සෞදි අරාබියේ මරණ දඬුවමට මුහුණ දී සිටින 26 හැවිරිදි ශිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීම සහ ඔහුව නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ හදිසි හමුවක් ඉල්ලා ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය නිල වශයෙන් ලිපියක් යොමු කර ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක ශානක්‍යන් රාසමාණික්කම් ප්‍රකාශ කරයි.
2026 සැප්තැම්බර් 22 දිනැති සිය ලිපිය මඟින්, ITAK පක්ෂය ජනාධිපතිවරයාගේ මැදිහත්වීම ඉල්ලා සිටි අතර, පවතින සෑම රාජ්‍ය තාන්ත්‍රික මාර්ගයක්ම අනුගමනය කිරීමේ හදිසි අවශ්‍යතාවය අවධාරණය කර ඇත.
පාර්ලිමේන්තුවේදී විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් නිවේදනය කරන ලද සෞදි අරාබිය බලා යන නියෝජිත කණ්ඩායමට තම පක්ෂයේ නියෝජිතයා ලෙස අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද්‍රන් කෝඩීස්වරන් ITAK විසින් නම් කර ඇත.
පසුගිය දින කිහිපය පුරාවට, ITAK පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොළඹ පිහිටි විදේශ දූත මණ්ඩල සහ රටවල් කිහිපයක නියෝජිතයින් සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර, එහිදී අනෝජන්ගේ සිද්ධියට අදාළ කරුණු පිළිබඳව ඔවුන්ව දැනුවත් කර, ඔහුට සමාව ලබා ගැනීමට සහ නිදහස් කර ගැනීමට ගන්නා උත්සාහයන් සඳහා ඔවුන්ගේ සහාය ඉල්ලා ඇත.
ඊට සමගාමීව, ITAK සමඟ සමීපව කටයුතු කරන ඩයස්පෝරා සංවිධාන ඔවුන් ක්‍රියාත්මක වන රටවල රජයන් සහ අදාළ බලධාරීන් වෙත යොමු වෙමින්, අනෝජන්ගේ සිද්ධියට අදාළව ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික සහ මානුෂීය සහාය ඉල්ලා ඇත.
විදේශ දූත මණ්ඩල සමඟ පැවති මෙම සාකච්ඡා, විවිධ රටවල නියෝජිතයින් සමඟ අපගේ කතාබහ සහ ඩයස්පෝරා සංවිධාන විසින් සිදු කරන ලද මැදිහත්වීම් මත පදනම්ව, ශ්‍රී ලංකා රජය විසින් හදිසියේම සලකා බැලිය යුතු යැයි තම පක්ෂය විශ්වාස කරන තවත් රාජ්‍ය තාන්ත්‍රික මාර්ග සහ යෝජනා එම පක්ෂය ඉදිරිපත් කර ඇත.
මෙම මැදිහත්වීම් පිළිබඳව ජනාධිපතිවරයාව සෘජුවම දැනුවත් කිරීමටත්, සෞදි බලධාරීන් සමඟ ශ්‍රී ලංකාවේ මැදිහත්වීමට සහාය විය හැකි මිත්‍ර රටවල ආධාර ලබා ගැනීමේ හැකියාව ඇතුළුව, ඉදිරි රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග සඳහා නිශ්චිත යෝජනා ඔහු වෙත ඉදිරිපත් කිරීමටත් එම පක්ෂය අපේක්ෂා කරන අතර ඒ පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීම මෙම ඉල්ලා ඇති හමුවේ අරමුණ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ශානක්‍යන් රාසමාණික්කම් ප්‍රකාශ කරයි.





