ලංකාවේ සිදුවුණ වන අලි ජාවාරම 01 – කොටුව මහේස්ත්‍රාත්ටත් හොර අලියෙක්

thilina gamage elephant knews

පසුගිය කාලයේ මෙරට ක්‍රියාත්මක වූ වන අලි ජාවාරම, වර්තමාන ලෝකයේ විශාලතම වනසත්ව ජාවාරම විය හැකිය. කැලයෙන් අලි පැටවුන් අල්ලාගෙන විත් සිදුකරනු ලැබූ මෙම ජාවාරම පිළිබඳව ලියවුණ ලිපි පෙළක පළමු ලිපිය

නීතියට පිටින් කැලයෙන් අලි පැටවුන් අල්ලාගෙන ධනවතුන් – දේශපාලකයන් අලි සුරතල් බැලීමේ මනදොළ සපුරාගන්නා බව පසුගිය කාලයේ මාධ්‍යයේ වැඩි ඉඩක් පැහැරගත් සිදුවීම්ය. එම සිදුවීම් දහරාවට තවත් උදාහරණයක් එකතු කරමින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හැරිසන් පසුගිය 2014 මැයි 8 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවසුවේ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සතුව නීතියට පටහැනිව ලබාගත් අලි පැටියකු සිටින බවය.

මෙම ප්‍රකාශයට පසුව වහාම කතානායකවරයා අමතා ලියුමක් යැවූ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ කියා සිටියේ තමා ළඟ සිටින්නේ නීත්‍යානුකූල අලි පැටියකු බවය. තමා එම අලි පැටියා මිලදී ගත්තේ, මීගොඩ, ඕවිටිගම, 409 යන ලිපිනයේ දිසානායක බණ්ඩාගේ චන්ද්‍රරත්න යටවරගෙන් බවත් ඔහුගේ අංක 334 හා 2012.03.27 දරන බලපත්‍රය හා ලේඛන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කර සත්‍ය බවට සනාථ කරගෙන මිලදී ගැනීම කළ බවත් එහි සඳහන් විය. ඒ ගැන පුවත්පත්වලට අදහස් පළකොට තිබූ වනජීවී අධ්‍යක්ෂවරයා කීවේ අලි පැටියා මිලදී ගත් අවස්ථාවේ වනජීවී ලේකම්ගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණයක් කොට සෑහීමට පත්වී හිටපු වනජීවී ඇමැතිවරයා විසින් බලපත්‍රය නිකුත් කරනු ලැබ ඇති බවය.

ඒ සිදුවීම කාලයත් සමඟ යට ගියේය. එහෙත් පසුගියදා වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට, විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින්, තමන්ට ලැබුණු අලි පැමිණිල්ලකට අදාළව කළ විගණන විමසුමක් වාර්තාවක් ලෙස යවන අතර එම විගණන විමසුම විසින් නැවතත් විනිසුරු තිළිණ ගමගේ සතු අලි පැටවා නීතියට පටහැනිව ලබාගෙන ළඟ තබාගෙන සිටින එකකු බව තහවුරු කර ඇත. අදාළ විගණන විමසුම් වාර්තාව රසවත්ය. එහෙත් ඒ රසය යටින් ගලන භයානක ඇත්ත කියනුයේ ලංකාවේ රාජ්‍ය පාලනයට නීතියට ගිය කලදවස ගැනය.

සන්තක කරගත හැකි ක්‍රම

ලංකාව තුළ අලි පැටියකු පුද්ගලයකු සන්තක කර ගැනීමට, සුරතලයට ඇති කිරීමට ලබාගත හැකි ක්‍රම තුනක් තිබෙන බව පරිසර සංවිධාන පවසයි. එයින් ක්‍රම දෙකක් නීතිගරුක වන අතර එකක් නීතියට පටහැනි ක්‍රියාවකි. එනම්, පින්නවල අලි අනාථාගාරයෙන් අලි පැටියකු ලබා ගැනීම, හීලෑ ඇතින්නියක ප්‍රසූත කළ අලි පැටියකු ලබාගැනීම හෝ වනාන්තරයකින් අල්ලා ගැනීමය. මෙයින් අවසාන ක්‍රියාව නීති විරෝධී වන අතර එම තුන්වැනි ක්‍රමය අනුව අලි අල්ලා ගැනීම වැළැක්වීමට විවිධ අණපනත් පනවා ඇත. එම අණපනත් මොනවාද?

අලි නීතිය

මේ සඳහා තිබෙන මූලිකම නීතිය 2009 අංක 22 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනතයි. එහි 29අ(9) උප වගන්තිය තුළ අලි නීතිය කැටිකොට දක්වා ඇත්තේ මෙපරිදිය. ‘ලියාපදිංචි ඇතින්නකගේ ගැබ් ගැනීමේදී එම ඇතින්නගේ අයිතිකරු හෝ භාරකාරත්වය දරන තැනැත්තා විසින් ඇතින්නගේ ගැබ් ගැනීම පිළිබඳව තොරතුරු සමඟ එම ගැබ්ගැනීම අදාළ අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දිය යුතුය. තවද 10 වන වගන්තිය ප්‍රකාරව යම් උපතක් එම සිදුවීම සිදුවී දින හතක් ඇතුළත අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලයලත් නිලධාරීන්ට දැනුම් දිය යුතුය.’ මෙම නීතිය පැනවීමේ අදහස අලියකු නීති විරෝධීව කැලයෙන් අල්ලා ගෙනැවිත් ඇති කිරීම පාලනය කිරීම බව පෙනේ. එහෙත් මේ නීතිය ගෙන එන්නේ 2009 වර්ෂය තුළදීය. 2008 වර්ෂය තුළ අලියකු ලියාපදිංචියට මෙම නීතිය අදාළ නොවේ.

අපූරු ලිපි ගොනුවකි 334

පසුගිය කාලය තිස්සේ පරිසර සංවිධාන සහ මාධ්‍ය මතුකළ කරුණ වූයේ උක්ත නීතියට අදාළව 2009ට පසුව ලියාපදිංචි කරන සියලු අලි පැටවුන්ගේ ගැබ් තොරතුරු, උපත් තොරතුරු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත වාර්තා විය යුතු නිසා සහ එවැනි වාර්තා තමන් සතු නොවන නිසා කූට පුද්ගලයන් පවත්නා නීතියට නොවැටීම සඳහා 2008ට පෙර වර්ෂවලදී ගෘහාශ්‍රිත ඇතින්නියන්ට මෙම පැටවුන් ලැබුණා යැයි තොරතුරු සඳහන් කරමින් ලියාපදිංචිය සිදුකර ඇති බවය. එලෙස ලියාපදිංචිය ලැබූ අලි පැටවුන් අතරින් නියැදියක් ගෙන ඉහත විගණන විමසුම් වාර්තාව සකස් කර ඇති අතර එහිදී ලිපිගොනු අංක 331, 334, 358, සහ 359 පරීක්ෂා කර ඇති අතර අදාළ අලි පැටවුන් සඳහා සහතික නිකුත් කළ පශු වෛද්‍ය නිලධාරීන්, ග්‍රාමසේවා නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, විෂය භාර ලිපිකරුවන් ආදී විවිධ පුද්ගලයන්ගේ ප්‍රකාශ ද සටහන් කරගෙන ඇත. මෙම නියැදියට වැටුණු අංක 334 ලිපිගොනුව විනිසුරු තිළිණ ගමගේ සතු අලි පැටවාට අදාළය. මෙම ලිපිගොනුව තුළින් හෙළිවන තොරතුරු අපූරුය. රසවත්ය.

ව්‍යාජ ලිපි ලේඛන

අංක 334 ලිපි ගොනුවේ මුලින්ම හමුවන්නේ 2008/11/6 දින, අංක 447/සී, ගැහැනුවල, හෝමාගම යන ලිපිනයේ එච්.ජී. බන්දුසේන නමැති ග්‍රාම නිලධාරි මහතා නිකුත් කළ ‘අලියකු ලියාපදිංචි කිරීම’ යන මාතෘකාවට අදාළ ඇතින්න පැටියකු පිළිබඳ විස්තර සහතික කිරීමේ ලිපියයි. එහෙත් පසුව 2008.11.10 දිනැති යටවර මහතාගේ දිවුරුම් ප්‍රකාශයෙන් කියන්නේ තමා සතුව සිටි කපුරි ඇතින්නට 2005 නොවැම්බර් ඇතින්න පැටියකු ලැබුණු බව සහ පසුව මව් ඇතින්න මියගිය බවය. මෙම ප්‍රකාශ දෙකට අදාළව 2012/03/27 වැනි දින අලි පැටියා ලියාපදිංචි කර තිබුණි. එහෙත්, මෙම ලියාපදිංචියට අදාළව ලිපිලේඛන සැපයූ ග්‍රාමනිලධාරි එච්.ජී. බන්දුසේන සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් ඒ.ජේ. කරුණාරත්න යන අයවලුන් විගණනයේදී ප්‍රකාශ කොට ඇත්තේ ඉහත ලේඛනයන්ට අදාළ නිල මුද්‍රා හා අත්සන් ව්‍යාජ බවය.

අනෙක් බරපතළ කාරණය වන්නේ, ඇතින්නට පැටියා ලැබුණු බවට දිසානායක බණ්ඩාගේ චන්ද්‍රරත්න යටවර යන අය දී තිබූ දිවුරුම් ප්‍රකාශයද සාවද්‍ය බව විගණනයෙන් තහවුරු වීමය. ඇතින්න ලියාපදිංචියට චන්ද්‍රරත්න යටවර යන ඇතින්න පැටවාගේ මුල් අයිතිකරු (ව්‍යාජ ලේඛනවල පරිදි) ඉල්ලුම් පත්‍රයේ සඳහන් කළ ලිපිනයද (අංක 409, මීගොඩ, ඕවිටිගම) සාවද්‍ය බව විගණනයෙන් තහවුරු වී ඇත.

මේ යටවර නම් පුද්ගලයා පාරම්පරික අලි ඇතුන් හිමිකරුවකු ලෙස සඳහන් කළද එයද සාවද්‍ය බව වැඩිදුරටත් තහවුරු වී ඇත. තවද 2012 නොවැම්බර් 07 දින පරීක්ෂක නිලධාරී කළුහෙන්දිවල මහතාට ලබාදී ඇති ප්‍රකාශයට අනුව ඇතින්න සහ පැටියා ඔහුගේ මාමා වන ඩබ්.එල්. අමරසේන මහතාගේය. තවත් ඉතාමත් වැදගත් කරුණක් මෙම විගණන විමසුමෙන් හෙළිවෙයි. එනම් කිසිම දවසක අංක 409, මීගොඩ, ඕවිටිගම යන ලිපිනයේ ඇතින්නක නොසිටි බවය. අලි උපතක් සිදු නොවූ බවය. ඒ බව අදාළ ප්‍රාදේශීය ග්‍රාම නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරයා ද සනාථ කර ඇත. එලෙස නම් මේ අලි උපත සිදුවූයේ කෙලෙසකද? කොහේදී ද? දන්නේ අදාළ වංචාකාරයන් පමණය.

වනජීවියත් සම්බන්ධයි

334 ලිපිගොනුවේ පළමු කාර්යාල සටහන 2008.11.12 වැනි දින කළමනාකාර සහකාර ප්‍රියංකා සංජීවනී මහත්මිය තබන අතර ඒ පිළිබඳව කළ විගණනයේදී ද ආශ්චර්යමත් කරුණු රැසක් අනාවරණය වී ඇත. ඒ පිළිබඳව විගණනයට අනාවරණය වන්නේ දැනට තිබෙන ලේඛන සහ ඇය මුලින් පරිශීලනය කළ ලේඛන සැසඳීමේදී දැනට තිබෙන ලේඛන ව්‍යාජ බවය. මුලින්ම ඇයට ඉදිරිපත් කළ අයදුම් පත්‍රයේ ‘ඇතින්න’ පැටවා ලෙස සඳහන්ව තිබූ බවත් දැන් ඇමුණුමේ තිබෙන අයදුම්පත්‍රයේ ‘අලියා/පිරිමි’ ලෙස සටහන් වී තිබෙන බවත්ය. ලිපිගොනුවේ දිනය 2008/11/12 ලෙස යොදා තිබේ. ඊට හේතුව, ‘ඉහළ නිලධාරීන්ගේ ඉල්ලීම’ මත නීතියේ ප්‍රතිපාදනවලින් ගැලවීමට ලිපිගොනුවට තබා තිබෙන 2008.11.12 දිනයද පුර පසළොස්වක පොහොය දිනයකි. මෙයින් පෙනෙන්නේ මිනිසුන්ට සේවය කිරීමට මේ රාජ්‍ය සේවකයන් පුර පසළොස්වක පෝය දිනවලදී ද රාජකාරි කරන බවද?

අනෙක් රසවත් කතාව නම් 2008/11/12 දින සටහනට පහළින්, සත්ව අඩවි ආරක්ෂක පී.එන්.යූ. පද්මසිරි මහතා (මේ ලිපිය ලියන අවස්ථාවේ වැඩ තහනම් කර ඇත) තබා තිබෙන සටහනට දිනය ලෙස ඔහු සඳහන් කර තිබෙනුයේ 2008.09.02 වැනිදාය. 2008.11.12ට පසු 2008.09.02 වැනි දිනක් උදාවන්නේ ලෝකයේ කුමන රටේදැයි මඳක් කල්පනාකර බැලිය යුතුය. එවැනි දිනයක් උදාවන්නේ මේ සිරිලක පමණි. තවත් ආශ්චර්යයන් බොහෝය. අලි පැටවා පරීක්ෂා කිරීමට ගිය නිලධාරියා ක්ෂේත්‍ර සටහනක් තබා ඇති අතර එහි ඔහු සටහන් කර ඇත්තේ මීගොඩ චන්ද්‍රරත්න යටවර නමැති අයගේ සන්තකයේ සිටින ඇතින්න පරීක්ෂා කළෙමි ලෙසය. බලපත්‍රය දී ඇත්තේ පිරිමි සතෙකුටය. (අලියෙක්) අහෝ! වනජීවී නිලධාරීන්ට අලියකුගේ ස්ත්‍රී – පුරුෂභාවය වත් හඳුනාගන්න බැරිය.

අවුරුදු හතරටම අලියා වැඩිලා නැහැ

අනෙක් පුදුම කරුණ වන්නේ විනිසුරු තිළිණ ගමගේ ලබාගත් අලි පැටවා (ස්ත්‍රී – පුරුෂභාව ප්‍රශ්නයක්) අවුරුදු 4ක් තුළ කිසිදු වර්ධනයක් නොපෙන්වීමය. ඊටත් පුදුමය කිසිදු වර්ධනයේ අඩුවීමක්ද නොමැති වීමය. 2008.11.12 අයැදුම සමග ඉදිරිපත් කළ විස්තරය තුළ තිබූ ඡායාරූප සහ 2012 ජූලි 27 ඉදිරිපත් කළ අයැදුමේ ඡායාරූප එකම වන අතර 2008 වර්ෂයේ අලි පැටවාගේ උස, වයස, ඉදිරි පාදයේ වට ප්‍රමාණය පිළිවෙළින් අඩි 4යි අඟල් 6යි. අවුරුදු 3, අඟල් 27යි වන අතර 2012 වර්ෂයේදී ද අලියාගේ උස සහ ඉදිරි පාදයේ වට ප්‍රමාණය ඉහත අගයම වන අතර වයස පමණක් අවුරුදු 5ක් ලෙස වෙනස් වෙයි. 2008 සිට 2012 දක්වා කාලයේ වෙනස අවුරුදු 4ක් වන අතර එලෙස ගණන් බලන්නේ නම් අලි පැටවාට අවුරුදු 7ක් විය යුතුය. මෙහිදී අලි පැටවාගේ වයස්ගත වීම ගණනය කර ඇත්තේ අඟහරු ග්‍රහයා මත වර්ෂවලින් බව පෙනෙයි.

මේ සියලුම අක්‍රමිකතා පසෙක ලා 2012 මාර්තු 27 වැනි දින අධ්‍යක්ෂ ජනරාල්වරයා අලි පැටියා ලියාපදිංචි කර ඇති අතර ඔහුට ඒ සඳහා අයදුම්පත්‍රය ලැබී ඇත්තේ 2012 ජූලි 27 වැනි දිනය. මේවාට ආශ්චර්යයන් නොකියා වෙන කියන්නේ කුමක්ද?

විනිසුරුට අයිතිය මාරුවීම

විනිසුරු හෙල්පාගොඩ තිළිණ සජෝත වින්සන්ට් මහතාට අලි පැටවාගේ හිමිකම පැවරීමද පෙර තහවුරු කළ පරිදිමය. ඉහත නම සඳහන් විනිසුරුවරයාට තමන් රුපියල් ලක්ෂ 30කට (වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටිය ඉක්මවයි) තම අලි පැටවා විකිණූයෙන් ඒ අනුව ලියාපදිංචිය සහ බලපත්‍රය ගැනුම්කරුට පවරාදෙන ලෙස ඉල්ලමින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට 2012.07.02 වැනි දින චන්ද්‍රරත්න යටවර ලිපියක් ලියන අතර එයින් පසුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරීක්ෂාවකදී අලියාගේ සන්තකය සම්බන්ධ ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන ව්‍යාජ බව තහවුරු වී ඇත.

මේ නිසාම 2012.10.26 ලිපියක් මගින් වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා බලපත්‍රය අහෝසි කර ඇත. එහෙත් පසුව මේ ගැන පරීක්ෂා කරන්නට පත්කළ කළුහෙන්දිවල මහතාගේ විමර්ශනයට අදාළව නැවතත් බලපත්‍රය බලාත්මක කර ඇත. ඉහත විමර්ශනය මෙන්ම වාර්තාවන්ද පරීක්ෂා කරන විගණනය කළුහෙන්දිවල මහතාගෙන් ප්‍රකාශයක්ද සටහන් කරගෙන ඇත. කළුහෙන්දිවලගේ ඒ ප්‍රකාශයට අනුව, 2008.11.06 ග්‍රාම නිලධාරිගේ ලිපිය සාවද්‍ය ලේඛනයක් නිසා ඔහු ඒ පිළිබඳව යටවර මහතාගෙන් විමසීමේදී එය තමන් විසින් ඉදිරිපත් නොකළ බවට යටවර දිවුරුම් ප්‍රකාශයක් දී ඇත. ඒ අතර, පශු වෛද්‍ය ජයසේකර මහතා අලි පැටියා පිළිබඳව ලිපියක් කළුහෙන්දිවල මහතාට ලබාදී ඇත.

නවරත්න නමැති අලි බලන්නාද කළුහෙන්දිවල මහතාට දිවුරුම් ප්‍රකාශයක් දී ඇත. මේ සියලු කරුණු සලකා බලපත්‍රය නැවත බලාත්මක කිරීමට නිර්දේශ ඉදිරිපත් කළ බව කළුහෙන්දිවල මහතා ප්‍රකාශ කර තිබේ. විගණන විමසුම කියන්නේ, කළුහෙන්දිවල මහතා සිය නිර්දේශය ඉදිරිපත් කිරීමේදී අලි පැටියා උපන් ස්ථානය හා මව මියගිය ස්ථානය ලෙස සඳහන් වන අංක 409, මීගොඩ, ඕවිටිගම ලිපිනයට අදාළව කිසිදු ස්ථානීය පරීක්ෂාවක්ද කර නැති බවය. අලි උපතක් පිළිබඳව පශු වෛද්‍යවරයාගෙන් විමසා ද නැති බවය. කූට ලේඛනය සම්බන්ධයෙන් ලිපිගොනුව නඩත්තු කළ නිලධාරිනියගෙන්ද කරුණු විමසා නැති බවය. මෙම නිරීක්ෂණවලට අදාළව නිගමන ඉදිරිපත් කරන විගණන විමසුම කියන්නේ විමර්ශන නිලධාරි කළුහෙන්දිවල මහතාගේ නිර්දේශය වෘත්තීය පරිචයක් නොමැතිකමින් සිදුවූ වැරැද්දක් හෝ සිතාමතා කරන ලද සාවද්‍ය නිර්දේශයක් හෝ වශයෙන් සලකා බැහැර කළ යුතුව තිබූ බවය.

විගණන විමසුම 2014.06.06 වැනි දින පශු වෛද්‍ය නිලධාරි ජයසේකර මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා අතර එහිදී තමන් 2012 දී අලි පැටියාට බෙහෙත් කළ නමුත් එම අලි පැටියා කපුරී නමැති ඇතින්න ප්‍රසූත කළ පැටියකු දැයි නොදන්නා බවත්, ලංකාවේ ගෘහාශ්‍රිත ඇතින්නක පැටව් ප්‍රසූත කර තිබූ බවක් තමන් නොදන්නා බවත්, තමාගේ වාර්තාවේ කපුරී ඇතින්නගේ පැටියා යන්න ඇතුළත් කර ඇත්තේ තිළිණ ගමගේ යන අයගේ වුවමනාවට බවත්, ගෘහාශ්‍රිත ඇතින්නකට පැටියකු ලැබුණේ නම් අනිවාර්යයෙන්ම පශු වෛද්‍යවරයකුගේ අධීක්ෂණය ලැබිය යුතු බවත්, වෛද්‍ය ප්‍රතිකාර සියල්ල ලේඛනගත විය යුතු බවත්, එහෙත් එවැනි කිසිදු වාර්තාවක් තමන්ට දකින්නට නොලැබුණු බවත් ඔහු ප්‍රකාශ කොට තිබේ.

මේ තොරතුරුවලට අදාළව වැදගත් සාධකයක් හෙළිදරව් වන අතර එය නම් කපුරී ඇතින්නගේ පැටියා යැයි ලිපි ගොනුවට ඇතුළත් කරන්නට වෛද්‍යවරයාගෙන් ඉල්ලීම් කර ඇත්තේ අදාළ විනිසුරුවරයා බවය. වෛද්‍යවරයාගේ වාර්තාවට අනුව විගණන විමසුම කියනුයේ අලි පැටියාගේ උපත මෙන්ම මව් ඇතින්නගේ මියයාම ද තහවුරු නොවන බවය.

නියෝජ්‍ය ඇමැති බලපත්‍රය දීලා

මේ සියලු තත්ත්වයන් කෙලෙසක ගැටගැසුණත් 2013 ජනවාරි 21 වැනි දින වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ලිපියක් ලියමින් බලපත්‍රය නැවත බලාත්මක කිරීමට විෂය භාර අමාත්‍යවරයාගේ අවසරය ඉල්ලා සිටියි. එදිනම ලේකම්වරයා එය නිර්දේශ කරන අතර, එදිනම නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අනුමත කර ඇත. මෙම ක්‍රියාවලිය නිරීක්ෂණය කරන විගණන විමසුම පවසන්නේ, බලපත්‍රය බලාත්මක කිරීමට අධ්‍යක්ෂවරයා කළ ඉල්ලීම, ලේකම්වරයා නිර්දේශ කිරීම, නියෝජ්‍ය අමාත්‍යවරයා අනුමැතිය දීම යන සියල්ල පනතේ විධිවිධානවලට අනුකූල නැති බවය.

තවදුරටත් විගණන විමසුම තම නිරීක්ෂණ සඳහන් කරමින් කියා සිටින්නේ, වලංගු බලපත්‍රයක් රහිත මෙම අලි පැටියා හෙල්පාගොඩ ගමගේ තිළිණ සජෝත වින්සන්ට් මහතා අංක 376, ගොඩිගමුව, මහරගම ලිපිනයේ රඳවාගෙන සිටීම වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනතේ 22(ආ) (1) වගන්තියට අනුව නීතියට පටහැනි ක්‍රියාවක් බවය. මේ සියලු කරුණු සලකා බලා අංක 334ට අදාළ අලි පැටියා කැලයෙන් අල්ලාගෙන නීතියට පටහැනිව ළඟ තබාගෙන සිටින අලි පැටියකු බවද විගණන විමසුම නිරීක්ෂණය කරයි.

තිළිණ ගමගේ විනිසුරුවරයා සම්බන්ධ අලි කතාව මෙලෙස දිග හැරෙන විට ඊළඟට සිදුවන්නේ කුමක්දැයි බොහෝ දෙනෙකු නීතිය දෙස බලා සිටිති. සිදුවන්නේ කුමක්දැයි යන්නට පෙරනිමිති පහළ කරමින්, ශ්‍රී ලංකා විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙම විගණන විමසුම භාරව කටයුතු කළ ඒ.එච්.එම්.එල්. අඹන්වෙල මහතා එවක සේවයේ නියුතුව සිටි ජනමාධ්‍ය හා සංචාරක අංශයේ නියෝජ්‍ය විගණකාධිපති තනතුරෙන් ඉඩම් හා ක්‍රීඩා අංශයට අගෝස්තු පළමු වැනි දින සිට මාරුකර යවා ඇත. මෙයින් පෙනෙන්නේ නීතිය සුරැකීමට කැපවී කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට ආණ්ඩුව සලකන අයුරුය. අඹන්වෙල මහතා මාරු කළේ පරීක්ෂණ නතර කිරීම සඳහා යැයි දැනගන්නට තිබෙන අතර එය නොකියා කියන්නේ ලංකාවේ නීතිය බිඳ වැටී ඇති බවද?

කේ. සංජීව

(2014/08/12 රාවය)

මෙම වෙබ් අඩවිය පත්වාගෙන යන්නේ ඔබගේ මූල්‍යමය සහාය මතය. ඔබට අපහට යම් මූල්‍යමය සහායක් ලබාදෙන්නට සිතෙනවා නම් එයට පහත සබැඳිය හරහා පිවිසෙන්න.

buymeacoffee.com/knews.lk

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...