සිනමා මාධ්‍යය තුළ පෙනී සිටි සෑම සියලු යන්ත්‍රයක්ම අභිබවා සිටියේ දුම්රියයි. 1895 දෙසැම්බර් 28 දා, ලොව ප්‍රථම චිත්‍රපටය ලෙස සැලකෙන ‘L’Arivee d’un train en gare de La Ciotat’ හෙවත් “සියෝතා දුම්රියපොළට දුම්රියක් පැමිණීම” නම් චිත්‍රපටයේ සිට මේ දක්වා වැඩිපුරම තිරයේ පෙනී සිටි මෙකී යන්ත්‍රය හා චිත්‍රපටය අතර ආදර සබඳතාව නොබිඳිය හැක්කක් සේ පෙනේ.
සිනමාකරණයේදී භාවිත වන්නාවූ “ධාවනය වන රූප ඛණ්ඩය” හෙවත් ‘Track Shot’ යන්න පවා එක්තරා ආකාරයකින් දුම්රියේ පිහිටෙන් සොයා පාදාගනු ලැබූ තාක්ෂණික භාවිතාවක් යැයි කියනු ලැබේ. දුම්රියක් තුළ ස්ථානගත කොට ඉන් පිටතට යොමුකළ කැමරාවක් මඟින් රූපගත කළ රූප ඛණ්ඩයක් හරහා, එම අත්දැකීම මුල්වරට ලබාදුන් බව කියැවේ. (නිද: ‘The Girl and Her Trust’ අධ්‍යක්ෂණය ඩී.ඩබ්ලිව්.ග්‍රිෆිත් 1912)
බොහෝ චිත්‍රපටවල එක්කෝ දුම්රියක්, දුම්රිය ස්ථානයකට සේන්දු වීම හෝ ඉන් පිටවීම විදහා දැක්වේ. චිත්‍රපටවල බොහෝ නාටකීය අවස්ථා, අපරාධ, ව්‍යසන හෝ ආදර ජවනිකා සඳහාද “දුම්රිය” පහසුවෙන් භාවිතා කළ හැකි පරිශ්‍රයක් වී ඇති බව පෙනේ.
ඩොමිනික් නොගුවේස් නම් වූ ප්‍රංශ විචාරකයාට අනුව “දුම්රිය” මෙන් වෙනත් කිසිදු ආකාරයක ප්‍රවාහන මාධ්‍යයක් සිනමාවට සමීප සබඳතාවක් නොපෙන්වයි. සිය ගණනක් වූ නිහඬ චිත්‍රපට මෙන්ම, කථානාද චිත්‍රපට ද ඒ බව සනාථ කරන බව හෙතෙම පවසයි.
ජෝර්ජ් මෙලියස්, එඩ්වින් එස්. පෝටර් හා ඩී.ඩබ්ලිව්.ග්‍රිෆිත් ගේ සිට ආබෙල් ගාන්ස්, සීගා වර්ටොව්, බස්ටර් කීටන්, ජෝන් ෆෝර්ඩ් සහ කිං විඩෝ දක්වා වූ අයගේ නිහඬ සිනමා නිර්මාණ තුළ “දුම්රිය” සුවිශේෂී ස්ථානයක් හිමිකරගනී.
සිනමා මාධ්‍යය හා දුම්රිය අතර පවතින්නාවූ මෙකී සබඳතාව අප පැහැදිලි කරගන්නේ කෙසේද? වෙනත් කිසිදු ප්‍රවාහන මාධ්‍යයකට වඩා “දුම්රිය” වෙත එවැනි වැදගත් කමක් සිනමාව තුළ ලැබී ඇත්තේ ඇයි?
ඇතැම් සිනමා විශේෂඥයන් පවසන්නේ සිනමාව මෙන්ම දුම්රියද “කාලය හා අවකාශය” (Time and Space) අතික්‍රමණය කිරීමේ උත්සාහයක නියැලී සිටින බවයි. දුම්රියක් තුළ සිටින මගියා මෙන්ම සිනමා ප්‍රේක්ෂකයාද තම දෑස් ඉදිරියේ වෙනස්වන කාල අවකාශ ප්‍රවාහය දෙස බලා සිටින්නෙක් වැනි යැයි ඔවුහු පවසති.
1895 දී එක්සත් ජනපදය තුළ සිනමාව බිහිවූයේ දුම්රිය ගමනාගමනයේ ස්වර්ණමය අවධිය එළැඹි යුගයේ දීයි.
“දුම්රිය” යන්න මූලික වශයෙන් බ්‍රිතාන්‍ය සොයාගැනීමකි. 18 වන ශත වර්ෂයේ අගභාගයේ නිව්කාසල් ප්‍රදේශයේ දී පීලි මත ගල් අඟුරු පැටවූ කරත්ත, අශ්වයින් යොදාගනිමින් ඇදගෙන යනු ලැබීය. එහෙත් සැබෑ දුම්රිය යන්න 1804 දක්වා දැකගැනීමට හැකි නොවීය.
වෙළඳ ව්‍යාපාරයක් ලෙස මගී ප්‍රවාහන දුම්රිය භාවිතයට පැමිණියේ 1825 දීයි. එය ස්ටොක්ටන් සහ ඩාලිංටන් වෙත ගමන් කළේය. අමෙරිකාවේ ප්‍රථම දුම්රිය ගමන සිදුවූයේ 1827 දී බැල්ටිමෝර් සහ ඕහියෝ අතරයි. ප්‍රංශ සහ රුසියානු දුම්රිය සේවා ආරම්භ වූයේ ඉන් අනතුරුවයි. ප්‍රංශ ඉංජිනේරුවරයෙකු, බ්‍රිතාන්‍ය දුම්රිය එන්ජිමක් යොදාගනිමින් 1835 දී සිය ප්‍රථම දුම්රිය ගමන ඇරඹීය.
මුල්වකවානුවේ සියලුම දුම්රිය සේවාවන් පෞද්ගලික සමාගම් සතුවිය. එහෙත් දුම්රිය මාර්ග තැනීම සඳහා ඉඩම් ලබාගැනීමේ දී රජයේ සහාය ලබාගත යුතුවිය.
ධනවාදී ආර්ථික ක්‍රමයේ ඵලයක් වූ දුම්රිය, බටහිර සංස්කෘතියේ ප්‍රධානතම සංඝටකයක් බවට පත්විය. ගල් අඟුරු, වානේ සහ යකඩ කර්මාන්තය මත යැපුණු එය, දැව, සත්ව ආහාර, යපස්, ආහාර ද්‍රව්‍ය හා විවිධ නිෂ්පාදන තොග වශයෙන් ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත හැකි මෙවලමක් බවට පත්විය.
ඇත්තවශයෙන්ම දුම්රිය ගමනාගමනය විසින් කාලය හා අවකාශය සංකෝචනය කිරීමක් සිදුවිය. මුඩු බිම් බොහොමයක් විශාල නගර හෝ සශ්‍රීක ගොවිපළවල් බවට පත්වූ අතර රට පුරා විවිධ කර්මාන්ත බිහිවීමද එහි ප්‍රතිඵලයකි. ඇත්ත වශයෙන්ම මෙකී යුගය “වාෂ්ප එන්ජිමේ” යුගය ලෙස හැඳින්වීම වඩා උචිත යැයි කිවහැකියි. 1910 පමණ වන විට මෝටර් රථ ප්‍රවාහනය කරළියට පැමිණීමත් සමගම බටහිර රාජ්‍යයන් තුළ දුම්රිය ගමනාගමනය මඳ පසුබෑමකට ලක්විය.
දුම්රිය ගමනාගමනය සමාජීය, තාක්ෂණික හා සංස්කෘතිමය අංගයක් ලෙස මුහුකුරා යමින් සිටි අවධියක පොදු ප්‍රේක්ෂාවක් (Spectacle) ලෙස සිනමා මාධ්‍යය බිහිවිය.
1895 සිට සිනමා මාධ්‍යය ස්ථාපිත වූයේ ලෝකය දැකීමට බිහිවූ නවීනතම කවුළුවක් ආකාරයටයි. මුල් යුගයේ දී ‘Actualities’ හෙවත් “සැබෑ සිදුවීම්” ලෙස හැඳින්වූ කෙටි චිත්‍රපට මාලාවක්, රූපමය ආකාරයට තොරතුරු ඉදිරිපත් කළේය. එය ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් බවට පත්විය.
ප්‍රංශ වදනක් වූ ‘Actualities’ යනු “දැන් සිදුවන සිදුවීම්” යන්නයි. එය එක්තරා ආකාරයකට කාලීන සිදුවීම්, වාර්තා හා ප්‍රවෘත්ති චිත්‍රපට හෝ ප්‍රසිද්ධ පුද්ගල චරිත, විනෝදාශ්වාද අංග, ව්‍යසන, නගර, භූමි දර්ශන, නව ප්‍රවනතා හා මංසලකුණු ඇතුලත් චිත්‍රපට විශේෂයක් ලෙස හැඳින්විය හැකියි.
1903 දී පමණ වන විට ‘Vitagraph’ සමාගම නිපදවූ එවැනි චිත්‍රපටවලින් අඩක් පමණද, Biograph හා American Mutoscope වැනි සමාගම් ද එකතුව නිෂ්පාදනය කළ එවැනි චිත්‍රපට 2500 කට අධික සංඛ්‍යාවක් ද දුම්රිය හා දුම්රිය මාර්ග හා බැඳුණු ඒවා විය. ‘Taken From A Trolley’ (1896), ‘Train Coming Out Of Station’ (1897), ‘View On Niagara Div’ Michigan Central’ (1899) වැනි චිත්‍රපට මේ පිළිබඳ කදිම නිදසුන්ය.
මෙකී චිත්‍රපට බොහෝ විට ප්‍රේක්ෂකයා තුළ තිගැස්ම, භීතිය හා සන්ත්‍රාසය ඇතිකිරීමේ මූලික අරමුණ පෙරදැරිව සකස් වූ ඒවා බව පෙනී යයි. අද දවසේ පවා අනතුරු හා ව්‍යසන පිළිබඳ පුවත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වල ප්‍රධානතම අංගයක් බවට පත්ව තිබීම මෙහිදී සැලකිල්ලට ගතයුත්තකි.

ලොව ප්‍රථම චිත්‍රපටය සේ සැලකෙන “දුම්රියක පැමිණීම” (L’Arrive’e d’ un train) නම් කෙටි චිත්‍රපටය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයින්, දුම්රිය තමන් ඉදිරියට එන්නේ යැයි සිතා ශාලාවෙන් ඉවතට දිවගිය බව සිනමා වංශකතාවේ සඳහන් වේ. මේ අනුව මුල් යුගයේ සිටම “දුම්රිය” යන්න ප්‍රේක්ෂකයා වෙත කුතුහලය, විශ්මය හා සන්ත්‍රාසය ගෙන දියහැකි යන්ත්‍රයක් සේ වටහාගැනීම හොඳින් පැහැදිලි වේ.
1920 පමණ වනවිට යුරෝපීය පර්යේෂණාත්මක සිනමාකරුවන් මෙකී වේගවත්, සන්ත්‍රාසය දනවන ධාවන යන්ත්‍රය, සිනමාවටම අනන්‍ය වූ ශක්තියකින් යුත්, ඒ හා අත්‍යන්තයෙන්ම බැඳුණක් බව වටහා ගත්හ. ‘Berlin : Symphony Of A City, Entr’acte, La Roue හා Man With A Movie Camera වැනි මුල් යුගයේ සිනමා කෘතීන්හි ඇතුලත් සෞන්දර්යාත්මක පර්යේෂණයන් සඳහා “දුම්රිය” ප්‍රබල උත්තේජනයක් වූ බව පෙනේ.
එක්සත් ජනපදය තුළ නිපදවූ මුල් යුගයේ චිත්‍රපට බොහොමයක් සඳහා අනුග්‍රාහකත්වය සපයනු ලැබුවේ දුම්රිය සමාගම් වීමද විශේෂත්වයකි. නිදසුනක් ලෙස එඩ්වින් එස් පෝටර් ගේ නිර්මාණයක් වූ “Romance Of The Rail” (1903) සඳහන් කළ හැක. මෙකී සමාගම් ඇතැම්විට චිත්‍රපට හරහා තමන්ගේ ව්‍යාපාර වෙත කිසියම් ප්‍රචාරයක් ලබාගැනීමට උත්සාහ කළා වියහැකියි. වේගයෙන් ධාවනය වන දුම්රිය, චලන කැමරාව හරහා රූපගත කිරීම මඟින් සිනමා මාධ්‍ය සතු කිසියම් විශේෂ සක්‍යතාවක් පිළිඹිබු කිරීමට හැකිවිය.
1902 න් පසු කරළියට දුටු ප්‍රබන්ධ සිනමාව තුළ පවා “දුම්රිය” යන්න ඉතා වැදගත් අංගයක් වූ බව පෙනේ. ඇතැම් චිත්‍රපටවලදී “දුම්රිය” යන්න චරිතයක් බවට පත්වූ ආකාරයක් ද දැකිය හැකියි. ‘The Photographers Mishap (1901-Edison Porter), The Ghost Train’ (1903- AM&B), ‘The Tramp’s Miraculous Escape (1901-Edison), හා ‘Uncle Josh At The Moving Picture Show (1903-Edison/Porter) වැනි චිත්‍රපටවල “දුම්රිය” යන්න, ප්‍රතිමල්ලවයා ගේ චරිතය (antagonist) බවට පත්වේ.
එවැනි නිදසුන් මෑත යුගයේ චිත්‍රපටවලද බහුලව දැකිය හැක: සත්‍යජිත් රායි ගේ “අපූර සංසාර්” (1960) චිත්‍රපටයේ අපර්ණා හා ඕපු ඔවුනොවුන්ගෙන් වෙන් වී යන අවස්ථාවේ (අපර්ණා දරුවෙකු ලැබීමට මවගේ නිවසට යන නිසා) එකී කටුක අත්දැකීම ඔවුන් වෙත ගෙන එන ගාමක බලවේගය බවට පත්වන්නේ දුම්රියයි.
දුම්රියේ බිහිසුණු ප්‍රතාපවත් පෙනුම, ඉන් නිකුත්වන දුම්රොටු හා හූ හඬ අපට දනවන්නේ දුෂ්ටත්වයේ පිළිඹිබුවකි.

‘Le Voyage a travers I’ imposible (1904-Melies), The Deadwood Sleeper (1905-AM&B), ‘What Happened In The Tunnel (1903-Edison/Porter) වැනි චිත්‍රපට වල දුම්රිය යන්න ආඛ්‍යානය ඉදිරියට ගෙන යන ගාමක බලවේගයයි.
සත්‍යජිත් රායිගේ “පාතර් පංචලී” (1952), “අපරාජිතෝ” (1957), “අපූර් සංසාර්” (1960) හිද, දුම්රිය යන්න ප්‍රධාන භූමිකාවක් බවට පත්වී ඇත. සර්බජයාට බරණැස් ගිය සිය සැමියා සිහිවන්නේ දුම්රියේ හූ හඬ ඇසීම නිසයි. දුර්ගා හා ඕපු ප්‍රථම වතාවට දුම්රියක් දැකීම මඟින් ඔවුන් ගම හා නගරය අතර ඇති දුරස්තභාවය වටහා ගනිති. එහිදී දුම්රිය යනු නාගරිකත්වය, නවීන තාක්ෂණය හා නවීන ලෝකය පිළිඹිබු කරන රූපකයක් බවට පත්වේ.
“අපරාජිතෝ” හිදී සර්බජයාට කල්කටා නුවර ඉගෙනුම ලබන සිය එකම පුත්‍රයා සිහිකරවන්නේ දුම්රියයි. දුම්රිය හඬ ඇසෙන විට ඇය නිවසේ එළිපත්තට දිව එන්නේ සිය පුතා පැමිණෙනු ඇතැයි අපේක්ෂාවෙනි.
ඇතැම් චිත්‍රපටවලදී දුම්රිය විසින් කාලය පිළිබඳ දැනවීමක්ද සිදුකරයි. අද දවසේ පවා දුම්රිය මාර්ගයක් ආසන්නයේ ජීවත්වන අයට වේලාව දැනගැනීමේ දී ඔරලෝසුවට වඩා දුම්රිය හඬ කිසියම් සංඥාවක් වී ඇති බව පෙනේ, මෙකී ස්වභාවය මුල් යුගයේ චිත්‍රපටවලදී පවා නිරතුරුව භාවිතයට ගනු ලැබූ බව පෙනේ. “Catching An Early Train” (Edison/Porter 1901), ‘Five Minutes To Train Time’ (AM&B, 1904), The Bewitched Traveler’ (AM&B/1904) සහ ‘The Suburbanite’ (AM&B/1904) එවැනි මුල්යුගයේ චිත්‍රපට කිහිපයකි.
මුල් යුගයේ සිනමාකරුවන් බොහොමයක් විද්‍යාත්මක ගවේෂණයන් හි නියැළුණු අයවලුන් (ලූමියර්, එඩිසන්, ඩික්සන් වන්නවුන්) වීම නිසාම දුම්රිය, ඔවුන්ගේ අවධානයට හසුවූ ප්‍රධානතම යන්ත්‍රයක් බවට පත්විය.
චලන රූපය බිහිවීමේ ලා 1872 දී ඉතා වැදගත් පර්යේෂණයන් සිදුකළ එඩ්වඩ් ජේම්ස් මයිබ්‍රිජ් ගේ අශ්වරූප පෙළ හා අදාල අනුග්‍රාහකත්වය සැපයූයේ ද දුම්රිය සමාගමක හිමිකරුවෙකි. ඒ කැලිෆෝනියා නුවර හිටපු ආණ්ඩුකාර ලේලන්ඩ් ස්ටැන්ෆර්ඩ් යන අයයි. චලන රූප කැමරාව බිහිකිරීමේලා අයිටින් ජූල්ස් මරේ හා එඩිසන් වන්නවුන්ට අනුප්‍රාණයක් වූයේ මයිබ්‍රිජ් ගේ එකී මූලික පර්යේෂණයයි.
සිනමාව නූතනත්වය හා නාගරිකත්වය හා බැඳුණු මාධ්‍යයක් සේ සැලකිය හැක. මුල් යුගයේ පටන් සිනමාහල් බිහිවූයේ ද නගර ආශ්‍රිතවයි. ඒවායේ අසුන් පිරවීමට තරම් ප්‍රේක්ෂක පිරිසක් සිටියේද නගර ආශ්‍රිත ප්‍රදේශවලයි.

“නගරය” බහුතරයක් චිත්‍රපටවල එන නාටකීය පසුබිම බවට පත්වූ බවක් ද පෙනේ. මෙහි උච්චස්ථානය 1920 දශකයේ බිහිවූ නගර සංධ්වනි (City Symphonies) චිත්‍රපට හරහා පිළිඹිබු වේ. 1927 දී වෝල්ටර් රුට්මාන් නිර්මාණය කළ ‘Berlin Symphony Of A City’, සීගා වර්ටොව්, ගේ ‘Man With a Movie Camera’ (1929), කිං විඩෝගෙ ‘The Crowd’ (1928), කාල් ගෲන්ගේ ‘The Street’ හා රෙනේ ක්ලෙයාර් ගේ ‘Paris Qui Dort’ (1923) මේ පිළිබඳ නිදසුන් වේ.
මෙවැනි චිත්‍රපටවල නාගරිකත්වයේ ප්‍රධානතම සංකේතය වූ “දුම්රිය” පිළිඹිබු වීම සාමාන්‍ය තත්වයකි.
සිනමා නිර්මාණයන්හි එන ඛේදවාචක බොහොමයක් සඳහා ප්‍රස්තූත වී ඇත්තේ ද දුම්රියයි. විශේෂයෙන්ම සියදිවි හානිකරගැනීම් මේ අතර ප්‍රධාන වේ. දුම්රියේ බලපරාක්‍රමයට අභියෝග කිරීම නිෂ්ඵල ක්‍රියාවක් යන්න ඉන් හැඟවේ.
සිනමා කෘතීන් හී දුම්රිය ස්ථානය යන්න, ජනාකීර්ණ තැනකි. ඒවා එක්වීම හා වෙන්වීම පිළිඹිබු කරවන පසුතල ද වේ. දුම්රිය ඈත එපිට ප්‍රදේශ කරා අප රැගෙන යයි.
“අපූර් සංසාර්” හී අපර්ණා හා ඕපු එකිනෙකාගෙන් වෙන් කරන්නේ දුම්රියයි. “ගම්පෙරළිය” චිත්‍රපටයේ තිස්ස සිය පවුලෙන් වෙන්ව කොළඹ නගරය කරා යන්නේද, පියල් ගම අතහැර නගරයට යන්නේද දුම්රියෙනි.
ක්‍රිස්ටොෆ් කිස්ලොව්ස්කි ගේ කෙටි වාර්තා චිත්‍රපටයක් වූ ‘The Station’ හී පිළිඹිබු වන්නේ දුම්රිය ස්ථානය යන්න වෙන්වීම හා හමුවීම මෙන්ම අපේක්ෂාවන් පිළිඹිබු කරන පසුතලයක් බවයි. නිහඬ යුගයේ සිනමාකරුවන් රැසක් “දුම්රිය” සිය චිත්‍රපට වල කේන්ද්‍රීය අංගයක් බවට පත් කළහ. ඔවුන් අතර බස්ටර් කීටන්, ආබෙල් ගාන්ස්, ඩී. ඩබ්. ග්‍රිෆිත්, මැක් සෙනට්, තෝමස් අල්වා එඩිසන්, සීගා වර්ටොව්, විඩෝ ඇතුළු අපමණවත් නිර්මාණකරුවෝ වෙති.
කථානාද සිනමාව ඇරඹීමත් සමඟ එකී නාම ලේඛනය තවදුරටත් දීර්ඝ එකක් බවට පත්විය. ෂෝන්රෙනුවා, ඇල්ෆ්‍රඩ් හිච්කොක්, ෆ්‍රිට්ස් ලෑන්ග්, සිසිල් බී ඩිමෙල්, සත්‍යජිත් රායි, කොස්ටා ගව්රාස්, සර්ජියෝ ලියෝන්, සිඩ්නි ලුමෙට්, විම් වෙන්ඩර්ස්, ලුයී බුනියෙල් එකී ලැයිස්තුවේ කැපී පෙනෙන චරිතයෝ වෙති.

දුම්රිය ප්‍රධාන භූමිකාවක් බවට පත්වී ඇති චිත්‍රපට අතර La Bete Humain (1938), Strangers On a Train (1951), Pacific 231 (1949), Pather Panchali (1955), The Train (1965), One Night On Train (1968), Murder On The Orient Express (1974), හා Runaway Train (1985), ප්‍රධාන තැනක් ගනී.
දුම්රිය හා අදාල රූප භාෂාව තුළ සංකේතාත්මක භාවිතාවන් පමණක් නොව (රෝද, දුම් හා පීලි වැනි) රූපමය සැකැස්ම, අවකාශය හා පර්යාලෝකය හා අතිමහත් වේගය වැනි සියලු කරුණුද අන්තර්ගත වේ. දුම්රියක් තුළ මෙන්ම දුම්රිය ස්ථානයද එම කෘතීන් හී එන නාටකීය ප්‍රකාශනය තීව්‍ර කරන්නාවූ, පසුබිමක් බවට පත්වී ඇත.
රාත්‍රියේ දුම්රිය මැදිරියකට ගොඩවන කාන්තාවක, කිසියම් අනපේක්ෂිත ගැටලුවකට මුහුණ දීම ඇතැම් චිත්‍රපටවල බහුලව නිරූපණය වේ. දුම්රිය මැදිරිය ගැහැනියක සඳහා ආරක්ෂාකාරී වටපිටාවක් නොවන බවක් ඉන් හැඟවේ.
දීර්ඝ දුම්රිය ගමන් වලදී පෙම්වතුන් හමුවීම, අලුත් සබඳතා ගොඩනැගීමද නිරතුරුව ම සිදුවේ.
පැනෝරමික් දැක්ම, (Panoramic perception) සංචරණය (Tourism) දර්ශාශ්වාදය හෙවත් එබී බැලීම (voyeurism), වසඟයට ගැනීම (Seduction), ප්‍රේමය (Romance) වැනි සෑම සියලු අංගෝපාංගයක්ම “දුම්රිය” හා බැඳුණු ඒවා වේ. එය ඉදිරි අනාගතයේදී ද සිනමා ප්‍රේක්ෂකයා උත්කර්ෂයට හා කම්පනයට පත්කරන සුළු ප්‍රධානතම සංඝටකයක් වනු නොඅනුමානය. එයට හේතුව දුම්රිය මානව වර්ගයාගේ ජීවිතය හා අත්‍යන්තයෙන්ම බැඳුණු යන්ත්‍රයක් වීම නිසයි.
Lynne Kirby විසින් රචිත Parallel Tracks නම් ග්‍රන්ථය ඇසුරෙනි.
එම්.ඩී.මහින්දපාල






