කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය විෂය පිළිබඳ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා යූ ටියුබ් චැනලයක මීට මාස කිහිපයකට පෙර කරන ලද සාකච්ඡාවක් පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල විවිධ මත පළවෙමින් පවතී. අද ලංකාවේ සාමාන්‍යයෙන් සිදුවන්නාක් මෙන් මෙවන් කරුණක් සම්බන්ධයෙන් සිදුවන සාකච්ඡා තම තමන්ගේ පෞද්ගලික අදහස්වලින්, අපහාස, අවලාද, මඩ ප්‍රහාරවලින් ඔබ්බට නොගොස් එකතැන පල්වෙමින් පවතී
මහාචාර්ය නිර්මාල් රංජිත් මහතාගේ මතය
මහාචාර්ය නිර්මාල් රංජිත් මහතාට අනුව මහාවංශයේ සඳහන්වන අන්දමට ධර්මාශෝක අධිරාජයාගේ පුතෙකුවූ මහින්ද නම් මහරහතන් වහන්සේ නමක්, උතුරු ඉන්දියාවේ සිට අහසින් මිස්සක පව්වට වැඩ, ඒ වනවිට ලංකාවේ රජකම් කළ දේවානම්පියතිස්ස රජු බෞද්ධයෙකු කළ පසු, ලංකාව බෞද්ධ රටක් වූයේ යැයි යන්න මිථ්‍යාවකි. අද මහින්දාගමනය ලෙස හඳුන්වනු ලබන මේ සිදුවීම මිත්‍යා කතන්දරයෙකි. ඔහුට අනුව මේ කතාව පසුකලක ලංකාවේ බහුතර ජනතාව බෞද්ධයන් වූ පසු මහාවංශය රචනා කළ හිමිනම විසින් හුදී ජනයාගේ පහන් සංවේගය පිණිසත්, තමන් සිංහල බෞද්ධයන් වීම සාධාරණීකරණය කිරීම පිණිසත් ගොඩනැගූ මිත්‍යා කතන්දරයකි.
මහින්දාගමනය සිදුවී ද නැද්ද පිළිබඳව නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශ කර ඇත්තේ විද්‍යාත්මක ඉතිහාසකරණය මත පදනම්ව සිදුකළ මතයක් නොව, ඔහුගේ පෞද්ගලික මතය බව මේ සිදුවීම පිළිබඳව අදාළ ඉතිහාස සාධක විමසන විට පැහැදිලි වේ.
කකුල් දෙකකුත්, අත් දෙකකුත්, කඳකුත්, හිසකුත් ඇති මිනිස් ලක්ෂණ ඇති සප්රාණික ජීවියෙකුට අපි මිනිසෙකු යැයි කියමු. මේ මිනිසාගේ කකුලක් හෝ දෙකක් හෝ අතක් හෝ අත් දෙකක් නැති නිසා ඔහු සප්රාණික වුවත් ඔහු මිනිසෙකු නොවේ යැයි කීම වැරදිය. එසේම ඔහුගේ කඳ හෝ හිස නොමැතිනම් ඔහු සප්රාණික වීමට නොහැකි නිසා ඔහුට අපට මියගිය මිනිසෙකු යැයි කීමට සිදුවේ. මේ අවස්ථාවේදී ඔහු සප්රාණික මිනිසෙකු යැයි හෝ ඔහු මිනිසෙකු නොවේ යැයි පැවසීම වැරදිය. කකුල් දෙකකුත්, අත් දෙකකුත්, කඳකුත්, හිසකුත් ඇති නමුත් මිනිස් ලක්ෂණ නොමැති සප්රාණික අලියෙකුට මිනිසෙකු යැයි කීම ද වැරදිය.
ඉතිහාස ප්රවෘත්ති පිළිබඳ විමසීම්වල හා විග්‍රහයන්ගේ අවසානයේදී එළඹිය හැකි නිගමනයන්ගේ ස්වභාවය ද එයයි. ඉතිහාසයේ සිදුවීම් සිදුවී අවසානය. ඉතිහාසයේ යම් කරුණක් සම්බන්ධයෙන් සිදුවන්නට ඇත්තේ එක් දෙයකි. මේ ප්රස්තුත මාතෘකාවේද සිදුවන්නට ඇත්තේ එක් දෙයකි. එනම් ඉතිහාසයේදී මහින්දාගමනය නම් සිදුවීමක් සිදුවන්නට හෝ නොවන්නට ඉඩ ඇත.
මහාවංශයේ මේ සිදුවීම පිළිබඳව ඇති සියලු කරුණු පසෙකට දැමුවත් මේ සම්බන්ධයෙන් සියලු ඓතිහාසික සාධක මත ඔප්පු කළ හැකි දෙයක් ඇත. එනම් “ඉන්දියාවේ පැවති මගධ අධිරාජ්‍යයේ මෞර්ය වංශයේ තුන්වෙනි රජු දවස, ඒ අධිරාජ්‍යයේ මඟපෙන්වීම මත ලංකාවට පැමිණි බෞද්ධ ධර්මදූත පිරිසක් එකල ලංකාවේ විසූ ප්‍රධානම රජු හා ඔහුගේ සහපිරිවර බෞද්ධයන් බවට පත්කළ පසු, ඔවුන්ගේ අනුග්‍රහයෙන් ලංකාව තුළ ශීඝ්‍රයෙන් බුදුදහම ව්‍යාප්ත වී එය සිංහලයන්ගේ ප්‍රධානම දහම විය” යන්නයි. මේ සිදුවීමට පසුකාලීනව “මහින්දාගමනය” යැයි නමක් තැබිණි. මේ නමේ නිරවද්‍යභාවය කෙසේ වෙතත් ඉහත කී වාක්‍යය අදට හෙළිදරව් වී තිබෙන ඓතිහාසික සාධක මත විද්‍යාත්මකව මැනවින් ඔප්පු කිරීම මේ ලිපි පෙළේ පරමාර්ථයයි.
ලංකාවට පැමිණි දූත පිරිසේ නායක හිමියන්ගේ නම මහින්ද නොවීම නිසා හෝ මේ මහින්ද නම් බෞද්ධ භික්ෂූන් වහන්සේ ධර්මාශෝක රජුගේ පුතෙකු නොවීම නිසා හෝ ඒ පිරිස ලංකාවට පැමිණියේ ඍද්ධි බලයෙන් අහසින් නොවීම නිසා හෝ ඔවුන් වැඩියේ මිස්සක පව්වට නොවීම නිසා හෝ ඔවුන් පැමිණෙන විට ලංකාවේ රජු මුව දඩයමේ නොගොස් සිටීම නිසා හෝ ඉහත වාක්‍යයේ හරය වෙනස් නොවේ. එසේ පවසන්නා කකුල්, අත් පා නැති නිසා මිනිසා මිනිසෙකු නොවේ යැයි තර්ක කරන අයෙකුට සමානය.
“Finding Sinhabahu” කෘතිය හා මහාවංශය
මේ මාතෘකාව පමණක් නොව මහාවංශයේ විජයාවතරණය හා බැඳුණු ප්රවෘත්ති, පණ්ඩුකාභය පුරාවෘත්තය, ලංකාවට දන්ත ධාතූන් වහන්සේ ගෙන ඒමේ පුවත විද්‍යාත්මක ඓතිහාසික සාධක මත ඔප්පු කිරීම මා විසින් 2019 වසරේ ලියා පළකරන ලද “Finding Sinhabahu” නම් කෘතියේ සවිස්තරාත්මකව ලියා ඇත. මේ දක්වා ලංකාවේ හා ඉන්දියාවේ පළවී ඇති සෙල්ලිපිවල මුල් කියැවීම්, තඹපත්, ඓතිහාසික ග්රන්ථ, ජාන විද්‍යාත්මක කරුණු පමණක් නොව ඒ ඒ ස්ථානවලට මා ගොස් සොයාගත් කරුණු මේ ඓතිහාසික සාධක විග්රහයට මා ඇතුළත් කොට ඇත. මහාචාර්ය නිර්මාල් රංජිත් මැතිතුමා ද ඔහුගේ වීඩියෝවේ 41 වෙනි විනාඩියේදී මාගේ මේ පොත පිළිබඳව කෙටි සඳහනක් කරයි.
මේ පොත 2020 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම පර්යේෂණ ග්‍රන්ථය ලෙස නිර්දේශිතව සම්මාන ලැබූ බව නිරහංකාර ලෙස මෙහි සඳහන් කරන්නේ, ඒ සම්මානය පිරිනැමීමට පෙර ඉතිහාස ගවේෂණ පිළිබඳ විෂය ප්‍රවීණයන් මාගේ කෘතියෙහි ඇති කරුණුවල විද්‍යාත්මක බව විමර්ශනයට ලක් කළ බව මා හොඳින් දන්නා නිසාය. වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන මම ඉතිහාස විෂය පිළිබඳව සම්මත ඉගෙනීමක් හෝ පුහුණුවක් ලබා නැතිමුත්, ඉතිහාසය හා විද්‍යාත්මක ඉතිහාසකරණය පිළිබඳව බොහෝ පතපොත කියවීමෙන් පසුව ස්වෝත්සාහයෙන් ලබාගත් දැනුම තුළින් හැකිතාක් නිරවද්‍ය ලෙස හා අවංකව ඉතිහාස පුවත් අධ්‍යයනයේ හා ලිවීමේ නිරතවන්නෙක්මි.
මා එසේ නිර්භයව ඒ කාර්යයේ නිරතවන්නේ අද ලංකාවේ ඉතිහාසය සොයාගැනීමට මුල්වූ බොහෝ දෙනෙකු මා මෙන්ම ඉතිහාස විෂය පිළිබඳව සම්මත ඉගෙනීමක් හෝ පුහුණුවක් ලබා නැති අයවූ බව දන්නා නිසාය. ලාංකික පුරාවිද්‍යාවේ හා ඉතිහාසයේ පෙර ගමන්කරුවන් වූ එච්.සී.පී. බෙල්, ඩබ්ලිව්. කොඩ්රින්ටන්, සර් එමර්සන් ටෙනන්ට්, ජෝර්ජ් ටර්නර්, පෝල් ඊ. පීරිස් රාජ්‍ය සිවිල් සේවකයෝ වූ අතර, හෙන්රි පාකර් ඉංජිනේරුවෙකු විය. සී.ඩබ්ලිව්. නිකොලස් මහතා විශ්වවිද්‍යාලයෙන් ඉවතට වැටී වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කළ අයෙකු විය. ඊ.එල්. බ්‍රෝහියර් මිනුම්දෝරුවෙකු විය. ශ්‍රී ලාංකික පුරාවිද්‍යාවේ හා ඉතිහාස ගවේෂණයේ පියා ලෙස සැලකෙන සෙනරත් පරණවිතාන මහතා ද විශ්වවිද්‍යාලයකින් මූලික උපාධියක් නොලැබූවෙකු නොවීය. මේ ඉතිහාස විෂය පිළිබඳව සම්මත ඉගෙනීමක් හෝ පුහුණුවක් නොලැබූවන් නොවන්නට අද අප දන්නා ඉතිහාසයේ බොහෝ දේ අප නොදැන ගැනීමට ඉඩ තිබිණි.
මා මේ දීර්ඝ විස්තරය කළේ ඉතිහාස විෂය පිළිබඳව සම්මත ඉගෙනීමක් හෝ පුහුණුවක් නොලැබීම පිළිබඳව මා තුළ ඇති හීනමානයක් නිසා නොව, පුරාවිද්‍යාත්මක නොවන නව ඓතිහාසික විමසීම් හා නව සොයාගැනීම් ලංකාවේ ඉතිහාසය පිළිබඳ විද්‍යාර්ථීන් අතින් නොසිදුවෙන, නොලියවෙන මෙවන් යුගයක, ස්වෝත්සාහයෙන් හෝ ඉගෙන ඉතිහාස ගවේෂණයන්හි විද්‍යාත්මකව නියැලීමට අන් අය පෙළඹවීමටයි. අද ලංකාවේ පුරාවිද්‍යා ගවේෂණ සිදුවූවත් නව ඉතිහාස පර්යේෂණ හා සොයාගැනීම් සිදුවන්නේ අල්ප ලෙසය.
නිකරුණේ බැට කන මහාවංශ සංස්කාරකවරයා
මහාවංශය විචාරාත්මකව නොකියවා, එහි ඇති කරුණු පිළිබඳව නිසි ගවේෂණයන් නොකොට එහි ඇති කරුණු ගැන මත පළ කිරීම විද්‍යාර්ථියකු විසින් නොකළ යුතුය. මහාවංශයට බැට දෙන බොහෝ අය වරදවා වටහාගෙන නැවත නැවත පවසන කරුණක් ඇත. එනම් එය 5 වෙනි සියවසේදී මහානාම හිමියන් විසින් ලියූ නිසා එහි ක්‍රි.පූ. යුග පිළිබඳව, එනම් එය ලියා වසර 800 කට පෙර සිදුවූ කරුණු ගැන ඇති විස්තර නිරවද්‍ය නොවන බවයි.
පොතක් කියවීමට පෙර අප එහි පෙරවදන කියවිය යුතුය. මහාවංශයේ මුල් භාගය 5 වෙනි සියවසේදී ලියූ මහානාම හිමිපාණෝ එහි පෙරවදනේ මෙසේ ලියති: “මේ මහාවංශය පෝරාණයන් විසින් කරන ලද නමුත් එය ඇතැම් තැනක අධික විස්තර සහිතව ද, ඇතැම් තැනක අතිශයින් සංක්ෂිප්තව ද, බොහෝ පුනරුක්ත දෝෂ සහිතව ද කරන ලදී. එම දොස්වලින් තොර වූ, පහසුවෙන් තේරුම් ගත හැකි වූ, ප්‍රසාදය හා සංවේගය ද උපදවන, ශ්රැතිමය වශයෙන් ද ආචාර්ය පරම්පරාවෙන් පැවත එන මෙය ප්‍රසාදය උපදවන තැන්වලදී ප්‍රසාදය ද, සංවේගය උපදවන තැන්වලදී සංවේගය ද උපදවමින් පවසන්න.” (මහාවංශය පළමුවෙනි හා දෙවෙනි ගාථා) මේ අනුව 5 වෙනි ශතවර්ෂයේදී මහානාම හිමියන් විසින් කරන ලද්දේ එතෙක් පැවති මහාවංශය උනන්දුවෙන් අසා සිටිය හැකි අයුරින් අද ව්‍යවහාර භාෂාවෙන් පවසන පරිදි “සංස්කරණය” කිරිම පමණි. මහානාම හිමියන් මහාවංශයේ කතුවරයා බවත්, එනිසා 5 වෙනි සියවසේදී හදිසියේ පහළ වූ බවත් පැවසීම ඉතිහාසය ගැන නොදන්නා අයෙකු මිස විද්‍යාර්ථියෙකු විසින් නොකළ යුතුය. මහාවංශය එයට වඩා පැරණි ග්රන්ථ එක්කොට සංස්කරණය කර ලිවූවක් මිස, මහානාම හිමියන් විසින් හදිසියේ 5 වෙනි සියවසේ ලියූවක් නොවේ.
ඇත්ත වශයෙන්ම මහාවංශ සංස්කරණ එකක් නොව කිහිපයක් ලංකාවේ පැවතිණි. මෙයින් කම්පූචියාවේ තිබී සොයාගන්නා ලද මොග්ගල්ලාන හිමියන් 8 වෙනි සියවසේදී කරන ලද සංස්කරණයේ අවසාන පරිච්ඡේදයේ ඇති මේ ප්‍රකාශය, තමන් පෙනී සිටින මතය කිසිම නව සාධකයක් මත වෙනස් නොකිරීමට සූදානම් උගතුන්ට මනා පාඩමකි. “බුද්ධවංශය ද, මහාවංශය ද, ථූපවංශය ද, අප්‍රකට තොරතුරු ද ගළපා පිඬු කොට අර්ථයෙන් ද, යුක්තියෙන් ද ගොතා කළ මෙහි අකටයුත්තක් හෝ නොගැළපෙන්නක් වේ නම් පූර්වාපර සන්ධි ගළපා, නැවත නැවත විමසා නුවණැත්තන් මෙය ගත යුතුය. දොස් සහිතව නොගත යුතුය.” (පි. 514 – මහාවංශය පළමු වෙළුම – බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය)
අටවෙනි සියවසේ විසූ මොග්ගල්ලාන හිමියන් තමන් ඉදිරිපත් කරන කරුණු පවා වැරදි නම් ඒවා පිළිනොගන්නා ලෙස කියවන්නන්ට පැවසීම, ඒ යුගයේ උගත් සිංහල බෞද්ධයන්ට තිබූ ශික්ෂණය හා තම මතයට පවා නොඇලුණු ස්වභාවය මැනවින් පිළිබිඹු කරයි. නව සාක්ෂි සාධක සහිතව පෙන්වා දුන්නහොත් තමන් මහින්දාගමනය ගැන දැනට දරන මතය වෙනස් කිරීමට සූදානම් බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා මීට දින කිහිපයකට පෙර නිකුත් කළ පෞද්ගලික වීඩියෝවක කියයි. මහින්දාගමනයේ සැබෑ සාධක “පූර්වාපර සන්ධි ගළපා” ඉදිරි ලිපිවලින් සිදුකළ විට එතුමාට තමන් ඒ ගැන දරන මතය වෙනස් කිරීමට සිදුවන බව නිසැකය.
-විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ-
(වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු වන අජිත් අමරසිංහ රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ යාවජීව සාමාජිකයෙකි. විවිධ ඉතිහාස කරුණු ගැන පොත් හා ලිපි සම්පාදනය කර ඇති ඔහුගේ Finding Sinhabahu ඉතිහාස පර්යේෂණ ග්‍රන්ථය 2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම පර්යේෂණ කෘතිය ලෙස නිර්දේශිත විය)
දෙවෙනි කොටසට මෙතනින් පිවිසෙන්න – https://knews.lk/mahindagamanaya-scientific-truth-part-02-dr-ajith-amarasinghe/






