ලංකාව කියන්නේ නිදහස් රාජ්‍යයක්. අපිට ප්රජාතන්ත්රවාදය පිළිබඳව දිගු ඉතිහාසයක් සහ සම්ප්රදායක් තිබෙනවා. ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගන්නට කියලා සම්මත කරගන්නට යන ‘රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කරගැනීමේ පනත’ සහ පාතාලය මර්දනය කරන්නට කියලා සම්මත කරගන්නට කැසකවන ‘සංවිධානාත්මක අපරාධ මර්දනය පිළිබඳ පනත’ දිහා බලනකොට සහ ඒ පිළිබඳව නීතිය දන්න උදවිය සහ සංවිධාන කියන දේවල් දිහා සාවධානව මැදහත්ව බැලුවාම පේන්නේ, වර්තමාන ආණ්ඩුව සහ ජනාධිපතිවරයා තමන්ගේ පක්ෂයේ දිගුකාලීන අරමුණු වෙනුවෙන්, අපේ රටට උරුම මේ ප්රජාතන්ත්රවාදයේ සහ නිදහසේ දිගු ඉතිහාසය සහ එහි උරුමය පුරවැසි නිදහස විනාශ කරන්නද මේ හදන්නේ කියන දේ.
ඉතිං අප වෙබ් අඩවිය මේ පනත් දෙක පිළිබඳව මානවහිමිකම් සංවිධාන වැනි මතදක්වන්නන් ගෙන එන විවේචනයන් එකට එකතු කරලා මේවගේ සරළ ලිපියක් ලියන්න හිතුවා. ඔබත් මෙය කියවලා හිතන්න ත්රස්තවාදයට සහ පාතාලයට මුවාවෙලා ආණ්ඩුව කරන්න යන මේ වැඩේට ඉඩදීලා සද්ද නැතිව බලාගෙන ඉන්නවා ද එහෙම නැත්තං දැනුවත් සහ සටන්කාමී පුරවැසියෙක් විදිහට මීට විරුද්ධව හඬනඟනවද විරුද්ධ වෙනවද කියන දේ.
ත්‍රස්තවාදය සහ සංවිධානාත්මක අපරාධ නැති කරනවාට අකමැති කවුද? බයක් සැකක් නැතිව පාරේ බැහැලා යන්න පුළුවන්, නීතිය රජයන රටකට අපි කවුරුත් කැමතියි ඒකේ ආයේ කතා දෙකක් නෑ. හැබැයි, ඒ ආරක්ෂාව වෙනුවෙන් ගෙවන්න සිදුවන වටිනාකමට හිලව්වට ඔබට මට දැන් අපි භුක්ති විඳින නිදහස ආණ්ඩුවට දන් දෙන්න සිද්ධ වෙනවා නම් අපි ඒ ගැන දෙපාරක් සිතන්න අවශ්‍ය නැද්ද?
මේ දිනවල රටේ නීති ක්ෂේත්රය, මානව හිමිකම් සංවිධාන සහ සිවිල් සමාජය එකම කඳවුරක සිට දැඩිව ප්‍රශ්න කරමින් සිටින්නේ මෙන්න මේ කාරණය ගැන. ඒ, ආණ්ඩුව විසින් ගෙන ඒමට යෝජිත ‘රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත’ සහ ‘සංවිධානාත්මක අපරාධ මර්දනය පිළිබඳ පනත් කෙටුම්පත’ මේ විදිහටම සම්මත වුණොත් අපිට මොනවා වෙයිද කියන දේ ගැන.
මේ පනත් දෙකෙම බැලූ බැල්මට හරිම ආකර්ෂණීය වුවත්, ඇතුළාන්තයේ ගැබ්වෙලා තිබෙන්නේ සාමාන්‍ය ජනයාගේ මූලික අයිතිවාසිකම් සහ නීතියේ ආරක්ෂාව බිලිගන්නා බියකරු විධිවිධාන රැසක්. විවේචන ඉදිරිපත් කරන අපි කිසිවෙකු අපරාධ මර්දනයට එරෙහි වන්නේ නැහැ. නමුත් අපි අසන්නේ එක දෙයයි, රජයට මෙතරම් අසීමිත බලයක් ලැබෙන විට සාමාන්‍ය පුරවැසියාගේ ආරක්ෂාව සහ නිදහස ඉතිරි වන්නේ කොහොමද කියන ප්රශ්නය විතරයි අපි අහන්නේ.

පැරණි යක්ෂයාට අලුත් ඇඳුමක්
දශක ගණනාවක් තිස්සේ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් හා වධහිංසා පැමිණවීම්වලට යොදාගත් අපකීර්තිමත් ‘1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ (PTA කියලා අපි ඒකට කීවේ) අහෝසි කරන බවට ආණ්ඩුව දුන් පොරොන්දුව අප කාටත් මතකය. එහෙත් නව පනතින් කර ඇත්තේ කුමක්ද? විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) පෙන්වා දෙන්නේ, PTA හි තිබූ පීඩාකාරී ව්‍යුහය සම්පූර්ණයෙන් ඉවත් නොකර, එහි සමහර බලතල නව නීතියට ද රිංගවා ඇති බවයි.
විශේෂයෙන්ම මේ තුළ ‘ත්‍රස්තවාදය’ නිර්වචනය කර ඇති ආකාරය අතිශය පුළුල්ය. ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කරන, වැඩවර්ජන කරන සාමාන්‍ය පුරවැසියාත්, සැබෑ ත්රස්තවාදියාත් අතර වෙනස මේ නීතියට පැහැදිලිව වෙන්කර හඳුනාගත නොහැකි අවදානමක් ඇත. පනතේ ‘සාමකාමී විරෝධතා, මාධ්‍යවේදය, ශාස්ත්‍රීය පර්යේෂණ සහ කලාත්මක ප්‍රකාශන’ ත්‍රස්තවාදී වැරදි ලෙස නොසලකන බවට යම් ආරක්ෂණ වගන්ති ඇතුළත් කර තිබුණත්, ඒවා ප්‍රායෝගිකව කොතරම් දුරට ප්‍රමාණවත් වෙයිද කියලා CPA දැඩිව ප්‍රශ්න කරනවා.
මෙහි ඇති බරපතළම ඛේදවාචකය නම්, වරදකරුවෙකු වීමටත් පෙර විධායක නිලධාරියෙකුගේ (ආරක්ෂක ලේකම්වරයාගේ) අනුමැතිය මත පමණක් සැකකරුවෙකු මාස දෙකෙන් දෙකට දිගු කරමින් උපරිම වසරක කාලයක් සිරකර තබාගැනීමට ඇති හැකියාවයි. මෙයට අමතරව අත්අඩංගුවට ගැනීම් සහ විමර්ශන සඳහා ත්‍රිවිධ හමුදාවටද බලතල පැවරීමට යෝජනා කර ඇත. සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කිරීම පොලිසියේ කාර්යය වී තිබියදී හමුදාව ඊට එක් කිරීමෙන් වගවීම පිළිබඳ බරපතළ ප්‍රශ්න මතුවන බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙනවා. එපමණක් නොව, අධිකරණ අධීක්ෂණයකින් තොරව සංවිධාන තහනම් කිරීමේ ඒකාධිපති බලයක් ජනාධිපතිවරයා අතට පත්කර තිබීම සිවිල් සමාජයට එල්ල කරන මාරාන්තික තර්ජනයක් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩිව අවධාරණය කරන්නේ, පනත සකස් කිරීමේදී ලබාගත් නිර්දේශ සහ අවසානයේ ගැසට් කළ කෙටුම්පත අතර ඇති වෙනස්කම් වහාම ප්‍රසිද්ධ කළ යුතු බව. නීති සම්පාදනයේදී සිවිල් සමාජයේ සහ මහජනතාවගේ අදහස්වලට ප්‍රමාණවත් ඉඩක් නොදීම ඔවුන්ගේ විවේචනයට ලක්වෙලා තිබෙනවා. නමුත් ආණ්ඩුව ඊට ඇහුම්කන් දෙන බවක් පෙනෙන්නට නැහැ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවා මේ පිළිබඳව විශේෂ නිරීක්ෂණ ඉදිරිපත් කරමින් පවසන්නේ, හුදෙක් ‘ආර්ථික අලාභයක්’ සිදුකිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථකථනය නොකළ යුතු බවයි. අත්අඩංගුවට ගන්නා අයෙකුට කඩිනමින් නීතිඥ සහාය ලැබීම, වෛද්‍ය පරීක්ෂණවලට යොමුවීම සහ ප්‍රශ්න කිරීම් නිසි ලෙස වාර්තා කිරීම අනිවාර්ය විය යුතු බව ඔවුන් අවධාරණය කරවා. මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අහන්නේ ඊටත් වඩා වැදගත් ඒවගේම බරපතළ ප්‍රශ්නයක්. “ත්‍රස්තවාදය සම්බන්ධයෙන් වෙනම විශේෂ නීතියක් පවත්වාගෙන යන්නේ ඇයි? සාමාන්‍ය අපරාධ නීතිය යටතේම ඊට කටයුතු කළ නොහැකිද?” රඳවා තබාගැනීම් අධිකරණ අධීක්ෂණයට යටත් කිරීම සහ ඇප දීමේ බලය විනිසුරුවරුන්ට ලබාදීම අත්‍යවශ්‍ය බව කොමිසමේ දැඩි ස්ථාවර යයි. මේවගේ අපගේ පුරවැසි අයිතිය සීමාකරන අපේ නිදහස සීමාකරන අපි වටේ කොටු බැම්මක් හදන වගන්ති බොහෝ ප්‍රමානයක් මේ පනත් දෙකේම තිබෙනවා කියන දේ තමයි විශේඥ මතය.
පෙනුමෙන් ඔබව අපරාධකරුවෙකු කරන ‘සංවිධානාත්මක අපරාධ මර්දන පනත’
මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ජාවාරම්, මුදල් විශුද්ධිකරණය සහ පාතාල කල්ලි මර්දනය කිරීමේ අරමුණින් ගෙන එන මේ පනත ඊටත් වඩා ත්‍රාසජනකයි. ඒවගේම ඛේදනීයයි. මානව හිමිකම් කොමිසම පෙන්වා දෙන්නේ මෙය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ මූලික අයිතිවාසිකම්වලට කිසිසේත් නොගැළපෙන පනතක් බවයි.
හිතන්න, ඔබ අඳින ඇඳුම, ඔබේ ඇඟේ ඇති පච්චයක්, ඔබ කතා කරන විලාසය, අත් සංඥාවක් හෝ ඔබ නිතර ගැවසෙන තැනක් දිහා බලා ඔබ ‘පාතාලයේ’ සාමාජිකයෙකු යැයි පොලිසියට සැක කළ හැකි නම්? පැහැදිලි සාක්ෂියක් නොමැතිව, හුදෙක් මෙවැනි බාහිර කරුණු මත පදනම්ව විශේෂයෙන්ම තරුණයන් සහ ආන්තික ප්‍රජාවන්ට අසාධාරණ ලෙස බලපෑම් කිරීමට මෙම නීතියෙන් පුළුල් ඉඩක් ලැබෙන බවට විවේචන එල්ල වී තිබෙනවා. අපි එය නොතකා සිටිය යුතුයි ද?
සාමාන්‍ය නීතිය යටතේ අත්අඩංගුවට ගැනීම, චෝදනා ගොනු කිරීම සහ ඇප ලබාගැනීම සම්බන්ධයෙන් ඇති ආරක්ෂණ මේ පනතින් මුළුමනින්ම දුර්වල කර ඇත. අත්අඩංගුවට ගත් අයෙකු පැය 72ක් යනතුරු මහේස්ත්රාත්වරයෙකු වෙත ඉදිරිපත් නොකර සිටීමටත්, පොලිසිය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝග මත වසරක් දක්වා සැකකරුවෙකු රඳවා තබාගැනීමටත් මෙයින් ඉඩ ලැබේ. වඩාත් ඛේදනීය තත්ත්වය නම්, මෙවැනි විධායක නියෝගයක් අවලංගු කිරීමට තරම් අභිමත බලයක් මහේස්ත්රාත්වරයාට නොමැති වීමයි.
මෙහි ඇති භයානකම වගන්තිය වන්නේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු හෝ ඊට ඉහළ නිලධාරියෙකු ඉදිරියේ ලබාදෙන ‘පාපොච්චාරණ’ අධිකරණයේ සාක්ෂි ලෙස පිළිගැනීමට ඉඩ හැරීමයි. HRCSL සහ CPA අනතුරු අඟවන්නේ, PTA යටතේ ක්‍රියාත්මක වූ මෙම දුෂ්ට ක්‍රමය වෙනත් නමකින් යළි ගෙන ඒම හරහා වධහිංසා පමුණුවා බලහත්කාරයෙන් ප්‍රකාශ ලබාගැනීමේ අවදානම නැවත මතුවන බවයි. ඊට අමතරව, මෙහි ‘බරපතළ අපරාධ’ යන්න අසාමාන්‍ය ලෙස පුළුල් කර ඇති බැවින්, පාතාලයට සම්බන්ධ නැති වෙනත් නීති යටතේ සිදුවන වැරදි පවා මේ විශේෂ රාමුවට හසුකර ගැනීමේ ඉඩක් පවතින බව CPA පෙන්වා දෙනවා.
පුරවැසි නිදහස අවසන්
අධිකරණ නියෝගයකින් තොරව සාමාන්‍ය පුරවැසියන්ගේ දුරකථන දත්ත සහ ස්ථානගතවීම් ලබාගැනීමට පොලිසියට දෙන බලතල ප්‍රමාණවත් අධීක්ෂණයකින් තොරව භාවිත වුවහොත් එය පෞද්ගලිකත්වයට එල්ල කරන මරු පහරක් බව Human Rights Watch (HRW) අවධානය යොමු කරනවා. එසේම, වින්දිතයන්ගේ තොරතුරු ප්‍රසිද්ධ කිරීම සහ අධිකරණ කටයුතු වාර්තා කිරීම සම්බන්ධයෙන් පනවා ඇති සීමා නිසා, අපරාධ කල්ලි, දේශපාලකයන් සහ පොලිසිය අතර ඇති සබඳතා හෙළිකරන ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ට දැඩි නීතිමය බාධාවලට මුහුණදීමට සිදුවනු ඇති. HRWහි ආසියානු අධ්‍යක්ෂිකා ඉලේන් පියර්සන් පෙන්වා දෙන්නේ අධිකරණ අධීක්ෂණයකින් තොරව රඳවා තැබීම සහ පොලිස් පාපොච්චාරණ මත දඬුවම් දීම අතිශය කනගාටුදායක තත්ත්වයක් බවයි.
තත්ත්වය කෙතරම් බරපතළද යත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඍජුවම ඉල්ලා සිටින්නේ මෙම ‘සංවිධානාත්මක අපරාධ මර්දන පනත’ මුළුමනින්ම ඉවත් කරගන්නා ලෙසයි. මෙතරම් පුළුල් බලපෑමක් ඇති නීතියක්, සිවිල් සමාජය සහ මහජනතාවගෙන් ප්‍රමාණවත් අදහස් විමසීමකින් තොරව ගෙන ඒමට කිසිසේත් නොහැකි බව CPA තවදුරටත් අවධාරණය කරයි.
සමබරතාව කොතැනද?
මේ පනත් දෙකෙන්ම මතුවන පොදු ගුණයක් තිබෙනවා. ඒ පොදු ගුණය පොදු රටාව පැහැදිලියි. අපරාධ මර්දනයේ නාමයෙන් රජයේ බලතල අසීමිත ලෙස පුළුල් වන අතර, පුද්ගල නිදහස සහ අධිකරණ ආරක්ෂාව දුර්වල කෙරෙමින් පවතී. පුළුල් අත්අඩංගුවට ගැනීමේ බලතල දීමෙන් පමණක් අපරාධ නැති කළ නොහැයි. ඊට අවශ්‍ය වන්නේ ස්වාධීන විමර්ශන, විනිවිදභාවය සහ වගවීම. මේ පනත් දෙක තුළ සොයාගන්නට අමාරුත් ඒවා.
සාමාන්‍ය නීතියට අනුව, “නඩු විභාගයකින් වරදකරු වන තෙක් ඕනෑම අයෙකු නිර්දෝෂී යැයි සැලකීම” අපේ නීති පද්ධතියේ කොඳුනාරටියයි. ‘සැකකරුවෙකු වීම’ සහ ‘වරදකරුවෙකු වීම’ යනු දෙකකි. නීතියක් යනු ආණ්ඩුවක් ආරක්ෂා කරන ආයුධයක් පමණක් නොවිය යුතුය. නීතිය ආණ්ඩුවේ අසීමිත බලය ඉදිරියේ අසරණ වන පුරවැසියාව රකින පවුරක් ද විය යුතුයි. PTA අහෝසි කරන නාමයෙන් එහි කෲරත්වයම නව නීතියට රිංගවන්නේ නම්, පාතාලය මර්දනය කිරීමේ නාමයෙන් සාමාන්‍ය පුරවැසියාගේ ගෙලට තොණ්ඩුවක් දමා ඔහු උගුලක සිරකරන්නේ නම්, එයට එරෙහිව හඬ නැගීමටත්, ප්‍රශ්න කිරීමටත් පුරවැසියන් පෙරට ආ යුතුය.





Pingback: PSTA පනතට කිසිදු සහයක් ලබා නොදෙමු – අසෝක හඳගම