බෝනොවන රෝග කාණ්ඩය අස්සේ තිබෙන ‘පිළිකාව’ කියලා කියන්නේ, අපි බයම වෙන රෝගය කීවොත් නිවැරදියි. දියුණු රටවල මිනිසුන් පිළිකාව දෙස බලන විදිහ සහ අපි ඒ දෙස බලන විදිහ සෑහෙන්න වෙනස්. මේ වෙනසට මූලිකම හේතුව තමයි මේ රෝගය පිළිබඳව අපි තවමත් හරිහැටි දැනුවත් නොවීම.
මේ රෝගයට බෙහෙත් කරන බහුතරයක් වෛද්‍යවරුන් පවා රෝගියාගේ බිය තව තවත් වැඩි වෙන විදිහට කටයුතු කරනවා මිසක් ඔහුට දැනුම දෙමින් මේ රෝගයට සැහැල්ලුවෙන් මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය ලබාදෙන්නේ නෑ. මෙන්න මේ තත්ත්වයට පිළිතුරක් විදිහට අපි හිතුවා පිළිකාව ගැන ලිපි මාලාවක් සම්පාදනය කරන්න.
මේ එහි අවසන් කොටස. මෙම ලිපිය සඳහා අපි සමඟ එකතු වෙන්නේ ලංකාවේ සහ මහා බ්‍රිතාන්‍ය යන රටවල් දෙකේම පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරන, රුධිර පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් හේවමාන මහතා. ඔහු ලංකා හොස්පිට්ල්ස් රුධිර පිළිකා මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙසත් කටයුතු කරනවා.
පුරස්ථි ග්‍රන්ථි පිළිකා (Prostate Cancer) රෝගීන්ගේ වැඩිවීමක් ලංකාව තුළ තිබෙනවා කියලා වාර්තා වෙනවා. මේ පිළිකාව මෙතරම් සුලභ වෙන්න හේතුවක් තිබෙනවාද?
අපි වෛද්‍ය විද්‍යාව ඉගෙනගන්නකොට අපිට මෙන්න මෙහෙම ඉංග්‍රීසි කියමනක් හමුවෙනවා – ‘Every man will die from prostate cancer unless he dies from something else’ කියලා. අපිට ඒක මෙහෙම කියන්න පුළුවන් ‘සෑම මිනිසෙකුම පුරස්ථි ග්‍රන්ථි පිළිකාවෙන් මිය යනු ඇත, ඔහු වෙනත් හේතුවකින් මිය නොගියහොත්’. මේක හරි ලස්සන කියමනක්. මේක අස්සේ තිබෙනවා ඔබ ඔය අහන ප්‍රශ්නයට පිළිතුර. පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාව හැදෙන්නේ ටෙස්ටොස්ටෙරෝන් නිසා. හැම මිනිහටම ටෙස්ටොස්ටෙරෝන් (Testosterone) තියෙනවනේ. ඒක නැතුව හිටියොත් මිනිහෙක් නෙවෙයිනේ. අපි පිරිමියෙක් බවට පත්වෙන්නේ ඒකෙන්. පුරස්ථි ග්‍රන්ථිය හැම මිනිහටම තියෙනවා. එතකොට මෙතන තිබෙන්නේ මාරාන්තික සුසංයෝගයක්. ඉතිං මේක කෙනෙක්ට හැදුණාම ප්‍රතිකාරය තමයි, පුරස්ථි ග්‍රන්ථිය ඉවත් කිරීම. දැන් ක්‍රමයක් තියෙනවා අයින් නොකර කෙමිකල් ඕකිඩෙක්ටමි කියලා, බෙහෙත් දෙනවා. ඒක නැති වුණාම නිකං මානසිකව බලපානවනේ.
අපි පළමු ලිපිය තුළිනුත් යම් ප්‍රමාණයකට කතා කළා කීමෝ ප්‍රතිකාර ක්‍රමය ගැන. අපේ රෝගීන් බොහෝ දෙනෙක් කීමෝ ප්‍රතිකාරයන්ට බයයි. මේකට ප්‍රධානතම හේතුව මේ නිසා එන අතුරු ආබාධ නේද? අනික ලෝකයේ දියුණු රටවල මේ ප්‍රතිකාරය කරනකොට රෝගීන් ඒ සඳහා හොඳට දැනුවත් කරලා, ඒ වෙනුවෙන් ශාරීරිකව සහ මානසිකව සූදානම් කරනවා නේද?
මම මුලිනුත් කීවා පිළිකාවලට ප්‍රතිකාර කරන ක්‍රම තුනක් තියෙනවා කියලා. වෛද්‍ය ඉතිහාසයේ අපි මේ ගැන කතා කරනකොට කියන්නේ ‘කැපීම, පිළිස්සීම සහ විෂ’ (Cut, Burn, and Poison) කියලා. කැපීම කියන්නේ: ශල්‍යකර්මය (Surgery). පිළිස්සීම කියන්නේ : විකිරණ ප්‍රතිකාරය (Radiotherapy). විෂ කියන්නේ : කීමෝ ප්‍රතිකාරය (Chemotherapy). පිළිකාවක් තිබෙන බව දැනගත්තාම අපි මේ තුනෙන් එකක් හරි, තුනම හරි පාවිච්චි කරනවා, ඒ පිළිකාව නසන්න. ලියුකේමියාවෙදි කපන්න බැහැනේ, එතකොට කීමෝ විතරයි කරන්නේ. පියයුරු පිළිකා කියන එකට කැපීම, පිළිස්සීම, විෂ කියන තුනම භාවිතා කරන්න පුළුවන්. සමහර වෙලාවට මයලෝමා (Myeloma) වලටත් විෂ තමයි අපි පාවිච්චි කරන්නේ. කැපීම පිළිස්සීම ඒවට හරි අමාරුයි. රුධිරය කියන එක හැම තැනම දුවනවා නේ. හැබැයි කැපීම කියන එක පාවිච්චි කරනවා රෝග විනිශ්චය (Diagnose) කරන්න. ජීව පටක පරීක්ෂණය (Biopsy) කියන දේත් අයිතිවෙන්නේ කැපීම කියන කොටසට. සමහර වෙලාවට මයලෝමා හින්දා කොන්දේ එක තැනක් විතරක් හුඟක් රිදෙනවා නම්, එතනට විතරක් පොඩ්ඩක් විකිරණ ප්‍රතිකාර දෙන්න පුළුවන්.
අපි රුධිර පිළිකා ගත්තොත් දෙන බෙහෙත් ජාති දෙකක් තියෙනවා. එක බෙහෙත් ජාතියක් තියෙනවා, අපි ඒකට කියන්නේ කීමෝතෙරපි කියලා, නැතිනම් රසායනික චිකිත්සාව කියලත් කියනවා, ඒකෙන් කරන්නේ පිළිකා සෛල මරන එක. ඊළඟට අපි දෙනවා ආධාරක ඖෂධ (Supportive Medication) කියලා ජාතියක්. ඒක අපි රුධිර පිළිකා රෝගියෙක්ට දෙන්නේ ආසාදනයක් වෙන එක වළක්වාගන්න, ලේ ගැලීම වළක්වාගන්න, වගේ දේවල්වලට. මම කලින් ලිපියේ කිව්වේ සියයට අනූවක් පිළිකා රෝගීන් මැරෙන්නේ ආසාදන හින්දා කියලා.
මයලෝමා කියලා රුධිර පිළිකාවක් තියෙනවා. ඒකට අපි කීමෝ තෙරපි දෙන්නේ නැහැ. එංගලන්තේ දෙන්නේ නෑ, මාත් ලංකාවේ දෙන්නේ නෑ. ඒකට දෙන්නේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාර වර්ගයක් (Immuno Therapy). මෙහෙම බැලුවාම අද වෙනකොට පිළිකාවක් මරන්න, පිළිකාවක් නැති කරගන්න ප්‍රතිකාර වර්ග බොහොමයක් තියෙනවා. එයින් එකක් විතරයි කීමෝ ප්‍රතිකාර (Chemotherapy) කියන්නේ. Targeted Therapy කියලා තව වර්ගයක ප්‍රතිකාර ක්‍රමයක් දැන් තිබෙනවා. නමුත් කීමෝ ප්‍රතිකාර දෙන එක හරිම වැදගත්, හැබැයි බොහොම අඩුවෙන් තමයි දැන් අපි කීමෝ ප්‍රතිකාරය පාවිච්චි කරන්නේ. එතකොට කොණ්ඩේ යනවා, වමනය යනවා කියලා පිළිකාවට බය වෙන එක තේරුමක් නැහැ.
අනික අද වෙනකොට රෝගීන්ට මේ ප්‍රතිකාර නිසා ඇතිවෙන සයිඩ් ඉෆෙක්ට්ස් අඩුකරගෙන ඔහුට සුවදායක පරිසරයක් හදන්න ක්‍රම ගොඩාක් තිබෙනවා. ඒකට ආධාරක ප්‍රතිකාර ක්‍රම දියුණු වෙලා තිබෙනවා. ඒකට ඔබට කරන්න තියෙන්නේ ඔබ ප්‍රතිකාර ලබාගන්නා විශේෂඥ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගන්න එක. කීමෝ ප්‍රතිකාරයේදී පුද්ගල ශරීරය ඊට විරුද්ධව ක්‍රියාත්මක වෙන ආකාරය, එක එක්කෙනාට අනුව වෙනස් වෙනවා, එතකොට වෛද්‍යවරයා තමයි ඊට අනුව ප්‍රතිකාරය සැලසුම් කරන්නේ. ඒ නිසා මම නම් කියන්නේ කොණ්ඩේ යනවා, ශරීරය දුර්වල වෙනවා, බාහිර පෙනුම වෙනස් වෙනවා, වගේ දේවල් නිසා බය නොවී, වහාම ප්‍රතිකාර සඳහා යොමුවීම තමයි පිළිකාවක් අඳුරගත්තාම කරන්න තියෙන හොඳම දේ.
අපි දන්නවා බොහෝ විට පිළිකා රෝගියෙක් හඳුනාගන්නේ බයොප්සි පරීක්ෂණයක් හරහා. මීට අමතරව පිළිකාවක් හඳුනා ගැනීම සඳහා වෙනත් ක්‍රම තිබෙනවාද?
පිළිකාවක් කියන්නේ ජානමය රෝගී තත්ත්වයක් (Genetic Disorder) කියලා මම මුලින්ම කිව්වනේ. පිළිකාවක් රෝග විනිශ්චය වෙන්නේ අන්වීක්ෂයෙන්. අපිට එක්ස් රේ පරීක්ෂණයක් බලලා හරි, මුහුණ බලලා හරි, අතගාලා බලලා හරි, පිළිකාවක් තිබෙනවා කියලා කියන්න බෑ. ඒ අනුව බොහෝමයක් පිළිකා ජීව පටක පරීක්ෂණ නොකර රෝග විනිශ්චය කරන්න බැහැ. හුඟක් පිළිකා රෝග විනිශ්චය වෙන්නේ අන්වීක්ෂයෙන් පටක කෑල්ලක් අරන් බලලා. ඒ කෑල්ල ‘ලේ’ වෙන්න පුළුවන්. සමහර වෙලාවට ජීව පටක පරීක්ෂණයක් කරන්න ඕනෑ නැහැ, ලේ බලලා කියන්න පුළුවන් ලියුකේමියාව තියෙනවද කියලා. ලිවර් එක ගත්තොත් සමහර පිළිකා තත්ත්වයන් බයොප්සි නොකර විනිශ්චය කරන්න පුළුවන්. පියයුරු පිළිකාවක් නම් ඒක ජීව පටක පරීක්ෂණයක් වෙන්නත් පුළුවන්, රුධිර පරීක්ෂණයක් වෙන්නත් පුළුවන්, ඇට මිදුළු සාම්පලයක් වෙන්නත් පුළුවන්.
අද සමාජයේ ගොඩාක් අය කියනවා අපි කන කෑම නිසා තමයි පිළිකා හැදෙන්නේ කියලා. සමහර නූඩ්ලස් වර්ග වගේ දේවල් අසීමිතව ආහාරයට ගැනීම නිසා පිළිකාව සමාජයේ උඩුදුවලා තිබෙනවා කියලා කියනවා. අතීතයත් එක්ක සංසන්දනය කරලා මෙහෙම කියන එක කොයිතරම් දුරට නිවැරදිද?
ඔය කෑම නිසා, රසකාරක නිසා, පිළිකා හැදෙනවා කියලා කීවට, ඒ ගැන කරපු පර්යේෂණයන් හරිම අඩුයි. ලංකාවේ නම් කෙරිලාම නෑ කියලා කියන්න පුළුවන්. එතකොට නිසි පරීක්ෂණයකින් තොරව දේවල් ප්‍රකාශ කරන්න යෑම භයානකයි කියලයි මට හිතෙන්නේ. ඒකෙන් පිළිකාව පිළිබඳව අනවශ්‍ය බියක් සමාජය තුළ ඇතිවෙනවා.
ඊළඟට අපි පුරුදු වෙලා ඉන්නවා, අපේ අතීත මුතුන්මිත්තන්ට පිළිකා තිබුණේ නෑ දැන් තමයි තියෙන්නේ කියලා කියන්න. ඒකත් වැරදි මතයක්. අතීතය වගේ නෙවෙයි අද වෙනකොට මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව වැඩිවෙලා තිබෙනවා. අපේ සීයගේ කාලේ වගේ ගත්තොත්, ඒ කාලේ මිනිස්සු හේතුවක් නැතුවම අවුරුදු 30න් 40න් මැරුණා, කවුරුත් මරණයට හේතුව මොකද්ද කියන්න දැනගෙන හිටියේ නෑ. ඒත් අද වෙනකොට එහෙම නෑ, අපි කවුරුහරි මැරුණොත් ඒ මරණයට හේතුව මොකද්ද කියලා අද සමාජයට අනාවරණය වෙනවා. එදා පිළිකාව කියන ලෙඩේ තියෙනවාද කියලවත් මිනිස්සු දැනගෙන හිටියේ නෑ. අද ඊට වෙනස් තත්ත්වයක් තිබෙන්නේ. අද වෛද්‍ය පරීක්ෂණ හරහා අපි මේ රෝගය හොයාගන්නවා. එතකොට රෝගීන් වාර්තා වෙන ප්‍රමාණය ගොඩාක් වැඩියි. අනික මේ වාර්තා වීම් මාධ්‍ය හරහා සමාජගත වෙනවා දෛනිකව, එතකොට අපිට නිකම්ම හිතෙන්න පුළුවන් රෝගීන් වැඩියි නේද කියලා.
අද මම බැලුවා ලංකාවට ඇවිල්ලා ඉස්සෙල්ලාම ප්‍රතිකාර කරපු ඇකියුට් මයලොයිඩ් ලියුකේමියා රෝගියා. පිළියන්දල පැත්තේ හාඩ්වෙයාර් එකක් කරන මනුස්සයෙක්. දැන් අවුරුදු 44 යි. මම ප්‍රතිකාර පටන්ගන්නකොට අවුරුදු තිහක් විතර ඇති. ඒ මනුස්සයට තව සති කීපයයි ජීවත් වෙන්න තියෙන්නේ කියලා මම දන්න ඔන්කොලොජිස්ට් කෙනෙක් කියලා තිබුණා. ඒත් මිනිහම අන්තිමට කියලා තියෙනවා, ‘සමන් කියලා වෛද්‍යවරයෙක් ඇවිල්ලා තියෙනවා ලංකාවට, ගිහින් එයාගෙන් අහලා බලන්න, සමහරවිට එයා මොකක් හරි කියයි, මටනම් බැහැ ජීවත් කරවන්න කියලා’. ඉතිං මනුස්සයා මාව හොයාගෙන ආවා. දැන් ඒ මනුස්සයා සුව වෙලා. එතකොට එයාට ලියුකේමියාව හැදුණා කියලා අවුරුදු දාහතරක් තිස්සේ දන්නවනේ. හැබැයි මිනිහා සුමානෙන් මැරුණා නම් මොකද්ද තත්ත්වය. සතියයි දෙකයි ඒක අමතකයි. ඒත් දැන් එහෙම නෑ. පිළිකා ලෙඩ්ඩු වැඩිපුර ජීවත් වෙනකොට අපිට හිතෙනවා පිළිකා වැඩියි කියලා. පිළිකාව හැදිලා ලෙඩා මැරුණා නම් ලෙඩාව මතකත් නැහැ, පිළිකාව මතකත් නැහැ.
ඉතිං අද වෙනකොට පිළිකාවක් හැදුණු බොහෝ රෝගීන් සනීප වෙනවා, එහෙම නැත්තං ඔවුන්ගේ ආයු අපේක්ෂාව ටිකක් දිගු වෙනවා බෙහෙත් නිසා, එතකොට අපි පිළිකාව එක්ක ගැටෙන ප්‍රමාණය වැඩිවෙලා තිබෙනවා. මෙන්න මේ හේතු නිසා අපිට හිතෙන්න පුළුවන් අද වෙනකොට පිළිකා රෝගයේ ඉහළ යෑමක් තිබෙනවා කියලා. නමුත් අපි අවුරුද්දක් ගානේ කරපු නිසි සමීක්ෂණයක් වගේ දෙයක් හරහා ආපු ප්‍රතිඵලය මත නෙවෙයි මේ කතාව කියන්නේ. ඒ නිසා පිළිකාව වැඩිවෙලා කියලා හිතන එකත් අනවශ්‍ය දෙයක් කියලයි මට හිතෙන්නේ. අනික් පැත්තෙන් ලෝකය පස්සට නෙවෙයි යන්නේ, ලෝකය යන්නේ ඉස්සරහට, එතකොට ප්‍රතිකාර ක්‍රම, බෙහෙත් වර්ග, බොහෝ ප්‍රමාණයක් අවුරුද්දෙන් අවුරුද්ද අලුතින් ලෝකයට එනවා, ඒවා සියල්ල එන්නේ පිළිකා රෝග නිවාරණයට, එහෙම බැලුවාමත් අපිට පැහැදිලි තර්කයක් නෑ, එන්න එන්නම පිළිකා රෝගීන් වැඩිවෙනවා කියලා කියන්න.
මොකක් හරි හේතුවක් නිසා කැන්සර්ස් වැඩි වෙන්න පුළුවන් කියලා අපි හිතමු, හැබැයි මොකක්ද හේතුව කියන එක ස්ථිරවම කියන්න බැහැ. අපි හිතනවා ඒක අපේ ජීවන රටාව හින්දා විය හැකියි කියලා, අන්න එතනයි ප්‍රශ්නය තිබෙන්නේ. අනිත් එක තමයි අපි වැඩි කල් ජීවත් වෙන නිසාම පිළිකා එන්න පුළුවන් වීම, දැන් ක්‍රොනික් ලිම්ෆොසිටික් ලියුකේමියා (Chronic Lymphocytic Leukaemia – CLL), මයලෝමා (Myeloma) එක හැදෙන්නේ වයසට යන අයට, මම මුලින් කීවා වගේ අපේ සීයලා අවුරුදු තිහෙන්, තිස් පහෙන් නේ මැරුණේ. තාත්තාගේ තාත්තා අවුරුදු 35ක් වගේ තමයි හිටියේ, හැබැයි අපේ තාත්තා අවුරුදු අනූවක් හිටියා. එතකොට අපි ජීවත් වන කාලය වැඩි වෙනකොට, අපිට පිළිකා හැදෙන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. මයලෝමා කියන එක බොහොම දුර්ලභයි අවුරුදු තිහට, හතළිහට අඩු අයට. තිහට අඩු අයට නම් බොහොම දුර්ලභයි, එහෙම බැලුවාම වයසට යෑම නිසා තමයි මේ කියන පිළිකාව අපිට වැඩියෙන් වාර්තා වෙන්නේ.
ලෝකේ සංඛ්‍යාන දත්ත ගත්තොත්, සමහර පිළිකා වැඩි වෙනවා. සමහර පිළිකා අඩු වෙනවා. දැන් අපි බඩවැල් පිළිකා පරීක්ෂාව කරනවා, පියයුරු පිළිකා පරීක්ෂා කරනවා, ගර්භාෂයේ පිළිකාව පිළිබඳව පරීක්ෂණ කරනවා, මේවා එකක්වත් අතීතයේ තිබුණ දේවල් නෙවෙයි. මේ පරීක්ෂාවන් හරහා අපි සෑහෙන්න පිළිකා නිවාරණය සඳහා වැඩ කරනවා. ඒ නිසා පිළිකා වැඩි වෙනවා කියලා අනියත බියක් ඇතිකර ගැනීම තේරුමක් නෑ.
-කේ. සංජීව-
1 කොටස – https://knews.lk/cancer-is-not-always-deadly-dr-saman-hewamana-knews/
2 කොටස – https://knews.lk/blood-cancer-treatment-dr-saman-hewamana/






