K News

Trending Now

සිරසට මිලියන 104ක් දුන්නේ කාගේ සල්ලිද? සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අතීතය මෙන්න – උනුත් එකයි මුනුත් එකයි

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හරහා සිරස මාධ්‍ය ජාලයට රුපියල් මිලියන 104ක් ලබාදීම පිළිබඳ විමර්ශනය

අද කැබිනට් තීරණ දැනුන් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් මාධ්‍යවේදීන් සිරස මාධ්‍ය ජාලය සංචරක ප්‍රවර්දන කාර්‍යාංශය හරහා රුපියල් මිලියන 104ක (රු. 104,603,876) ලබාදීම පිළිබඳව ප්‍රශ්න කළා. වෙනදා වගේ නෙවෙයි නලීන්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ ප්‍රශ්නයට ගොතගහා ගහා තමයි උත්තර දුන්නේ. ඔහු කිව්වේ ජනතාවගේ බදු මුදල් සතයක්වත් මේ සඳහා දීලා නෑ කියන දේ. ඔහු මෙතනදි සංචාරක ප්‍රවර්ධන කාර්‍යාංශයේ මුදල් රාජ්‍යයයේ මුදල් නොවෙයි වගේ එකක් තමයි හඟවන්න උත්සාහ කළේ. මේ මුදල් රාජ්‍ය මුදල් නෙවෙයි නම් මේ මුදල් පැලවත්තේ පක්ෂ අරමුදලේ මුදලක් ද කියලා පෙරළා විමසන්න මාධ්‍යවේදියෙක් නොසිටි නිසා අමාත්‍යවරයා ගොතයෙන්ම උත්තරේ සම්පූර්ණ කළා.

මේ වීඩියෝ එක බලපුවාම මට හිතුනා සංචාරක ප්‍රවර්ධන කාර්‍යාංශයේ මුදල් මෙහෙම අවභාවිතා කරන්න පුළුවන් ද කියලා සොයලා බලන්න. මම සොයපු කරුණු අනුව මට අමාත්‍යවරයාට වගේම අමාත්‍යවරයාගේ ප්‍රකාශය අරගෙන සේදීමේ කාර්‍යයට බැහැලා ඉන්න අපේ සුපිරි සේදුම්කාරක ඩෝබිවරුන්ට දෙන්නට තිබෙන්නේ මේ වගේ උත්තරයක් කියවලා බලන්න ආස හිතෙයි..!

මේක ගැන හොයලා බලන්න තියෙන හොඳම කවුළුව තමයි මහින්ද රාජපක්ෂ පාලනයේ සිට ගෝඨාභය රාජපක්ෂ පාලනය දක්වා දිගහැරෙන සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයක් කරන එක.

රටක රාජ්‍ය ආයතනයක් කියලා කියන්නේ එහි පාලනය භාරව සිටින දේශපාලනඥයන්ගේ හෝ නිලධාරීන්ගේ පෞද්ගලික බූදලයක් වෙන්නේ නෑ. එවැනි ආයතනයකට අයත් දේපළ, මුදල් සහ සම්පත් කියලා කියන්නේ මහජනතාවට අයත් පොදු දේපළය. ඒවා පරිහරණය කළ යුත්තේ නීතියෙන් නියම කර ඇති අරමුණු වෙනුවෙන් මිස පාලකයන්ගේ දේශපාලන අවශ්‍යතා හෝ පෞද්ගලික අභිමතයන් වෙනුවෙන් නොවේ.

එහෙත් ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සම්බන්ධයෙන් පසුගිය දශක එකහමාරකට ආසන්න කාලයක් තුළ හෙළිදරව් වී ඇති සිදුවීම් දෙස බැලීමේදී මතුවන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ මේ මූලික රාජ්‍ය වගකීම පිළිබඳව එහි පාලකයන්ට අවබෝධයක් තිබුණේ නෑ කියන දේ. උනුත් එකකයි මුනුත් එකයි කියලා ආපු වර්තමාන පාලකයෝ මේ සිරසා නමාමි කියලා සිරසට මෙහෙම සවලෙන් දීලා තිබෙන එකත් එක්ක මුන්දලත් පරණ සෙට් එක වගේමයි කියලා තමයි කියන්න වෙන්නෙ.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ බව කියන මැතිවරණ ප්‍රචාරණ වියදම්, පිරිත් සජ්ඣායනා වැඩසටහන් සඳහා මුදල් වෙන්කිරීම්, සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතිවල ප්‍රසම්පාදන ගැටලු, විගණනයට ලේඛන ඉදිරිපත් නොකළ රුපියල් මිලියන සිය ගණනක ගනුදෙනු සහ පසුව ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හරහා මතුවූ නීතිමය ප්‍රශ්න සියල්ල දිහා බැලුවොත් අද නලින්ද කියපු මරිමෝඩ මජර බේගලයට උත්තර තිබෙනවා.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය යනු කුමක්ද?

මුලින්ම අප තේරුම්ගත යුත්තේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නීතිමය ස්වභාවය.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පිහිටුවනු ලැබුවේ 2005 අංක 38 දරන සංචාරක පනත යටතේය. එම පනතේ 40 වැනි වගන්තිය මගින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නීතිමය ආයතනයක් ලෙස ස්ථාපිත කර තිබෙනවා.

එහි 40(1) වගන්තිය අනුව කාර්යාංශය අඛණ්ඩ පැවැත්මක් සහිත, පොදු මුද්‍රාවක් සහිත, තම නමින් නඩු පැවරීමටත් තමන්ට එරෙහිව නඩු පැවරීමටත් හැකි නීතිමය ආයතනයක්.

එහි ප්‍රධාන කාර්යය වන්නේ ශ්‍රී ලංකාව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සහ අලෙවි කිරීමයි.

මෙම කාර්යාංශය ස්ථාපිත කර තිබෙන්නේ පෞද්ගලික ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට නොවේ. රටේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම, විදේශ විනිමය උපයාගැනීම සහ ජාතික ආර්ථිකයට දායකත්වයක් ලබාගැනීම වෙනුවෙන් රාජ්‍ය නීතියෙන් පිහිටුවන ලද ආයතනයක් ලෙස.

එහි පාලකයන් පත්කරන්නේ ද නීතියෙන් නියම කර ඇති ක්‍රමවේදයට අනුව. අමාත්‍යාංශ ලේකම්වරයා සහ මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයකු ද එහි පාලන ව්‍යුහයට සම්බන්ධ වෙනවා.

එබැවින් මෙය කිසියම් දේශපාලනඥයකුගේ හෝ ව්‍යාපාරිකයකුගේ පෞද්ගලික ආයතනයක් නොව රාජ්‍ය නීතිය යටතේ පිහිටුවන ලද පොදු අරමුණක් සහිත ව්‍යවස්ථාපිත ආයතනයක් කියන එක මුලින්ම මේ අමාත්‍යවරයා දැනගන්න ඕනෑ.

මෙහිදී වඩාත් වැදගත් වන්නේ මුදල්වල මූලාශ්‍රය සහ ඒවා භාවිත කළ හැකි නීතිමය සීමාවන්ය.

2005 අංක 38 දරන සංචාරක පනත මගින් සංචාරක සංවර්ධන අරමුදල (Tourism Development Fund) පිහිටුවා තිබේ.

එම අරමුදලට මුදල් ලැබෙන ප්‍රධාන මූලාශ්‍ර දෙකක් තිබේ.

1. ගුවන් තොටුපළවලින් අයකරන පිටවීමේ බද්දෙන් (Embarkation Levy) තුනෙන් එකක කොටසක්.
2. පනත යටතේ ලියාපදිංචි සංචාරක ආයතනවල පිරිවැටුමෙන් අයකරන සියයට එකක දායකත්වය.

එනම් රටින් පිටවන ගුවන් මගීන්ගෙන් අයකරන බදු මුදල්වලින් කොටසක් සහ සංචාරක කර්මාන්තයේ ලියාපදිංචි ආයතනවලින් අයකරන නීත්‍යනුකූල දායකත්වයක් මේ අරමුදලට ලැබෙනවා. මෙන්න මේ මුදල් තමයි සිරසට අතදිග ඇරලා රජය දීලා තිබෙන්නේ. ඒ ඇයි කියන එක අපි කවුරුත් දන්නවා.

මෙය පනතෙන් පිහිටුවා ඇති අරමුදලකි. එය කිසිදු දේශපාලනඥයකුගේ පෞද්ගලික මුදල් ගිණුමක් නොවේ.

පනතේ 23 වැනි වගන්තිය අනුව මෙම අරමුදලේ කළමනාකරණය සහ පරිපාලනය සංචාරක සංවර්ධන අධිකාරියට පැවරී තිබේ.

එම අරමුදලෙන් සියයට 70ක් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට වෙන්කිරීමට ද පනතේ විධිවිධාන සලසා තිබේ.

ඒ අනුව කාර්යාංශයට ලැබෙන මුදල් පෞද්ගලිකව උපයාගත් ලාභයක් නොවේ. ඒවා නීතියෙන් නියම කර ඇති සංචාරක ප්‍රවර්ධන අරමුණු වෙනුවෙන් පරිහරණය කළ යුතු පොදු අරමුදල්ය.

කාර්යාංශයට වෙනත් ආදායම් ලැබුණද ඒවා ද නීතියෙන් සහ රාජ්‍ය මූල්‍ය පාලන විධිවිධානවලින් බැඳී පවතී.

මෙහිදී තවත් වැදගත් කරුණක් තිබේ. යම් ආයතනයක් රාජ්‍ය අරමුදල් භාවිත කරන විට එහි සභාපතිවරයාට හෝ අධ්‍යක්ෂ මණ්ඩලයට එම මුදල් තමන් කැමති පරිදි වියදම් කිරීමේ අසීමිත බලයක් ලැබෙන්නේ නැත. ඔවුන්ට පැවරෙන්නේ එම මුදල් නීත්‍යනුකූල අරමුණු වෙනුවෙන් වගකීමෙන් කළමනාකරණය කිරීමේ භාරකාර වගකීමකි.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පොදු දේපළ පනතටවැටෙන්නේ  ඇයි?

මෙහිදී තවත් වැදගත් නීතිමය කරුණක් තිබේ.

1982 අංක 12 දරන පොදු දේපළ පනත (Offences Against Public Property Act) මගින් පොදු දේපළ සම්බන්ධ වැරදි සඳහා නීතිමය ප්‍රතිපාදන සලසා තිබේ.

එම පනතේ 12 වැනි වගන්තිය යටතේ ‘Public Property’ යන්නට රජයේ දේපළ, රජයේ දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රාජ්‍ය මුදල් මගින් සම්පූර්ණයෙන් හෝ කොටසක් හෝ ප්‍රාග්ධනය සපයන පොදු සංස්ථා ආදියට අයත් දේපළ ඇතුළත් වේ.

එම වගන්තියේ ‘Public Corporation’ යන්න අර්ථ දක්වන්නේ සමාගම් ආඥා පනත යටතේ නොව වෙනත් ලිඛිත නීතියක් යටතේ පිහිටුවා ඇති, රජය විසින් ප්‍රදානයක්, ණයක් හෝ වෙනත් ක්‍රමයකින් සම්පූර්ණයෙන් හෝ කොටසක් මුදල් සපයා ඇති සංස්ථාවක්, මණ්ඩලයක් හෝ වෙනත් ආයතනයක් ලෙසය.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පිහිටුවා ඇත්තේ පාර්ලිමේන්තුවේ පනතක් මගිනි. එය රජයේ අරමුදල් හා සංචාරක සංවර්ධන අරමුදලෙන් ලැබෙන මුදල් භාවිත කරන ආයතනයකි.

ඒ අනුව එයට අයත් මුදල් හා දේපළ පොදු දේපළ පනතේ අර්ථ දැක්වීමට අදාළ වන බවට ප්‍රබල නීතිමය පදනමක් තිබේ.

මෙය හුදෙක් අපේ දේශපාලන අර්ථකථනයක් නොවේ. 2014 දී සිදුවූ බව කියන ටී ෂර්ට් ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ ද පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කරමිනි.

එමගින්ම මේ මුදල්වල නීතිමය ස්වභාවය පිළිබඳ වැදගත් සාක්ෂියක් ලැබේ.

මිලියන 7.8ක ටී ෂර්ට් ගනුදෙනුව : සංචාරක ප්‍රවර්ධනයද? දේශපාලන ප්‍රචාරණයද?

මහින්ද රාජපක්ෂ පාලන සමයේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සම්බන්ධයෙන් මතුවූ වඩාත් බරපතළ සිදුවීමක් වන්නේ 2014 ඌව පළාත් සභා මැතිවරණය ආශ්‍රිතව රුපියල් මිලියන 7.8ක මුදලක් භාවිත කිරීම පිළිබඳ චෝදනාවයි.

එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වූයේ බැසිල් රාජපක්ෂය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු අනුව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට වෙන්කර තිබූ රුපියල් මිලියන 7.8ක් යොදාගෙන ටී ෂර්ට් 12,000ක් නිෂ්පාදනය කර තිබේ.

එම ටී ෂර්ට්වල එක් පැත්තක එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඡායාරූපයත් අනෙක් පැත්තේ දේශපාලන පක්ෂයක නමත් ඇතුළත් කර තිබූ බවට චෝදනා එල්ල වී තිබේ.

ඒවා මොනරාගල ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරණ වැඩසටහනකදී බෙදාහැර ඇති බව විමර්ශකයන් අධිකරණයට දැනුම් දී තිබේ.

මෙහිදී මතුවන ප්‍රශ්නය ඉතා සරලය.

සංචාරක ප්‍රවර්ධනය සඳහා වෙන්කරන ලද මුදල් යොදාගෙන ජනාධිපතිවරයකුගේ ඡායාරූපය සහ දේශපාලන පක්ෂයක නම සහිත ටී ෂර්ට් නිෂ්පාදනය කිරීම සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නීත්‍යනුකූල අරමුණට අයත් වන්නේ කෙසේද?

එය සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ කටයුත්තක්ද? නැතහොත් දේශපාලන ප්‍රචාරණයක්ද?

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2026 මැයි මාසයේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ විමර්ශන ඉදිරියට ගියේය. බැසිල් රාජපක්ෂ, හිටපු කාර්යාංශ සභාපති භාෂ්වර ගුණරත්න සහ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජවුෆර් ඇතුළු පිරිස සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ.

2026 ජුනි 17 දින බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස CID වෙත නියෝගයක් නිකුත් විය. 2026 ඔක්තෝබර් 14 දින අධිකරණය ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඉන්ටර්පෝල් රතු නිවේදනයක් ලබාගැනීමට කටයුතු කරන ලෙසත් නියෝග කර තිබේ.

මෙය අධිකරණයෙන් අවසන් වරදකරු කිරීමක් නොවේ. එහෙත් රාජ්‍ය මුදල් දේශපාලන කටයුත්තකට යොදාගත් බවට එල්ල වූ චෝදනාවක් අපරාධ විමර්ශනයක් සහ අධිකරණ ක්‍රියාමාර්ග දක්වා ගොස් ඇති බව පැහැදිලිය.

දැන් අපිට එන ප්‍රශ්නය මේ නඩුවේ නිමිත්ත දෙස බලනවිට සහ අධිකරණ නියෝගය දෙස බලනවිට පෙනෙන්නේ සිරසට ලබාදී තිබෙන මේ විශාල මුදල්ත් මෙසේ ප්‍රශ්න කිරීමට ලක්කළ හැකි බවය. සිරසට ලබාදුන් මේ මුදල් ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට වැටෙන්නේ කෙසේද යන්න මෙහිදී සීඅයිඩීය සොයා බැලිය යුතුය. වගකිව යුතු පුරවැසියන් සීඅයිඩීයට මේ පිළිබඳව පැමිණිලි කළ යුතුය.

2014 විගණන වාර්තාව : රුපියල් මිලියන 655ක වියදමට ලේඛන කෝ?

මේ සියල්ල අතරතුර හමුවන තවත් බරපතළ සාක්ෂියක් වන්නේ විගණකාධිපතිවරයාගේ 2014 වාර්ෂික විගණන වාර්තාවයි.

එය සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ නිල රාජ්‍ය ලේඛනයකි.

එම වාර්තාවේ සඳහන් වන්නේ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල වෙත යවා තිබූ රුපියල් 655,474,602ක මුදලක් වෙළෙඳ හා ප්‍රචාරණ වියදම් ලෙස ගිණුම්ගත කර තිබූ බවයි.

එහෙත් එම වියදම් සනාථ කිරීම සඳහා අවශ්‍ය ටෙන්ඩර් ලේඛන, ඉන්වොයිසි සහ මුදල් ලැබුණු බව තහවුරු කරන ලේඛන විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

රුපියල් මිලියන 655කට අධික මුදලක් යනු රුපියල් ලක්ෂ 6,500කටත් වැඩි මුදලකි.

එය සුළු මුදලක් නොවේ.

තවත් රුපියල් 38,565,610ක් ‘Cash in Transit’ ලෙස ගිණුම්ගත කර තිබුණත් ඒ මුදල තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන ද විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

එසේම රුපියල් 81,485,839ක බැංකු අයිරාවක් පවත්වාගෙන යාමේදී අදාළ අමාත්‍යවරයාගේ සහ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගෙන නොතිබූ බව ද වාර්තාව පෙන්වා දෙයි.

පෞද්ගලික ආයතනයකට රුපියල් මිලියන 5ක අනුග්‍රාහක මුදලක් ලබාදීමේදී මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය නොමැතිව කටයුතු කර තිබූ බව ද විගණකාධිපතිවරයා සටහන් කර තිබේ.

මෙහිදී අවධාරණය කළ යුතු කරුණක් තිබේ.

විගණකාධිපතිවරයා ලේඛන නොමැති බව සඳහන් කිරීමෙන් පමණක් එම මුදල් වංචා කළ බවට අවසන් තීරණයක් ලබාදී නැත. එහෙත් රුපියල් මිලියන 655ක වියදමක් සම්බන්ධයෙන් මූලික ලේඛන පවා විගණනයට ඉදිරිපත් කිරීමට නොහැකි වීම රාජ්‍ය මූල්‍ය පාලනයේ බරපතළ අසමත්කමකි.

මෙම කාර්‍යාංශයේ අතීතය මෙසේය. එම අතීතය වෙනස් කරන්නට ආ නව හාදයන්ගේ තත්ත්වයද එයම බව සිරසා නමාමි මේ සල්ලි පුජාවෙන් පෙනෙයි.

IIFA සම්මාන උළෙල : රුපියල් මිලියන 120ක නඩු අටක්!

2010 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වූ ජාත්‍යන්තර ඉන්දියානු චිත්‍රපට සම්මාන උළෙල සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස සංවිධානය කෙරිණි.

එය ජාත්‍යන්තර සංචාරක ප්‍රවර්ධනය සඳහා පැවැත්වූ විශාල වැඩසටහනක් වුවත් එහි මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ද පසුව ගැටලු මතුවිය.

විගණකාධිපතිවරයාගේ 2014 වාර්තාව පෙන්වා දෙන්නේ එම උළෙලට සේවා සහ සැපයුම් ලබාදුන් පෞද්ගලික ආයතන සහ පුද්ගලයන් විසින් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට එරෙහිව නඩු අටක් පවරා තිබූ බවයි.

ඔවුන් ඉල්ලා සිටි මුදල රුපියල් 120,694,486කි.

එනම් රුපියල් මිලියන 120කට වැඩි මුදලකි.

රාජ්‍ය මුදල් යොදාගෙන ජාත්‍යන්තර උළෙලක් පැවැත්වීමේදී ගිවිසුම්, සැපයුම්, ගෙවීම් සහ වගකීම් නිසි ලෙස කළමනාකරණය කිරීම අත්‍යවශ්‍යය. එහෙත් එවැනි වැඩසටහනක් අවසානයේ සැපයුම්කරුවන් අට දෙනකු හෝ ආයතන අටක් නඩු පැවරීමෙන් පෙනෙන්නේ අවම වශයෙන් ගිවිසුම් සහ ගෙවීම් සම්බන්ධයෙන් බරපතළ නීතිමය ගැටලු මතුවී තිබූ බවයි.

මෙයද මහජන මුදල් පරිහරණයේ වගවීම සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු සිදුවීමකි.

මිලියන 5.824ක ටී ෂර්ට් : විගණනයෙන් හෙළිවූ තවත් දේශපාලන ප්‍රචාරණයක්

2014 වසරේ ටී ෂර්ට් සිද්ධිය සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරක් විගණකාධිපතිවරයාගේ 2015 වාර්තාවේ සඳහන් වේ.

එහි දැක්වෙන්නේ ලෝක සංචාරක දිනය වෙනුවෙන් මුද්‍රණය කළ බව කියන ටී ෂර්ට් සඳහා රුපියල් 5,824,000ක් වැය කර තිබූ බවයි.

එම ටී ෂර්ට් මුද්‍රණය කළ සැපයුම්කරුගේ අධ්‍යක්ෂවරයා ලබාදුන් ප්‍රකාශයකට අනුව ඒවා දේශපාලන පක්ෂයක ප්‍රචාරණ කටයුත්තක් සඳහා භාවිත කර තිබේ.

විගණකාධිපතිවරයාගේ 2015 වාර්තාවේ සඳහන් වන්නේ 2016 අගෝස්තු මාසය වන විටත් ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන නොතිබූ බවයි.

එම වාර්තාවේ තවත් සඳහනක් වන්නේ 2014 මොස්කව්හි පැවැත්වූ සංචාරක ප්‍රදර්ශනයක් සඳහා ටී ෂර්ට් මිලදී ගැනීමට රුපියල් මිලියන 7.8ක් වැය කර තිබුණත් එම ටී ෂර්ට් තොගය කාර්යාංශයට ලැබී නොතිබූ බවත්, මිලදී ගැනීමට සකස් කළ ලේඛන පිළිගත හැකි මට්ටමක නොතිබූ බවත්ය.

මෙහිදී ඉතා වැදගත් වන්නේ මේවා එකම ගනුදෙනුවක් නොවන බවයි.

එනම් රුපියල් මිලියන 5.824ක දේශපාලන ප්‍රචාරණය පිළිබඳ විගණන නිරීක්ෂණයත්, රුපියල් මිලියන 7.8ක මොස්කව් සංචාරක ප්‍රදර්ශනය සඳහා වූ ටී ෂර්ට් මිලදී ගැනීමත්, පසුව 2026 දී අධිකරණයට වාර්තා වූ රුපියල් මිලියන 7.8ක මැතිවරණ ටී ෂර්ට් සිද්ධියත් වෙන වෙනම පරීක්ෂා කළ යුතුය.

එම ගනුදෙනු අතර සම්බන්ධතාවක් තිබේද යන්න ද විමර්ශනය කළ යුතුය.

මිලියන 5.8ක සිද්ධිය සහ ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන පළිගැනීම් කොමිසම

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් සම්බන්ධයෙන් මතුවූ තවත් වැදගත් සිදුවීමක් වන්නේ රුපියල් මිලියන 5.8ක මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයයි.

2016 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති භාෂ්වර ගුණරත්න සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එස්. ජයවීර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

මෙය සංචාරක ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් සිදුවූ බව කියන රුපියල් මිලියන 5.8ක මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳ විමර්ශනයකට අදාළ විය.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ පත්කළ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම මෙම විමර්ශනය සම්බන්ධයෙන් ද නිර්දේශ ඉදිරිපත් කළේය.

එම කොමිසම අදාළ පුද්ගලයන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩු ඉවත් කර චූදිතයන් නිදහස් කළ යුතු බවටත්, කොළඹ මහාධිකරණයේ පවරා තිබූ නඩුවල අධිචෝදනා ඉවත් කළ යුතු බවටත් නිර්දේශ කර තිබේ.

මෙම නිර්දේශ පිළිබඳව Centre for Policy Alternatives ඇතුළු සිවිල් සමාජ සංවිධාන නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට ඇති විය හැකි බලපෑම පිළිබඳ විවේචන ඉදිරිපත් කර තිබුණි.

මෙහිදී පැහැදිලිව වෙන්කරගත යුතු කරුණක් තිබේ.

ජනාධිපති කොමිසමක නිර්දේශයක් යනු අධිකරණ තීන්දුවක් නොවේ. එම නිර්දේශය පමණක් පදනම් කරගෙන නඩුවක් අවසන් වූ බව හෝ අදාළ පුද්ගලයන් වරදකරුවන් වූ බව හෝ නිගමනය කළ නොහැකිය.

එහෙත් මහජන මුදල් අවභාවිතය පිළිබඳ විමර්ශනයක් දේශපාලන පළිගැනීමක් ලෙස හඳුන්වා නඩු ඉවත් කිරීමට නිර්දේශ කිරීමේදී එම නිර්දේශවල නීතිමය පදනම සහ ඒවා ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳව සමාජයට දැනගැනීමේ අයිතියක් තිබේ.

මහජන මුදල් යනු මහජනතාවගේ අයිතියකි

රාජ්‍ය ආයතනයක සභාපතිවරයාට හෝ අධ්‍යක්ෂ මණ්ඩලයට එහි මුදල් අයිති නැත. ඔවුන්ට ඇත්තේ මහජනතාව වෙනුවෙන් ඒවා භාරව පරිහරණය කිරීමේ වගකීම පමණි.

එබැවින් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිතය පිළිබඳ ප්‍රශ්නය කිසියම් දේශපාලන පවුලකට හෝ ආණ්ඩුවකට එරෙහිව එල්ල කරන චෝදනාවක් ලෙස පමණක් සලකා බැලිය නොහැකිය.

එය රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ මහජන මුදල් සම්බන්ධයෙන් වගවීම ඇති කිරීම පිළිබඳ ප්‍රශ්නයකි.

මහින්ද රාජපක්ෂගේ කාලයේ සිදුවූවා යැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් වුවත්, ගෝඨාභය රාජපක්ෂගේ කාලයේ සිදුවූවා යැයි කියන අක්‍රමිකතාවක් වුවත්, වර්තමාන පාලනය යටතේ සිදුවන අක්‍රමිකතාවක් වුවත් ඒ සියල්ලට අදාළ විය යුත්තේ එකම නීතියයි.

දේශපාලන බලය වෙනස් වීමත් සමඟ රාජ්‍ය මුදල් පිළිබඳ නීතිය වෙනස් විය නොහැකිය.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කිසිවකුගේ පෞද්ගලික බූදලයක් නොවේ. එහි මුදල් කිසිවකුගේ පෞද්ගලික හෝ දේශපාලන ව්‍යාපෘති සඳහා වෙන්කළ මුදල් ද නොවේ.

ඒවා මේ රටේ ජනතාවට අයත් පොදු දේපළය.

එබැවින් ඒවා අවභාවිත කළ බවට චෝදනා එල්ල වන සෑම සිදුවීමක්ම දේශපාලන බලපෑම්වලින් තොරව විමර්ශනය කිරීමත්, විගණනයට ලක්කිරීමත්, අධිකරණය ඉදිරියේ නීතිය අනුව තීරණය කිරීමත් අත්‍යවශ්‍යය.

මහජන මුදල්වලට වගකියන්නේ මහජනතාව මිස පාලකයන් නොවේ. පාලකයන්ට ඇත්තේ ඒ මුදල් ආරක්ෂා කිරීමේ වගකීම පමණි. ඒ නිසා දැන් අපිට බලාසිටින්නට තිබෙන්නේ නීතිය සැමට සමානයි කියලා උදේ හවස ප්‍රකාශ කරන ආණ්ඩුව මේ පිළිබඳව සිදුකර විමර්ශනයන්වල දෙන සහාය දෙසය. සීඅයිඩීයට සහ අල්ලස් කොමිසමට අප ඉහත සඳහන් කළ සිදුවීම් අරඹයා කටයුතු කළ ආකාරයටම කටයුතු කළ හැකිය.

මූලාශ්‍ර සහ ලේඛන

1. 2005 අංක 38 දරන සංචාරක පනත
2. 1982 අංක 12 දරන පොදු දේපළ පනත
3. ශ්‍රී ලංකා විගණකාධිපතිගේ 2014 සංචාරක ප්‍රවර්ධන කාර්යාංශ වාර්තාව.
4. ශ්‍රී ලංකා විගණකාධිපතිගේ 2015 සංචාරක ප්‍රවර්ධන කාර්යාංශ වාර්තාව.
5. ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව.
6. 2014 ටී ෂර්ට් සිද්ධිය සම්බන්ධයෙන් 2026 දී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ සිදුවූ නීතිමය කටයුතු පිළිබඳ වාර්තා.

සිරසට කෝටි 10.4ක් දුන් ‘අරුම පුදුම’ කැබිනට් තීන්දුව – https://knews.lk/sirasa-rs-104-million-cabinet-decision/

Leave a Comment

Your email address will not be published. Required fields are marked *