ඒත් එහෙම වුණේ නෑ …!

court 1

22 ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට දැම්මාම ඒකට අභියෝග කළ බොහෝ පාර්ශ්වයන් ඉල්ලපු පළමු ඉල්ලීම තමයි, වත්මන් අගවිනිසුරු නොමැති විනිසුරු මඬුල්ලක් හරහා හෝ එහෙම නැත්නම් අගවිනිසුරුවරයා සමඟ මුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලම මේ නඩුවට වාඩි වෙන්න ඕනෑ කියන දේ.

මේ ඉල්ලීම කරපු ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රමුඛ ගොඩක් අයගේ තර්කය වුණේ, මේ නව සංශෝධනයෙන් විශාලම වාසිය අත්වෙන්නේ වත්මන් අගවිනිසුරු සූරසේනට. ඒ නිසා මෙතන ලබැඳියාවන් අතර ගැටුමක් තිබෙනවා. ඒ නිසා සූරසේන නැති මඬුල්ලක් හෝ ඔහු ඉන්නවා නම් ඔහු සමඟ මුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලම වාඩි කරන එක තමයි සර්වසාධාරණ කියන දේ.

ඇත්තටම මේක මොන තරම් සාධාරණ තර්කයක් ද? සූරසේන අගවිනිසුරුතුමාට පුළුවන් වුණා නම් ඔහුගෙන් තොර විනිසුරු මඬුල්ලක් මේකට නම් කරන්න, ඒක මොන තරම් විශාල තීන්දුවක් ද? හැබැයි ඔහු එහෙම කළේ නෑ. එහෙම නොකළේ ඔහුට අනෙකුත් විනිසුරුවරුන් විශ්වාස නැති නිසා ද? ඔවුන් ජනමත විචාරණයකට යන්න වගේ කතාවක් කියාවි කියලා බය හිතුණා ද? දෙවැනියට, ඔහුත් වාඩිවෙන, සියලු විනිසුරුවරුන් හිඳගන්න විනිසුරු මඬුල්ලකින් මේ නඩුව අහන්න ඔහුට බැරි වුණේ ඇයි? එතනත් ඔහු සිටියත් මුළු විනිසුරු මඬුල්ලම වාඩි වුණාම තමන්ගේ තීරණය බහුතර විනිසුරුවරුන් අතින් අභියෝගයට ලක්වෙයි කියලා ඔහු බය වුණා ද? එහෙම නැත්නම් එතනත් බහුතර විනිසුරුවරුන් පිළිබඳව ඔහුට විශ්වාසයක් තිබුණේ නැද්ද?

මම නම් පුරවැසියෙක් විදිහට හිතන්නේ, අධිකරණයේ පැවැත්ම රඳා පවතින්නේ ජනතා විශ්වාසය මත නිසා මේ වගේ දේවල්වලින් ඒ ජනතා විශ්වාසය පළුදු වෙනවා කියන දේ. ශ්‍රේෂ්ඨාධිකරණය කියලා කියන්නේ ගමේ මරණාධාර සමිතිය නෙවෙයි. එතන ඉන්න ප්‍රධානියාට වඩාත් ශිෂ්ට සහ වඩාත් බුද්ධිමත් තීන්දු තීරණ තම පුද්ගල සිතැඟියාවන් පසෙකලා ගන්න හැකියාවක් තිබිය යුතුයි. ඔහුට රටේ සමස්ත අධිකරණ පද්ධතිය ගැනම හිතලා, කල්පනා කරලා, විසල් මනසකින් මේ දිහා බලලා තීන්දුවක් ගන්න පුළුවන් වෙන්න ඕනෑ. ඒත් ඔහු පෙන්නුවා තමන් ඒ තරම් විශාල මනුස්සයෙක් නෙවෙයි කියන කාරණය.

මෙතනදී නීතිපතිගේ තර්කය වුණේ, විනිසුරු මඬුල්ල නම් කරන්න අගවිනිසුරුවරයාට ව්‍යවස්ථාවෙන් පවරලා තියෙන බලයට කාටවත් අභියෝග කරන්න බෑ කියන එක. මෙතන ඇත්තටම අභියෝගයක් නෑ. මෙතන තියෙන්නේ ඉල්ලීමක්. ඒ ඉල්ලීම කරන්නෙත් අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ආරක්ෂා කරගැනීමේ පදනමින්. එතනදී ඔහුට එම ඉල්ලීම පිළිගන්නට කිසිඳු නීතිමය බාධාවක් නෑ.

ඇත්තටම ඔය තීරණ දෙකෙන් එකක් අගවිනිසුරුවරයා විසින් ගත්තා නම්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රමුඛ මේක අභියෝග කළ කිසිදු පාර්ශ්වයකට තර්කයක් නැති වෙනවා. කතා කරන්නට දෙයක් නැති වෙනවා. ඔවුන්ට එතනින් එහාට තර්ක කරන්න වෙන්නේ මේක සම්මත කරගන්න නම් 2/3ක පාර්ලිමේන්තු අනුමැතියට අමතරව ජනමත විචාරණයක් අවශ්‍යයි කියන දේ…!

දැන් නාගහනන්ද මහත්තයා වගේ ගොඩක් අය චෝදනා කරනවා, දින 14ක් ඉන්නේ නැතිව දින 13කින් ව්‍යවස්ථා විරෝධී විදිහට තදියමකින් මේක විභාගයට ගත්තා කියලා. සමහර නීතිඥයන්ට, පෙත්සම්කරුවන්ට සාධාරණ අවස්ථාවක් කරුණු දක්වන්න දුන්නේ නෑ කියලා චෝදනාවකුත් ඒ අතරේ තිබෙනවා. හදිස්සියෙන් ලිඛිත දේශන දෙන්න කියලා දින දෙකකින් නඩු විභාගය අවසන් කළා කියලා තවත් චෝදනාවක් නැඟෙනවා. ඒත් මම මුලින් සඳහන් කළ තීන්දු දෙකෙන් එකක් ගන්න තරම් අගවිනිසුරුවරයා නිර්භීත වුණා නම්, මේ සංවාදයන් එකක්වත් එන්නේ නෑ. ඒක අධිකරණයේ දීර්ඝකාලීන ස්වාධීන පැවැත්මට හොඳ දෙයක්.

ඒත් එහෙම වුණේ නෑ…!

— කේ. සංජීව —

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...