් ආපු පොඩි බැටළුවෝ විසේකාර ජවාධික බැටළුවෝ වෙනකම් නවාතැන් ගත්තේ මෙතන.

ලා මාසියාවට පාපන්දුව ගැන සුවිශේෂ දර්ශනයක් තිබ්බා. ඒනිසාම තමයි ලා මසියාව එන්න එන්නම උඩට ගියේ. වෙනත් පාපන්දු ඇකඩමි ක්‍රීඩකයින්ගේ උස සහ ශාරීරික ශක්තිය ගැන වැඩි සැලකිල්ලක් දක්වද්දී, ලා මාසියාව හැමවෙලාවෙම ප්‍රමුඛත්වය දුන්නේ ක්‍රීඩකයාගේ තාක්ෂණික කුසලතාවයට, බුද්ධියට සහ පන්දුව හැසිරවීමේ වේගයට. කුඩා සිරුරක් තිබ්බ ලියොනල් මෙසී වුණත් නිශ්පාදනය වෙන්නේ මෙතනි ඒ නිසා. ඒ ගැන මේ ලිපියේ අගට ලියන්නම්. දැන් අපිට ඔය ආජන්ටියානුවෙක් වැඩක් නෑ අපි මෙතන කතා කරන්නේ කැටලෝනියානුවෝ ගැනනේ.

කෙටි පන්දු හුවමාරු කිරීම්, පන්දුව කණ්ඩායම සතුව තබා ගැනීම සහ ක්‍රීඩා පිටියේ හිස් ඉඩකඩ නිවැරදිව භාවිතා කිරීම තමයි ලා මසියා ටෙක්නික් එක. ක්‍රීඩාවට අමතරව දරුවන්ගේ සාමාන්‍ය අධ්‍යාපනය, පෞරුෂ වර්ධනය සහ යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම ගැන ලා මාසියා හොඳට බලනවා. ෂාවි හර්නන්ඩස්, ආන්ද්‍රේස් ඉනියෙස්ටා, සර්ජියෝ බුස්කට්ස්, කාර්ලස් පූයෝල්, ජෙරාඩ් පික්වේ, පෙප් ගාඩියෝලා, සෙස්ක් ෆැබ්‍රිගාස් වගේ පාපන්දු අහසේ තරු ලා මසියා නිශ්පාදන කියලා මතක තියාගන්නකෝ..! දැන් ඉතිං අපි මේක ඉවරකරමු. නැත්තං ලෝක කුසලානයේ අවසන් තරඟය වෙනකම් මේක ලියයි මම..!

la masia foot ball knews
ලා මාසියා ජවය

ආජන්ටිනාවේ මෙසී සහ කැටලෝනියාවේ ආත්මය

බාර්සිලෝනා ලා මසියා ගැන කියපු නිසාම නූතනේ පාපන්දුවේ දෙවියෝ වගේ අදහන ලියොනල් මෙසී ගැනත් මිනිහට කැටලෝනියාවට තියෙන මායා බන්ධනය ගැනත් පොඩි කයියක් ගහගෙනම මේ හෑල්ල අවසන් කරන්නම්.

මෙසී ආජන්ටිනාවේ රොසාරියෝ වල තමයි ඉපදෙන්නේ. ආශ්චර්‍යක් වගේ අවුරුදු 10 වෙනකොට මේ හාදයාගේ කකුල් දුවන්නේ ෆුට්බෝලය එක්කම තමයි. ෆුට්බෝලය උඩ පෙකනි වැල තියලා කපපු හාදයෙක් තමයි මේක. මෙසීගේ කකුල්වල මේ අසාමාන්‍ය ක්‍රීයාකාරීත්වය ආජන්ටිනාවේ පාපන්දු ක්‍රීඩා සමාජය හඳුනගන්නවා. ඒත් මේ පොඩි තරුවට වයස අවුරුදු 11ක් වෙනකොට දුර්ලභ වර්ධක හෝර්මෝන ඌනතාවයක් තියෙනවා කියලා දැනෙන්න ගන්නවා.

වයස අවුරුදු 11දී වර්ධක හෝර්මෝන ප්‍රතිකාර ආරම්භ කළත් තාත්තගේ සෞඛ්‍ය රක්ෂණයෙන් මසෙකට බෙහෙත්වලට එන පෙසෝ 1,000න් ප්‍රතිකාර කරන්න පුළුවන් වෙන්නේ අවුරුදු දෙකක් විතරයි. නිවෙල්ස් ක්‍රීඩා සමාජය මුලින් මේ මුදල් ගෙවන්න එකඟ වුණත් පස්සේ ඔවුන් ඒ පොරොන්දුව කඩනවා. මේ වෙනකොට මෙසීගේ නෑයෝ කැටලෝනියාවේ ඉන්නවා. ඒ සම්බන්ධය උඩ තමයි බාර්සිලෝනාවේ ඇහැ මෙසීට වැටෙන්නේ.

messi l yamal knews
මේසී යමාල් සහ බාර්සිලෝනා

මෙසීගේ මේ අසාමාන්‍ය පාපන්දු දක්ෂතාවය හඳුනගන්න බාර්සිලෝනා ක්‍රීඩා සමාජය, ඔහුගේ සම්පූර්ණ වෛද්‍ය වියදම් දැරීමට පොරොන්දු වෙනවා. අන්න එහෙම තමයි මෙසී වයස 13දී කැටලෝනියාවට එන්නේ. පවුලම කැටලෝනියාවට ඇවිත් බාර්සිලෝනා ක්‍රීඩා සමාජයේ ප්‍රධාන ක්‍රීඩාංගනය වුණ කැම්ප් නූ ළඟටම මහල් නිවාසයක තමයි පදිංචි වෙන්නේ. මෙසී තමයි යුරෝපේ පාපන්දු සමාජයකට පිටරටකින් ආපු ළාබාලම ක්‍රීඩකයා.

බාර්සිලෝනා යොවුන් ඇකඩමියේ වසරකට පස්සේ මෙසී 2002 පෙබරවාරියේ ස්පාඤ්ඤ රාජකීය පාපන්දු සම්මේලනයේ ලියාපදිංචි වෙනවා. මෙසී කියන්නේ ලා මාසියා පාපන්දු ඇකඩමියේ ප්‍රොඩක්ට් එකක්. ඔහු උපතින් ආජන්ටිනා ජාතිකයෙක් වුණත් ඔහුගේ සංස්කෘතික සහ ක්‍රීඩාමය අනන්‍යතාවයේ පෙකනිය තියෙන්නේ කැටලෝනියාවේ.

දවසක් පුහුණු සැසියක් අතරේ බාර්සිලෝනා කණ්ඩායමේ වින්ගරයෙක් වුණ ලුඩොවික් ජුලී මෙහෙම කියනවා – මේ යකා පිටසක්වලයෙක් වගේ. අපි හැමෝම විනාශ කළා. ක්‍රීඩකයින් හතරක් පහුකරගෙන ගිහිං ගෝලයක් ගත්තා’ 2009 ඉදලා 2018 වෙනකම් රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ආධිපත්‍යයට එරෙහිව කැටලෝනියාවේ අභිමානය වෙනුවෙන් සටන් වැදුණු ප්‍රධානතම රණශූරයා වෙන්නෙත් මෙසී.

2021දී බාර්සිලෝනා කණ්ඩායමේ දැඩි ආර්ථික අර්බුදය නිසා මෙසී ප්‍රංශයේ PSG කණ්ඩායමට යනවා. එතනදි ඔහු කියනවා ‘මම නැවතත් යම් දවසක මගේ නිවසට එනවා, මොකද බාර්සිලෝනාව කියන්නේ මගේ සහ මගේ දරුවන්ගේ නිවස’ ඉතිං අන්නෙහම මෙසී මෙදාපාර අවසන් තරඟයේදී ලා මාසියාවෙම තවත් ප්‍රොඩක්ට් එකක් වෙන ලැමින් යමාල් මුණගැහෙනවා. ඒක ග්‍රහලෝක අතර යුද්ධයක් වුණත් එතන කැටලෝනියානු ආත්මයන් හොල්මන් කරන්න පුළුවන්..!

-කේ. සංජීව-

2010 fifa final knews
ආයෙත් 2010ක් ඒවි නේද..!

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ...

කැරපොත්තන්ගේ සටන පළමු ජය වාර්තා කරයි

සමස්ත ඉන්දියාව පමණක් නොව ලෝකයම සොලවමින් වීදි බැස සිටින කැරපොත්තන්ගේ ජනතා පක්ෂය සිය පළමු ජයග්‍රහනය වාර්තා කරගෙන ඇතැයි ද ඒ අනුව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා...

මන්දිරවල ජනපති නෑ. නමුත් ජනයා ඉදලා. බර වියදමකුත් ගිහිං

ජනාධිපතිවරයා රටපුරා ඇති ජනාධිපති මන්දිර භාවිතා කරන්නේ නැති බව ප්‍රකාශ කරමින් එම මන්දිරවල නවාතැන් නොගත්තත් එහි බොහෝ දෙනෙක් රැඳී සිට ඇති බවද ඒ සඳහා 2025 වර්ෂයේදී විශාල වියදමක් දරා ඇති බවද ජාතික විගණන...