ඊයේ (11) විනිසුරු සංගමය අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමට විරුද්ධව ඒකමතිකව යෝජනාවක් සම්මත කරගැනීමත් සමඟ රජය තම උපක්රමයන් වෙනස් කරමින් මහේස්ත්‍රාත්, දිස්ත්‍රික් සහ මහාධිකරණ විනිසුරුවරුන්ද ඇතුළත් වන පරිදි, සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
වත්මන් අගවිනිසුරුතුමන්ගේ සේවය තවත් අවුරුදු දෙකකින් ඉහළ නැංවීමේ අරමුණින් මුලින්ම අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීමට ආණ්ඩුව තීන්දු කර තිබුණු අතර එයට නීති ප්‍රජාවගෙන් සහ ජනතාවගෙන් විශාල විරෝධයක් නැඟී ඒමත් සමඟ එම තීරණය වෙනස් කරමින් සමස්ත අධිකරණ පද්ධතියේම සිටින විනිසුරුවරුන්ගේ වයස් සීමාවන් මෙසේ ඉහළ දැමීමට සැලසුම් කරමින් ඇතැයි වාර්තා වෙයි.
මෙහිදී ආණ්ඩු පාර්ශ්වයෙන් ප්‍රකාශ වන්නේ, විනිසුරු හිඟය සහ නඩු ඉක්මන් කිරීම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නට රජය සූදානම් බවයි. අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන අතර, ඊට පහළ අධිකරණවල විශ්‍රාම වයස් සීමාවන් වෙනස් කිරීම සඳහා පනත වෙනස් කිරීම පමණක් ප්‍රමාණවත් වෙයි.






